මරණය ජයගෙන නැවත මා පැමිණියා...

පෙබරවාරි 14, 2020

සතුරු සේනාවේ සෙබළුන් එකා පිට එකා පෙති ගැසී හෙළ දෙරණ මත පතිත වෙද්දී, දැඩි ක්‍රෝධයෙන් යුතුව ඒ දෙස බලා සිටි සිම්ජා දත්මිටි කෑවේය. බොහෝ සෙබළුන් ආපසු හැරී සටන් බිමෙන් ඉවතට පළා යද්දී හෙළ දුනුවායන්ගේ අමානුෂික හී පහරවල් වලට ලක්වී මිය ගිය අතර, රිදී ඇළට පැන පිහිනා එගොඩ වන්නට තැත් කළ සතුරු සෙබළුන් දිය යටට ඇද මරා දමන ලදුව, ඔවුන්ගේ ගේ මළ සිරුරු පහළට ගසාගෙන ගියේය. එලෙසින් සතුරු සේනාව ශීඝ්‍රයෙන් වියැකෙමින් පැවතුණි. යුද්ධයට පිවිසි මහාසිද්ධ මහරජතුමන් සහ ජයමාලී දේවියත් මහා ගෝරා සත් කට්ටුවත් පෙරටු කරගත් ප්‍රබල හෙළ යක්ඛ සටන්කරුවෝ, තමන් ඉදිරියට ආයුධ සන්නද්ධව පැමිණෙන සියලුම සතුරු සෙබළුන් ප්‍රබල පහරවල් වලින් සුමඟුව ලියාලූහ.

හෙළයන්ගේ දේශය ආක්‍රමණය කිරීමට පැමිණෙද්දී මෙවන් වූ විපතක් තම සේනාවට සිදු වේ යැයි

සිම්ජා සිහිනෙන් හෝ නොසිතුවේය. ඔහුගේ බසට අවනතව මෙහි පැමිණි හරේරාත්, ඉග්ලීස් රජුත් පසුවූයේ කරකියාගත නොහැකි තත්ත්වයකටය. ජාගෙන් හට කුමක් වූවාද යන්න ඔවුන් දැන සිටියේ නැත. ජාගෙන්ගේ සෙබළුන් යුද්ධ භූමිය පුරා එහා මෙහා දුව පනිමින් සටන් කළද, බටහිර ඩැන්මාරූ දේශයේ සෙබළුන්ගෙන් එකෙකුදු මිය නොගිය බව සිම්ජාට හෝ හරේරාට දැනී ගියේ නැත. හෙළ දේශය සහ ජාගෙන් අතර ඇති සම්බන්ධය පිළිබඳව ඔවුන් හාංකවිසියක් හෝ දැන නොසිටියහ. ඒ වන විටත් ලක්‍ෂයකට වඩා සිටි සතුරු සේනාවේ සෙබළුන්ගෙන් ඉතිරිව සිටියේ පනස් දහසකට වඩා අඩු සංඛ්‍යාවකි. සරුසාර වෙල් යායක ගොයම් කපන ගොවීන් ලෙස හෙළ සටන් කරුවෝ සිය සතුරු සෙබළුන් සමූහ වශයෙන් ඝාතනය කළහ.

මධ්‍යහ්නය පසුවී සිංහල පැය කිහිපයක් ගත වූ ඒ මොහොතේ අවරගිරට පිවිසුණු සූර්ය රශ්මියෙන් රන් වනින් බැබළෙමින් මහාසිද්ධ මහරජතුමෝ, අපරාජිතව සංග්‍රාමය මෙහෙයවූහ. සිය මාමණ්ඩිය වූ භීමනාථ මහ සෙනෙවිතුමන් ඇතුළු මහා ගෝරා සත් කට්ටුවත්, රණගල හටන් පරපුරේ හෙළ යක්ඛ බළකායත් අවශේෂ ගෝරා සටන් ශිල්පීනුත් ගතවන සෑම මොහොතකම තවත් සතුරු සෙබළෙකු හෙළ දෙරණ මත හොවා ලූහ. අනෙක් පසින් ජයමාලී දේවිය පෙරටු කරගත් හෙළයේ යක්ෂ ගෝත්‍රික කාන්තා බළකායේ වීර හෙළ දියණියෝ, කෝපාවිෂඨ දිවි දෙනුන් විලසින් සතුරු සෙබළුන් කීතු කීතු කර ලියා දැමූහ.

මේ දසුන දෙස බලා සිටි සිම්ජා කෝපයෙන් යුතුව උස් හඬින් හරේරා ඇමතීය.

“මා අර නීචයන්ගේ මහ රජාව ඝාතනය කළ යුතුයි හරේරා. මා ඒ දෙසට යනවා. නුඹ ඉදිරියට විත් සටන මෙහෙයවනු. මා උන්ගේ රජාව මරා දැමූ පසුව අපට ඉතිරිය පහසු වනු ඇති.”

ඉන්පසුව සිය අසුට සන් කර මහ හඬින් කෑ ගසමින් සිම්ජා, මහාසිද්ධ මහරජතුමන් දෙසට අසු

විහිදුවාලීය. ඔහු නවතාලීමට හරේරා යම් කිසිවක් පවසා සිටියද, සිම්ජාට එය ඇසුණේ නැත. ක්‍රෝධ වේගයෙන් යුතුව සිම්ජා ඉවක් බවක් නොමැතිව හෙළයන්ගේ මහරජතුමන් දෙසට අසු පැන්නුවේය. ඔහු අනුව යමින් සතුරු සේනාවේ සෙනෙවියන් ගණනාවක්ද සිය නායකයා පසුපස ඇදුණහ.

සටනේ යෙදී සිටි මහාසිද්ධ මහරජතුමන් දෙසට සිම්ජා පැමිණෙනු මුලින්ම දුටුවේ භීමනාථ මහ

සෙනෙවි තුමන්ය. ඉවක් බවක් නොමැතිව කඩාගෙන බිඳගෙන ඉදිරියට එන මේ පුද්ගලයාගේ ගමන් මග මහාසිද්ධ මහරජතුමන් විසින් අවුරාලූවේ සිය අශ්වයා ඔහුට හරස් කිරීමෙනි. තමාගේ ගමන් මග හරස් කළ මේ ප්‍රබල සිරුරැති මහලු පුද්ගලයා වෙත සිම්ජා තම කඩතොළු සහිත බර අසිපතින් ප්‍රබල පහරක් එල්ල කළේය. එහෙත් රණගල හටන් පරපුරේ මහා හරඹාචාර්යවරයා යනු කවරෙක් දැයි සිම්ජා දැන සිටියේ නැත. භීමනාථ මහ සෙනෙවිතුමන් ක්‍ෂණිකව තම අසිපතේ නොකැපෙන පැත්තෙන් සිම්ජාගේ අතට පහරක් එල්ල කළෙන්, ඒ කම්පනයට සිම්ජාගේ අසිපත ‘සලාං’ හඬ නගමින් බිම ඇද වැටුණි. ඒ සැණින් භීමනාථ මහ සෙනෙවිතුමෝ සිය තියුණු ගෝරා අසිපතේ තුඩ, සිම්ජාගේ උගුර පාමුලට තැබූහ.

තමා ඉදිරියේ සිටිනා මේ මහල්ලා එසේ මෙසේ පුද්ගලයෙකු නොවනා බව සිම්ජාට දැනී ගියේ

මෙවිටය. ඔහු දැඩි ක්‍රෝධයෙන් යුතුව මහරජතුමන් දෙස බැලීය. අවට සිටි සියලුම දෙනා සටන් නවතා ඒ දෙස බලා සිටියහ. සන්සුන් දෙනෙතින් යුතුව සිම්ජා දෙස බැලූ මහරජතුමෝ කට කොණකට සිනාවක් නගා ගත්හ. මෙහිදී මෙම සිද්ධිය දුටු ඒ අවට සිටි ජීවාලෝක සහ මහා පද්මනාථ යන ගෝරාවරුන් ක්‍ෂණයකින් එතැනට අසුන් පිටින් ආහ. අවට සිටි ගෝරාවරුන් ද ඒ අසලට රොක් වූහ.

“නුඹ පැරදුණා සිම්ජා. නුඹ අපේක්‍ෂා කළේ මා මරා දමන්නටයි. එහෙත් මරණය ජයගෙන නැවත මා පැමිණියා. නුඹ බලාපොරොත්තු වූයේ මා හට නැවත වරක් අභියෝග කරන්නටයි. එසේ නොවේද?”

සෝපහාසී සිනාවකින් යුතුව සිම්ජා දෙස බලා බටහිර කාළවර්ණ දේශයේ බසින් මහරජතුමන්

විමසත්ම, ඉහ වහා ගිය කෝපයෙන් යුතුව සිම්ජා කිසිදු ගරු සරුවක් නොමැතිව ගෝරනාඩු කළේය.

“ඔව්... මා නුඹට අභියෝග කරනවා මහාසිද්ධ... අභියෝග කරනවා පමණක් නොවෙයි. මා නුඹව මරා දමනවා. නුඹ වරක් මරණයෙන් ගැළවුණා. එහෙත් මෙවර මා නුඹගේ හිස කඳෙන් වෙන් කර දමා නියතවම මරා දමනවා.”

කට කියවන මේ නිවටයා දෙස බලා සිටි භීමනාථ මහ සෙනෙවිතුමෝ උපහාසාත්මක සිනාවෙන්

යුතුව මහාසිද්ධ මහරජතුමන් දෙස බැලූහ. ඒ සිනාව මහරජතුමන්ටත්, අවට සිටි ගෝරාවරුන්ටත් පැතිර යන්නට ගත වූයේ නිමේෂයකිනි. භීමනාථ මහ සෙනෙවිතුමන්ගේ අසිපත් තුඩ උගුරු දණ්ඩට ස්පර්ශ වී තිබියදී කටමැත දොඩවන මේ සතුරු සේනාවේ නායකයා උමතු වී ඇතැයි හෙළයින්ට පෙනී ගියේය. මහාසිද්ධ මහරජතුමෝ මෙහිදී සිය හඬ අවදි කළහ. “ඔහුට ඉදිරියට එන්නට ඉඩ දෙනු මැන පියතුමනි. මා ඔහුගේ අභියෝගය භාර ගන්නවා. එවිට ඔහුට හැකි

වේවි අපගේ...” මහාසිද්ධ මහරජතුමන්ට සිය වාක්‍යය අවසන් කරන්නට අවස්ථාවක් ලැබුණේ නැත. නැගෙනහිර දිග හෙළට සටන් කලාව භාර මහා හර්ෂදේවයෝ මැද්දට පැන්නහ.

“අවසරයි මහරජතුමනි... හෙළයේ මහා පියාණනි... ඔබ වහන්සේට සටන් කරන්නට අවශ්‍යතාවයක් නැහැ. මේ නීචයා අයිති මටයි. ඌ ඔබ වහන්සේටත් හෙළ දෙරණටත් නින්දා කළා. වංචා කළා. අපහාස කළා. මා ඔබ වහන්සේගෙන් සටන් වරයක් පතනවා. ඔබ වහන්සේ මෙවන් අධමයෙකු හා සටන් කරන්නට අවශ්‍ය නෑ. මා හට මොහු සමග ද්වන්ද්ව සටනට අවසර දෙනු මැන...”

මෙලෙස පැවසූ මහා හර්ෂදේවයෝ එක් දණක් බිම ගසා, සිය ගෝරා අසිපත් යුවළ දෑතට ගෙන එහි තුඩවල් දෙක බිමට ඇන, ගෝරා නමස්කාරයෙන් යුතුව වරය ඉල්ලා සිටියහ.

දැන් කරන්නට දෙයක් නැත. මෙය සටන්කරුවෙකු ගේ ඉල්ලීමකි. නිකම්ම නිකම් ඉල්ලීමක් නොවේ. මහා සංග්‍රමයක දී අභියෝගයක් භාර ගන්නට කරන්නාවූ ගෝරා සම්ප්‍රදායේ ඉල්ලීමකි. එය පතන්නේද අධිරාජ්‍යයා ගෙන් සෘජුවමය. ප්‍රබල මද හසක් මුවට නගාගත් මහරජතුමෝ සිය සුරත මිට මොළවා හදවත මත තිබූ ස්වස්තික ලාංඡනයට තබා අවසර දෙන්නාක් මෙන් අතැඟිලි දිගු කර සුරත මහා හර්ෂදේවයන් වෙත යොමු කළහ. අසිපත් යුවළ බිම තබා, තම සුරත මිට මොළවා හදවත මත තැබූ මහා හර්ෂදේවයෝ, ගෝරා මුද්‍රාවකින් එම අවසරය පිළිගත්හ. එසැණීන් නැගී සිටි මහා හර්ෂදේවයෝ සෙමෙන් මහරජතුමන් වෙත ගියහ. මහා සෙනෙහසකින් යුතුව ඒ සූර්ය පුත්‍රයා, පහත් වී හර්ෂදේවයන්ගේ හිස පිරිමැද්දේය.

“නුඹට සූර්ය නේත්‍රයේ ආශීර්වාදයත්, හෙළ මහා යක්ෂ ගෝත්‍රයේ ආරක්ෂාවත්, ලැබේවා මාගේ පුත්‍රය...”

යළිත් මහරජතුමන් හට නමස්කාර කළ ඒ මහා රණශූරයා, ක්‍ෂණිකව සිම්ජා වෙත හැරී පියවර කිහිපයක් ඉදිරියට ආවේය. මෙහිදී භීමනාථ මහ සෙනෙවිතුමෝ සිය අසිපත සෙමෙන් සිම්ජා වෙතින් ඉවත් කර ගත්හ. අවට සිටි සියලුම දෙනා සටන් නතර කර, ඒ දෙස බලා සිටියහ. හර්ෂදේවයෝ බටහිර කාළවර්ණ දේශයේ බසින් උස් හඬින් සිම්ජා ඇමතූහ.

“දැන් නුඹට මා අභියෝග කරනවා සිම්ජා. ඉදිරියට එනු... පිට කොන්දක් තිබේ නම්, පිරිමියෙකු නම්, මාගේ අභියෝගය භාරගනු... එකෙකු මිය යන තුරා සටනකට මා නුඹට අභියෝග කරනවා.”

මහ හඬින් හර්ෂදේවයන් නැගූ ඒ හඬින් ඒ ඇසෙනා මානයේ සිටි හෙළ ගෝත්‍රිකයින් සහ සතුරු

සෙබළුන් සටන් නවතා ලූහ. නායකයින් අතර ඇතිවන ද්වන්ද්ව යුද්ධයක දී අවශේෂ සෙබළුන් සටන් නවතාලීම එකල ලෝකයේ සෑම රටකම පැවති සටන් නීතියක් වූ බැවිනි. මෙම පුවත සුළු වේලාවකින් මුළු යුද්ධ භූමිය තුළම පැතිර ගිය නිසා හෙළ ගෝත්‍රිකයන් සහ සතුරු සෙබළුන් සූදානම් ශරීරයෙන් එකිනෙකාගෙන් වෙන්වී දෙපසට පැමිණ වළල්ලක් ලෙස හිඳ ගත්හ. ජයමාලී දේවියත්, සිය කාන්තා ගෝරාවරියන් පිරිවරාගෙන ධමූලා පිට නැගී තියුණු දෙනෙතින් යුතුව ඒ දෙස බලා සිටියාය. ධූරා ද, සිය සහයක ගෝරාවරුන් සමග ඒ අසල සූදානම් ශරීරයෙන් යුතුව හිඳ ගත්තේය.

ඒ අතරතුර දී මේ මහා රාජිණිය තියුණූ දෙනෙතින් යුද්ධ භූමිය සිසාරා බැලීමේදී ලුන්ඩා ගෝත්‍රිකයන් විසින් පිරිවරන ලදුව එක් තැනක හිඳගෙන සිටි හරේරා දිස් වූයේය. ඇය මෙහිදී සංඥාවක් කොට ධූරා ඇය වෙතට කැඳවූවාය.

“මාගේ පුත්‍රය... අර නීච ජටාධාරියා, කාන්තාරවාසී හරේරා අතන හිඳ සිටිනවා. මේ ද්වන්ද්ව සටනින් හර්ෂදේවයන් අනිවාර්යයෙන් ජය ගන්නා බව ස්ථිරයි. ඉන් පසුව මා අර නීචයාට අභියෝග කරනවා. නුඹ ඌ දෙස ඇස ගසාගෙන හිඳ වහාම අර ම්ලේච්ඡයින් මරා දමා හරේරා මා ඉදිරිපිට දණ ගැස්විය යුතුයි. ඒ නීචයා යා යුත්තේ මා අතිනුයි...”

හිස් මුදුනින් එය පිළිගත් ධූරා, සෙමෙන් සිය පරිවාර ගෝරාවරුන් වෙතට ගොස් පණිවුඩය සැළ කරත්ම, සතුරන්ගේ අවධානය ද්වන්ද්ව සටන වෙත යොමු වෙද්දී මේ ගෝරාවරුන් කිසිවක් නොදන්නවුන් මෙන් යුද්ධ භූමියේ කවාකාරව විසිර ගොස් හරේරා වට කරගෙන ස්ථානගත වූහ.

මතු සම්බන්ධයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.