ආක්‍රමණිකයෝ ගවරන්දෙණිය ජලාශයට පිවිසෙති...

අගෝස්තු 9, 2019

සීතල හිමිදිරියේ උදා හිරු කිරණ පොළොව සිපගැනීමටත් පෙර සිම්ජාත්, ඔහුගේ සගයන් තිදෙනාත්, පෙරටු කරගත් මහා බළ සේනාව ගමන් ආරම්භ කළේ හෙළ දේශයේ මධ්‍ය කොටස හරහා ගොස් බටහිර දිශාවෙහි කඳවුරු බැඳගෙන සිටින අනෙක් බළ සේනාවන් ත්‍රිත්වය හා එක්වන්නටය. ඉදිරියෙන්ම ගමන් ගත් වයඹ දිග කාන්තාරවාසී ක්‍රෑර ලුන්ඩා ගෝත්‍රිකයන්ගේ සහයෝගයෙන්ද, ගුප්ත විද්‍යාවේ පරතෙරට පත් බටහිර මහාද්වීපයේ ප්‍රබල ගුප්ත විද්‍යාධාරී මෂ්පිණ්ඩි ගේ ජිබ්ලා අඳුනේ සහයෙන්ද ඔවුන් මෙසේ හෙළ දෙරණේ මධ්‍ය ප්‍රදේශය හරහා ගොස් බටහිර ප්‍රදේශයට පැමිණෙන අටියෙන් ගමන් ආරම්භ කළහ.

මේ වන විට සිම්ජා ඇතුළු සගයන්ගේ ආක්‍රමණශීලී ස්වරූපය බොහෝදුරට මන්දගාමීව පැවතියේ පසුගිය දින කිහිපයේ ඇතිවූ අනපේක්‍ෂිත සිද්ධි මාලාවත් සමඟය. ආක්‍රමණය සැලසුම් කරද්දී සහ මහා නෞකා බළ ඇණියෙන් ඔවුන් හෙළ දෙරණ වෙත පැමිණෙද්දී, හෙළයන්ගේ දේශය පිළිබඳව ඔවුන් සිතා සිටි සියල්ල දැන් කනපිට හැරී ගොසිනි. සිම්ජා බලාපොරොත්තු වූයේ කුඩා පැල්පත් වල වෙසෙන අඩ නිරුවත් ස්ත්‍රී පුරුෂයන්, සහ නිරුවත් ළමා ළපටින් ඇතුළු දුබල විරුද්ධත්වයක් සහිත ආදි කල්පික ගෝත්‍රික ජනතාවක් දැකීමටය. හරේරා අපේක්‍ෂා කළේ අඩ නිරුවතින් වෙසෙන රූමත් හෙළ යුවතියන් පන් සියයක් අල්ලාගෙන සිය නැව්වලින් වයඹ දිග දේශයට ගෙන යාමටය. ඉග්ලීස් රජු දත කට මැදගෙන සිටියේ හෙළ දෙරණ දිනා ගැනීමෙන් පසුව ලැබෙන ධනය ගැනය. ඔවුන් සිතුවේ හෙළ දෙරණ අල්ලා ගැනීම යනු තවත් එක් ජනපදයක් අත්පත්කර ගැනීමක් පමණක් ලෙසය.

එහෙත් දැන් සිදුවී ඇත්තේ එයට හාත්පසින්ම වෙනස් සිද්ධියකි. තමන්ට මුහුණදෙන්නට සිදුව ඇත්තේ ලෝකයේ එදා මෙදා තුර බිහිවූ ප්‍රබලම රණශූරයන් වූ හෙළ යක්ෂ ගෝත්‍රික ගෝරාවරුන්ට බව තේරුම් යන විට සියල්ල සිදුව හමාරය. අඩ නිරුවත් යුවතියන් වෙනුවට මේ ආක්‍රමණිකයන්ට හමුව ඇත්තේ අභිමානවත් රූප සෞන්දර්යකින් යුතු පංච කල්‍යාණයෙන් පරිපූර්ණ වූද, යුද්ධයේදී හී පහර ලත් දිවි දෙනුන් මෙන් අමානුෂික වූද ජයමාලි දේවිය වැනි අභීත හෙළ යක්ෂ ගෝත්‍රික කාන්තාවන්ටය. දුබල ප්‍රතිවිරුද්ධත්වයක් වෙනුවට ඔවුන්ට හමුව ඇත්තේ කළු දිවි ආරූඪයෙන් බළ ගැන්වුණු හෙළ අසිපත් කලාවේ අග්‍රගණ්‍ය වූ රණශූර මහා හර්ෂදේවයන් වැනි අධිමානුෂික සටන් ශිල්පීන්ය.

බටහිර ඩැන්මාරූ දේශයේ ඔටුන්න හිමි කුමරා වූ ජාගෙන් පමණක් මේ සියල්ල කල්තබා ඉවෙන්

මෙන් දැන සිටියේය. එහෙත් ඔහු සිම්ජාට ඇති හිතවත්කම නිසා කිසිවක් පැවසුවේ නැත. සිම්ජා ගේ කෑදරකම ගැන යටි සිතින් සිනාසුණු ජාගෙන්, මේ ආක්‍රමණයට සහභාගී වීම ගැන පසුතැවුණේ අන් කිසිවක් නිසා නොවේ, තමාගේත්, තම හිතෛශී සෙබළුන්ගේත් ඉරණම කෙසේ විසඳේද යන්න පිළිබඳවයි. ඔහුට නැවතත් තම ආදරණීය බිරිඳ සහ පුතුන් තිදෙනා සිහිවිය.

තම ජීවිතය අහිමි වුවහොත්, ඔවුන් එය කෙසේ දරාගනීද? හැරත්, ජාගෙන් මෙයට පෙර අසා තිබුණේ හෙළ රණශූරයන් විසින්, විදේශික චරපුරුෂයන් හෝ ආක්‍රමණිකයන් කිසිදු සාක්‍ෂියක් ඉතිරි නොකර මරා දමන බවයි. ගාවුලාගේ මරණයෙන් එය ඇස් පනාපිටම සනාථ වී ඇත. එය එසේ නම් තමන් හට සිදුවන්නේ කිසිදු හා හූවක් නොමැතිව හෙළයන්ගේ නිජ භූමියේ පසට පොහොරවන්නටද? ජාගෙන් ගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා හිරි වැටී ගියේය. ඔහු කිසිවක් නොකියා යම් අධිෂ්ඨානයකින් යුතුව සිය සගයින් හා ගමන් ගත්තේය.

මෙසේ කල්පනාකාරීව ඔවුන් හෙළ දේශය අභ්‍යන්තරය දක්වා වැටුණු මාර්ගය ඔස්සේ රට තුළට ගමන් කළේ මෂ්පිණ්ඩි ගේ මඟ පෙන්වීම ඇතිවය. කලින් ඔවුන් සතු වූ සිතියම දැන් හෙළයන් විසින්ම ගෙන ගොස් ඇත. ජයමාලී දේවිය හඹාගිය සිය ගණනක අශ්වාරෝහක බළ ඇණිය සමූල ඝාතනය කර, මෂ්පිණ්ඩිගේ දකුණත වැනි ගාවුලාගේ හිස පමණක් ත්‍යාග වශයෙන් එවා තිබේ. සිතියම ඔවුන් අතට පත් කළ නිට්ටෑවා සමඟින් ප්‍රධාන නෞකාව ගිනිබත් කර ඇත.

ඊට හිලව්වට මෙන් සිම්ජාගේ රාජකීයත්වය හඟවන්නා වූ වසර සිය ගණනක පටන් පැවත ආ පාරම්පරික රාජකීය වස්තුන් ද රැගෙන ගොස් තිබේ. නිම්හිම් නැති ක්‍රෝධයෙන් පිපිරෙමින් සිම්ජා, අනෙක් සගයන් සමඟ හැකි උපරිම වේගයෙන් ඉදිරියට ගමන් ගත්තේ හමුවන සෑම හෙළයෙක්ම හිස කෙස් ගසේ සිට පතුරු ගසන බලාපොරොත්තුවෙනි. යන ගමනේ ඔහු සිය තියුණු බර අසිපත උපයෝගී කරගෙන අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් අවට වූ ගස්වල අතු ඉති කපා හෙළනු දුටු ජාගෙන්, දත් මිටි කාගෙන සිය සිනාව නවතා ගත්තේය. හැකියාවක් තිබුණේ නම් ජාගෙන්,මේ විප්‍රකාරය දැක බඩ අල්ලාගෙන, කොක් හඬලා සිනාසෙනු ඇත.

එහෙත්... පුදුමයකට මෙන් ඔවුන්ගේ ගමන් මාර්ගයේ හමුවූ සියලුම ගම්මාන පාළුවට ගොස් තිබුණි. අඩුම තරමින් ගෙයක ඇතිකළ කුකුළෙක් වත් දකින්නට නොසිටීමෙන් හෙළයන්ගේ තොරතුරු සන්නිවේදන ජාලය කොතරම් සූක්‍ෂම සහ තීක්‍ෂණ දැයි මේ ආක්‍රමණිකයන්ට ඒත්තු ගොස් තිබිණ. මෙසේ සිංහල පැය ගණනාවක් ගමන් ගැනීමෙන් ඉක්බිතිව, ඔවුන් එතෙක් පැමිණි පටු මාර්ගය අවසානයේ, ගල් අල්ලා සකස් කර තිබූ කිසියම් ප්‍රධාන මාවතකට පිවිසියහ. දෙපස වූ මනාව සකස් කළ කානු පද්ධතියකින් සහ කිසියම් රථ ධාවනයකට සුදුසු අන්දමකට සකස් කළ මේ මාවත දුටු ඉදිරියෙන්ම ගමන් කළ ලුන්ඩා යෝධයෝ සිය ගමන මඳකට නවතා, සිම්ජා දෙස බැලූහ. පෙනී ගිය අන්දමට නම්, මෙම මාර්ගය හෙළ දෙරණේ මධ්‍ය ප්‍රදේශය සහ දක්‍ෂිණ ප්‍රදේශය යා කළ එක් ප්‍රධාන මාවතක් වූයේය. මෙහිදී ජිබ්ලා අඳුන් හෙප්පුව අත තබාගත් මෂ්පිණ්ඩි කැටුව සිම්ජා, ඉදිරියට ආවේය. ඔහු තරමක් වෙහෙසට පත්ව සිටියේය. මෙහිදී හරේරා ද ඔවුන් අසලට පැමිණියේය.

“මෙතනින් කොහාටද යා යුත්තේ කියා අපට මඟ පෙන්වනු මෂ්පිණ්ඩි. මාගේ අදහස අනුව නම් අප රට අභ්‍යන්තරයට යා යුතුයි. රට මැදින් ගොස්, බටහිර දිශාවට ගමන් කර අපේ අනෙක් සේනාවන් හා එකතු වි යුතු බවයි මගේ හැඟීම.”

හරේරා මෙහිදී පැවසීය. සිම්ජා විඩාපත් දෙනෙතින් ඔහු දෙස බැලීය. “මේ කරුමක්කාර හෙළයො නම් අමුතුම ජාතියක්. අඩුම ගානෙ එක ගමක හරකෙක්, එළුවෙක් තරමක සතෙක් වත් ඉතිරි කරලා නැහැ. සේරම කුදලාගෙන ගිහින්. අපිට යුද්ධ කරන්න වෙන්නෙ ගස් ගල් එක්ක තමයි. බියගුල්ලෝ. කොන්ද පණ නැති නීචයෝ. අප එන බව දන්න නිසා බයේ හැංගිලා ගිහින්. උන්ට පණ එන්නෙ රෑට විතරයි. මහ ලොකු නමගිය රණශූරයෝ... තුහ්... උන්ගෙ........”

මෙහිදී කෙළ ගසමින්, අසභ්‍ය වචනයෙන් හෙළ ජනතාවට බැණ වදිමින්, සාප කරමින් දැඩි කෝපයෙන් යුතුව සිම්ජා එහා මෙහා සක්මන් කරන්නට විය. මෙහිදී මඳ මොහොතක් සිය අත වූ අඳුන් හෙප්පුව දෙස බල සිටි මෂ්පිණ්ඩි රාවයක් නැඟීය.

“මට පෙනෙන විදිහට නම් කුමාරෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේ කියපු එක හරි. අප රට මැද මාවත ඔස්සේ බටහිරට යා යුතුයි. ඉදිරියෙන් තවත් තුන්මං හන්දියක් හමුවෙනවා. එතැනින් ඇති වඩා පුළුල් මාවත අප තෝරාගත යුතුයි. එතැනට ගොස් ඉදිරි මඟ සොයමු.”

මෂ්පිණ්ඩි එසේ පවසත්ම, සිම්ජා සිය තියුණු අසිපත ඔසවා සංඥාවක් දුන්නෙන්, ලුන්ඩා යෝධයින් පෙරටු කරගත් මේ සගයින් සිව්දෙනා, සිය සේනාවන් කැටුව ඒ දුර්ග මාර්ගය ඔස්සේ පෙරට යන්නට වූහ.

හෙළයන්ගේ දේශය අභ්‍යන්තරයට වැටුණු ඒ කඳුකර මාර්ගය ඔස්සේ පෙරට යත්ම, දේශ දර්ශනය වඩ වඩා සුන්දර වීය. දෙපස වූ ඝන කෑළෑවෙන් වැසී ගිය මාවත, ගල් පතුරු අල්ලා මනාව සකස් කර තිබූ අතර, මන්ද මාරුතයෙන් හමා ආ වියළි කොළ, ආක්‍රමණිකයන් පිළිගන්නාක් මෙන් ‘සර සර’ හඬින් ඇද වැටිණ. හරිත වර්ණයෙන් ඔප් නැඟුණු තණ ඇතිරියෙන් මවත දෙපස හැපී ගැවසී ගොස් තිබූ අතර, නේක වර්ණයෙන් යුතු පක්ෂීන්ගේ කිචි බිචියෙන් යුතුවූ ඒ වන ගහනය අතිශයින් සුන්දර වීය. සාවුන්, මීමින්නන් සහ වල් ඌරන් වැනි සතුන් ඉඳහිට ඔවුන්ට දිස් වූ අතර, රුක්අත්තන, නා, සපු, මොර වැනි වන මල්වල සුවඳ රැගත් වාතය, ආක්‍රමණිකයන්ගේ වුවද සිත් සතන් පිනවා ලූවේය. අතරමග වූ අති පිරිසිදු දොළ පහරවල්වල දිය පානයෙන් විඩා නිවාගත් මේ ආක්‍රමණික සේනාව, සිංහල පැය ගණනාවක් මෙසේ ඉදිරියට ගමන් කළහ. මෙසේ සැතපුම් ගණනාවක් ගමන් ගත් ඉක්බිත්තෙන්, ඔවුන් ඉදිරියේ දිස්වූයේ දැවැන්ත භූමි භාගයක් පුරා පැතිර පැවති සමාන්තර කඳුවැටියකි. මෙහිදී ඔවුන්ගේ මාර්ගය තුන් පැත්තකට බෙදී ගිය අතර, අර කඳුකරය දෙසට යොමු වූ වඩා පුළුල් මාවත ඔවුන් තෝරාගත්හ.

මෙහිදී එම මාර්ගය දැඩි බෑවුමක් ලෙසට තරමක් කෙටි කඳුගැටයක් ඉහළට නැඟී ගියෙන්, ඉදිරියෙන් ගමන් ගත් ලුන්ඩා යෝධයෝ යම්කිසිවක් බලාපොරොත්තුවෙන් එම මාර්ගයේ ඉහළට වේගයෙන් ගමන් කරන්නට වූහ. සැතපුම් භාගයක් පමණ ඉහළට නැඟුණු එම මාර්ගයෙන් අර කුඩා කඳුගැටය මතට නැඟුණු ලුන්ඩා යෝධයෝ කිසිවක් පෙන්වමින් අත් ඔසවා සංඥා කරන්නට වූහ. මෙහිදී සිම්ජා ඇතුළු සගයින් වේගයෙන් ඒ වෙතට දුවන්නට වූ අතර, පිටුපසින් පැමිණි අනෙක් සේනාව ඔවුන් අනුගමනය කළහ.

කුඩා කඳුගැටය මස්තකයට ළං වෙත්ම ඔවුන්ට ඇසුණේ දිය ඇල්ලක් වැටෙන්නාක් වැනි හඬකි. ක්‍රමයෙන් අර කුඩා කඳුගැටය මතට ළං වත්ම එය මහා හඬින් ඇසෙන්නට වූයේ කිසියම් දැවැන්ත ජල ප්‍රවාහයක් ගලා බසින්නාක් මෙනි. කඳුගැටය මතට පිවිසි සිම්ජාත්, ඔහුගේ සගයින් තිදෙනාත් ඇස් අදහාගත නොහැකි ලෙස තමන් ඉදිරියේ වූ දසුන දෙස භ්‍රාන්තව බලා සිටියහ. ඔවුන් ඉදිරියේ දිස්වූයේ අති විශාල ජලාශයක් නොහොත් වැවකි.

අක්කර සිය ගණනක් පුරා විසිරී පැවති ඒ නීල වර්ණ මහා ජල කඳ, පසෙක වූ විශාල ප්‍රමාණයේ ශෛලමය ඇළ මාර්ගයකින් ගලා ගොස් සැතපුම් කිහිපයක් ඈත පිහිටි අතිවිශාල දිය රෝදයකට ඇද වැටුණේ මුළු ප්‍රදේශයම දෙදරුම් කැවූ මහා හඬකිනි. ඒ ජල රෝදය මඟින් ක්‍රියාකාරී වූ අති විශාල කිසියම් යන්ත්‍ර ගණනාවක් ඔවුන්ට දක්නට ලැබුණූ අතර, එම යන්ත්‍රවලට ඈතින් පිහිටුවා තිබුණු ශෛලමය කුලුනු වලින් යුතු මහල් කිහිපයක ගොඩනැගිලි සංකීර්ණයක් දක්නට ලැබුණි. ඒ නම්, හෙළයේ නැගෙනහිර දිශාවේ දියවර රැන්දූ ගවරන්දෙණිය මහා ජලාශය වූයේය.

 

මතු සම්බන්ධයි.

 

කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.