මම නුඹේ ලේ පළිය ගන්නවා මෂ්පිණ්ඩි...

නොවැම්බර් 29, 2019

සීතල මන්ද මාරුතයෙන් උදෑසන පිනිකැට දසත විසිරී ගොස් රිදීමැඩිල්ල වෙල්යාය ඇඟ කිළිපොලා යන සිසිලසින් නහවද්දී, උදෑසන ඒ මහා වෙල්යායේ වාතය පිරී ගියේ කුරුලු ගීතයෙන් නොවේ. ප්‍රදේශය දෙවනත් වන ලෙස නැගුණු සිම්ජාගේ ගෝරනාඩුවෙනි. ඒ තරම් ප්‍රබල ආරක්‍ෂක සෙබළ වළල්ලකින් සිය කඳවුර රැකවල් කර තිබියදීත්, කඳවුර ඇතුළත ආයුධ සන්නද්ධ සෙබළුන් රාශියක් මුර කරද්දීත්, සියලුම දෙනාට හොරා කඳවුර තුළ සිදුවී තිබුණු මහා මනුෂ්‍ය සංහාරය පිළිබඳව සිම්ජාට විශ්වාස කිරීමටවත් නොහැකි වී තිබිණ.

කිසිදු ආයුධයකින් පහර දීමකින් තොරව, සිරුරේ කිසිම තුවාළයක් නොමැතිව සහ කිසිදු සාක්‍ෂියක් නොමැතිව සිය මුර සෙබළුන් දෙසියයකට ආසන්න ප්‍රමාණයක් අතන මෙතන බලු කැණහිළුන් සේ මරා දමා තිබීම ගැන අධිකව කෝපයට පත්ව සිටි සිම්ජා, රත් පැහැ ගැන්වුණු මුහුණින් සහ දෙනෙතින් යුතුව, අසභ්‍ය වචනයෙන් සිය සෙබළුන්ටත්, ඔවුන්ගේ හත්මුතු පරම්පරාවන්ටත් බැණ වැදුණේය. පෙනෙන මානයේ තිබූ දේවල් වලට පයින් ගසමින්, කෙළ ගසමින්, සාප කරමින්, පිස්සෙකු මෙන් හැසිරුණු සිම්ජා ඉදිරියේ සිටගෙන සිටියේ පෙරදා රාත්‍රියේ කඳවුර තුළ සහ කඳවුරින් පිටත රැකවල් කළ සෙබළ පිරිසයි. ඒ අසලම වූයේ එක තැනකට ගොඩ ගසන ලද මියගිය සෙබළුන්ගේ මළ සිරුරු සමූහයයි. ඉහවහා ගිය කෝපයෙන් යුතුව සිම්ජා, සිය මුර සෙබළුන් දෙස දත්මිටි කමින් බලා සිටියේය. ක්‍රෝධයෙන් වෙවුලමින් සිටි ඔහු, කථා කළ හැකි වූ සැණින් යළිත් බැණ වදින්නට පටන් ගත්තේය.

“උඹලා අපායට පලයව් නීචයෝ... මේ තරම් විනාසයක් වෙන තුරු උඹලාගේ ඇස් අන්ධ වෙලා තිබුණාද? අඩුම තරමින් අනතුරු හඟවන ඝණ්ඨාරය නාද කරන්නට බැරි තරමට උඹලා හිටගෙන නිදාගෙනද හිටියෙ කාළකණ්ණි... ඇත්තටම පෙරදා රාත්‍රියේ තොපිලා ඇස් පියාගෙනද මුර කළේ...?”

කුමක් කියන්නට දැයි නොදැන, මේ සෙබළුන් සමූහය එකිනෙකාගේ මුහුණු හොරැහින් බලමින්, බිම බලමින්, ඇඟිලි වලින් මහ පොළොව හාරමින් පසු වූහ. සිය නායකයාගේ කෝපය අමානුෂික බව ඔවුන් අත්දැකීමෙන් දැන සිටියහ. වචනයක් හෝ එහා මෙහා වුවහොත්, සිය හිස දෙපළු වන ලෙස කඩු පහරක් ලැබීම නියත බව අතීත අත්දැකීම් වලින් ඔවුන් දැන සිටියහ. එම නිසා සිය නායකයාට ඕනෑම දෙයක් කියන්නට ඉඩ දී ගොළුවන්, බිහිරන් ලෙස සිටින්නට ඔවුන් සිතා ගත්හ.

“උඹලාට වඩා හොඳ රූකඩ අපේ දේශයේ පොල් ගස් වල පොල් කොට වලිනුත් කපා ගන්නට හැකියි නීචයෝ. ආයුධ සන්නද්ධ නුඹලාගේ සහෝදර සෙබළුන් මේ විදිහට මරා දමනකල් උඹලා උඩ බලාගෙන අහසේ තරු ගැන්නාද? නුඹලා ජාතක කළ....”

දැඩි ක්‍රෝධයෙන් යුතුව අසභ්‍ය වචනයෙන් සිය සෙබළුන්ට බැණ වදිනා සිම්ජා දෙස බලා සිටි ඉග්ලීස් රජු මෙහිදී ඉදිරියට ආවේය. ඔහුට යමක් තේරුම් ගොස් තිබිණ. “ඔය ඇති සිම්ජා කුමරුනි. සෙබළුන්ට බැණ වැදීමෙන් පලක් නැහැ. මෙතන අප දකිනවාට වඩා වෙනස්

යමක් සිදුවී ඇති බව පැහැදිලියි. ඒ කුමක්ද කියා කියන්නට දන්නේ නැති වුණත්, අප මෙහිදී වඩාත් කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. කෝපයෙන් මේ ගැටලුව විසඳීය නොහැකියි. මදක් ඉවසන්න... මා මොවුන්ගෙන් විමසා බලන්නම්.”

මෙහිදී කෝපයෙන් යුතුව ඉග්ලීස් රජු දෙස හැරුණු සිම්ජා, ඉග්ලීස් රජුගේ මුහුණේ තිබුණු ස්ථිර තීරණාත්මක ස්වභාවය දැක මදක් පසු බැස්සේය. හරේරාද, බලාගත් බැල්මෙන් බලා සිටියේය. මෙහිදී ඉග්ලීස් රජු උස් හඬින්, කාළවර්ණ බටහිර දේශයේ භාෂාවෙන් මුර සෙබළුන් ඇමතීය.

“සෙබළුනි, මා හට පවසනු, නුඹලාගෙන් කිසිවෙක් පෙරදා රාත්‍රියේ සතුරු ආක්‍රමණයක් දුටුවාද? නැත් නම් සතුරන් පැමිණෙනවා ඇසුණාද?”

මෙහිදී අර මුර සෙබළුන් සියලුම දෙනා ‘නැතැයි’ හඟවන්නාක් මෙන් දෙපසට හිස සැලූහ. සිම්ජා ගේ මුව මහත් සේ ඇයී ගියත්, ඉග්ලීස් රජුගේ එකම සංඥාවකින් ඔහු නිහඬ වූයේය.

“එසේම කඳවුර තුළ කිසියම් කෝලාහලයක් හෝ අවි ආයුධ ගැටෙන හඬක් නුඹලාට ඇසුණේද? එසේත් නැතිනම් කිසිවෙකු දුව පනින හෝ වෙනත් අස්වාභාවික හඬක් ඇසුණේද?”

මෙයටත් සෙබළුන්ගේ පිළිතුර වූයේ නිහඬව දෙපසට හිස සලා ‘නැතැයි’ පැවසීමයි. ඉමහත් විස්මයෙන් සිම්ජා මෙහිදී කඳවුර වටා මුර කළ සෙබළුන් දෙසට හැරුණේය.

“මොනවා......? එතකොට කඳවුර තුළ මෙතරම් විනාශයක් වෙනවා නුඹලා දන්නේම නැහැ...? නුඹලා පෙරදා රාත්‍රියේ බීමතින් සිටියාද?”

මෙහිදී මුර සෙබළුන් ගේ ප්‍රධාන සෙබළා යටහත් පහත්ව කථා කළේය.

“අවසර කුමාරෝත්තමයාණන් වහන්ස. අප ඒ ගැන කිසිවක් දැන සිටියේ නැහැ. අප එකෙකු හෝ නිදා ගත්තේ හෝ සුරා පානය කර සිටියේ නැහැ. රාත්‍රී මුර සෙබළුන්ට සුරා පානය තහනම් බව අප දන්නවා. ඒ නීතිය මේ දක්වා කිසිදාක අප කඩ කර නොමැති බවත් ඔබ වහන්සේ දන්නවා. ඒ රාත්‍රිය පුරාම මාත්, අපගේ උප ප්‍රධාන සෙබළුන් සමග මා කඳවුර වටා සංචාරය කළා. ඒත් උදෑසන බිමට එළියට වැටෙන විට දකිනා තෙක්, කඳවුර තුළ මේ තරම් විනාශයක් වී ඇති බවක් අප දන්නේ නැහැ කුමාරෝත්තමයාණන් වහන්ස...” සිය නායක සෙබළා ගේ කථාව ඇසූ සිම්ජා, බලාගත් බැල්මෙන් ඔහු දෙස බලා සිටියේය. වසර ගණනාවක පටන් සිම්ජාගේ මුර සෙබළුන්ගේ නායක පදවිය දැරූ ඔහු, ඉතා බුද්ධිමත් සහ මනා සංවිධාන ශක්තියකින් යුතු අත්දැකීම් බහුල සෙනෙවියෙක් වූයේය. වැඩිපුර කථා නොකරන ඔහු, සිය රාජකාරිය අකුරටම ඉටු කරන්නෙකු ලෙස සිම්ජාගේත්, ඔහුගේ රාජ පරපුරේත් ප්‍රසාදයට හා සම්මානයට පාත්‍ර වූ පක්‍ෂපාතී පුද්ගලයෙක් වූයේය. මෙහිදී කෝපය මදක් සංසිඳුණු සිම්ජා හිස සලමින් එය පිළිගත්තේය.

“හොඳයි... අප මෙහෙම කරමු. නුඹ ගොස් මෂ්පිණ්ඩි කැඳවාගෙන එනු. ඔහුගේ අඳුනින් බලා මෙය කළේ කවුරුන්ද යන්න අපට නිසැකවම දැන ගත හැකියි.”

මෙහිදී හිස නවා ආචාර කළ සෙබළ ප්‍රධානියා, මෂ්පිණ්ඩි ගේ කූඩාරම දෙසට පිටත්ව යනු සිම්ජාත්, අනෙක් සියලුම දෙනාත් බලාගත් බැල්මෙන් බලා සිටියහ. සිම්ජාගේ කූඩාරම දෙසට ගමන් කළ ඔහු මද වේලාවකින් ආපසු දුවගෙන සිම්ජා වෙතට ආවේය.

“අවසර කුමාරෝත්තමයාණන් වහන්ස... මෂ්පිණ්ඩිතුමා ගේ කූඩාරමෙන් කිසිදු හඬක් නැගෙන්නේ නැහැ. මා තෙවරක් කථා කළා. එතුමන් ගෙන් හෝ සෙබළුන්ගෙන් හෝ කිසිදු හඬක් නැගෙන්නේ නැහැ.” මෙහිදී සිම්ජා ගේ මුව යළිත් මහත් සේ ඇයී ගියේය. “මොනවා... එසේ විය නොහැකියි...” මෙසේ පැවසූ සිම්ජා සියල්ල අහිමි වී හිස ගිනි ගත්තෙකු සේ මෂ්පිණ්ඩි ගේ කූඩාරම දෙසටදුවන්නට වූයෙන් හරේරා සහ ඉග්ලීස් රජු ඇතුළුව සෙබළ ප්‍රධානීන් ද ඔහු පසුපස දුවන්නට වූහ.

අනෙක් පරිවාර සෙබළුන් ද ඔවුන් පසුපස ගියහ. මෂ්පිණ්ඩි ගේ කූඩාරම දෙසට පැමිණි සිම්ජා, එහි දොරටුව අසල හිඳ මදක් පැකිළුණේය. ඉන් පසුව සිත දැඩි කරගත් ඔහු, එකවරම කූඩාරමේ දොරටුව ලෙස තිබූ සම්කඩ දෙපසට ඇරගෙන එයට ඇතුල් වූයේය. ඔහු පසුපසින් හරේරාත්, ඉග්ලීස් රජුත්, සෙබළ ප්‍රධානීන්ද කූඩාරමට ඇතුළු වූහ.

කූඩාරම පාළුවට ගොස් තිබිණ. අඳුරට ඇස් හුරු වෙත්ම, කූඩාරමේ දොරටුව අසලම ගෙළ වෙන් වන්නටම කපා මරා දමා තිබූ ආරක්‍ෂක සෙබළුන්ගේ මළ සිරුරු දෙක දකිත්ම සිම්ජා ත්‍රස්ත වී ගියේය. එසැණින් ඔහු ඉදිරියට ගොස් මෂ්පිණ්ඩි ගේ ඇඳ අසලට ගියේය. ඇඳ මත සම් ඇතිරිල්ලකින් වැසුණු යම් කිසි පොදියක් තිබූ අතර, යහන අසලම බිම නිදා සිටි මෂ්පිණ්ඩි ගේ අතවැසියා, හිටි ඉරියව්වෙන්ම උඩුබැල්ලෙන් ගෙළ කපා ඝාතනය කර තිබිණ. මෙහිදී සිම්ජාට සිහින් දහඩිය දැමූ අතර, ඔහු කෝපයෙන් යුතුව මෂ්පිණ්ඩි ගේ සයනයේ තිබූ සම් ඇතිරිල්ල ඉවත් කළේය. දුටු දෙයින් මවිත වූ ඔහු රාවයක් නැගීය.

පිල්ලු යැවීම සඳහා මෂ්පිණ්ඩි සතුව තිබූ කිසියම් ආකාරයක වියළන ලද මළ මිනී හෙවත් ‘මමී’ කිහිපයක් දෙපළු කර, ඒ සියල්ල මෂ්පිණ්ඩි ගේ හිණ වටා බැඳ තිබූ බඳ පටියෙන් ඔතා ඒ මතට සම් රෙද්ද පොරවා ගොස් තිබිණ. මෂ්පිණ්ඩි ගේ සුපුරුදු බඳ පටිය දකිත්ම සිම්ජා ගේ දත් පවා එකට ගැටෙන්නට වූයේය. සිදුවී ඇති සියල්ල ඔහුට යාන්තමින් වටහා ගත හැකි වූයේය. හරේරාත්, ඉග්ලීස් රජුත්, සෙබළ ප්‍රධානීන් ද උනුන් මුහුණු බලා ගත්හ. හරේරා මෙහිදී ගොත ගැසීය.

“ශුද්ධ වූ ජිබ්ලා දෙවියන් වහන්ස... උන් අපේ ආරක්ෂක සෙබළුන් සියලුම දෙනා මරලා දාලා, මෂ්පිණ්ඩිව අරන් ගිහින්. ඒකෙ සළකුණක් තමයි අපට පෙනෙන්න තියලා ගිහින් තියෙන්නෙ. සෙල්ලාදු ගුරුකම් වලට යොදා ගන්න පදම් කළ මළ සිරුරු වල බලය කපා හැරලා උන් ඉතිරි සියල්ල අරන් ගිහින්. මේ හෙළයො නම් යක්ෂයින්ම තමයි...”

මිටි කැවුණු දෑතින් සහ ක්‍රෝධයෙන් වෙවුලන සිරුරින් යුතුව සිම්ජා අසභ්‍ය අවලාදයක් නගමින් කූඩාරම දෙවනත් වන ලෙස කෑ ගැසීය. ඔහු සිය සෙබළ ප්‍රධානීන් දෙසට හැරුණේය.

“උඹලාගේ සියලුම සෙබළුන් සූදානම් කරපල්ලා. අප මේ දැන්ම හෙළයින් සමූල ඝාතනය කළ යුතුයි. සන්නාහ සන්නද්ධව රට තුළට ගමන් කරන්න සූදානම් වෙයල්ලා. සියලුම ගම්මාන ගිනිබත් කළ යුතුයි. අතට හසුවන සියලුම හෙළයින් මරා දමා පල්ලා. අප මේ මොහොතේම හෙළ දේශය විනාශ කර දැමිය යුතුයි...” මෙහිදී හිස් නවා ආචාර කළ සෙබළ ප්‍රධානීන් වහාම කූඩාරමෙන් පිටතට ගිය අතර, යුද්ධයට සෙබළුන් කැඳවන ඝණ්ඨා නාදය පැතිර යත්ම සිම්ජා, මෂ්පිණ්ඩි ගේ සයනය මත තිබූ බඳ පටියෙන් ගැට ගැසූ වියළී ගිය මළ සිරුරු දෙස බලා දරුණු අවලාදයක් නැගීය.

“මම නුඹේ ලේ පළිය ගන්නවා මෂ්පිණ්ඩි. මම මේ දේශය සහමුලින්ම විනාශ කරනවා...”

 

මතු සම්බන්ධයි.

 

කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.