හෙළයන් යනු කුමන අන්දමේ ප්‍රබල ජාතියක්ද...

අගෝස්තු 23, 2019

සිය සගයින් කැටුව මහා ජලාශයේ බැම්ම මතට නැගුණු සිම්ජා ඇතුළු සගයින් වටපිට බැලුවේ කරකියා ගන්නට කිසිවක් නොමැති අයුරිනි. සාගරය වැනි මෙවන් මහා ජලාශයක් මෙම කුඩා දිවයින තුළ ඇතැයි ඔවුන් කිසිසේත් නොසිතුවෝය. එසේම මෙවන් වාරි තාක්‍ෂණයක් හෙළයන් සතුව ඇතැයි ඔවුන් සිහිනෙන් හෝ නොසිතූහ. එහෙත් මෙවන් වූ මහා වැව් හතළිස් ගණනකුත්, කුඩා වැව් දෙසිය ගණනකුත් මේ හෙළ දෙරණ තුළ පවතින බව ඔවුන් දැන සිටියේ නම්....?

සිම්ජා කල්පනා කළේ මෙවන් වූ වැවකින් ජලය ගෙන හෙළයන් කුමක් කරන්නේද යන්නයි. බටහිර කාළවර්ණ දේශයේ මෙවන් විශාල වැව් එකල තිබුණේ නැත. ගංගා වලින් ජලය පීප්ප වලට ඇද, ඒවා වහලුන්ගේ කර මතින් හෝ, බූරුවන් පිට හෝ ඔටුවන් පිට පටවාගෙන විත් වගාවන්ට ජලය යෙදීම එහි සිරිත විය.

එසේම හරේරාගේ දේශය වූ කාන්තාර දේශයේ ක්ෂේම භූමි වල හැර අනෙක් ප්‍රදේශ වල ජලය තිබුණේ නැත. එම නිසා ගවයින් ඇති කරමින්, ඔවුන්ගේ කිරි හා මස් අනුභව කරමින් ජීවත් වූ හරේරාට ජලාශ වල එතරම් වැදගත් කමක් තිබුණේ නැත. එහෙත් නැගෙනහිර ෆූනෝ දූපත් වල ඉග්ලීස් රජු සහ බටහිර ඩැන්මාරූ දේශයේ ජාගෙන් කුමරු කෘෂිකර්මාන්තය පිළිබඳ හොඳ දැනුමක් තිබූ අය වූහ. හේතුව, ඔවුන් දෙදෙනාම ගොවිතැන් කළ ජාතීන්ගෙන් පැවත ආ හෙයිනි. මේ පිරිසත්, දහස් ගණනක මහා බළකායත්, වැව් බැම්මට ගොඩ වී ඒ දෙස බලා සිටිත්ම හරේරා, සෙමෙන් සිම්ජා අසලට ආවේය. “මට අදහසක් ආවා සිම්ජා කුමරුනි...”

ඔහු සිහින් ඉරි දෙකක් මෙන් වූ දෙනෙතින් සිම්ජා දෙස බැලීය. මෙහිදී අනෙක් සගයින් දෙදෙනාද, මොවුන්ට ළං වූහ.

“මම කියන්නේ අප මොන ආකාරයකින් හෝ මේ ජලාශය විනාශ කර දැමිය යුතුයි. එසේම, දැනට මෙහි ආරක්ෂාවට බළඇණියක් නතර කර, බටහිර දිගට යන ගමන දිගටම යා යුතුයි. එසේම බටහිර සේනාවන් සමග එක් වූ පසුව, අපට හැකියි හෙළ දේශය අල්ලා ගන්න. එහිදී අප ලබා දෙන එක සංඥාවකින් මේ ජලාශයේ රැඳී සිටින සේනාවට හැකියි මෙහි බැම්ම කඩා ජලාශය විනාශ කර දමන්න.”

සිම්ජාගේ මුවෙහි ඇඳී ගියේ ක්‍රෑර මද හසකි. ඔහු සෙමෙන් දෙඅත්ල පිරිමදිමින් සිනාසුණේය.

“නුඹේ මොළය නම්... අනර්ඝයි හරේරා.” කාළවර්ණ දේශවාසීන්ගේ බසින් සිම්ජා ප්‍රශංසා කළේය.

“නිසැකවම අප එය කළ යුතුමයි. එවිට මේ දීන හෙළයන් දැන ගනීවි අප කවුරුන්ද කියා. එහෙත් එය කළ යුත්තේ කෙසේද යන්න අප කතිකා කරගත යුතුයි. හේතුව, අර පෙනෙන ගොඩනැගිලි තුළ ජලාශයේ ආරක්ෂාවට සෙබළුන් සිටිනු නිසැකයි. අවම ජීවිත හානියකින් අපේ ඉලක්කය ජය ගැනීමට අප කතිකා කරමු. දැනට අප අර පෙනෙන වන ළැහැබ තුළට යමු සිම්ජා කුමරුනි...”

හරේරාගේ බස හිස් මුදුනින් පිළිගත් සිම්ජා ඇතුළු අනෙක් සගයින් සෙමෙන් වැව් බැම්මෙන් බැස,

වන රොදට ඇතුළු වූ අතර බළ සේනාවද, සෙමෙන් පසුබැස රුක් ගොමුවට ඇතුළු වී විඩා නිවා ගත්හ. වෙහෙසට පත්ව සිටි බොහෝ සෙබළුන් සුන්දර වනාන්තරයේ සිසිල විඳීමින් නින්දට වැටුණහ. සා පිපාසාවෙන් පෙළුණු ඔවුන් ඉන්පසුව ආහාර අනුභවයට පටන් ගත්හ.

ජලාශය වටා ගොස් අර ගොඩනැගිලි වලට ඇතුළු වන්නේ කෙසේද යන්න ඔවුහු සාකච්ඡා කළහ.

එසේම ජලාශය අත්පත් කර ගැනීමෙන් පසුව, පිරිසක් මෙහි නතර වී ජලාශය මුර කළ යුතු අතර, ඉතිරි අය බටහිර දිශාව බලා හැකි ඉක්මණින් යා යුතුය. ඉන් පසුව ඔවුන් බළ සේනාවන් සියල්ලම පෙරටු කරගෙන විත් හෙළයන්ගේ දේශයේ මධ්‍යස්ථානය වූ සමනළ ගිරට පහර දිය යුතුය. මෙහිදී හරේරා පිරිස දෙස බැලීය.

“අප කොහොමත් දැන් මේ ජලාශය අල්ලා ගන්නා බව ස්ථිරයි. ඉන් පසුව අප තිදෙනා බටහිර දිශාව බලා යා යුතුයි. අපගෙන් අත්දැකීම් අඩුම තැනැත්තා වන ජාගෙන්, ඔබ සිම්ජා කුමරුන්ගේ බළ ඇණියක් සමග නතර වී ජලාශය මුර කරන්න. මාගේ ලුන්ඩා ගෝත්‍රිකයන් සිය දෙනෙකුත් මා ඔබට දෙන්නම්. ඒ අතර අප තිදෙනා මේ ජලාශය වටා වැටී ඇති මාර්ගය ඔස්සේ බටහිර දිගට ගොස්, අනෙක් බළ සේනාවන් හා එක්වී සමනළ ගිරට පහර දෙන්නම්. එසේම දැන් රෑ බෝ වෙමින් එන නිසා අපට යුද්ධයකට කාලයක් නැති වේවි. අප මේ වනාන්තරය තුළ තාවකාලිකව කඳවුර බැඳගෙන හිඳ හෙට උදයේම බටහිර දිගට පිටත් වෙමු.”

මෙහිදී කිසිවෙකුගෙන් ඒ සඳහා විරුද්ධත්වයක් පැන නැගුණේ නැත. ඔවුහු සියලුම දෙනා කැමැත්ත ප්‍රකාශ කළහ. එහෙත්, ජාගෙන් මෙහිදී ගැටලුවකට මැදි විය. තමා බටහිර දෙසට නොගියහොත්, තම සේනාවද, මොවුන් හා එක්ව හෙළ දේශයට විරුද්ධව යුද්ධ කරනු ඇත. එහිදී ඔවුන්ගෙන් කී දෙනෙක් තම ජීවිත පූජා කරනු ඇත්ද? කී දෙනෙක් හට අත් පා අහිමි වනු ඇත්ද? ඔහු අහස පොළව ගැටලමින් කල්පනා කළේය. කළ යුත්තක් ඉක්මණින් කළ යුතුය. මෙය හරේරා සැලසුම් සහගතව කළ දෙයක්ද, නොඑසේ නම් අහම්බයකින් වූවේද යන්න ජාගෙන්ට ප්‍රශ්නයකි. එහෙත් අවස්ථාව අනුව කළ යුතු දේ කළ යුතු බව ඔහු තරයේ ඉටා ගත්තේය. අත්දැකීම් අඩුම තැනැත්තා යැයි හරේරා සඳහන් කළද, ජාගෙන් යනු බටහිර ඩැන්මාරූ දේශවාසී ජනතාවගේ අති දක්‍ෂතම අසිපත් ශිල්පධාරියා බවත්, ඔහු උගත් යක්ෂයා ඇදහූ ගෝත්‍රයේ ගුරුවරයා සමග කරට කර සිටි අසහාය සටන් ශිල්පියා බවත් මේ කිසිවෙකුත් හාංකවිසියක් හෝ දැන සිටියේ නැත. හයක් හතරක් නොතේරෙන අවිහිංසක කුඩා දරුවෙකු මෙන් නිතර සිනාවෙන් යුතුව සිටි

රන්වන් සෘජු කෙසැති, නිල්වන් දෙනෙත් සහිත මේ ප්‍රබල තරුණයා, ඩැන්මාරූ දේශයේ ගුප්ත විද්‍යාවේ පරතෙරට පත්ව සිටි තැනැත්තෙකු බව කිසිවෙකුත් දැන සිටියේ නැත.

“හොඳයි හරේරා. එසේ නම් මම මෙහි රැඳෙන්නම්. ඔබ සියලු දෙනා ඉක්මණින් බටහිර ප්‍රදේශයට ගොස් අපේ සේනාවන් සමග එක් වන්න.”

ජාගෙන් ගේ ප්‍රකාශයට සියල්ලෝම කැමැත්ත ප්‍රකාශ කළෙන්, ඉදිරියට කළ යුතු සියල්ල මෙහිදී කඩිනමින් කතිකා කරගත්හ. මෙහිදී ජාගෙන් පැවසුවේ කිසියම් යටි අරමුණක් ඇතිව බව කිසිවෙකුත් නොදත්හ. හෙළයින්ගේ ඔත්තු සේවාව සහ හෙළ රණ ශූරයන් ගැන ඔහු දන්නා සත්‍යය සැබෑ නම්, දැනටමත් තමන් මෙම ජලාශය අසලට ආ බව ඔවුන් දැන සිටිය යුතුය. එසේම දැනටමත් ඔවුන්ගේ ප්‍රබල බළ සේනාවන් මේ ප්‍රදේශය වටලා ඇත්දැයි කිව නොහැක. ඇතැම් විට ඔවුන් මේ වන විටත් තමන් දෙස බලා සිටිනු ඇත්ද යන්න ජාගෙන්ට සැකයක්ද තිබිණ. මන්ද යත් හෙළ රණ ශූරයන් යනු, ඝන අන්ධකාරයේ සටන් කළ හැකි වූද, මහා දහවලේ හිරු එළිය තුළද සැඟවීමට හැකියාව ඇති අසාමාන්‍ය ශක්තියකින් යුතු පුද්ගලයින් බව ජාගෙන් හොඳීන්ම අසා දැන සිටි බැවිනි.

බොහෝ වේලාවක් ඔවුන් මෙසේ සාකච්ඡා කරමින්, ආහාර අනුභව කරමින් විවේකීව ගත කළ අතර, ඉන් පසුව සගයින් සිව් දෙනා නැගී සිට සිය සෙනෙවියන් හට කළ යුතු දෑ මනාව පහදා දුන්හ. මේ අතර අනෙක් සෙනෙවියෝ, සිය සෙබළු සමග මුසු වෙමින් සටනට අවශ්‍ය දෑ සූදානම් කරන්නට යුහුසුළු වූහ. එසේම තවත් පිරිසක් තාවකාලික නවාතැන් පළවල් පිළියෙළ කළහ. සිංහල පැය ගණනාවක් මෙම කාර්යයට ගත වූ අතර, ක්‍රමයෙන් බිම් කළුවර වැටෙන්නට පටන් ගත් පසුව හෙට දිනයේ කරන්නට ඇති කාර්යයන් සිහි කරමින් සියලුම දෙනා කල් වේලා ඇතිව නින්දට වැටුණහ.

සියලුම දෙනා නින්දට වැටුණද, ජාගෙන් හට නින්දක් නොවීය. මැදියම් රාත්‍රිය වන තෙක් නිදි වර්ජිතව සිටි ඔහු සිය සම් වලින් තැනූ සයනයේ හිඳගෙන, වටපිට බැලීය. ආරක්ෂක සෙබළුන් හැර සියලුම දෙනා තද නින්දේ පසු වූහ. සෙමෙන් සයනයෙන් නැගිටගත් ඔහු, පුරුද්දට මෙන් සන්නාහ සන්නද්ධ වී, සෙමෙන් සෙමෙන් හඬ නොනැගෙන සේ පිය තබා ආරක්ෂක වළල්ල දෙසට ආවේය. මෙහිදී මුරට සිටි සෙබළු ජාගෙන් දැක, හිස නමා ආචාර කළහ. මුර සෙබළ වළල්ලෙන් පිටතට පැමිණි ඔහු ඉතා ප්‍රවේශමෙන් නිහඬව වැව් බැම්ම මතට ආවේය.

ඒ මහා ජලාශය ජාගෙන්ට පෙනී ගියේ නිහඬ මහා සාගරයක් මෙනි. මීදුම් පටලයෙන් ක්‍රමයෙන් වැසී යන තරු වැළින් සපිරි අහසේ තරමක ආලෝකයක් නිකුත් කරමින් බැබළුණු අඩ සඳෙහි එළියෙන් වැව් ජලය රිදී තලයක් ලෙස කැළුම් දුන්නේය. සෘජු කායෙන් වැව් බැම්ම මත දෑත් බැඳගෙන සිටගෙන සිටි ජාගෙන්, ඒ මහා වැව දෙස බලා ගැඹුරු සුසුමක් හෙළීය. මෙවන් වූ දැවැන්ත වාරි කර්මාන්තයක් කරන්නට තරම් දක්‍ෂතාවයක් ඇති හෙළයන් යනු කුමන අන්දමේ ප්‍රබල ජාතියක්ද? ඒ මහා තාක්‍ෂණය ඔවුන් කොතරම් ඉහළට ඔසවා තිබෙන්නේද? තමන් කිසිවක් නොසිතා ආක්‍රමණය කළේ මෙවන් වූ ශ්‍රේෂ්ඨ ප්‍රෞඪ උරුමයක් සහිත පෙරදිග ලෝකයේ මහා කේන්ද්‍රස්ථානයද?

 

මතු සම්බන්ධයි.

කතාව
හෙළසිරි ඉඳුනිල් මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.