සුබසෙතට සුබ පැතුම්

මැයි 24, 2019

උත්කර්ෂවත්, අනුස්මරණීය අවස්ථාවක්

ලේක්හවුස් ආයතනයේ ප්‍රකාශනයක් ලෙස 1969 වර්ෂයේ මැයි 28 වැනි දා සමාරම්භ කිරීමට යෙදුණ. ‘සුබසෙත’ පුවත්පතට, මේ මස 28 වැනිදාට පුරා වසර පනහක් සපිරේ. මෙබඳු ප්‍රකාශනයක් පාඨක සමාජයේ ප්‍රසාදයට පාත්‍ර වෙමින් අඩ සියවසක් කල් පැවැත විත් සිය ස්වර්ණ ජයන්ති උළෙල පවත්වන මේ මොහොත සැබැවින්ම උත්කර්ෂවත්, අනුස්මරණීය අවස්ථාවකි.

ඡ්‍යොතිෂය, ආයුර්වේදය, ගුප්තවිද්‍යාව හා හස්ත රේඛා ශාස්ත්‍රය වැනි විෂය ක්ෂේත්‍ර යටතේ සුබසෙත එදා මෙදාතුර පළ කළ ලිපි මඟින් එකී විෂයයන්ට ඇල්මැති මෙරට පාඨක ජනතාවට සැලසුණේ සුබසෙතක් ම බව කියනු කැමැත්තෙමි.

අප සමාජයේ සංස්කෘතික ජීවිතයෙන් බැහැර කළ නොහැකි ආයුර්වේදයේ, ඡ්‍යොතිෂ්ශාස්ත්‍රීය විමර්ශන මාර්ගයත් ජනතාව වෙත සමීප කිරීමේ ඓතිහාසික ගෞරවයට ද පාත්‍ර වනුයේ සුබසෙත පුවත්පත බව මෙහි දී ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

තවද පාඨකයා වෙත ඡ්‍යොතිෂය පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා දීමට ද, දේශීය ආයුර්වේදය නැංවීම උදෙසා ද පුළුල් ආධාරකයක් වූයේ සුබසෙත පුවත්පත බව ප්‍රකට ය. ප්‍රාදේශික වශයෙන් කටයුතු කරන අප්‍රකට ජීවක වෛද්‍යවරුන් හා ඔවුන් සතු විශේෂිත ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දෙමින් සුබසෙත පුවත්පත ඉටු කළේ අනගි සමාජ සේවාවක් මෙන් ම සංස්කෘතික මෙහෙවරකි.

ඒ සඳහා මුල් අවධියේ සිට මේ දක්වා කැප වූ කතුවරුන්, පත්‍රකලාවේදීන් හා ලේඛක ලේඛිකාවන් ගේ සේවාව මේ අවස්ථාවේ ගෞරව පූර්වකව ස්මරණය කරන අතර, කාලානුරූප ව නව දැනුම සමඟ නවීකාරක ලක්ෂණ සහිත ව පනස් වියට එළැඹ, උද්‍යෝගවත් පෙරගමනකට සැරැසෙන සුබසෙත පුවත්පතේ අභිවෘද්ධිය හා චිර ජීවනය සැලසේවා යි මාගේ හෘදයාංගම සුභාශිංසනය පළ කර සිටිමි.

මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපති

 

----------------------------------------

ජනතා සුබසෙත උදෙසා කැපවන්නට සුබසෙතට සුබ පැතුම් !

ඡ්‍යොතිෂය මෙන්ම ආයුර්වේදය ද ලාංකේය ජන ජීවිතයේ පාරම්පරික උරුමයකි. මෙම විෂය ක්ෂේත්‍රයන් අතර අන්‍යෝන්‍ය වශයෙන් බැඳීමක් ද පවතී. එම සාම්ප්‍රදායික උරුමයට නව අගයක් දෙමින් ඡ්‍යොතිෂායුර්වේද පුවත්පතක් ලෙස ලේක්හවුස් ආයතනය මඟින් සුබසෙත පුවත්පත ආරම්භ කරනුයේ 1969 වසරේ ය.

පුරා අඩ සිය වසක් ලාංකේය ජන ජීවිතයට සමීපව ඡ්‍යොතිෂ අනාවැකියවලට සීමා නොවී ඡ්‍යොතිෂ දැනුම ද, දේශීය ආයුර්වේදයේ දැනුම් සම්භාරයද බෙදා හදා ගත් සුබසෙත පුවත්පත මෙම වසරේ ස්වකීය ස්වර්ණ ජයන්තිය මහත් හරසරින් සමරනු ලැබීම සතුටට කරුණකි.

දීර්ඝ කාලයක් පාඨක අවධානය සහ විශ්වාසය දිනා ගනිමින්, කාලීන ව දැනුම සහ අත්දැකීම් සමඟ යාවත්කාලීන වෙමින් ඡ්‍යොතිෂායුර්වේද පුවත්පතක් ලෙස දිගු ගමනක් පැමිණීමට සුබසෙත පුවත්පත සමත් විය.

ඉදිරියටත් ජනතා සුබසෙත උදෙසා කැපවන්නට සුබසෙතට සුබ පැතුම්.

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

----------------------------------------

නවීනත්වය මැද පෙරට යන සුබසෙත

මෙරට පුරෝගාමී පුවත්පත් ආයතනය සේම පුවත්පත් මහගෙදරද වන ලේක්හවුස් ආයතනය චිරාත් කාලයක් මුළුල්ලේ සමාජ. සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික කටයුතු වලදී සක්‍රිය මඟ පෙන්වීමක් සිදු කළ සහ සිදු කරන මාධ්‍ය ආයතනයක් බව කවුරුත් දනී.

ස්වකීය පුළුල් බුද්ධියෙන්, තුන් කල් දකිමින් මේ මහා සමාජ විප්ලවය සිදු කළේ ඩී.ආර්. විජේවර්ධන මැතිතුමා ය.

එතුමාගේ උදාර සංකල්පයක් මත භාෂා තුනෙන්ම පළවෙන පුවත්පත් සහ වාර ප්‍රකාශන රාශියක්ම මේ ආයතනය තුළ ප්‍රකාශනය කරනු ලබයි. එවන් ප්‍රකාශන අතර ස්වර්ණ ජයන්තිය සමරන ‘සුබසෙත’ පුවත්පතට සුභාශිංසන පිරිනමනුයේ හද පිරි සතුටිනි.

ඡ්‍යොතිෂය මෙන්ම ආයුර්වේද විෂයද තත්කාලීන සමාජයට ගැලපෙන සේ ඉදිරිපත් කිරීමට ‘සුබසෙත’ සමත්ව තිබේ. මොහොතින් මොහොත වෙනස් වන සහ නවීනත්වයට පත්වන සමාජයක පුවත්පතක් වසර පනහක් තිස්සේ පවත්වාගෙන යාම භාරධූර අභියෝගයකි. ඒ අභියෝගය එදා මෙදා තුර සුබසෙත සියලුම කර්තෘ මණ්ඩල විසින් ජයගෙන තිබේ. එය එසේ නොවන්නට වසර පනහක ඉතිහාස කතාවක් ඉතිරිවන්නේ නැත. එබැවින් ඊට දායක වු සියලු කර්තෘවරුන් ඇතුළු කාර්යමණ්ඩලයට කෘතවේදීත්වය හිමිවිය යුතුය. ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයේ ඉතිහාසය ක්‍රි.පූ. 2000 තරම් පැරණි බවත් ඉන්දියානුවන්. චීන ජාතිකයින්. සහ මායාවරුන් අතර එම විෂය ප්‍රචලිතව තිබී ඇති බවත් බොහෝ දෙනා දනී.

ශ්‍රී ලාංකිකයින් ද ස්වකීය ජීවිතයේ එදිනෙදා කටයුතු වලදී ඡ්‍යොතිෂය පිළිබඳව විශාල අවධානයක් යොමු කරන බව අපි දනිමු. එමෙන්ම ආයුර්වේදය යනු ඊටම සමාන දුර ඉතිහාසයක් තිබෙන විෂයකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉන්දියානු උප මහාද්වීපය මූලාශ්‍ර කරගෙන හට ගත් වෛද්‍ය ක්‍රමයකි.

මේ විෂයන් දෙක අලලා වසර පනහක මාධ්‍ය මෙහෙවරක් “සුබ සෙත” ඉටුකර තිබේ.

වර්තමාන සමාජය සහ ලෝකය ඉතාමත්ම වේගයෙන් නවීනත්වය වැළඳ ගනිමින් සිටී. නව තාක්ෂණය, විද්‍යාවේ දියුණුව ලෝකයේ අස්සක් මුල්ලක් නෑර පැතිරෙමින් තිබේ. පුවත්පත්වලින් ඔබ්බට මිනිසුන් තාක්ෂණික මෙවලම් හරහා සමාජ දැනුම ලබමින් සහ අධ්‍යයනයන් සිදුකරමින් සිටී.

එවන් අභියෝග සහගත තත්ත්වයක් තුළ පවා සුබසෙත නොසැලී, හරවත් ගමනක යෙදීම අපගේ ඉමහත් සතුටට හේතුවේ. එය තවත් චිරාත් කාලයක් මෙකී සමාජ මෙහෙවරෙහි යෙදෙනු දැකීම අප කාගේත් පැතුමයි.

ක්‍රිෂාන්ත කුරේ
සභාපති - සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම

----------------------------------------

සුබසෙත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාඨක ඔබට සුබසෙතක් ම වෙයි

සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද පුවත් පත ආරම්භ කර වසර 50 ක් සපිරෙන මේ මොහොතේ එම අඩසිය වසර වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් ගෙන ඒමට හැකිවීම පිළිබඳ මහත් සේ සතුටු වෙමි. කොතෙක් පුවත්පත් අප අතර මුද්‍රණය වෙමින් තිබුණ ද මේ සා විශාල කාලයක් පාඨකයන් අතරේ වැජඹෙන්නට හැකියාව ලැබෙන්නේ ඉතා ස්වල්ප පුවත් පත් ප්‍රමාණයකට පමණක් නිසා සුබසෙත මේ ලැබූ ජයග්‍රාහී ගමන පිළිබඳ මට ඒ සතුට හිමිවෙයි. ඡ්‍යොතිෂය අප සංස්කෘතියේ සාර්ථක පැතිකඩක් නිසාද සෘජුවම බුදු දහම සමඟ සබැඳියාවෙන් පැවත එන විෂයයක් නිසා ද මිනිසුන් එය නිරන්තරයෙන් වැලැඳ ගන්නා ස්වභාවයක් පවතී.

කෙනෙකුගේ උපතේ සිට විපත දක්වාම පසු කරන විවිධ අවදීන් කෙරේ යොමු කරගන්නා කේන්ද්‍රය, නැකැත, නම් තැබීම, ශාන්ති කර්ම වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් ආදිය ඡ්‍යොතිෂ අංශයට ගැනෙන අතර මිනිසාට වැලඳෙන ලෙඩ රෝග පිළිබඳව දේශීය වෛද්‍ය විද්‍යාවට අයත් ආයුර්වේද ප්‍රතිකර්ම නොනැසී පවතී. ඒ අනුව ඡ්‍යොතිෂය ආයුර්වේදය යන ඒ මා හැඟි විෂයන් යුගලම විග්‍රහාත්මකව ඇතුළත් වන සුබසෙත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාඨක ඔබට සුබසෙතක් ම වෙයි.

පූර්ව කතුවරුන් ගණනාවකගේ නොමඳ කැපවීම මත 50 වසරක් අඛණ්ඩව කරගෙන ආ සුබසෙත සියක් වසර සපුරන්නට සුදුසු වටපිටාව සකසන්නට වර්තමාන කතු මඩුල්ලට ද හැකියාව ලැබේවායි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

ලලිත් අලහකෝන්,
කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.