නුඹ පිට කෙනෙක් නොවෙයි ජාගෙන්. නුඹ අපේම කෙනෙක්...”

සැප්තැම්බර් 20, 2019

සිසිල් සුළං රැළි දසතින් හමා යද්දී, නැගෙනහිර බලනගිර බළකොටුවේ නංවා තිබූ ධජ පතාක, තේජාන්විත අන්දමින් සෙමෙන් රැළි නංවාලීය. සන්ධ්‍යා සූර්යාලෝකය වැදී ආලෝකමත් වුණු ඒ දැවැන්ත බළකොටුවේ මහා ශාලාවේ ඕවාලාකාර විශාල මේසය අබියස තිබූ කැටයම් සහිත කළුවර දැවයෙන් කළ පුටුව මත හිඳ සිටි ජයමාලී දේවිය, තමා අබියස සෘජුකායෙන් සිටගෙන සිටි නිල්වන් දෙනෙත් සහිත, රන්වන් හිස කෙසැති බටහිර දේශවාසී ප්‍රබල තරුණයා දෙස බලා සිටියාය.

සතුරු සේනාවක් සමග හෙළ දෙරණ ආක්‍රමණයට පැමිණියද මෙම තරුණයා ගේ සුවිශේෂී බව මුල සිටම හර්ෂදේවයන් විසින් මහාසිද්ධ මහරජතුමන් සහ ජයමාලී දේවියත්, අනෙකුත් ගෝරාවරුන්ද දැනුවත් කර තිබීම හේතුකොට ගෙන, මෙම සුවිශේෂී තැනැත්තා නොමරා, ජීවග්‍රහණයෙන් ගෙනවුත් ප්‍රශ්න කිරීමට ඔවුන් මුල සිටම සැලසුම් කර තිබිණ. ජාගෙන් ගේ පිටුපසින් ඔහුගේ විශ්වාසී සේවක ෂෝඩූන් සිටගෙන සිටි අතර, මහා හර්ෂදේවයෝ, ප්‍රතාපවත් පද පාතයෙන් ඒ අසලින් එහා මෙහා සක්මන් කළහ. පූර්ණ ආයුධ සන්නද්ධව ශාලාවේ හාත්පසින් පෙළ ගැසී සිටියේ හර්ෂදේවයන් නායකත්වය දුන් මහා ශාර්දූල බළකායේ ගෝරා බළඇණියයි.

උදය වරුවේ වෑකන්ද මත සිදුවූ සටනින් පසුව ජාගෙන්, කිසිදු විරුද්ධත්වයක් නොදක්වා ජයමාලී දේවිය සහ හර්ෂදේවයන් හමුවේ යටත් වීමෙන් පසුව, ඔහුව නිරායුධ කොට නැගෙනහිර බලනගිර බළකොටුව වෙත ගෙන එන ලදී. මේ ආගන්තුක රණශූරයා යටත් වීමෙන් පසුව වුවද කිසිදු බියක් නොදක්වා ඉතාම සන්සුන් ලීලාවෙන් සිටීම ජයමාලී දේවියගේ මෙන්ම නැගෙනහිර දිසාව භාර රණශූර හර්ෂදේවයන්ගේද පුදුමයට හේතුවක් විය. කෙසේ වුවද, දිවා ආහාරයෙන් පසුව ජයමාලී දේවියගේත්, මහා හර්ෂදේවයන් ගේත් දහසක් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට ජාගෙන්ට සිදු විය. ඔහුගේ විශ්වාසී සේවක ෂෝඩූන් හටද එම ඉරණමම අත් වූයේය.

“එසේ නම් ජාගෙන්, නුඹ අප සමග පවසා සිටි සියල්ල සත්‍යය යැයි මා විශ්වාස කරනවා. එහෙත් මේ දක්වා අප ජීවග්‍රහණයෙන් ගත් කිසිදු සතුරෙකුට සමාවක් ලැබුණේ නැහැ.” හර්ෂදේවයන්ගේ මේ වදන් වලට ජාගෙන් ගේ මුවෙහි අර සුන්දර සිනාව මතු වීය. බටහිර දේශවාසීන්ගේ භාෂාව චතුරව හසුරුවන මේ හෙළ දේශීය රණශූරයා පිළිබඳව ජාගෙන් තුළ ඇති ගෞරවය තවත් වැඩි විය. සතුරෙකුට වුවද සලකන ආකාරය හෙළ රණශූරයෝ මැනවින් ප්‍රගුණ කර සිටියහ. “දැන් නුඹ අපට තවත් කරුණු කිව යුතුයි ජාගෙන්. නුඹ සතු අසිපත් යුවළ මා මැනවින් පරීක්‍ෂා කරනු ලැබුවා. එහි එක් තැනක අපේ ලාංඡනයක් සටහන් වී තිබෙනවා.” හර්ෂදේවයන් එසේ පවසත්ම, ජයමාලී දේවිය විශාල වු තියුණු දෙනෙතින් යුතුව ඔහු දෙස ක්‍ෂණික බැල්මක් එල්ල කළාය.

“අපේ ලාංඡනයක්... ඒ කුමක්ද මාගේ පුත්‍රය?”

ජයමාලී දේවිය එසේ විමසත්ම මහා හර්ෂදේවයෝ, දැවැන්ත මේසය මත තබා තිබූ ජාගෙන් ගේ

අසිපත් යුවළින් එක් අසිපතක් ගෙන, රන්මුවා කොපුවෙන් එළියට ඇද, ගෞරව පූර්වකව එහි මිට පැත්ත ජයමාලී දේවිය දෙසට දිගු කළේය. එම අසිපත අතට ගනිත්ම, ජයමාලී දේවියගේ දෙනෙත තීක්‍ෂණ ස්වභාවයකට පත් වූයේය. ඇය ඒ සැණින් ජාගෙන් දෙස තියුණු බැල්මක් එල්ල කළාය.

“අපේ ස් ව ස් ති ක ය....... කියනු ජාගෙන්... නුඹට කොහෙන්ද මේ අසිපත ලැබුණේ? කවරෙකු විසින් හෝ ඒ අසිපත නුඹට පිරිනැමුවාද? නැතහොත්, නුඹ කිසිවෙකු මරාදමා එය නුඹ සතු කරගත්තාද?”

ඇය ශාලාව රැව් පිළිරැව් දෙන තියුණු හඬින් ජාගෙන් ගෙන් ප්‍රශ්න කළාය. නිල්වන් දෙනෙතැති

රණශූරයා ගෞරවාන්විත ලෙස හිස නවා ආචාර කළේය. “අවසරයි බිසවුන් වහන්ස... එය මාගේ පිය පරපුරෙන් මට ලැබුණු දායාදයක්. ඩැන්මාරූ දේශයේ ඔටුන්න හිමි පරපුරට දායාද වූද, උත්තරීතර ෂාල්ඩර් දෙවි පියාණන්ගේ ආශීර්වාදය ලද්දා වූද අන්ඛේට්‍රා අසිපත් කලාවේ අසමසම කෞතුක වස්තුවක්.”

මෙහිදී හර්ෂදේවයෝ තියුණූ දෙනෙතින් ජාගෙන් දෙස බැලූහ.

“අන්ඛේට්‍රා අසිපත් කලාව? එහෙත් මේ අසිපත එහි කෞතුක වස්තුවක් වූයේ කෙසේද?”

ජාගෙන් මෙහිදී එසේය කියන්නාක් මෙන් හිස සැලීය.

“එය සත්‍යයක් හර්ෂදේව. අන්ඛේට්‍රා අසිපත් කලාවේ මූලාරම්භය පෙරදිග ලෝකයෙන් සිදුවූ බවයි මාගේ මුත්තණුවන් පවසා සිටියේ. වසර දහස් ගණනාවකට පෙරාතුව අපගේ අධිරාජ්‍යය කාළවර්ණ මහා දේශය දක්වා පැතිර තිබුණා. එකල අපගේ අධිරාජ්‍යයෙකු වූ ෆේරාස් ගේ ඉතාම හිතවත් මිතුරෙකු වූ තාරූ නමින් හඳුන්වනු ලැබූ පෙරදිග මහා අධිරාජ්‍යයෙකු බටහිර දේශයට බෙහෙවින් උපකාර කළ බව, අපගේ පුරාවෘත්ත වල සඳහන්. ඒ මහරජතුමන් විසින් අපගේ පිරමිඩාකාර සොහොන් කොත් තනා ගැනීමට අවශ්‍ය තාක්ෂණය ලබා දුන්නු බවට අපගේ සොහොන් ගැබ් වල දැක්වෙනවා. එසේම අතිවිශාල ගල් කුට්ටි කපා ගැනීමටත්, ඒවා සියුම්ව ඔප මට්ටම් කර ගැනීමටත්, මළ සිරුරු මමීකරණය කිරීමටත් අවශ්‍ය තාක්ෂණය පෙරදිග ඒ

මහරජතුමන් සහ වැසියන් ලබා දුන් බවට පුරාණ පැපිරස් පත්ඉරු වල දැක්වෙනවා. එසේම යුද්ධ වලදී අපට සටන් තාක්‍ෂණය පවා ඒ තාරූ මහරජතුමන් ලබාදුන් බවට සඳහන්. අග්නියත්, වායුවත් එක සේ හැසිරවිය හැකි මහා ප්‍රබලයෙකු වූ ඒ තාරූ මහ රජාණන් අසමසම වෛද්‍යවරයෙකු ලෙසත් සලකනු ලබනවා.

ඒ කාලයේදී අපගේ අධිරාජ්‍යය සහ එකල වයඹ දිග කාන්තාරවාසී ගෝත්‍රිකයින් අතර ඇතිවූ මහා

යුද්ධයේදී අර සටන් තාක්‍ෂණය අපගේ රණශූරයන් භාවිතා කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සිය දහස් ගණනක් මිනිස් ජීවිත විනාශ වී ගොස් තිබූ අතර, අදටත් කාළවර්ණ මහාද්වීපයේ ඉහළ කොටස ජන ශූන්‍ය නිසරු කාන්තාරයක් බවට පත්ව තිබෙනවා. එම සිදුවීමෙන් ඇති වූ සිත් තැවුලෙන් පසුව අපගේ පෙර රජවරුන් එම කාළවර්ණ මහාද්වීපය අත්හැර දමා තිබෙනවා.

එහෙත් එම සටන් ශිල්පය අප පරපුරෙන් පරපුරට පැවත ආවා. මාගේ මී මුත්තණු කෙනෙක් සතුව තිබූ අසිපත් මාගේ මුත්තණුවන් හටත්, එතුමන්ගෙන් පසුව මා හටත් උරුම වූවා. මේ ඒ අසිපත් යුවළයි. මාගේ මුත්තණුවන් පවසා සිටියේ එකල පෙරදිග මහා අධිරාජ්‍යයා වූ තාරූ ගේ ප්‍රධාන රණශූරයා වූ මහාසංඛ නමැති සෙනෙවියා, හිතවත්කමේ සංකේතයක් වශයෙන් ඔහුගේ අසිපත් යුවළ අපගේ එකල මහරජතුමන් වෙත පිරිනමා ඇති බවයි.

යම් දිනෙක ඒ අසිපත් යුවළෙහි නියම හිමිකරු හමුවන බවත්, ඒ අසිපත් යුවළ ඒ දේශය සොයා යන බවට අනාගත වාක්‍යයක් ඇති බවත් මුත්තණුවන් මා හට පැවසුවා. ඒ අසිපත් යුවළ අද මා සතුව පවතිනවා. මා, සිම්ජා සමග යුද්ධයට පැමිණියත් මේ දේශයට විරුද්ධව එම අසිපත ඔසවන්නට සිත් දුන්නේ නැහැ. මා...”

ජාගෙන්ට තවත් කථා කරන්නට ඉඩක් නොලැබුණි. ක්‍ෂණිකව ඔහු වෙත ආ හර්ෂදේවයෝ දෑතින්ම ඔහුගේ දෙවුරහිසින් අල්ලා ගත්හ. ප්‍රහර්ෂයෙන් දීප්තිමත් වූ හර්ෂදේවයන්ගේ දෙනෙත දකිත්ම, ජාගෙන් ගේ දෙනෙත දීප්තිමත් වී ගියේය. ජයමාලී දේවියද, ක්‍ෂණිකව මෙහිදී නැගිට සිට ගත්තාය. කිසිවක් වටහා ගැනීමට නොහැකි වූ ෂෝඩූන් ඇස් මහත් කර මේ සිදුවීම දෙස බලා සිටියේය.

“නුඹ............. නුඹ පිට කෙනෙක් නොවෙයි ජාගෙන්... නුඹ අපේම කෙනෙක්...”

හර්ෂදේවයන්ගේ දෙනෙත සතුටු කඳුළින් පිරී ගියේය. ජාගෙන් මහත් විමතියට පත් විය.

“තාරූ යන නමින් නුඹලා හැඳීන්වූයේ අපගේ හෙළයේ පුරාණ තාරක මහා අධිරාජ්‍යයායි. උන් වහන්සේ බටහිර දේශයට බොහෝ උපකාර කර තිබෙනවා. එසේම බටහිර දේශයෙන්ද එතුමන්ට බොහෝ ත්‍යාග සහ කීර්ති ප්‍රශංසා ලැබී තිබෙනවා. එතුමන්ගේ ප්‍රධාන රණශූරයා වූ මහාසංඛ සෙනෙවියා යනු මාගේ පරපුරේ ආදිම මුත්තණුවන් කෙනෙක්. හෙළ අසිපත් කලාවේ අති දක්‍ෂයෙකු වූ එතුමන් විසින් බටහිර සේනාංක පවා පුහුණු කර, යුද්ධ වලට උපකාර කර තිබෙනවා. නුඹට මා දෙයක් පෙන්වන්නම් ජාගෙන්... නුඹට එය ඇස්පනාපිටම බලා තීරණය කළ හැකියි.”

මෙසේ කියූ මහා හර්ෂදේවයෝ සිය මහා ගෝරා අසිපත් යුවළ කොපුවෙන් ඇද, එම පෞරාණික

අසිපත් යුවළ ජාගෙන් හටත්, ජයමාලී දේවියටත් පෙනෙන ලෙස ජාගෙන් ගේ අසිපත් අසලින්ම අනෙක් පැත්තෙන් තැබීය. එය දුටු ශාලාවේ සිටි සියල්ලෝම හුස්මක් ඉහළට ඇද ගත්හ. එම අසිපත් යුවළෙහි වූයේ අති මහත් සමානකමකි. එසේම එහි රන්මුවා මිටෙහි පහළට වන්නට ඇත්දළයෙන් තැනූ කොටසෙහි හෙළ යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් මහාසංඛ සෙනෙවියාගේ සංකේතය ඔබ්බවා තිබිණ. දෙනෙත් මහත් කොට ඒ දෙස බැලූ ජාගෙන්, ඉමහත් පුදුමයෙන් හර්ෂදේවයන් ගේ දෑතින්ම තරයේ අල්ලා ගත්තේය.

“එසේ නම් හර්ෂදේව... මා නුඹලාට පිටස්තරයෙක් නොවෙයි...”

හර්ෂදේවයෝ ඉමහත් සොම්නසින් යුතුව වැගිරෙන සතුටු කඳුළු දහරින් යුතුව ජාගෙන් ගේ දෙනෙත දෙසම බලා සිටියේය. ඔහු හිස සැලීය.

“අනාගත වාක්‍යය සත්‍යයක් ජාගෙන්... නුඹ ඒ මහා උරුමයත් රැගෙන අපගේ දේශයට පැමිණියා. අප පිටස්තරයන් නොවෙයි. අප පුරාණයේ සිට පැවතෙන ශිල්ප සහෝදරයන්. අප කෙසේ හෝ මේ ව්‍යසනයෙන් අපගේ දේශයත්, නුඹගේ බළ සේනාවත් ගළවා ගත යුතුයි. දැන් අපට එක් වී ක්‍රියාත්මක වන්නට වේලාවයි..”

සියල්ල එසේ විසඳී යාම ගැන දෙවියන්ට කෘතඥ වන්නාක් මෙන් ෂෝඩූන්ගේ සිනා සපිරි මුහුණ

අසීමිත භක්තියකින් අහසට යොමු වෙද්දී, ජයමාලී දේවියත්, ඔවුන් වටා සිටි මහා ශාර්දූල බළකායේ ගෝරා බළඇණියත්, ප්‍රෞඪ මන්ද හාසයෙන් යුතුව මේ ප්‍රබල වූත්, හෘදයාංගම වූත් සටන් ශිල්පීන් දෙදෙනා දෙස ඇසිපිය නොහෙළා දැඩි බැල්මෙන් බලා සිටියහ.

 

මතු සම්බන්ධයි.

කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.