හෙළ අසිපත් මුවහත් කරනු. ලෙයින් සපථ කරනු. හෙළය දිනාගනු...

ජූලි 26, 2019

සමනළ කඳු යායේ ධූරාගේ සටන් ගම්මානයේ පටන් ඉහළට වැටුණු තවත් කුඩා මාවතක් විය.

මිහිදුමින් වැසුණූ සීතල කඳුකරයට යොමු වුණු ඒ මාවතේ පියවර දෙසියයක් පමණ ඉහළට ගමන් ගත්පසුව, මාර්ගය විශාල ගල් පර්වතයක කැපූ ගල් පඩි පෙළකට යොමු විය. ශක්තිමත් කළු ගලෙහි මනාව කපා තිබූ ඒ සෙල්මුවා පියගැටපෙළ, වසර සිය ගණනාවක පටන් හෙළ සටන් ශූරයන්ගේ පා පහසින් මැදී ඔප මට්ටම් වී තිබිණ. පඩි සියයකටත් වඩා ඉහළට නැගුණු ඒ පියගැට පෙළ යොමු වූයේ අර මහා ගල් පර්වතය මස්තකයේ තිබූ තැනිතලා භූමියකටය. ගල් පව්වෙහි මනාව කපා තිබූ කටාරම් වලට ඈතින් වන්නට පෙනී ගියේ හොඳීන් ඉඩ කඩ තිබූ සුදු වැලි තලාවක් අතුළ මණ්ඩලාකාර මිදුලකි. එහි කෙළවර වූයේ පෙනුමෙන්ම ඉපැරණි බවක් පෙන්නුම් කළ, කැටයමින් අලංකාර වූ ශෛලමය කුලුනු ගණනාවකින් හෙබියාවූ, විභූතිමත් ගොඩනැගිල්ලකි. බැස යන හිරුගේ රැස් දහරින් එම ගොඩනැගිල්ල නේක වර්ණයෙන් කැළුම් දුන්නේය.

බැලු බැල්මටම එසේ මෙසේ ස්ථානයක් නොවන බව පෙන්නුම් කළ ඒ ගොඩනැගිල්ලේ සිව් දිශාවෙන්ම, ගොඩනැගිල්ල දෙසට මුහුණ දුන්, ගලින් නෙළන ලද ප්‍රතාපවත් හැඩහුරුකමින් යුතු යක්ෂ රූප සතරක් වීය. එසේම කළුගල් කුලුනු වලින් ශක්තිමත් වුණු ගොඩනැගිල්ලේ බිත්ති සකස් කර තිබුණේ එකල භාවිතා වුණු ශක්තිමත්ම බදාමයකිනි. කිසියම් පූජ්‍ය ස්ථානයක් බව පෙනී ගිය ගොඩනැගිල්ලේ උළුවස්ස සහ දැවැන්ත දොරටුව, ඝන කළුවර දැවයෙන් සකස් කර තිබිණ. ගොඩනැගිල්ල අවට මිදුලත්, ගොඩනැගිල්ල අසලත් තිබුණේ සිතා ගත නොහැකි තරම් පිරිසිදු භාවයකි. විවිධාකාර දුර්ලභ ගණයේ සුවඳ මල් වර්ග වලින් අලංකාර වූ අවට පරිසරය සිතා ගත නොහැකි තරම්, පාරිශුද්ධ වූත්, සිත් ඇදගන්නා වූත් අහ්ලාදකර චමත්කාරයෙන් මන මෝහනීය වූ සුන්දර ස්ථානයක් වීය.

පියගැටපෙළ සතකින් ඉහළට නැගී ගිය ගොඩනැගිල්ලේ අභ්‍යන්තර පොළොව මනාව කපා ඔප දමන ලද කළු ගල් පතුරු අල්ලා සකස් කර තිබිණ. කිසියම් සිනිදු තෘණ වර්ගයකින් සකස් කරගත් බව පෙණුනු පැදුරු ගණනාවක්, ඒ පොළොව මත අතුරා තිබුණේය. සෘජුකෝණාස්‍රාකාර ස්වරූපයකින් යුත් ගොඩනැගිල්ලේ ප්‍රධාන ශාලාව කෙළවර වූයේ දැවැන්ත ශෛලමය පූජාසනයකි. රත්රන් පහන් කිහිපයක් ඒ මත දල්වා තිබූ අතර, ඒ පූජාසනයේ වූයේ එකල භාවිතයේ තිබූ පළතුරු, මල්, ඖෂධ වර්ග සහ විවිධ පූජා භාණ්ඩ වලින් සකස් කෙරුණු පූජාවකි. වසා තිබූ මෙම ගොඩනැගිල්ලේ අභ්‍යන්තරයේ එළා ලූ පැදුරු මත, පද්මාසනයෙන්

යුතුව කවාකාරව හිඳගෙන භාවනා කරමින් සිටියේ ධූරා ඇතුළු මහා ගෝරාවරුන් සත් කට්ටුව සහිත ගෝරාවරුන් කණ්ඩායමකි. ගණනින් එකසිය අටක් වූ රණ ශූරයින් පිරිසක් ඒ කණ්ඩායමෙහි වූහ. අංග සම්පූර්ණ ගෝරා ඇඳුම් කට්ටල වලින් සැරසී ගත් ඔවුන් එකසිය අට දෙනෙක් එහි සිටියද, ඉඳිකටුවක් වැටෙන හඬක් වුවද ඇසෙන තරම් නිහැඬියාවක් එම ගොඩනැගිල්ල තුළ වූයේය.

කවාකාරව හිඳ සිටි මේ ගෝරාවරුන් ගේ කවය මධ්‍යයේ වූයේ රන්වන් පීඨිකාවක් මත දැල්වෙන සිළුවකින් යුතු පුරාණ කැටයමින් යුතු රත්රන් පහනකි. කිසියම් සුගන්ධවත් තෛලයකින් දැල්වුණු එම පහනේ ගිනි සිළුව සෘජුව අඟල් කිහිපයක් ඉහළට නැගී තිබිණ. ගොඩනැගිල්ල ඇතුළත පරිසරය, සිත මෝහනය කරවන ආශ්චර්යවත් වූ සුගන්ධයකින් පිරී ගොස් තිබුණි.

නිහැඬියාවෙන් යුතුව තවත් සිංහල පැයක් පමණ ගත වී ගියේය. ඒ සමගම කලින් දන්වා තිබූ ආකාරයකට මෙන් ගැඹුරු හුස්මක් ඉහළට ගත් ඔවුන් සියලුම දෙනා, හුස්ම පිට කරන ගමන් කිසියම් බීජාක්‍ෂර මන්ත්‍රයක් එකා මෙන් ජප කරන්නට වූහ. ඉතා ළයාන්විතව ආරම්භ වූ ඒ ගායනය ඇතැම් විටක තාණ්ඩව ස්වරයෙනුත්, තවත් විටක ලාස්‍ය ස්වරයෙනුත් ගැයෙන්නට වූයේ මුළු ගොඩනැගිල්ල පුරා දෝංකාර දෙමිනි. එම මන්ත්‍රය වාර ගණනාවක් මෙසේ ගයන්නට වුවද, ඔවුන් කිසිවෙක් දෙනෙත් හැර බැලුවේ නැත. මෙසේ තවත් සිංහල පැයක් පමණ ගතවී ගියේය. අනතුරුව, එහි වාතාවරණය හාත්පසින් වෙනස් විය.

මන්ත්‍ර ගායනය අතරතුර දී ඉදිරියෙන්ම සිටි මහා ගෝරාවරුන් සත් දෙනාගේ මුහුණු වල දෙබැම මධ්‍යයේ සිට, නළල මධ්‍යය දක්වා වූ කොටස කිසියම් ආශ්චර්යවත් රන්වන් ආලෝකයකින් බැබළෙන්නට විය. එසේම ඔවුන් මධ්‍යයේ ඵලකයක දල්වා තිබූ පහනේ දැල්ල කහ පැහැයේ සිට, නිල් පැහැය දක්වා වෙනස් වී ගියේය. ඒ සමගම එම පහන් දැල්ල, ක්‍රමයෙන් ඉහළට දිගු වී අඩියක් පමණ ඉහළට ඇදී ගොස් සෙමෙන් සැලෙන්නට විය. ඒත් සමගම ඇසුණේ ගොඩනැගිල්ල ඇතුළත කිසියම් සිසිල් සුළං ප්‍රවාහයක් සුළි සුළඟක් ලෙස අර පහන කේන්ද්‍ර කර ගනිමින් හමා බසිනා ආකාරයයි. ඒ සමග මන්ත්‍ර සජ්ඣායනය නතර වූ අතර, ඔවුන් හට ඇසුණේ බොහෝ පිරිසක් පාවහන් රහිතව, සැහැල්ලු පියවරින් ඔවුන් වටා සක්මන් කරනා හඬ සහ දෝංකාර දෙමින් වානේ අසිපත් තල එකිනෙක පිරිමැදෙනා හඬයි. ඉන්පසුව එම හඬවල් සියල්ල

සෙමෙන් සෙමෙන් නිසල වූ අතර ඉන් පසුව, ප්‍රබල පියවරින් යුතු පිරිසක් ප්‍රතාපවත් ලෙසින් පැමිණෙන හඬ ඔවුන් හට ඇසී ගියේය. ආ පිරිස පූජාසනය වෙත යනු ඔවුන් හට දැනී ගියේය. අනතුරුව කෙටි නිහැඬියාවක් පැවතුණි. ඉන්පසුව, ස්වර්ණමය ඝණ්ටා නාදයක් වැනි කට හඬකින් යුතු කිසිවෙක් දෝංකාර දෙන ප්‍රබල හඬින් යුතුව, පුරාණ හෙළ යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් ඔවුන් අමතන්නට වූයේය.

“මාගේ පුත්‍රවරුනි... පුරාණ හෙළයේ රාජ වංශිකයන් සහ ගෝරාවරුන් ඇතුළු සටන් ශිල්පීන් වශයෙන් අප නුඹලාට අපගේ ආශීර්වාදය පිරිනමනවා. අපගේ හෙළ ජාතියත්, හෙළ දේශයත් දැන් ඇත්තේ අන්තරාවක. අපගේ පුරාණ හෙළ රාජ පරම්පරාවල් මෙන්ම සටන් පරම්පරාවල් ද මේ වන විට නුඹලා සමග එක් වී අවසන්. එසේම අපගේ විශ්වීය තාරකාවාසී හෙළ පරම්පරාවන්ද නුඹලාගේ ව්‍යායාමය ගැන අවධානයෙන් සිටිනවා. හේතුව, හෙළ දේශයේ අනාගතය මේ මොහොතේ පවතින්නේ නුඹලාගේ දෑත් මත. නුඹලා මේ ආක්‍රමණිකයන් විනාශ කර දැමීම මත මුළු මහත් හෙළ ජාතියේම දෛවය තීරණය වනු ඇති. එසේම නුඹලාගේ ප්‍රබල රුධියෙන් බිහි වී ඇත්තා වූද, බිහි වන්නට පෙරුම් පුරන්නා වූද ශ්‍රේෂ්ඨ හෙළ දරු මුණූබුරු පරම්පරාවම නුඹලා ගැන ආඩම්බරයෙන් සිහි කරනු නියතයි...

එසේම මාගේ පුත්‍රවරුනි, නුඹලා හෙළය රැක ගැනීම මත අනාගතයේ අදින් වසර දහසකට පසුව හෙළ දෙරණේ ජන්මය ලබන ‘මහා රාවණ’ හෙවත් ‘යගු කෞරාණ මණ්ඨක’ මහා අධිරාජයාගේ උපත තීරණය වනු ඇති. මන්ද යත් වසර දහස් ගණනක පටන් මෙහි උපත ලබන්නට පෙරුම් පුරන මහා රාවණයන් හට සුදුසු පසුබිම සකසාලීම නුඹලාගේ දෑත් මත තිබෙනවා, ශ්‍රේෂ්ඨ හෙළ පුත්‍රවරුනි. අද දින හෙළ දේශයත්, හෙළ ජාතියත් වෙනුවෙන් දිවි කැප කරනා නුඹලා විසින් ගළවා ගන්නා මේ දේශයේ ජන්මය ලබන ඒ මහා රාවණයන් ගේ බළ අණසක මේ මහා භද්‍ර කල්පය පුරාවට හෙළ දේශය තුළත්, ශ්‍රේෂ්ඨ හෙළ ජාතිය තුළත්, මේ චක්‍රාවාටය තුළත් පැතිරී පවතින්නට නියමයි මාගේ පුත්‍රවරුනි. ඒ ගමන් මාර්ගය අවුරාලන සියලුම සතුරන් සමූල ඝාතනයට නුඹලාට අවසරයි මාගේ පුත්‍රවරුනි...

හෙළයන්ගේ දේශය විශ්වයේ දොරටුවයි. ඒ වගේම මේ චක්‍රාවාටයේ ප්‍රධානතම මර්මස්ථාන වලින් එකක්. එය අත්පත් කර ගන්නට නොදී නුඹලා එය රැකගත යුතුයි. නුඹලාගේ රුධිර ධාතුව, ජීව ප්‍රාණය කැප කර හෝ එය රැකගත යුතුයි. නුඹලාගේ දරු මුණුබුරු පරම්පරාවට හිස කෙළින් තබාගෙන දෙපයින් ඇවිද යාමට හෙළය රැකගත යුතුයි. සියවස් දහස් වස් ගණනාවක්, අප පුරාණයේ අපගේ ජීවිත පූජාවෙන් හෙළය රැකගත් සේම නුඹලා හෙළ බිම, අනාගත හෙළ ජාතිය වෙනුවෙන් දිනාදිය යුතුයි මාගේ පුත්‍රවරුනි...

දැන් නුඹලා ගේ වාරයයි මාගේ පුත්‍රවරුනි. හෙළ අසිපත් මුවහත් කරගනු... ලෙයින් සපථ කරනු...

හෙළය දිනාගනු... සූර්ය ස්වස්තිකය සුරකිනු... මාගේ පුත්‍රවරුනි. නුඹලාට ජය... සූර්ය ස්වස්තිකයට ජය...

හෙළයට ජය...”

ඒ ප්‍රබල කටහඬ නිසල වෙත්ම, ගොඩනැගිල්ල පුරා හමා ගිය සුගන්ධවත් වායු ප්‍රවාහය කෙමෙන් නිසල වී ගියේය. ගෝරාවරුන් සත් කට්ටුවේ නළල මධ්‍යයේ වූ ආලෝක කදම්බය සෙමෙන් නිවී යත්ම, ඔවුන් මධ්‍යයේ දැල්වුණු පහනේ ආලෝකයද ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්විය. හුස්ම වාර කිහිපයකින් පසුව, ගැඹුරු ප්‍රශ්වාසයක් සමග ඔවුන් සෙමෙන් දෙනෙත් විවර කරත්ම, ඒ මහා ගෝරාවරුන්ගේ දෙනෙත් වලින් ගලා ගිය අධිෂ්ඨානාත්මක කඳුළු බිඳු දෙකොපුල් හරහා ගලා බසිද්දී, අසමසම වූ ප්‍රබලත්වයකින් යුතුව ඔවුන්ගේ දෑත් වල ඇඟිලි තරයේ මිට මෙළවී ගියේය.

මතු සම්බන්ධයි.

කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.