ආදි හෙළ සටන් බලවේග සංග්‍රාමගත වෙයි...

ජනවාරි 31, 2020

සිය මහා අධිරාජ්‍යයා සංග්‍රාමයට අවතීර්ණ වූ බව දැනගත් මහා ගෝරාවරුන් සත් කට්ටුව, ඔවුන්ගේ ඊළඟ ගෝරා ක්‍රියාන්විතයට සූදානම් වූහ. එනම් සාමාන්‍ය සටන්කරුවන්ගේ තත්ත්වයෙන් මිදී, අධිමානුෂික බලතල යටතේ පුරාණ හෙළ යක්ෂ ගෝත්‍රික බලවේග සමග සෘජුවම සම්මුඛ වෙමින් යුද්ධයට දායක වීමයි. මහා හර්ෂදේවයෝ මේ ප්‍රබල මොහොතේ ඒ උත්කෘෂ්ඨ අදියරට පිවිස සිටියෝය.

සතුරු වළල්ල මැද සිටිමින් මහා හර්ෂදේවයන් කළු දිවි ආරූඪයෙන් නැගූ ඒ තියුණු කෑ ගැසීම

හමුවේ ඔවුන් වට කරගෙන සිටි ලුන්ඩා යෝධයෝ භ්‍රාන්ත වී ගියහ. ඔවුන් සිටි පියවර ගල් ගැසී නතර වී මුහුණින් මුහුණ බලා ගත්තේ එබැවිනි. කළු දිවි ආරූඪයෙන් බල ගැන්වී සිටි මහා හර්ෂදේවයන් ගේ ඒ කෑ ගැසීම සටන් බිමේ අනෙක් හඬවල් යටපත් කර ගෙන රිදීමැඩිල්ල වෙල් යාය සිසාරා පැතිර යත්ම, මහා ගෝරාවරුන් සත් කට්ටුව ඇතුළු සියලුම ගෝරාවරුන්, සටනේ යෙදී සිටියදීම තම තමන්ගේ ගුරුකුල වල උගන්වා තිබූ ආකාරයට අධිමානුෂික බලවේග සමග සම්මුඛ වන්නට මානසික විධානයන් ලබා දෙන්නට වූහ.

හර්ෂදේවයන් කළු දිවි ආරූඪයෙන් නැගූ හඬ සමගම ඔහු යටතේ සිටි මහා ශාර්දූල බළකායේ

ගෝරා සෙබළුන් සටනේ යෙදී සිටියදීම, එකාවන්ව දිවියෙකුගේ පහත් ගෙරවීමක් වැනි හඬකින් කෙටි තන්ත්‍රයක් ජප කරත්ම, ඔවුන් සියලුම දෙනා ආශ්චර්යවත් ලෙස එකවර හෙළයේ මහා ශාර්දූල බලවේගයට හෙවත් මහා කළු දිවි ආරූඪයට සිය සිරුරු වලට පිවිසෙන්නට අවසර දුන්හ. ඒ සැණෙකින් ඔවුන්ගේ සටන් තාක්‍ෂණය හාත්පසින් වෙනස් වී ගියේය. තියුණු ගෝරා අසිපත් යුගළයන් දෑතින් ගත් ඒ ශාර්දූල බළකායේ ගෝරාවරුන්, තමන් සමග සටනේ යෙදුණු සතුරන් සිතාගත නොහැකි ආකාරයට සුමඟු සුමඟුව පෙති ගසා හෙලූහ. මිනිත්තු කිහිපයක දී ශාර්දූල බළකාය සටන් කළ භූමිය සතුරු මළ සිරුරු වලින් වැසී ගියේය.

හර්ෂදේවයන්ගේ ශාර්දූල බළකාය එසේ සිය බලශක්තිය තමන් වෙත ආරෝපණය කර ගනිද්දී, යුධ පෙරමුණේ අසු පිට සිටි යෂ්ඨි හරඹයේ අග්‍රගණ්‍ය මහා ජීවාලෝක කුමරුන්, අසු පිටින් බිමට පැන, අශ්වයා ආපසු පන්නා හැරියේය. ඔහු, සිය අසිපත කොපුවේ රුවා ගෙන පිටේ රඳවාගෙන සිටි දිගු යෂ්ඨිය ක්‍ෂණිකව ඇද ගත්තේය. ඔහු යම්කිසි කෙටි මන්ත්‍රයක් ජප කරමින් සිය දිගු යෂ්ඨිය අතට ගෙන හරඹයේ යෙදුණේ මහා විදුලි පංකාවක් සිය සිරුර වටා අධි වේගයෙන් භ්‍රමණය කරන්නාක් මෙනි. යෂ්ඨි හරඹයේ බලවේගයන් සිරුරට ආරෝපණය කරගත් ජීවාලෝක කුමරුන් වටා සිටි සතුරන්ගේ ආයුධ අර යෂ්ඨීයේ වැදී ඈතට විසිවී ගියේය. සුළු කාලයක දී ජීවාලෝක කුමරුන්ගේ යෂ්ඨි හරඹය හමුවේ ඔහු වටා සටනේ යෙදුණු සතුරන් මිය ගොස් හෝ මිය යමින් හෝ බිම ඇද වැටී සිටිනු දක්නට ලැබුණි.

මහාසිද්ධ මහරජතුමන් සංග්‍රාමයට අවතීර්ණව සතුරන් කපාගෙන ඉදිරියට යද්දී, ඒ අසලින්ම අසු පිටින් ගමන් කළේ රණගල හටන් පරපුරේ මහා හරඹාචාර්ය භීමනාථ මහ සෙනෙවිතුමන්ය. සෘජුවම බලශක්තීන් හා සම්මුඛ වී සිටි එතුමෝ, සතුරන්ගේ ඇඟ ලෙය හිරි වට්ටන තරම් යක්‍ෂ ගෝත්‍රික හඬින් කෑ ගසමින් සිය මහා අසිපතින් සතුරන් දෙතුන් දෙනා කපා හෙලූහ.

ජීවාලෝක කුමරුන් සමගම සටනේ යෙදුණු හටන්ගල සුබාහු පරපුරේ මහා පද්මනාථ කුමරුන්ද,

මෙහිදී අසු පිටින් පැන, සිය අශ්වයා හට නියෝගයක් දී එම සත්ත්වයා ආපසු යවා සිය තියුණු ගෝරා අසිපත් යුවළ එළියට ඇද ගත්තේය. පහර දීමට සතුරන් ඔහුව වට කරත්ම, කිසියම් කෙටි තන්ත්‍රයක් ජප කරමින් මහා පද්මනාථයෝ සිය ගෝරා අසිපත් යුවළ ඇසිපිය ගසන සැණින් සිරුර වටා කරකැවූහ. හෙළ අසිපත් කලාවේ ආදී මහා බලවේග සෘජුවම සිරුරට පිවිසෙද්දී මහා පද්මනාථයන් ගේ මුවින් පිට වූයේ අභියෝගාත්මක තියුණූ කෑ ගැසීමකි. ඒ කෑ ගැසීම සමගින්ම ඔහු දස ගුණයක් තියුණූ දෙනෙතින් සතුරන් දෙස බලමින් අස්වාභාවික අන්දමින් අසිපත් පහරවල් එල්ල කළේය. සතුරන්ට ඉලක්කයක් ගන්නටත් පෙරාතුව, හෙළයේ මේ මහා අග්‍රගණ්‍ය අසිපත් ශිල්පධාරියා එල්ල කළ ප්‍රබල සහ නියත අසිපත් පහරවල් වලින් පෙති පෙති කැපී ගිය සතුරු සිරුරු ගණනාවක රුධිරයෙන් ඔහු වටා භූමිය පෙඟී ගියේය.

ඒ අතර ජයමාලී දේවිය නායකත්වය දුන් හෙළයේ ගෝරාවරියන්ගේ සටන් බළකායද, බල බලා

සිටියේ නැත. ආදී සටන් බලවේග සමග ඔවුන්ද සම්මුඛ වී සිටි බැවින්, යුද්ධ භූමියේ සතුරු සේනාවේ එක් කොටසක් වට කරගත් මේ මහා වීර හෙළ දියණියෝ, කෝපාවිෂ්ඨ දිවි දෙනුන් මෙන් ඉදිරියට හමුවන සතුරු සෙබළුන් සියලුම දෙනා නසාලූහ.

සියල්ල මෙලෙසින් සිදු වෙද්දී, ජයමාලී දේවිය වටා සිටි ලුන්ඩා යෝධයෝ සිය කවය කුඩා කරමින්

ජයමාලී දේවිය වෙතට ළං වෙත්ම, කෝපාවිෂ්ඨ නායක දිවියාගේ තියුණු කෑ ගැසීම සමගින් මහා

හර්ෂදේවයෝ අකුණු පහරක් ලෙසින් ඉදිරියට පැන්නේ අස්වාභාවික පහරවල් ගණනාවක් එල්ල කරමිනි. දැවැන්ත ලුන්ඩා ගෝත්‍රිකයන් සියලුම දෙනාට, තමන් අති දරුණු කළු දිවියෙකු සමග කුඩා කාමරයකට දමා වසා ඇති සෙයක් හැඟී ගියේය. හෙළයේ මහා ගෝරා අසිපත් කලාව මහා හර්ෂදේවයන්ගේ දෑතින් දෙගොඩ, තෙගොඩ තලා පිටාර ගලන්නට වූයේය. ඇසිපිය ගසන නිමේෂයෙන් එහා මෙහා පනිමින්, ලුන්ඩා යෝධයින් අතරින් රිංගමින්, අවශ්‍ය විටක සිතාගත නොහැකි තරම් ක්‍ෂණිකව කරණම් පහරවල් එල්ල කරමින් ශිල්ප දක්වන්නට වූ නැගෙනහිර දිසාව භාර මේ මහා හෙළ සටන් ශූරයා, තනිකරම සතුරු රුධිර පිපාසිත කළු දිවියෙක් බවට පත්ව සිටියේය. සිය බර අසිපත් සහ මුගුරු ඔසවන්නටත් පෙරාතුව වැදෙන ක්‍ෂණික ගෝරා අසිපත් පහරවල් වලින් ලුන්ඩා යෝධයින් ගණනාවක් ප්‍රාණය නිරුද්ධව හෙළ දෙරණ සිප ගත්හ.

මහා හර්ෂදේවයෝ එලෙසින් ලුන්ඩා වළල්ල කපා හෙළද්දී, ජයමාලී දේවියගේ අනෙක් පසෙන් ධූරා, සිය වගකීම අකුරටම ඉටු කරමින් සිටියේය. දැළිපිහි තල වල මුවාතින් යුතු සිය ගෝරා අසිපත් යුවළ දෑතින් ගත් මේ මහා හෙළ රණ ශූරයා වායෝ ශක්තියට මුසු වූයේ, සුළි සුළඟක් ලෙස තම රාජිණිය වෙත කඩා පනින ලුන්ඩා යෝධයින් පෙති ගසා දැමීය. සිතාගත නොහැකි තරම් අධික වේගයෙන් සටන් භූමියේ කිහිප තැනකට ක්‍ෂණිකව පනිමින් ඔහු එල්ල කළ අස්වාභාවික අසිපත් පහරවල් ලුන්ඩා ගෝත්‍රිකයන්ට සිහිනයක් බඳු වීය. ඔවුන් සියලුම දෙනාට එය අවසන් සටන වූයේය. සිංහල පැයක් අවසාන වන විටදී ජයමාලී දේවිය වටා සියයකට ආසන්න වූ ලුන්ඩා ගෝත්‍රික මළ සිරුරු ගොඩ ගැසී තිබිණ.

දෙපාර්ශවයම මෙලෙසින් සටන් වදිනා අතරතුර දී දික්ගහලෙන කන්ද දෙසින් තවත් අස්වාභාවික

පිරිසක් සටන් භූමියට දිව එනු දක්නා ලදී. සිය ගණනක් වූ මේ පිරිසේ සෑම කෙනෙක්ම කාළ වර්ණ අමුඩයක් ඇඳ සිටි අතර ඉතිරි මුළු සිරුරම නිරුවතින් තිබූණි. ඒ පිරිසේ සෑම කෙනෙකුගේම අතේ තියුණු අසිපතක් තිබිණ. දෙනෙත් වල කළු ඉංගිරියාවන් නොවූ අතර, තියුණු රදනක දත් පෙනෙන ලෙස දෙතොල් විවර වී තිබිණ. කට දෙකොණින් සුදු පැහැති සෙම ගලා හැලුණු අතර, ඉතාම ම්ලේච්ඡ හා තිරශ්චින ලෙසින් මෙම පිරිස පෙනී ගියේය. අධික මිනී කුණු ගඳක් ද ඔවුන් වටා පැතිර ගියේය. මෙසේ පැමිණියේ මියගිය සතුරු සෙබළුන් ගේ සිරුරු වලට මළ යක්ෂයින් ආරූඪ කරවා යළිත් පණ ලබා දී තිබූ මළ උපන් පිල්ලි හමුදාවයි. ගුප්ත ශාස්ත්‍රයේ අග්‍රගණ්‍ය මහා විද්‍යාජෝති කුමරුන් විසින් ප්‍රබල අසුර අඳුනක් මගින් දික්ගහලෙන කන්දේ සිට ඔවුන් පාලනය කළේය. කිසිම බියකින් තොරව මාරාවේෂ වූ මළ යක්ෂ කණ්ඩායමක් මෙන් සතුරන් වෙත දිව ගිය මේ පිල්ලි හමුදාව ගොර හඬ දෙමින් සතුරන්ට පහර දුන්හ.

තමන් සමගම එකම සේනාවේ හෙළ දෙරණට පිවිසි සහෝදර සෙබළුන්, අස්වාභාවික ස්වරූපයකින් හා දැඩි දුර්ගන්ධයකින් යුතුව පැමිණ යළි තමන්ටම පහර දෙනු දුටු සිම්ජාගේ සහ හරේරාගේ අනෙක් සෙබළුන් තුෂ්ණිම්භූත වූහ. ඔවුන් එවන් දෙයක් කිසිදාක අසා තිබුණේවත් නැත. විද්‍යාජෝති කුමරුන් විසින් මේ මළ උපන් පිල්ලි හමුදාවට රුධිරයට කෑදර, ප්‍රබල යක්ෂ ආත්ම බන්ධනය කර තිබුණේය. එම නිසා සතුරෙකු නසා දැමූ සැණින් එම සතුරාගේ උගුරු දඬුවට දත් ගසා ලේ උරා බී තෘප්තිමත් ලෙස යටි උගුරින් කෑ ගසා සිනාසෙන මේ පිල්ලි, තවත් බිල්ලක් සොයා යනු දුටු සතුරු සේනාවේ බොහෝ දෙනා බියපත්ව ආපසු දුවන්නට වූහ. එසේ දුවන සතුරු සෙබළුන් පිටුපස එළවා ගිය හෙළ බළ සේනාවේ සාමාන්‍ය සෙබළුන් ඔවුන්ට පහර දෙමින් මරා දැමූහ.

ජයමාලී දේවිය වට කර තිබූ වළල්ලේ සිටි සියලුම ලුන්ඩා ගෝත්‍රික යෝධයින් සිංහල පැය දෙකක්

තුළ ඝාතනය කරන්නට ධූරා සහ මහා හර්ෂදේවයන් සමත් වූහ. ඔවුන් එතැනින් නතර වූයේ නැත. ඔවුන්ට තවත් අලුත් සතුරු ලේ අවශ්‍ය වී තිබිණ. එම නිසා ජයමාලී දේවිය ධමූලාගේ පිට නැගී සතුරන්ට පහර දෙමින් යළිත් යුද්ධයට එක් වෙද්දී, ධූරා සහ හර්ෂදේවයන් අනෙක් පසින් සතුරු බළ මුළු ශුද්ධ කළහ.

යුද්ධයේ මෙම තීරණාත්මක හෝරාව එළඹෙද්දී රිදීමැඩිල්ල වෙල් යාය දෙපස උස් ගස්වල සහ ළඳු තුළ රැඳී සිටි හෙළ දුනුවායෝ පණ ලබන්නට වූහ. ඔවුන්ට නියම කර තිබුණේ වෙල් යායේ එක්තරා සීමාවක් දක්වා සතුරු සේනාව පසු බැස්වීමෙන් අනතුරුව පහර දෙන ලෙසිනි. එම නියමය අකුරටම ඉටු කරමින් මේ නිහඬ දුනුවායෝ සිය දික් දුනු වලින් මාරාන්තික විෂ පොවනු ලැබූ දිගු ඊතල අවකාශයට මුදා හළහ. සියුරු හන් දෙමින් වාතය කපාගෙන ගිය මේ හීතල වලින් සෑම තත්පර කිහිපයකටම වරක් එක් සතුරු සෙබළෙකුගේ ජීවිතය අහිමි වූයේය. ජාගෙන් ගේ බළ සේනාව හැර අනෙක් සියලුම සේනාවන් ඉලක්ක කර පහර දීමට හෙළ දුනුවායන්ට නියම කර තිබුණෙන්, එම වගකීම ඔවුන් ඉටු කළහ.

මුදුන් වූ හිරු අවරගිර දෙසට හැරෙන්නට සූදානම් වෙද්දී, හෙළයේ මහා අධිරාජයාගේ හඬින්

රිදීමැඩිල්ල වෙල්යාය දෝංකාර දුන්නේය.

“වීර හෙළ දරුවනි... සටන් කරපල්ලා... අද හිරු අස්තගත වන්නට පෙරාතුව සතුරන් සාධා ඔවුන්ගේ රුධිරයෙන් රිදීමැඩිල්ල වෙල්යාය රක්ත වර්ණ කරපල්ලා... හෙළ දෙරණට ජය වේවා...”

මතු සම්බන්ධයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.