“තා දැනගනු. මෙය හෙළයන්ගේ නිජ භූමිය බව...”

නොවැම්බර් 1, 2019

සීතල දිය දහරක් මුහුණට වැදුණු මෂ්පිණ්ඩි සෙමෙන් සෙමෙන් සිය දෙනෙත් විවර කළේය. මුලින් ඔහුට කිසිවක් පෙනී ගියේ නැත. අන්ධකාර ලෝකයක පාවෙන ළා පැහැති ගිනි ගුලි මෙන් ආලෝකයන් එහා මෙහා පා වුණේය. ඒ අතර සෙමෙන් ඇසුණු නුහුරු භාෂාවක කට හඬවල් ඔහුට ඇසී ගියේ නොපැහැදිලි ස්වරයකිනි. මොහොතක ඇවෑමෙන් සියල්ල ඔහුට සෙමෙන් සෙමෙන් පැහැදිලි වූයේය.

ඒ සමගම ඔහුට දැනී ගියේ අතක් පයක් හොලවා ගැනීමටවත් නොහැකි අන්දමින් තමාගේ දෑත්

දෙපා දෙපසට ඇද, කතිරයක් සේ දැඩිව ගැට ගසා ඇති අන්දමයි. හිණේ වූ කෙටි සම්කඩ හැරෙන්නට තමාගේ සිරුරේ කිසිදු වස්ත්‍රයක් හෝ ආභරණයක් හෝ නොමැති බව ඔහුට දැනී ගියේය. මොවුන් කවුරුන්ද? තමන් මෙයට මද මොහොතකට කලින් නොපෙනෙනා පුද්ගලයෙකු සමග පොර බැදූ බවත්, තම ඇස්පනාපිටම සිය මුර සෙබළුන් අස්වාභාවිකව මිය ගිය බවත් නොදුටුවේද? එහිදී ක්‍ෂණිකව තමාට සිහිසුන් වූ බව මෂ්පිණ්ඩිට සිහි වූයේය. ඉන් පසුව සිදුවූ කිසිවක් ඔහුට මතකයේ තිබුණේ නැත. එය සැබෑවක්ද? නැතහොත් බිහිසුණු සිහිනයක්ද? තවමත් තමන් ගත කරන්නේ ඒ සිහිනය තුළද?

මුහුණට වැදුණු දෙවන සීතල දිය දහරින් මෂ්පිණ්ඩි පූර්ණව හොඳ සිහිය ලැබීය. රිදී කෙඳී වන් සෘජු දිගු කෙසැති හිස ගස්සා හෙලූ ඔහු තියුණු කරගත් දෙනෙතින් වටපිට බැලීය. විශාල ගල් ගුහාවක් ඉදිරිපිට වූ ගස් කිහිපයකට තබා ඔහු ගැට ගසා තිබිණ. තරමක ගිනි මැළයක් සහ පන්දම් කිහිපයක් දල්වා තිබුණෙන් ඔහුට අවට වූ යාර කිහිපයක දුර පෙනී ගියේය. තමා කතිරයක් ආකාරයට ගැට ගසා තිබූ අතර, ඔහු ඉදිරිපිට කාළවර්ණ ඇඳුමින් සැරසුණු සන්නාහ සන්නද්ධ ප්‍රබල පුද්ගලයින් රාශියක් බලාගත් බැල්මෙන් තමන් දෙස බලා සිටිනු දිස් විය. ඒ අතරින් ඉදිරියෙන්ම සිටි ඔවුන්ගේ නායකයා යැයි සිතිය හැකි, රන්වන් ස්වස්තික පෙන්ඩනයක් සහිත රුද්‍රාක්‍ෂ මාලයක් පැළඳ ගත් පුද්ගලයෙක් තියුණු බැල්මෙන් යුතුව මෂ්පිණ්ඩි අසලට

ප්‍රබල පියවරින් පැමිණියේය.

“මෂ්පිණ්ඩි... මේ භාෂාව නුඹට කථා කළ හැකිද?”

තමාගේ නම කියා, කාළවර්ණ බටහිර අධිරාජ්‍යයේ බසින් පැහැදිලිව කථා කරනා මේ අද්භූත

තැනැත්තා දෙස මෂ්පිණ්ඩි කුතුහලයෙන් යුතුව බලා සිටියේය. තමා එක් වතාවක දී අඳුනින් දුටුවේ මෙවන් පුද්ගලයින් නොවේද? තමා දුටු ආකාරය සැබෑ නම් හෙළයේ අසමසම රණශූරයින් කොටසකට තමා හසු වී ඇත. එහෙත් ඒ කෙසේද? එය මෂ්පිණ්ඩිගේ දැනුම් සීමාව ඉක්මවා යන ගැටලුවක් වූයේය.

“නුඹට මා කියූ දෙය ඇසුණෙහිද? බටහිර කාළවර්ණ දේශයේ භාෂාව නුඹට කථා කළ හැකිද? වහා කියනු...”

තරමක් දැඩිව අර පුද්ගලයා මෂ්පිණ්ඩිගෙන් ප්‍රශ්න කළේය. තමා අඳුනින් දුටු ආකාරයට නම් සිය

අතවැසියා වූ ගාවුලා පැහැරගෙන ගොස් මරා දමා, ගාවුලාගේ හිස අදෘශ්‍යමාන ක්‍රමයකින් සිය නායකයාගේ පෙට්ටගමට දමා ඇත්තේද මොවුන් විය යුතුය. නිහඬව සිටීම මරුට අත වැනීමක් විය හැකි නිසා මෂ්පිණ්ඩි සිය හඬ අවදි කළේය.

“මට ඒ බස තේරෙනවා. බටහිර කාළවර්ණ දේශවාසී භාෂාව කථා කරන නුඹ කවරෙක්ද? නුඹ මාගේ නම දන්නේ කෙසේද?”

මෙහිදී අර පුද්ගලයාගෙන් නැගී ගියේ සන්සුන් වූත්, ප්‍රබල වූත් මන්ද හාසයකි.

“දැන් සඟවාලීමෙන් පලක් නැහැ මෂ්පිණ්ඩි. මම ධූරා. හෙළ යක්ෂ ගෝත්‍රික ගෝරාවරුන්ගේ ප්‍රධානියා. බටහිර දේශවාසීන්ගේ ප්‍රධාන යක්දෙස්සා නුඹ විය යුතුයි.”

එය එසේය කියන්නාක් මෙන් මෂ්පිණ්ඩි නිහඬව හිස සැලීය. එහෙත් ඔහුට ඇතිවූයේ ගැටලුවකි.

“මාව මෙතැනට ගෙන ආවේ කවුරුන්ද? අර තරම් බළ සේනාවක් සිටියදී අපගේ කඳවුරට ඇතුල් වී මාගේ මුර සෙබළුන් මරා දමන්නට නුඹ අවතාර අප වෙත එව්වෙහිද?”

මෂ්පිණ්ඩි ගේ පැනයට ධූරා ඇතුළුව හාත්පස සිටි සියලුම ගෝරාවරුන් සිනා සුනහ. මෙහිදී ඒ

සිනාවෙන්ම ධූරා මහලු මිනිසා දෙස බැලීය.

“දැන් නුඹ අපේ අඩවියේ නිසා මා හෙළි කරන්නම්. ඒ අපගේ සහෝදර ගුප්ත විද්‍යාධාරී සටන් ශිල්පියෝ. ඔවුන් නුඹව අප වෙත ගෙන ආවා. බලනු මෂ්පිණ්ඩි...”

මෙසේ කියූ ධූරා පසෙකට හැරී පෙනෙන්නට නොසිටි තවත් කිසිවෙක් ඇමතීය.

“නොපෙනී සිටින මගේ සොයුරනි. නුඹලාට දැන් පෙනී සිටින්නට හැකියි.”

ඒ සමගම සතුරු කඳවුරට ඇතුළු වූ තැන් පටන් නොපෙනී සිටි විද්‍යාජෝති, ජීවාලෝක සහ

චන්ද්‍රනාථ යන මහා ගෝරාවරුන්, සිය රුධිරය ගැල්වූ ඖෂධ සංයෝගය සහිත රෙදිකඩ හිසෙන් ඉවත් කර ගත්තෙන්, පන්දම් එළියෙන් පැහැදිලිව පෙණුනු අවකාශයට නිරාවරණය වූහ. නොපෙනී සිටි ඒ තිදෙනා, ගෝරාවරුන් විසින් පිරිවරා සිටි ඒ භූමියෙහි පෙනී සිටියේ ආලෝකය පවතිද්දීම මිහි මත ප්‍රාර්දුභූත වන භූතාත්ම පරිද්දෙනි. එසේ පෙනී සිටි ඔවුන් ධූරා හමුවෙහි දණ ගසා ගෝරාවරුන්ගේ නමස්කාර මුද්‍රාවෙන් ආචාර කළ අතර, ප්‍රති හස්ත මුද්‍රාවකින් ධූරා එය පිළි ගත්තේය. දෙගුණයක් විශාල වූ දෙනෙතින් යුතුව මේ අද්භූත සිද්ධිය දෙස බලා සිටි මෂ්පිණ්ඩි බටහිර කාළවර්ණ දේශවාසී බසින් රාවයක් නැගීය.

“නු ඹ ලා... එසේ නම් මා මෙහි ගෙන ආවේ නුඹලාද? මාගේ සෙබළුන් අද්භූත ලෙස ඝාතනය කළේ නුඹලාද? නු ඹ ලා නම් අද්භූත සතුන් කොටසක්. මගේ ජීවිතයේ කිසිදාක එවන් දෙයක් අසා දැක නැහැ...”

මෙහිදී මහල්ලාගේ හැසිරීම දුටු ගෝරාවරුන් වෙතින් තවත් සිනා හඬක් නැගී ආවේය. ඒ

සිනාවෙන්ම ඔහු වෙත ආ ධූරා, මෂ්පිණ්ඩි ගේ රිදී කෙඳී වැනි හිසකෙස් සෙමෙන් අතගා බැලීය. කම්මුල් පහරකට වඩා ඒ අතගෑම මෂ්පිණ්ඩිට දැණුනෙන් ඔහු කෝපයෙන් ධූරා දෙස රවා බැලීය.

“මා බැඳ දමා නොසිටියා නම් නුඹට මාගේ කෙස් ගසකට වත් අත තබන්නට දෙන්නේ නැහැ... නුඹට...”

ඉතිරි කොටස සම්පූර්ණ කරන්නට පෙරාතුව වැදුණු ප්‍රබල කම්මුල් පහරින් මෂ්පිණ්ඩි නිහඬ වීය.

“තාමත් නුඹේ කටේ සැර අඩු වී නැති හැඩයි නීචයා. දැනගනු... නුඹ ගනුදෙනු කරන්නේ හෙළයේ මහා ගෝරාවරුන් සමග බව. නුඹ සතුව තිබූ සියලුම ශක්තීන් බිඳ හැර අවසානයි. අන්න... නුඹගේ සේසතම අර ගල් තලාව මත තිබෙනවා. හැකිනම් නුඹගේ මන්ත්‍ර බලයෙන් ඒවා ආපසු නුඹ ළඟට කැඳවා ගනු...”

මෙහිදී ගල් තලාව දෙස බැලූ මෂ්පිණ්ඩි තුෂ්ණිම්භූත වී ගියේය. ඔහුගේ ජිබ්ලා අඳුන ඇතුළුව ඔහුගේ සියලුම අඩුම කුඩුම එම ගල් තලාවේ එක තැනක එලූ කාළවර්ණ රෙදිකඩක් මත තබා තිබිණ. කිසිවක් කරකියා ගත නොහැකිව ඔහු ක්‍රෝධයෙන් දත්මිටි කෑවේය.

“නු ඹ ලා ට.... නුඹලාට මෙයට නිසි දඬුවම් ලැබෙයි. ජිබ්ලා දෙවියන් නුඹලාගෙන් පලි ගනු නියතයි. අහෝ ජිබ්ලා දෙවියනි... මේ නීචයන් ඔබ වහන්සේගේ...”

මෙහිදී අනෙක් කම්මුලටත් වැදුණු හෙණ පහරක් වැනි කම්මුල් පහරින් මෂ්පිණ්ඩි ගේ තොල පැලී

රුධිරය ගලා යන්නට විය. මෂ්පිණ්ඩි ගේ හනුවෙන් දැඩිව අල්ලාගත් ධූරා, තියුණු දෙනෙතින් යුතුව මහල්ලාගේ දෙනෙතට එබුණේය.

“තෝ දැනගනු. මෙය හෙළයන්ගේ නිජ භූමිය බව. ගවමස් බුදින්නාවූ කාන්තාර වාසී නීචයන්ටත්, ජිබ්ලා අදහන නරුමයන්ටත් මෙහි ඉඩ නැති බව නුඹ අවසාන වශයෙන් දැන ගත යුතුයි. හැකිනම් නුඹගේ මහ ලොකු ජිබ්ලා හට අඬ ගසනු. ඌටත් අප කරන්නේ නුඹට කරන දෙයමයි. තවත් මේ හෙළය විනාශ කරන්නට නුඹට හෝ නුඹගේ ඔය නරුම ජිබ්ලාට හෝ නොහැකි බව සිහි තබා ගනු...”

මෙසේ කියූ ධූරා ගෝරාවරයෙක්ට සංඥා කළෙන්, ඔහු ගොස් මෂ්පිණ්ඩිගේ සියලුම හරුබස්ස තිබූ ඒ කාළවර්ණ රෙදිකඩ ධූරා වෙත ගෙනවුත් ඔහු ඉදිරියේ බිම තැබීය. මෙහිදී එහි ඇති ආම්පන්න එකින් එක අතට ගත් ධූරා, ඒ එක එකක් මෂ්පිණ්ඩි ගේ දෙනෙත ඉදිරියට පෙන්වා අනතුරුව, ඔවුන් ඉදිරියේ දැල්වෙන ගිනි මැළයට විසි කළේය. ඇට මාල, ඖෂධ බඳුන්, ලීයෙන් තැනූ අද්භූත යක්ෂ රූප, දුම් කුඩු ආදී සියල්ල ගිනි දෙවියාට බිළි වෙද්දී, බටහිර කාළවර්ණ දේශවාසී බසින් සාප කරමින්, අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් දඟලන්නටත්, ඇඹරෙන්නටත් පටන් ගත් මෂ්පිණ්ඩි අවසානයේ, කිසියම් අභ්‍යන්තර වේදනාවකින් මෙන් කෙඳීරි ගෑවේය.

මෙහිදී ධූරා, මෂ්පිණ්ඩි ගේ අර අඳුන් හෙප්පුව අතට ගනිත්ම, යටි උගුරින් අස්වාභාවික ළතෝනියක් නැගූ මෂ්පිණ්ඩි වන සතෙකු මෙන් ගොරවන්නට වූයේය. මහල්ලාගේ රදනක දත් මෙහිදී වඩාත් තියුණු ස්වභාවයකින් දිස් වූ අතර, දෙනෙතෙහි කළු ඉංගිරියාවන් වඩාත් විශාල වී මුළු ඇසම පිරෙන සේ පැතිරී ගියේය. කට දෙකොණින් සුදු පැහැති සෙම වැගිරෙන්නට වූ අතර, ගැට ගසා තිබූ දෑත් සහ දෙපා වල නියපොතු තියුණු වී වඩාත් උල් වූ ස්වභාවයකින් පෙනී ගියේය. අමානුෂික හඬකින් ඔහු ගොරවන්නටත්, මෘගයෙකු මෙන් ධූරා වෙත රදනක දත් පෙන්වා නියවන්නටත් වූයේය. මේ කිසිවකින් කලබල නොවූ ධූරා, හෙමින් සීරුවේ යමක් මතුරා එම අඳුන් හෙප්පුව තුළට කෙළ පහරක් ගසා, බුර බුරා දැල්වෙන ගිනි මැළයට විසී කළෙන්, නිල්වන් ගිනි දැල් නිකුත් කරමින් එය දැවෙන්නට වූයේය.

මෙහිදී උමතු වූවෙකු මෙන් අස්වාභාවික හඬකින් කෑ ගසමින්, වෘකයෙකු මෙන් යටි උගුරින් උඩු

බුරමින් දඟලන්නට පටන් ගත් මෂ්පිණ්ඩි, අමානුෂික ශක්තියක් ලැබූවෙකු මෙන් එක වරම දැඩි ගැස්මකින් ගස්සා ඇද්දෙන්, ඔහුගේ එක් අතක් බැඳ තිබූ කඹය කැඩී ගියේය. එහෙත් දෙවන වර කඹය කඩා ගන්නට ඔහුට කාලයක් ලැබුණේ නැත.

පන්දම් එළියට පවා නොපෙණුනු ශීඝ්‍රතාවයෙන් වාතය කපාගෙන ආ ධූරාගේ කඩු පහරින් අමානුෂික මහල්ලාගේ හිස කැපී උඩින් විසිවී ගොස් හඬ නගමින් ගල් තලාව මත ඇද වැටුණි. තවත් තත්පර කිහිපයක් දඟලමින් ඇඹරෙමින් තිබූ කවන්ධය, අර රැහැන් පටවල් තුළම පැටලී නිසල වී ගියේය. සිය තියුණු ගෝරා අසිපතේ වූ රුධිරය ගසා හෙලූ ධූරා, ඒ ක්‍ෂණිකවම එය කොපුව තුළ රුවා ගත්තේය.

“නුඹලාගේ ජිබ්ලා පැමිණියත් වෙන්නේ ඔය ටිකමයි...”

විරිත්තුණු මුවින් යුතුව, කඳෙන් වෙන් වී ගොස් බිම වැටුණු මෂ්පිණ්ඩි ගේ හිස දෙස බැලූ ධූරා

පිළිකුලෙන් යුතුව තමාටම කියා ගත්තේය.

මතු සම්බන්ධයි.

 

කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.