50 වසරක සුබසෙත අසිරිය

මැයි 24, 2019

ලේක්හවුස් ආයතනයෙන් ප්‍රකාශිත පුවත්පත් අතරින් “සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද” පුවත්පත පිළිබඳව කෙටි මතක සටහන් පෙළක් ලිවීමට අවස්ථාවක් මැයි 28 දිනට යෙදෙයි. එනම් සුබසෙත පුවත්පත ආරම්භ කොට ‘වසර 50 ක්’ සපිරීම නිමිත්තෙනි. මෙවන් මොහොතක මෙවැනි ශාස්ත්‍රීය පුවත්පතකට එක්වීමට මාගේ ගමන් මඟ සූදානම් කරදුන් ආදරණීය මාගේ පියාණන් වෙනුවෙන් පළමුවෙන්ම හෘදයාංගම පුණ්‍යානුමෝදනාවක් සිදුකරන අතර සුබසෙතට වසර පනහක් සපිරෙන දින දක්වා මාගේ පියාණන් ජීවත්ව සිටියානම්”......... මසිතට හැඟෙන අනන්තවත් වාර සිහිපත් කරමින් කෙටි සටහනක් මෙසේ තබන්නට සිත්වීමි.

මා සුබසෙතට එක් වූයේ 1995 වසරේදීය. එවකට ප්‍රධාන කර්තෘධූරය හෙබවූයේ ගීතා ජයසූරිය මහත්මියයි. නියෝජ්‍ය කතුවරයා වූයේ අභාවප්‍රාප්ත විනී මද්දුමගේ මහතා ය. මා පියාණන්ගෙන් ලත් මූලික ඡ්‍යොතිෂ දැනුම නිසා සුබසෙත පත්‍රයේ කටයුතු උදෙසා දායකත්වය උපරිමයෙන් යෙදවීමට සමත් වීමි.

එවන් දැනුමකින් ඡ්‍යොතිෂ පුවත්පතේ කටයුතු කිරීමට ලැබීම මා හට ලොකු අස්වැසිල්ලක් විය. ඡ්‍යොතිෂ ලිපි සම්පාදනය ලිවීම හා අක්ෂර වින්‍යාසය නිවැරැදිව සකස් කර ලිපියක් මුද්‍රණයට යවන ආකාරය පත්‍රයේ පිටුවලට යැවිය යුතු ලිපි ඇතුළත් කිරීම (ඩමිය සකස් කිරීම) පත්‍රය මුද්‍රණය වීමෙන් පසුව ද බැලියයුතු කරුණු ආදී නොයෙකුත් පුවත්පත් කලාවට අදාළ පාඩම් ගණනාවක්ම මා හට ඉගෙන ගැනුමට අවස්ථාව ලදිමි. එම යුගයේ දී සුබසෙතට එක් වූ ධම්මිකා රාජපක්ෂ හා චන්ද්‍රිකා හඳපාන්ගොඩ, සිසිර අමරසිංහ, සුභාෂිණි ජයරත්න යන මහත්ම මහත්මීන් සමඟින් පුවත්පතේ කටයුතු දියුණුව කරා කරගෙන යාමට මා හට හැකි විය.

1969 මැයි 28 දින සුබසෙත නිර්මාණකරු වූ පියසේන නිශ්ශංක ශූරීන්ගේ අනුදැනුම පරිදි මුල් කතුවරයා වූයේ විජයසිරි විද්‍යාරත්න මහතායි. එතුමාගේ සේවා කාලයෙන් පසුව සිවපාල බණ්ඩාර මහතා, දයාරත්න රණසිංහ මහතා, ජයතිලක අඹුවන්ගල මහතා, කපිතාන් චන්ද්‍ර ශ්‍රී කුලරත්න මහතා වැනි කතුවරුන්ගේ සේවා කාලයෙන් පසුව 1995 වසරේ සිට කර්තෘමණ්ඩලයේ සේවයේ නියුතුව සිටි ගීතා ජයසූරිය මහත්මිය ප්‍රධාන කතුවරිය ලෙස ද පත් වූවා ය.

2004 වසරේ දී සුබසෙත පුවත්පතට නව මුහුණුවරක් ගෙනදීමට ප්‍රථම උපදේශක කතුවරිය වූ නිලූකා ඒකනායක මහත්මිය සමත්වූවා ය. ඇයගේ සේවා කාලයේ දී සම්බන්ධීකරණ කතුවරයා වූ බන්දු ජයතිලක මහතාත්, සහායක ජයසුන්දර මහතාත් පෙරදැරිව සුබසෙත පුවත්පත රට පුරා බැබළවීමට කටයුතු කළා ය. ඒ පිළිබඳව නිලූකා ඒකනායක මැතිණිය සතු වූ දක්ෂතාවය මැනැවින් ඡ්‍යොතිෂවේදීන් ආයුර්වේද වෛද්‍යවරුන් හඳුනාගෙන ඔවුනගේ නොමසුරු දායකත්වය සුබසෙත පුවත්පතට එක්කරලීය. එතුමියගේ සේවා කාලයෙන් පසුව කාව්‍යමය රසයෙන් පත්‍රය පෝෂණය කරලීමේ නියමුවා ලෙස ඡ්‍යොතිෂවේදී ආචාර්ය පියසේන රතුවිතාන මහතා සුබසෙතට එක්විය.

එතුමාගේ සේවා කාලය තුළ දී ඡ්‍යොතිෂ පාඩම් පුවත්පත හරහා පළකොට ඡ්‍යොතිෂ විභාග පවත්වා රට පුරා ආධුනික ඡ්‍යොතිෂ වේදීන් හට අතහිත දීමක් සිදුවිය. නිලූකා මහත්මියගේ ඡ්‍යොතිෂ උපදේශක සභාව තුළින් රටපුරා ඡ්‍යොතිෂ ආයුර්වේද මහත්ම මහත්මීන් එක්රැස් කර ඡ්‍යොතිෂ වැඩමුළු පවත්වා පත්‍රයේ අලෙවියට නොමසුරු දායකත්වයක් එක් කළාසේම ඡ්‍යොතිෂ විභාග පවත්වා ඡ්‍යොතිෂය සාමාන්‍ය ජනතාව අතරට ගෙනයාමට රතුවිතාන මහතාද , උපරිම සහයෝගයක් දැක්වූවේ ය. මාගේ පියාණන් කතුවරයා ලෙස සිටි යුගයේ දී පුවත්පත හරහා ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණ පවත්වා පුවත්පත ජනතාවට හුරුකරවීමට ගත් උත්සාහය සේම රතුවිතාන මහතා ද, සම්මන්ත්‍රණ පැවැත්වීමට කටයුතු කළ අයෙකි.

එසේම වත්මන් ප්‍රධාන කර්තෘ ධූරය හොබවන අජිත් ධර්මසිරි මහතා ද පුවත්පතේ දියුණුව උදෙසා ක්‍රියාත්මක කළ කටයුතු බොහෝ ය. එලෙසම එතුමාගේ කාව්‍යමය හැකියාවෙන් පත්‍රය හැඩකරන ‘කවි වැකිය’ උදෙසා ලැබෙන ප්‍රශංසා පත්‍රයේ උන්නතියට තවත් රුකුලකි. එසේම එතුමා විසින් වසර පනහක් වැනි දිගු ගමනක සුබසෙත නියමුවන් සිහිපත් කරමින් ඔවුන් උදෙසා උපහාර පුදන්නට යෝජනා කර කටයුතු කිරීම එතුමාගේ කළගුණ දැක්වීමේ ගුණවත් බව පෙන්නුම් කරන්නකි. සුබසෙත ගමන් මගේ දියුණුව උදෙසා ඇපකැප වී දායක වූ පරලෝ සැපත් ආදි කතුවරුන්ට හා ලේඛක මහත්ම මහත්මීන්ට පළමුව පින් අනුමෝදන් කරමි.

එසේම ජීවත්ව සිටිනා කතුවරුන්ටත් සුබසෙත එදා මෙදා අතහිත දෙන ලේඛක සැමටත් පුවත්පත තව තවත් හැඩකරලීමට අවශ්‍ය ධෛර්යය, ශක්තිය, නිරෝගී සුවය ලැබේවා’යි දෙවනුව පතමි.

ඡ්‍යොතිෂායුර්වේද ගමන් මගේ ස්වර්ණ ජයන්තිය සමරන ‘සුබසෙත’ කුමරිය යෙහෙන් චිරාත් කාලයක් වැජඹේවා මාගේ ඒකායන පැතුමයි.

සුබසෙත හිටපු ප්‍රධාන කර්තෘ
චම්පිකා අඹුවන්ගල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.