ගිනි ගෙන දැවෙන බිහිසුණු දෙනෙත්...

නොවැම්බර් 22, 2019

සීතල පින්නෙන් මුළු මහත් දික්ගහලෙන කඳු යාය වැසී පැවතියේය. නිශාචර පක්ෂීන් ගේ සහ වනගත මාංශ භක්ෂක සිව්පාවුන්ගේ නාද වරින් වර අසල වන ගහනයෙන් නැගී ආ අතර, ධූරා සමග මහා ගෝරා බළ ඇණිය ඇතුළුව හෙළයේ වීරෝදාර සෙබළුන් දහස් ගණනක් රැකවල් කරමින් සිටි ඒ දැවැන්ත කන්ද මත වූ ගල් තලාවේ කාල වර්ණ සන්නාහයෙන් යුතුව ප්‍රතාපවත් ලෙස සිටගෙන සිටියේ ජයමාලී දේවියයි. තමා අත වූ හෙළ ගෝත්‍රික පුරාණ දුර දක්නයක් මගින් මනාව සතුරු කඳවුර පිරික්සමින් ඇය තරමක වේලාවක් එම ගල් තලාව මත ගත කළාය. හාත්පසින් ඇය වටා සිට ගෙන සිටියේ හෙළයේ මහා ගෝරාවරුන් සහ කාන්තා සටන් බළකායේ ගෝරාවරියන් සමූහයකි.

නැගෙනහිර දිසාව භාර හෙළ සටන් ශූර මහා හර්ෂදේවයන් සහ ශාර්දූල බළකාය පිරිවරා, ජාගෙන් ද කැටුව ජයමාලී දේවිය දික්ගහලෙන කන්දට පැමිණියේ, ධූරා විසින් මෂ්පිණ්ඩි නමැති යක්දෙස්සා මරා දැමීමෙන් සුළු වේලාවකට පසුවය. ඒ සියලුම තොරතුරු ධූරා විසින් ජයමාලී දේවියට සවිස්තරව පැවසුවේ, මේ මහා අධිරාජිණියගේ දහසක් ප්‍රශ්න වලට ද පිළිතුරු සපයමිනි. සිය දයාබර පුත්‍රවරුන් මෙන් වූ මේ මහා ගෝරාවරුන් ගේ ක්‍රියාන්විතය පිළිබඳව ජයමාලී දේවිය, මුව නොසෑහෙන සේ ඔවුන්ට ප්‍රශංසා කළාය.

අනතුරුව ඇය ජාගෙන්ව ඔවුන්ට හඳුන්වා දුන්නාය. මෙහිදී මහා හර්ෂදේවයෝ, ජාගෙන්ට ඇති ශිල්ප සහෝදරත්වය, මහා ගෝරාවරුන් සත් කට්ටුව වෙත පහදා දුන් අතර, බටහිර ප්‍රබල අධිරාජ්‍යයක ඔටුන්න හිමි කුමාරයෙකු සමග හෙළ දේශයට ඇති ශිල්ප සහෝදරත්වය පිළිබඳව ඔවුන් දැඩි ප්‍රසාදය පළ කළහ. එසේම ජාගෙන් ගේ භටයින් හට පහර දීමෙන් වැළකී සිටීමටත් ඔවුන් ඒකමතිකව තීරණය කළහ.

මෙම සාකච්ඡාවෙන් පසුව අර දුර දක්නය ගත් මේ මහා රාජිනිය ගල් තලාව මත හිඳ විශාල සතුරු කඳවුරු භූමිය මනාව නිරීක්‍ෂණය කළාය. මද මොහොතකින් ඇය සෙමෙන් ගෝරාවරුන් වෙත හැරුණේ මුවෙහි නැගුණු සිනාවක්ද සමගිනි.

“සතුරු කඳවුර තුළ මේ තරම් විනාශයක් වෙලත්, අර නීචයන්ට වගේ වගක් නැති හැඩයි මාගේ පුත්‍රවරුනි. නුඹලා ගේ මෙහෙවර නම් අනර්ඝයි...”

මෙහිදී සියලුම ගෝරාවරුන් හිස නවා ඒ ප්‍රශංසාව සිනාමුසුව පිළිගත්හ.

“හෙට දිනයේ අප ඔවුන්ව කෙසේ හෝ නවතාලිය යුතුයි මාගේ දරුවනි. මන්ද යත්, සිදුවී ඇති හානිය දැකීමෙන් කෝපයෙන් උමතු වී ඔවුන් ඉදිරියට ගොස් අපගේ දේශයේ ජනතාව සහ සම්පත් ඉවක් බවක් නැතිව විනාශ කළ හැකි නිසාවෙන්.”

කල්පනාකාරීව ජයමාලී දේවිය පැවසුවාය. ඒ සමගම ධූරා සිය හඬ අවදි කළේය.

“අවසරයි මහා මෑණියන් වහන්ස... අප කලින් තීරණය කළ ආකාරයටම හෙට දින ඔවුන්ට පහර දීමට සියලු කටයුතු සූදානම් කර අවසන්. සියලුම ගෝරා බළඇණි සහ හෙළ යුද සෙබළුන් අනුඛණ්ඩ සතරකට බෙදා, සිව් දිශාවෙන් රැකවල් යොදා තිබෙනවා. එසේම ගෝරාවරුන් ගේ සියලුම දුනුවායන් යුද්ධයට කැඳවා තිබෙනවා මහා මෑණියන් වහන්ස. ගෝරාවරුන් ප්‍රමුඛ අශ්වාරෝහක සෙබළුන් පන් දහසක් දෙනා සටනට යොදවා තිබෙනවා.

එසේම මහා විද්‍යාජෝති කුමරුවන් ප්‍රමුඛ හෙළ ගුප්ත විද්‍යාධාරීන් සටනට සහභාගී වෙනවා. අප පිඹුරුපත් සකස් කළ ආකාරයටම මියගිය සතුරන් හට මළ යක්‍ෂ ආත්ම ආරූඪ කරවා ඔවුන් ද අපගේ සතුරන්ට විරුද්ධව යොදවන්නටයි සූදානම. ඒ සඳහා අවශ්‍ය අඳුන් සහ උපකරණ සියල්ල අප මෙහි ගෙන ආවා. එසේම භද්‍රජෝති මහ සෘෂිතුමන් ගේ පරිවාර වෛද්‍ය සෘෂිවරුන් පනස් දෙනෙක් ද මෙහි

පැමිණ සිටිනවා. මිය යන හෙළ සෙබළුන්ගෙන් හැකි උපරිම ප්‍රමාණයක ගේ ප්‍රාණය යළි හදවතට අද්දවා ඔවුන් ජීවත් කරවීමයි අපගේ අරමුණ.”

තියුණු දෙනෙතින් යුතුව ධූරා දෙස බලා සිටි ජයමාලී දේවිය හිස සැලුවාය.

“එපමණක් නොවේ මහා මෑණියන් වහන්ස, උදකාභිරාක්‍ෂ කුමරුන් ප්‍රධාන ජල කසිණයේ ඉහළටම පිවිසි ගෝරා බළ ඇණියක්, රිදීමැඩිල්ල අමුණ හාත්පසින් ජලයේ රැකවල් කිරීමටත් යොදා තිබෙනවා. එසේම මහා චන්‍ද්‍රනාථ කුමරුන් ප්‍රධාන කරණම් ශිල්පයේ පරතෙරට පත් රණශූරයින් දික්ගහලෙන මහ කන්දේ සහ අවට කඳු වළල්ලේ ගස් මත මුර කරනවා. අප සැලසුම් කළ ලෙසටම සතුරන් යම් හෙයකින් පලා ගොස් වනගත වුවහොත්, කරණම් බළකායේ උපකාරයෙන් ඔවුන් සමූල ඝාතනය කළ හැකියි. එසේම ජාගෙන් ගේ සෙබළුන් හට ඔහුගේ අතවැසියා ගේ මගින් මේ තොරතුරු දැන්වීමට බලාපොරොත්තු වෙනවා. එමගින් ඔහුගේ සෙබළුන් හට යුද්ධ කරන්නාක් මෙන් රඟපෑමට සිදු වනවා ඇති.”

ජයමාලී දේවිය සිනාමුසුව හිස සලා එය අනුමත කළාය. ඉන් පසුව ඇය ආපසු හැරී යළිත් අර දැවැන්ත පර්වතයේ කෙළවරට ගොස්, පහතින් පෙනෙනා සතුරු කඳවුර දෙස දැඩි බැල්මෙන් බලා සිටියාය. එදා ඉතිහාසය තුළ රැජිනක් විසින් මෙහෙයවන්නට යෙදුණු දැවැන්තම සංග්‍රාමය එය වූයේය. ජයමාලී දේවිය අසා ඇති කාලයක පටන් මෙවන් වාතාවරණයකට හෙළයේ රැජිනක් හුදෙකලාව මුහුණ දී තිබුණේ නැත. සිය ගිලන් වූ ප්‍රබල රාජකීය ස්වාමියා භද්‍රජෝති ආශ්‍රමයේ පසු වෙද්දී, වැඩිමහල් පුතණුවන් සහ මහ සෙනෙවි ද මහරජතුමන් ගේ අසලම රැඳී සිටිද්දී, මුළු මහත් හෙළ දෙරණේම වගකීම තමා අත පැටවී ඇත. එසේම මහ සෙනෙවියාගේ සියලුම වගකීම් හෙළයේ අබිරහස් සටන් ශූර ධූරා වෙත පැවරී ඇත. මේ මහා ගෝරාවරුන් ගේ කැපවීම අති විශිෂ්ට වුවත්, මේ සා විශාල වූ මහා සේනාවක් හා මුහුණට මුහුණ ලා ගැටීම ගැන ජයමාලී දේවිය ගේ සිතේ ඇති කළේද එක්තරා තැතිගැන්මකි.

සිය ස්වාමියා තමා අසලක සිටී නම්, ඇය මාරයාට වුවද බිය නොවනු ඇත. එහෙත් දැන් සියල්ල තමා හට තනිවම මෙහෙයවීමට සිදුව තිබේ. කුමක් සිදු වුවද සිය ජීවිතය පුදා හෝ මේ සංග්‍රාමය ජය ගන්නා බව ඇය තරයේ අධිෂ්ඨාන කළාය. තම ස්වාමි රාජයාටත්, හෙළ දේශයටත් මේ ආක්‍රමණිකයන් සිදු කළ නින්දාවටත්, අපහාසයටත්, විනාශයටත් කෙසේ හෝ වාඩුව ගත යුතුය. ඇයගේ දෙනෙත යළිත් ගිනි ගෙන දැවෙන්නට විය. ඒ සැණින් ජයමාලී දේවිය ආපසු හැරී මහා ගෝරාවරුන් දෙස බැලුවාය.

ආදරණීය රාජ මාතාව ගේ මුහුණ කෝපයට පත් කළු දිවි දෙනක ගේ ලෙසින් වෙනස් වී තිබිණ. පන්දම් එළියෙන් ඒ රූමත් මුහුණ දිස්වූයේ මරණයේ සේයාව සටහන් කරමින් නිරයෙන් ආ යක්‍ෂ

දේවතාවියක ගේ ලෙසිනි. ගෝරාවරුන් සියලු දෙනා මුහුණින් මුහුණ බලා ගත්හ. මහාසිද්ධ මහරජතුමන් බොහෝ ඉවසන ගති ඇති පුද්ගලයෙකු ලෙස හෙළ දෙරණ තුළ ප්‍රසිද්ධ වුවද, ඔහුගේ ආදරණීය බිසව වන භීමනාථ මහ සෙනෙවියා ගේ මේ වැඩිමහල් දියණිය ගේ කෝපය නම් සතුරු බලවේග සියල්ල දවා හළු කරන්නක් බව ඔවුන් සියලු දෙනා සක්සුදක් සේ දැන සිටියහ. හේතුවක් නොමැතිව හෙළ දේශය ආක්‍රමණය කරන්නවුන්ට ඇයගේ ශබ්ද කෝෂයේ ‘සමාව’ යන වචනය අංශු මාත්‍රයක් හෝ අඩංගු වී නොතිබිණි.

“මාගේ දරුවනි...”

තියුණු හඬින් ඇය ගෝරාවරුන් ඇමතුවාය.

“අර නීච යක් දෙස්සා ගේ හිස හෙල්ලයක ගසනු. උදෑසන යුද්ධයට යන විට උගේ හිස හෙල්ලය සමග ගෙන ගොස් අර ආක්‍රමණික සිම්ජා හට පෙන්වීමට මා හට සූදානම් කර තබනු.” එම අණ පිළිගත් ධූරා ගේ සංඥාවකට අනුව තවත් සහයක ගෝරාවරුන් දෙදෙනෙක් හිස නවා ආචාර කොට, රජ අණ ඉටු කිරීමට වහාම පිටත්ව ගියහ. ඔවුන් පිටව යනු බලා සිටි ජයමාලී දේවිය යළිත් ගෝරාවරුන් දෙසට හැරුණාය.

“ඒ නීච යක්දෙස්සාගේ සිරුර කැබලි කර පුළුස්සා දමනු. හෙළ දෙරණ විනාශ කරන්නට මග පෙන්වූ එවන් නීචයෙක් ගේ මළ සිරුරක් හෙළයන්ගේ නිජ භූමියට පොහොර කිරීමත් අප දේශයට කරනා අපහාසයක්.”

මෙහිදී හිස නවා ආචාර කළ තවත් සහයක ගෝරාවරුන් සිව් දෙනෙක් ඒ සඳහා නික්ම ගියහ. මහා රාජිනිය යළිත් ගෝරාවරුන් ඇමතුවාය.

“නුඹලාට විරුද්ධව අසිපත් ඔසවන කිසිම සතුරෙකුට සමාව දෙන්නට එපා. මේ තරම් ඊර්ෂ්‍යා සහගතව අපගේ සෞභාග්‍යමත් හෙළ දේශයේ විනාශය පතා ආක්‍රමණය කළ ඔවුන් එකෙක් හට වත් පණ පිටින් යන්නට දෙන්නට එපා. හෙට දිනයේ ඇති වන මහා සංග්‍රාමය තීරණාත්මකයි. හෙළයේ දරු මුණුබුරු පරම්පරාවට හිස කෙළින් තබා නැගී සිටින්නට හැකියාව ලැබෙනුයේ හෙට දිනයේ ආක්‍රමණිකයන් සමූල ඝාතනය කළ හොත් පමණයි. එසේම තවත් වසර දහසකින් මේ මහා හෙළ දේශයේ ජන්මය ලබන ප්‍රබල අධිරාජ්‍යයා වූ මහා රාවණ හට ජන්මය ලබන්නට මාවත පෑදෙන්නේ ද හෙට දිනයේ යුද්ධය අප ජය ගත හොත් පමණයි. ඒ නිසා මාගේ පුත්‍රවරුනි. සතුරු සෙබළුන් සියල්ල සමූල ඝාතනය කළ යුතුයි. එහෙත් උන්ගේ ප්‍රධානීන් පණ පිටින් අල්ලා ගෙන මා ඉදිරියේ දණ ගැස්විය යුතුයි.”

මහා ගෝරාවරුන් සත් කට්ටුව ඇතුළුව එහි සිටි සියලුම ගෝරාවරුන්, අධිෂ්ඨාන පූර්වකව සිය නමස්කාර මුද්‍රාවෙන් ජයමාලී දේවියට ආචාර කළහ. ගිනි ගෙන දැවෙන තියුණූ දෙනෙතින් යුතුව සිටි මේ මහා රාජිනියගේ රූමත් මුහුණෙහි බිහිසුණු වූත්, අමානුෂික වූත් සිනාවක් ඇඳී ගියේය.

 

මතු සම්බන්ධයි.

කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි

සිතුවම - සමන් ශ්‍රී කාන්ත


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.