“ආචාර කරනු. මේ අපේ හෙළ දේශයේ මහා රාජිනියයි...”

සැප්තැම්බර් 13, 2019

සිය සගයින් බටහිර දිශාව බලා පිටත්ව ගිය පසුව, ජාගෙන් සහ ඔහුගේ විශ්වාසී සේවක ෂෝඩූන්

බොහෝ වේලාවක් අර දිය රෝදය අසලට වී උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් කථා බස් කළහ.ජාගෙන්ගේ හිතෛශී සේවකයා වූ ෂෝඩූන් ද, ඩැන්මාරූ දේශයේ රාජකීයයන් අතර කුඩා කල පටන්ම ගැවසීමෙන් ලද අත්දැකීම් නිසාම, සිදුවන්නට යන අන්තරාය පිළිබඳව පෙර දැක්මකින් යුතු වූයේය. හෙළ යක්ෂ ගෝත්‍රිකයන් යනු ආගන්තුක සත්කාරයේ ලෝක ප්‍රසිද්ධ වූද, හදවතින්ම අවංක වූද අවිහිංසක මිනිසුන් කොටසක් වුවද, හෙළ දේශයටත්, හෙළ ජාතියටත්, සූර්ය ස්වස්තික ලාංඡනයටත් අනතුරක් වන්නේ නම්, එම ආක්‍රමණික සතුරන් සියලුම දෙනා අබිරහස් අන්දමින් ඝාතනය කරන්නටද දෙවරක් නොසිතන්නා වූද, අති ප්‍රබල රණශූර ජාතියක් බවද ෂෝඩූන් නොයෙක් විට අසා දැන තිබිණ. එම නිසා තම සෙබළුන් සහ හෙළ ගෝත්‍රිකයන් යන දෙපාර්ශ්වයම ආරක්ෂා කර ගනිමින් මෙම යුද්ධයෙන් මඟහැර යාමට හේතුවක් සොයමින්

මේ ස්වාමියාත්, අවංක සේවකයාත් පහත් හඬින් උනුන් හා කෙස් පැළෙන ලෙස තර්ක කළහ.

උදා හිරු නැගෙනහිරින් ඉහළට එසවී සිංහල පැය කිහිපයක් ගත වන තෙක්ම මේ ස්වාමියා සහ සේවකයා පහත් හඬින් සාකච්ඡා කළහ. ඒ අතර, කිසිදු ආක්‍රමණයක සේයාවක් වත් නොතිබුණෙන් ලුන්ඩා ගෝත්‍රිකයන් සහ සිම්ජාගේ සෙබළුන් අර දැවැන්ත යකඩ ගේට්ටුව අසල වූ පුළුල් මිදුලෙහි සිය සම් කූඩාරම් ඉදිකරන්නටත්, දැවැන්ත යකඩ හැළිවලට දිය පුරවා ගව මස් කුට්ටි දමා තම්බන්නටත්, ගිනි මැළ ගසා, දැවැන්ත මස් කුට්ටි පුළුස්සන්නටත් පටන් ගත්හ. ආක්‍රමණයක වගේ වගක් නොමැතිව ඔවුන් මෙසේ දිවා භෝජනයට සූදානම් වූ අතර, ඔවුන්ගේ සෑම ක්‍රියාවක්ම අංශුවෙන් අංශුවට නිරීක්‍ෂණය කරමින්, තවත් දෙනෙත් දහස් ගණනක් ඔවුන් අසලට සෙමෙන් සෙමෙන්, නිහඬව ළඟා වූ බව ඔවුන් දැන සිටියේ නැත.

ජාගෙන් සහ ඔහුගේ සේවකයා කථාබහේ නිරත වෙද්දී, එක් දැවැන්ත ලුන්ඩා ගෝත්‍රිකයෙක් අර

සැළියකින් එළියට ගත් දැවැන්ත ගව මස් කුට්ටියක්, තොළ කට ලෙවකමින් සිය මුහුණ අසලට ගෙන ආවේය. එහෙත් මාරයාගේ ඡායාව පැමිණියේ තියුණූ හී තලයක ස්වරූපයකිනි. දැවැන්ත වන ගහනයේ සිට වාතය කපාගෙන ආ තියුණු හී තලය, දැවැන්ත ගව මස් කුට්ටිය පසාරු කරගෙන අර කෑදරයාගේ මුව තුළට ඇතුළු වූයේ වාත වේගයෙනි. දත් සියල්ල කුඩු පට්ටම් කර දමමින් ඇතුළු වූ හී තලය, දැවැන්තයාගේ උගුර පසාරු කරගෙන අනෙක් පැත්තෙන් මතු වූයේ ඔහුගේ දිව මුළුමනින්ම කපා, බිම හෙළමිනි. අඩි කිහිපයක් පසුපසට උඩින් විසිවී ගිය ලුන්ඩා ගෝත්‍රිකයාගේ ප්‍රාණය නිරුද්ධ මළ සිරුර, වටයක් කරකැවී බිම ඇද වැටුණේ මුහුණේ ඇමිණුනු ගව මස් කුට්ටියත් සමඟිනි.

ඒ සමඟම අවට සිටි ලුන්ඩා ගෝත්‍රිකයෝ භ්‍රාන්තයට පත්ව, යටි උගුරින් කෑ ගසමින් සිය බර අසිපත් සහ මුගුරු අතට ගනිමින් නැඟිට ගත්හ. ඒ සමඟම එහි සිටි සියලුම ආක්‍රමණික සේනාව සිය අවි ආයුධ ඇද ගනිමින් සටනට සූදානම් වූ අතර, මේ කෝලාහලය ඇසුණු ජාගෙන් සහ ෂෝඩූන් ඒ දෙස හැරී බැලූහ. දකින්නට ලැබුණු දෙයින් තුෂ්ණිම්භූත වූ ඔවුන් දෙදෙනා මුහුණින් මුහුණ බලා ගත්හ. යම් කිසිවක් වටහාගත් මේ රණශූර නායකයා සහ ඔහුගේ සේවකයා ඉක්මණින්ම අර මියගිය ලුන්ඩා යෝධයා වැතිර සිටි තැනට දිව ආහ. වහාම පහත් වී මළ සිරුර පිරික්සා බැලූ ජාගෙන්, එසැණින්ම ෂෝඩූන්ගේ මුහුණ දෙස බැලුවේය. සුන්දර වූත් අසාමාන්‍ය ලෙස නිහඬ වූත් මේ ගුප්තමය වනාන්තරය තුළ නොදන්නා ඉසව්වක සිට මෙවන් ඉලක්කයක් ගන්නට හැකි දුනුවායා කුමන අන්දමේ අති දක්‍ෂයෙකු වන්නට ඇත්දැයි ජාගෙන් හට සිතුනා පමණි....

සිතා ගැනීමට වත් පෙරාතුව වාතය සිදුරු කරගෙන පැමිණි තියුණූ හී තලයක් තවත් දැවැන්ත

ලුන්ඩා යෝධයෙකුගේ හදවත පලාගෙන ගොස් අඩියක් පමණ පිටෙන් මතු වී ගියෙන්, මර හඬක්

නඟාගෙන ඔහු දණින් වැටී, බිම පෙරළී ගියේය. මෙහිදී වහාම සිය අසිපත් යුවළ ඇදගෙන ජාගෙන් නැඟී සිටි අතර, ෂෝඩූන් ඇතුළු අනෙක් සියලුම ආක්‍රමණික සේනාව සිය ආයුධ අමෝරාගෙන, තියුණු කරගත් දෙනෙත් වලින් යුතුව අවට වන ගහනය පිරික්සා බලන්නට වූහ. ඒත් සමඟම තුන්වන වර මාරක ශර ප්‍රහාරය එල්ල වූයේ සිම්ජා නවතා ගිය බළ සේනාංකයේ ප්‍රධාන සෙනෙවියා වෙතය. හරියටම ඔහුගේ දෙනෙත් මධ්‍යයෙන් නළල පලාගෙන ගිය හී තලය අනෙක් පසින් පිට වූයේ හිස් කබල මුළුමනින්ම පුපුරුවා හරිමින්, මොළ කැබලි සීසීකඩ විසුරුවමිනි. අස්වාභාවික මර හඬක් නඟමින් ඒ සෙනෙවියාගේ මළ සිරුර දෙරණ සිපගත්තේය.

මෙහිදී එම සෙනෙවියාගේ සේනාංකයේ සෙබළුන් මාරාවේශ වූවන් මෙන් වන ගහනය දෙස බලමින් අවි අමෝරාගෙන කෝපයෙන් කෑ ගසන්නට වූහ. ඒ කෑගැසීම, තවත් මාරක හී තල වලට කල ආරාධනයක් මෙන් විය. සුන්දර වනාන්තරය තුළ සිට වාතය කපාගෙන පැමිණි හී තල වලින් ලුන්ඩා යෝධයින් සහ සිම්ජාගේ සෙබළුන් එකිනෙකා මරණයට පත් වූහ. ආක්‍රමණිකයන්ට කළ හැකිව තිබුණේ කෝපයෙන් කෑ ගසමින්, අවි අමෝරාගෙන එහා මෙහා දිවීම පමණි. ඒ අතර ගුවන් තලය සිසාරා පැමිණි තියුණු හී තලවලින් සෑම තත්පර කිහිපයකට වරක්ම එක් ජීවිතයක් ඔවුන්ට අහිමි විය. ජාගෙන්ට කළ හැකිව තිබුණේද, විමතියෙන් ඒ දෙස බලා සිටීම පමණි. අසාමාන්‍ය නිවැරදි බවකින් යුතුව පැමිණි ඒ කාළවර්ණ තියුණු හී තල එකක් වත් අපතේ ගියේ නැත. සෑම හී තලයක්ම පැමිණියේ ආක්‍රමණිකයන්ගේ ජීවිතයක් ඩැහැ ගැනීමටය.

සිංහල පැය දෙකක් ගත වෙත්ම, ඒ වැව් බැම්ම මත සිටි ලුන්ඩා යෝධයෝ සිය දෙනාම සමූල ඝාතනය කරන්නට නිහඬ දුනුවායන්ට හැකියාව ලැබී තිබිණ. ඒ අතර සිටි සිම්ජා ගේ සේනාංකයේ සෙබළුන් දෙසිය දෙනාගෙන් ඉතිරිව සිටියේ හතළිස් ගණනක් පමණි. ඔවුන්ද මේ වන විට භ්‍රාන්තව, කරකියා ගන්නට දෙයක් නොමැතිව එහා මෙහා දුව පනිමින් සිටියහ.

ඒ සමඟම සිම්ජාගේ එක් සෙබළෙක් යටි උගුරින් කෑ ගසමින් අත දිගු කර යමක් පෙන්වමින් ජාගෙන් දෙසට දුවන්නට වීය. ඒ දෙස තියුණූ දෙනෙතින් බලත්ම, ජාගෙන් දුටුවේ කාළවර්ණ සන්නාහයෙන් සැරසීගත් අභිරාමවත් රූප සෞන්දර්යයෙන් යුතු කාන්තාවක් සිය ජවාධික කඟවේණා පිට නැඟී වැව් බැම්ම මතට නැඟුණ ආකාරයයි. දුටු වනම ඒ කවරෙක් දැයි හඳුනා ගන්නට ජාගෙන් සමත් වූ අතර, ෂෝඩූන් සිය ස්වාමියාගේ මුහුණ දෙස තරමක් බියෙන් බලා සිටියේය. ඒ සමඟම වැව් බැම්මේ වන ගහනය දෙසින් ප්‍රබල ගෝරාවරුන් ප්‍රධාන හෙළ බළ සේනාව සෙමෙන් සෙමෙන් වැව් බැම්ම මතට නැඟුණහ. මෙහිදී සිම්ජාගේ සේනාව එක තැනකට රොක් වූ අතර, ජයමාලී දේවියගේ දකුණු පසින් පැමිණියේ නැගෙනහිර දිශාව භාර හෙළ සටන් ශූරයා වූ මහා හර්ෂදේවයන්ය. ඔහුගේ වමතේ වූයේ කැටයම් සහිත ඉතිහාසගත ප්‍රබල දුන්නයි.

ජාගෙන් ගේ මුවට සිනාවක් නැඟුණි. එසේ නම් සැකයක් නැත. තමන්ට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ තමා කලින් දැක පුරුදු ඇත්තා වූද, අස්වාභාවික ලෙස තමන්ට හුරු පුරුදු ඇත්තා වූද, මහා රණශූරයා හටය.

හර්ෂදේවයන් ක්‍රමයෙන් ඉදිරියට එත්ම, ජාගෙන් වටා සිටි සිම්ජාගේ සේනාංකයේ සෙබළුන් අසිපත් අමෝරාගෙන ඉදිරියට පැන්නේ හර්ෂදේවයන් හට මුහුණ දෙන්නටය. එහෙත්... නැගෙනහිර දිග රණශූරයා සමඟ දෙපසින් ඉදිරියට පැමිණියේ ඔහු නායකත්වය දෙන මහා ශාර්දූල ගෝරා බළකායයි. එනම් අස්වාභාවික හැකියාවන්වලින් යුතු වූද, කළු දිවි ආරූඪයෙන් බළ ගැන්වුණු අසිපත්ධාරී නැගෙනහිර ගෝරා බළ ඇණියයි. තියුණු අසිපත් අමෝරාගෙන ඉදිරියට පනින සිම්ජාගේ සේනාංකයේ සෙබළුන් එකෙකු නෑර සිය තියුණූ අසිපත් පහරින් හෙළ දෙරණත හොවාලන්නට ඒ ගෝරාවරුන් සමත් වූහ. ඒ ආශ්චර්යවත් හෙළ අසිපත් කලාව සිය දෙනෙත් අබියස යළිත් විරාජමාන වෙද්දී ජාගෙන්, කට කොණකට නගාගත් සිනාවෙන් යුතුව ඒ දෙස බලා සිටියේය. ඔහු සිය අසිපත් යුවළට අත තැබුවේ වත් නැත. විශ්වාසී සේවක ෂෝඩූන්, බටහිර දේශවාසී සේනාව හෙළයන් අතින් සමූල ඝාතනය වෙද්දී ස්වාමියාගේ මුහුණේ පැතිර යන සිනාව දෙස විමතියෙන් බලා සිටියේය.

හෙළ බළඇණියේ ඉදිරියෙන්ම ගමන් ගත් හර්ෂදේවයෝ, සිය අවසාන සතුරාද කපා හෙළා, ලේ

වැකි ගිය ගෝරා අසිපත් යුවළින් ලේ ගසා හෙළා, ක්‍ෂණිකව කොපු තුළ රුවා ගත්හ ලාලිත්‍යවත් ලෙස විසිරී ගිය කෙස් කළඹ පිටට වැටෙන සේ ගස්සා හිස එසවූ ඔහු ඉදිරියේ වූයේ අර යකඩ ගේට්ටුව අබියස සිටි ජාගෙන් සහ ෂෝඩූන් පමණකි. තියුණූ දෙනෙතින් යුතුව ඒ දෙදෙනා දෙස බැලූ හර්ෂදේවයන්ගේ සිතට දැනී ගියේ මේ දෙදෙනා හට හානියක් නොකළ යුතුය යන්නයි. පියවර කිහිපයක් ඔවුන් දෙසට තැබූ හර්ෂදේවයෝ ආපසු හැරී, සිය අභිමානවත් සිනාවෙන් යුතුව ජයමාලී දේවිය දෙස බැලූහ. ඇයගේ මාර්ගය මුළුමනින්ම පැහැදිලි බව එයින් කියවුණේද? සියල්ල තේරුම් ගත් ජයමාලී දේවිය, අභිමානවත්ව සිය ප්‍රෞඪ කඟවේණා වූ ධමූලා පිට නැඟී සිය රාජකීය පෞරුෂය විරාජමාන කරමින් බිම වැතිර තිබූ මළ මිණී අතරින් ඉදිරියට විත්, ජාගෙන්ට පියවර පනහකට පමණ මෑතින් නතර වූවාය. ඒ අභිමානවත් රූමතිය ගේ මහේශාක්‍ය විලාශය දුටු ජාගෙන් ඉදිරියට ඇදුණේ ඉබේටමය. ඒ දුටු ෂෝඩූන් ද තැති ගැන්මෙන් යුතුව සිය ස්වාමියා පිටුපසින් පෙරට ඇදුණේය.

ජයමාලී දේවිය අසල සිටි හර්ෂදේවයෝ, ජාගෙන් සහ ෂෝඩූන් ඉදිරියට පැමිණෙනු බලා සිටියහ.

ජයමාලී දේවියට පියවර දහයකට පමණ ළං වන තුරු ජාගෙන් ඉදිරියට ආවේය. මෙහිදී හර්ෂදේවයෝ, අර දිය රෝදයේ මහා හඬ ඉක්මවා යන හඬින් බටහිර දේශවාසීන්ගේ බසින් ජාගෙන් ඇමතීය.

“ආචාර කරනු... මේ අපේ හෙළ දේශයේ මහා රාජිනියයි... තුන්වන මහාසිද්ධ මහරජතුමන්ගේ බිසව. ජයමාලී දේවියයි...”

බටහිර ඩැන්මාරූ දේශයේ ඔටුන්න හිමි රණශූර කුමරුවා කිසිදු විරුද්ධත්වයකින් තොරව, නිහතමානී ලෙස අඩ දණීන් නැවී පපුවට අත තබා, සිය රාජකීය ආචාරය ජයමාලී දේවියට එසේ පිරිනමද්දී, ඔහුගේ විශ්වාසී සේවකයා දණ බිම තබා රාජකීය ආචාරය ජයමාලී දේවියට පුද කරනු, හර්ෂදේවයෝ ප්‍රෞඪ මන්දහාසයකින් යුතුව බලා සිටියහ. ඒ සමඟම හර්ෂදේවයෙන් ගේ මුහුණ දෙස බැලූ ජාගෙන් ගේ මුහුණේ ද එවැනිම වූ සුන්දර පිළිතුරු මන්ද හාසයක් ඇතිවනු, ෂෝඩූන් විමතියෙන් යුතුව බලා සිටියේය. මේ සිදුවන්නට යන්නේ කුමක්ද?

 

මතු සම්බන්ධයි.

කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.