සතුරු කඳවුරට නොපෙනී යන්නට සැරසී...

සැප්තැම්බර් 27, 2019

සියල්ල එපරිද්දෙන් සාමකාමී නැගෙනහිර බලනගිර බළකොටුවේ සිදු වෙද්දී, සිම්ජාත්, ඔහුගේ අනෙක් සගයන් දෙදෙනාත්, සිය බළඇණි කැටුව හැල්මේ ගමන් කරන්නට වූයේ බටහිර දෙසින් ගොඩ බට ඔවුන්ගේ අනෙක් බළ සේනාවන් සමග එක් වීමේ අරමුණෙනි. නැගෙනහිර දෙසින් ගොඩ බට සේනාවට වඩා අති විශාල සෙබළුන් ප්‍රමාණයක් බටහිර දෙසින් හෙළ දෙරණට ගොඩ බැස සිටි අතර, ඔවුන් අතර ආක්‍රමණික දේශයන් හතරේම සෙබළුන් විශාල ප්‍රමාණයක් වූහ. එපමණක් නොව යුද්ධයටම පුහුණු කළ දරුණු යුද ඇතුන් බළඇණියක්ද, අශ්වාරෝහක සෙබළුන් දහස් ගණනක බළ සේනාවක්ද, වයඹ දිග කාන්තාරවාසී ලුන්ඩා ගෝත්‍රිකයන් දහස් ගණනක සේනාවක්ද වූහ. එම ලුන්ඩා ගෝත්‍රිකයන් සියලුම දෙනා මිනී මස් අනුභව කරන්නන් වූ අතර හෙළ යක්ෂ ගෝත්‍රිකයන් මරා එම රුධිරය අමු අමුවේ පානය කර අමරණීය වන්නටත්, ගැබිනි හෙළ කාන්තාවන් පණ පිටින් සිටියදීම ඔවුන්ගේ බඩ පළා නොමේරූ කළල අමුවෙන්ම අනුභව කර පුරුෂ ශක්තිය වැඩි කරගන්නටත් දත කට මැදගෙන සැදී පැහැදී සිටියහ.

මෙම බටහිර සේනාවන් අතර සිටි පැහැපත් ශ්වේත වර්ණ සිරුරැති, නිල්වන් දෙනෙත් සහිත සෙබළුන්ගේ බළ ඇණිය කැපී පෙණුනි. ඒ නම් ජාගෙන් ගේ දේශය වූ බටහිර ඩැන්මාරූ දේශයේ සිට පැමිණි බළඇණියයි. ඒ අතර බටහිර දේශවාසී සෙබළුන් පන් දහසක සේනාවක් වූයේය. ජාගෙන් සහ ෂෝඩූන් පමණක් සිම්ජා සමගින් නැගෙනහිර දිගින් ගොඩ බැස්සත්, ජාගෙන් ගේ ප්‍රධාන සෙනෙවියා වූ රණශූර ඩිඛෝන් ගේ නායකත්වයෙන් මෙම සේනාව නැව් දහයකින් බටහිර දිශාවෙන් හෙළ දෙරණට ගොඩ බැස්සහ.

උතුරුකරයෙන් හෙළ දෙරණට ගොඩ බට සේනාවත්, බටහිර දිගින් ගොඩ බට සේනාවත්, හමු වූයේ එකල දික්ගහලෙන නම් කන්ද පාමුල රිදීමැඩිල්ල වෙල්යායේදීය. අක්කර සිය ගණනක් පුරාවට පැතිර තිබූ ඒ වෙල් යායේ අස්වනු නෙළාගෙන තිබීම වාසනාවක් වූයේය. එම වෙල් යායේ කඳවුරු බැඳගත් මෙම ආක්‍රමණිකයෝ, එහි ඔවුන්ගේ තාවකාලික කූඩාරම් ඉදි කළහ. දකුණු දිගින් ගොඩ බට සේනාව මහමූණාගල, කඩුක්කන්දෙණිය තැනිතලාවෙන් ගමන් අරඹා දින තුනකට පසුව රිදීමැඩිල්ල වෙල් යායේදී අනෙක් බළ සේනාවන් හා මුසු වූහ. ඔවුන් සියලුම දෙනා එක් වී සිම්ජා ඇතුළු සිය පාලකයන් එන තුරු එහි රැඳී සිටියහ.

ඔවුන් මෙසේ සිය පාලකයන් එන තුරු බලාපොරොත්තු වුවද, නැගෙනහිර දී ඇතිවූ සටන් හෝ

එහිදි සිදුවූ කිසිවක් පිළිබඳව හාංකවිසියක් හෝ දැන නොසිටියහ. ඊට හේතුව වූයේ රට හරහා හෝ වෙරළබඩ ඔස්සේ බටහිර දෙසට ගමන් කළ ඔවුන්ගේ චරපුරුෂ කණ්ඩායම් ආගිය අතක් නොමැති වීමයි. එම චර පුරුෂ කණ්ඩායම් අබිරහස් අන්දමින් ඝාතනය කරනු ලැබූ අතර, ඔවුන්ගේ කෙස් ගසක් වත් මහා මාර්ගයේ ඉතිරි නොකරන්නට ප්‍රාදේශීය ගෝරාවරුන් වග බලා ගත්හ.

එසේම සෑම කඳු මුදුනකම පිහිටුවා තිබූ දුනු පොළවල් නිසා, යම් තොරතුරක් ලබා දෙන්නට අවශ්‍ය වූ විටක සිංහල පැය දෙක තුනක කාලයකින් හෙළ දෙරණේ ඕනෑම තැනකට එම පණිවුඩය යවන්නට හැකියාව තිබිණ. එසේම අති විශේෂ පණිවුඩයක් වූයේ නම් පියාසර දූතයන් වූ උකුස්සන් සහ රාජාලින් මගින් එම තොතුරු අදාළ පුද්ගලයා වෙතටම ලැබෙන්නට සැලැස්වීමත් සිදු වූයේය. එම නිසා හෙළ දෙරණ අභ්‍යන්තරයේ තොරතුරු සන්නිවේදනය අදට වඩා එකල අති ශීඝ්‍රව සිදු වූයේය.

ඔවුන්ගේ ගමන පා ගමනින්ම වූ අතර, මං මාවත් ඉතා පැහැදිලිව තිබීම නිසා එය තරමක් පහසු වූයේය. එහෙත් මෙම ගමන මාරයා සමග කරන ගමනක් බවට සිම්ජා ඇතුළු සගයන්ටත්, අනෙක් බළ සේනාවන්ටත් නොදැනී නොගියාම නොවේ. ගමන අතරතුර දී ඇතැම් විටක මුත්‍රා කරන්නට හෝ ශරීර කෘත්‍යය කරන්නට කැළෑවට යන සෙබළුන් අභිරහස් අන්දමින් අතුරුදහන් වීමත්, ඔවුන් පිළිබඳ කිසිම තොරතුරක් දැනගන්නට නොවීමත් එක් හේතුවක් වූයේය. එක් වරක් රාත්‍රියක මුරට සිටි සෙබළුන් දෙසිය දෙනාගෙන් උදෑසන වන විට ඉතිරි වී සිටියේ නිරුවත් සෙබළුන් දෙදෙනෙක් පමණි. සිය සගයින්ට කුමක් වූවාදැයි ඔවුන් දැන නොසිටියහ. ඔවුන්ට මතක තිබුණේ අධික නිදිමතක් ඇති වූ බවත්, එම නිසා මදකට ඇළ වූ බවත්ය. අවදි වන විට ඔවුන්ගේ සගයින් එකසිය අසූ දෙනෙක් අතුරුදහන්ව තිබූ අතර, ඉතිරිව සිටි සෙබළුන් දෙදෙනාගේ ඇඳුම් සියල්ල ගළවාගෙන ගොස් තිබිණ.

ක්‍රෝධයෙන් වෙව්ලමින්, මෙය කළවුන්ට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින්, සාප කරමින් ප්‍රදේශය

දෙවනත් කරන්නට වූ සිම්ජාව අසීරුවෙන් පාලනය කරගත් ඔහුගේ සගයින් දෙදෙනා, බටහිර දිශාවට යන ගමන ඇරඹූහ. විටින් විට සේනාවේ පසුපසින් ආ සෙබළුන් එකා දෙන්නා අතුරුදහන් වූ අතර, වරක්, ඔවුන් කඳවුරු බැඳ සිටි ස්ථානයක අටවා තිබූ කූඩාරම් දෙකක් අස්වාභාවික ලෙස හටගත් ගින්නකින් දැවී ගියේය.

පහදා දිය නොහැකි ගුප්තමය දුක් ගැහැට මධ්‍යයේ මෙසේ බටහිර දෙසට ගමන් කොට දින තුනකට පමණ පසුව සිම්ජාත්, ඔහුගේ සගයින් දෙදෙනාත් සිය බළ සේනාව කැටුව අධික වෙහෙසින් යුතුව රිදීමැඩිල්ල වෙල් යාය වෙත ළඟා වූහ. පා ගමනින් ගමන් කරන්නට සිදුවීමත්, සිතියමක් නොමැති වීම නිසා පාර වැරදීමත්, මෙයට තවත් හේතුවක් වූයේය.

ඔවුන් එසේ එතැන රැඳී සිටිමින් ඉදිරියට කරන්නට ඇති යුද්ධය පිළිබඳව සාකච්ඡා කළහ. ඔවුන් මෙසේ ගමන් කරද්දී තවත් ඇස් දහස් ගණනක් ඔවුන්ට හොරා ගස් මතින් සහ වනාන්තරය තුළින් ගමන් ගත් අතර, ඔවුන්ගේ සියලුම හැසිරීම් රටාවන් කෙස් ගසටම නිරීක්ෂණය කළහ. රිදීමැඩිල්ල වෙල් යාය වටා පිහිටි සුන්දර කඳු වළල්ලේ අති ප්‍රබල හෙළ බළ සේනාංක රාශියක්, ධූරා ගේ නායකත්වය යටතේ ගෝරා බළඇණි සහිතව රැකවල් ලා සිටි බවක් මේ ආක්‍රමණිකයින් හාංකවිසියක් වත් දැන නොසිටියහ.

ජයමාලී දේවිය මහා හර්ෂදේවයන් කැටුව, ගෝරාවරුන් පිරිවරා ගොස් ගවරන්දෙණිය ජලාශය බේරා ගත් බවත්, එහි නවතා සිටි ආක්‍රමණිකයන් ගේ ප්‍රධානියා වූ ජාගෙන් කුමරු, හර්ෂදේවයන්ගේ හෙළ යක්ෂ ගෝත්‍රික අසිපත් කලාවට ශිල්ප සහෝදරත්වයක් සහිත රණශූරයෙක් බවත් මේ වන විට ධූරා ඇතුළු පිරිසට දැන ගන්නට ලැබී තිබිණ. ඔවුන් නිහඬවම සතුටින් එය පිළිගත් අතර, ඉදිරියේදී සිදුවන සටන් වලදී ජාගෙන් ගේ සෙබළුන්ට හානියක් නොකරන ලෙස හර්ෂදේවයන් ගේ ඉල්ලීමට ඔවුන් සියලුම දෙනා එකඟත්වය පළ කළහ.

සිම්ජා සහ සෙබළුන් ගේ අධික වෙහෙස නිසා පසුදින එම ස්ථානයේම කඳවුරු බැඳ, ඊළඟ දිනයේ සියලුම සේනාංක කැටුව ඉදිරියට ගමන් කරන්නට ඔවුන් කතිකා කර ගත්හ. එම නිසා සියලුම සෙබළුන් ආරක්ෂාව පිළිබඳ හොඳ අවධානයෙන් විවේක ගන්නට වූ අතර, සිම්ජාත්, ඔහුගේ සගයින් දෙදෙනාත්, බළඇණිවල ප්‍රධාන සෙනෙවියනුත් එක් වී ආක්‍රමණය පිළිබඳව සාකච්ඡා කළහ.

ආක්‍රමණික සේනාව මෙසේ යුද්ධයට පිඹුරුපත් සකසද්දී, රිදීමැඩිල්ල වෙල්යාය අසල තිබූ ඝන

වනයෙන් වැසීගත් කඳුකරයේ ගල් ගුහාවක තවත් පිරිසක් සාකච්ඡාවක නිරත වූහ. ඔවුන්ගේ ප්‍රධානම ඉලක්කය වී තිබුණේ ආක්‍රමණිකයන් හට මග පෙන්වමින් ඉදිරියෙන් පැමිණි මහළු ගුප්ත විද්‍යා ධාරියා වූ මෂ්පිණ්ඩිය. මේ මහල්ලා, ඔහු අත තිබූ කිසියම් පියනක් සහිත හෙප්පුවක් දෙස බලමින් නිසි මාර්ගය ආක්‍රමණිකයන්ට පහදා දෙනු දැක තිබූ ධූරා, එය අඳුන් හෙප්පුවක් බව හඳුනාගෙන තිබිණ.

එම නිසා තවත් රට ඇතුළට ගොස් හානි කරන්නට පෙරාතුව එම අඳුන් හෙප්පුව ලබා ගන්නට හෝ, අර මහළු මෂ්පිණ්ඩි ජීවග්‍රහණයෙන් ගන්නට හෝ ඔවුන් සැලසුම් කළහ. මහා හර්ෂදේවයන් මේ වන විටත් ජයමාලී දේවිය සහ ජාගෙන් කැටුව ශාර්දූල බළකාය පිරිවරාගෙන, නැගෙනහිර දිග සිට බටහිර දෙසට ගමන් ගන්නා බවට ඔවුන්ට සැළවී ඇති නිසා ඇය පිළිබඳ කිසිදු බියක් ඔවුන්ට නොවීය. දැන් සතුරන් එක තැනකට එක් වී ඇති හෙයින් කාර්යය වඩාත් පහසු වී ඇති බව පෙනේ. එහෙත් මොවුන් අතරද ගුප්ත බලධාරී සටන් ශිල්පීන්

නැතැයි කිව හැක්කේ කාටද? කෙසේ වුවද, ජයමාලී දේවිය මේ ඉසව්වට එන්නට පෙරාතුව අර අඳුන් හෙප්පුව තමන් සතු කරගත යුතුමය. ඒ පිළිබඳව ඔවුන් දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

මෙතරම් බළ සේනාවක් සිටිනා ස්ථානයකට ගෝරාවරයෙක් වුවද තනිවම යාම එතරම් සුදුසු නොවේ. අනෙක් කරුණ වන්නේ පසුගිය දින කීපයේම මග දිගට සැඟවී සතුරු සෙබළුන් ඝාතනය කිරීම නිසා ඔවුන් නිරන්තර අවධානයෙන් සිටීම නියත වන බැවිනි. එම නිසා මෂ්පිණ්ඩිගේ කූඩාරමට ඇතුළු වීම එතරම් ලෙහෙසි කරුණක්ද නොවනු ඇත. එහෙත් මෙහිදී මහා විද්‍යාජෝති කුමරුවන් කාගේත් අවධානය දිනාගත් විකල්ප යෝජනාවක් ගෙන ආවේය.

හෙළ මන්ත්‍ර ශාස්ත්‍රය තුළ නොපෙනී යාමට හැකි ක්‍රමවේද ගණනාවක් පවතින අතර, එකල ඒ

සියලුම ක්‍රමවේද නිරන්තරයෙන් යුද්ධ වලට භාවිතා කළහ. මේ වන විට ඒවා සාමාන්‍ය සමාජයෙන් ඈත්ව ගොස් තිබුණද, ඇතැම් රහසිගත ප්‍රබල හෙළ ශිල්පධාරී ගුරුකුල වල ඒවා අදටත් නොනැසී පෙර පරිද්දෙන්ම පවතී. නොපෙනී යාමට යොදා ගන්නා පිත්තල කොණ්ඩෑරුම, රත්තරන් කොණ්ඩෑරුම සහ කළුවර අඳුන නමින් ප්‍රධාන ක්‍රම තුනක් ඇති අතර ඊට අමතරව ඇසි පිය මත අඳුන ආලේප කිරීමෙන් නොපෙනී යාමත්, මාවේවැලට මතුරා එය උපයෝගී කරගෙන නොපෙනී යාමත්, තමාගේ රුධිරය නළලේ ගා නොපෙනී යාමත් වැනි ක්‍රම රාශියක් එදා භාවිතා වූ බැවින්, එම යෝජනාවට සියලුම ගෝරාවරුන් කැමැත්ත පළ කළහ.

මහා විද්‍යාජෝති කුමරුවන් ගුප්ත ශාස්ත්‍රයේ පරතෙරට පත් විශේෂඥයෙක් වූ බැවින් ඔහු යෝජනා කළේ නොපෙනී ගොස්, අර මහල්ලා සහ ඔහුගේ සේසතම ගෙන ඒමටය. කල් බල බලා සිටීමට කාලයක් නොමැති වූ බැවින්, ජයමාලී දේවිය එහි පැමිණිමට පෙරාතුව රිදීමැඩිල්ල වෙල් යාය අසල තිබූ කන්දේ ගල් ගුහාව තුළ අවශ්‍ය පුද පූජා කඩිනමින් සූදානම් කර, නොපෙනී යාමේ ක්‍රියාවලියට ඔවුන් සූදානම් වූහ. මහා විද්‍යාජෝති කුමරුවන් සතුව එම කාර්යයට අවශ්‍ය බොහෝ ආම්පන්න තිබුණු අතර, එම රාත්‍රියේම අදාළ වතාවත් සපුරාලීමට ඔවුන් සියලු කටයුතු සූදානම් කළහ.

මතු සම්බන්ධයි.

 

කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.