සුබ ගමන් සිම්ජා...

පෙබරවාරි 21, 2020

සිය අභියෝගය භාරගත් හර්ෂදේවයන් තම ගෝරා අසිපත් යුවළ පිටේ රඳවා ගෙන ප්‍රතාපවත්

පියවරින් ඉදිරියට එද්දී සිම්ජා ඒ දෙස දත්මිටි කමින් බලා සිටියේය. මෙයට පෙර දිනක මහාසිද්ධ

මහරජතුමන් මරා දැමීමට ආසන්නව පවතිද්දී එය වැළැක්වූ තැනැත්තා මොහු නොවේද? තම බළ සේනාවේ බොහෝ සෙබළුන් කීතු කීතු කර ලියා ලූවේ මෙම තැනැත්තාය. තම අභියෝගය භාරගෙන, දැන් තමාටම අභියෝග කරන්නේ මොහු නොවේද? සිම්ජා කෝපයෙන් පුපුරමින් කල්පනා කළේය.

දැන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය. හැකි ඉක්මනින් මෙම හෙළ රණශූරයා නසා දැමිය

යුතුය. හෙළ බළ සේනාවේ ප්‍රබල අසිපත්ධාරී සටන් ශූරයෙකු වන මොහු මරා දැමීමෙන් පසුව, ඉතිරිය පහසු වනු ඇත. මෙසේ කල්පනා කළ සිම්ජා තම අසු පිටින් බිමට බැස, ඉක්මන් ගමනින් හර්ෂදේවයන් වෙත ගමන් කළේය. සතුරු සේනාව සහ හෙළ බළ සේනාව සටන් නවතා විශාල කවයක් සැදී රැස්වී හුන් ඒ වේලාවේ, අර කවය මැදට සිම්ජාත්, හර්ෂදේවත් ගමන් කළෝය. කවයේ හරි මැද දී ඔවුන්, එකිනෙකාට පියවර දහයක පමණ පරතරයකින් නතර වූහ. මහාසිද්ධ මහරජතුමන් සහ ජයමාලී දේවියත්, ගෝරාවරුන් ඇතුළු හෙළ බළ සේනාවත්, සිම්ජාත්, ඉග්ලීස් රජු ඇතුළු සතුරු සේනාවත් මේ දෙස බලාගත් බැල්මෙන් බලා සිටියහ.

ඒ අභියෝගාත්මක හෝරාවේ හර්ෂදේවයන්ගේ මුහුණේ වූයේ පුදුමාකර සන්සුන් බවකි. ස්ථිර වූ

දෙනෙතින් සහ තරයේ පියාගත් නිසල දෙතොල්වලින් යුතු මේ ප්‍රබල රණශූරයා තියුණු දෙනෙතින් යුතුව සිම්ජා ගේ දෙනෙත දෙසම බලා සිටියේය. දත්මිටිකමින්, වේගයෙන් හුස්ම ගනිමින්, ක්‍රෝධයෙන් පිපිරෙමින් හර්ෂදේවයන් දෙස බලා සිටි සිම්ජාගේ ස්වරූපය, හර්ෂදේවයන් හට වඩා හාත්පසින් වෙනස් වූයේය. ඔහු පහර දෙන්නට සැදී පැහැදී බලා සිටියේය. එහෙත් හර්ෂදේවයන් ගේ වතේ වූයේ පහර දෙන්නට සූදානමක් වත් නොමැති ඉතාම ගුප්ත සන්සුන් බවකි. ඔහු නිසසල බවේ ප්‍රතිමූර්තියක් වැනි වීය. ඔහු සිම්ජාට වචනයක් හෝ කීවේ නැත. තව දුරටත් සිය ප්‍රතිමල්ලවයාගේ අද්භූතජනක නිහැඬියාව විඳ දරා ගැනීමට නොහැකි වූ සිම්ජා සිය බර වූත්, කඩතොළු සහිත වූත් දැවැන්ත අසිපත සුරතට ගෙන, යටි උගුරින් කෑ ගසමින් ඉදිරියට

පැන ප්‍රබල පහරක් හර්ෂදේවයන් ගේ ගෙලට එල්ල කළේය.

එකෙක් මිය යන තුරාවට කෙරෙන අභියෝග සටනක දී එකල නීතියක් රීතියක් පැවතුණේ නැත.

හෙළ සටන්කරුවන්ගේ ඇතැම් සටන් කොන්දේසි පැවතියත්, දේශයන් දෙකක රණශූරයන් අතර

පැවැත්වෙන එවන් සටනක දී අභියෝග කරන්නා මුලින් පහර දීමත්, පහර ලබන්නා දෙවනුව පහර දීමත් සිදු වූයේය. ඒ කෙසේ වෙතත්, සිම්ජා මෙහිදී කෝපයෙන් පරල වී සිටි බැවින් ඔහු ඉවක් බවක් නොමැතිව පහර දුන්නේ හර්ෂදේවයන් ගේ හිස කඳෙන් වෙන් කිරීමටය. එහෙත් ඔහු සිතූ තරම් කාර්යය පහසු නොවීය.

ප්‍රබල අසිපත් පහර සිය මුහුණ අසලින් ඇදී යද්දී හර්ෂදේවයන් එය වළකාලූ ස්වභාවය දැකීමෙන් අවට වූ සියලුම දෙනාගේ දෙනෙත් විශාල වී ගියේය. ඒ පහර එන බව හර්ෂදේවයන් කල්තබා දැන සිටියාක් වැන්න. ඔහු අස්වාභාවිකව නැවී එම පහර වළකත්ම සමබරතාව ගිලිහී ගිය සිම්ජා පියවර දෙකක් ඉදිරියට විසිවුණේය. ඒ සමගම සිම්ජාගේ කම්මුලට ‘චටාස්’ හඬින් පහරක් එල්ල කරමින් ඉවතට පිනූ හර්ෂදේවයන් සිම්ජා ආපසු හැරී බලත්ම දෑත් දෙපසට විහිදුවා තොල් නොපිට පෙරළා විසුළු සංඥාවක් කළේය.

බටහිර කාළවර්ණ දේශවාසී නායකයා හිස කෙස් දක්වාම රතු වී ගියේය. මොහු තමාව විහිළුවකට ගෙන ඇත. කලින් මහාසිද්ධ මහරජතුමන් කළේත් මෙයම නොවේද? උතුරා පුපුරා හැලෙන ක්‍රෝධයෙන් අසභ්‍ය වදන් රාශියක් කියා අවලාද නගමින් සිම්ජා තමාගේ හොඳම අසිපත් පහරවල් සහ පා පහරවල් හර්ෂදේවයන් වෙත එල්ල කළේය. එහෙත් ඒවා සුළඟේ පාවී ගියා පමණි. හර්ෂදේවයන් සිය අසිපත් යුවළට පවා අත තබා තිබුණේ නැත.

ආපසු හැරුණු සිම්ජා දහඩිය ගලන මුහුණ එක් අතකින් පිසදාගෙන හර්ෂදේවයන් දෙස බැලීය. දැන් නම් ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇත. මෙහිදී අසිපතින් පහර දෙන්නට මෙන් ඇඟවූ සිම්ජා, ක්‍ෂණිකව තම හිණේ රඳවාගෙන සිටි කාන්තාරවාසීන්ගේ තියුණු කිණිස්සක් ගෙන විදුලි වේගයෙන් හර්ෂදේවයන් ගේ මුහුණට එල්ල කර දමා ගැසීය. කිසිවක් කරගන්නට පෙරාතුව සිදුවූ මේ සිද්ධියෙන් බලා සිටි සියලුම දෙනා හුස්මක් ඉහළට ඇද ගත්හ. එහෙත් ශාර්දූල ශක්තියේ ඉහළටම පිවිසි හර්ෂදේවයන් යනු එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ. කිණිස්ස වාත වේගයෙන් සුළඟ කපාගෙන පැමිණෙද්දී, අස්වාභාවික ආකාරයෙන් එම ගමන් මාර්ගයෙන් ඉවත් වූ හර්ෂදේවයෝ අර කිණිස්ස ක්‍ෂණිකව ග්‍රහණය කර ගත්හ. බලා සිටියවුන්ගේ හුස්ම හිරවී නොගියා පමණි. එය ඒ තරමටම ආශ්චර්යවත් සටන් තාක්‍ෂණයක් වූයේය. ඒ සමගම සිම්ජාගේ මුහුණ දෙස බැලූ හර්ෂදේවයෝ, මදහසකින් යුතුව යළිත් තොල් නොපිට පෙරළා, අර කිණිස්ස ඈතට විසි කර දැමූහ.

මෙහිදී අසිපත අමෝරාගෙන ක්‍රෝධයෙන් යුතුව සිම්ජා යළිත් ඉදිරියට පැන්නේ අසභ්‍ය වදන් රාශියක් කියමින් ගෝරනාඩු කරමිනි. මහරජතුමන්ටත්, හෙළ දේශයටත් දැඩි අසැබි වදනින් බැණ වදිමින් ඔහු පහර එල්ල කළේය. මෙහිදී හර්ෂදේවයන්ගේ ඉවසීමේ සීමාවද ඉක්මවා යන්නට එතරම් කාලයක් ගත නොවීය. මේ සියලු කරදර මේ නීචයාගේ කෑදරකම නිසා නොවේද? දැන් නම් මොහු නවතාලිය යුතුය.

ප්‍රබල අසිපත් පහරවල් කිහිපයක් නිරායුධවම වළකාලූ හර්ෂදේවයෝ, සිම්ජාගේ මීළඟ අසිපත් පහර වැළකූයේ ක්‍ෂණිකව ඇදගත් සිය අසිපත් යුවළෙනි. කතිරාකාර වැළකුමකින් සිය සතුරාගේ පහර වැළකූ හර්ෂදේවයෝ දෙවැනි, තුන්වැනි අසිපත් පහරවල්ද එලෙසින්ම කපා හැරියෝය. බල බලා සිටීමට කාලයක් නැත. මේ දුෂ්ඨයා වහාම නසා දැමිය යුතුය. එසේ සිතූ සිතිවිල්ලම ප්‍රබල කළු දිවි ආරූඪය හර්ෂදේවයන් ගේ දෙනෙතට පිවිසෙන්නට කළ ආරාධනාවක් වූයේය.

ඊළඟ අසිපත් පහර සිම්ජා තමාගේ සුරතින් සදා කාලයටම එල්ල කළ අවසන් අසිපත් පහර වූයේය. කඩතොළු සහිත දැවැන්ත අසිපත හර්ෂදේවයන්ගේ හිස ඉලක්ක කරගෙන පහත් වෙද්දී, ඉතා පහසුවෙන් එම පහර වළකමින් ස්ථානගත වූ හර්ෂදේවයන්ගේ තියුණු ගෝරා අසිපත් පහර පතිත වූයේ සිම්ජාගේ වැළමිට අසලටය. දැවැන්ත අසිපත සමගම වැළමිට අසලින් සිය දකුණත කැපී බිම ඇද වැටෙද්දී, සිම්ජාගෙන් නැගුණේ ප්‍රදේශයම දෙවනත් කරවන මහා විලාපයකි. මෙහිදී සතුරු සේනාවේ සියලුම දෙනා නැගිට සිට ගත්හ. සිම්ජා, කෝපයෙන් දවා හළු කරන බැල්මකින් හර්ෂදේවයන් දෙස බලත්ම, සිතාගත නොහැකි වේගයෙන් දිවි අඩියෙන් ඉදිරියට පිවිසි හර්ෂදේවයන්ගේ ඊළඟ පහර එල්ල වූයේ වම් දණහිසටය. දණහිස අසලින් වම් පය කැපී වෙන්ව යද්දී, වේදනාවෙන් මර ළතෝනියක් නැගූ සිම්ජා දණින් වැටුණි. හෙළදෙරණට නින්දා අපහාස කළ මේ නීචයා තවත් ජීවතුන් අතර නොතැබිය යුතුය. වටයක් කරකැවෙමින් පිම්මකින් සිම්ජාගේ ඉදිරියට පැන්න මහා හර්ෂදේවයෝ තියුණු බැල්මකින් ඔහු දෙස බැලූහ. බටහිර කාළවර්ණ දේශයේ බසින් හර්ෂදේවයෝ ප්‍රදේශය දෙවනත් කළහ. “මින් ඉදිරියට යළි කිසිදාක හෙළ දේශය ආක්‍රමණය නොකර සිටින්නට නුඹේ මරණය සාක්‍ෂියක් වේවි. නුඹ අදහන ආගමක් සිහි කරගනු. සුබ ගමන් සිම්ජා...”

රුධිරයෙන් වැකී දිවා හිරු කිරණින් රත්වනින් බැබළුණු ගෝරා අසිපතේ තියුණු වානේ තලය වාතය කපාගෙන පහත් වූයේ සිම්ජාගේ හිස මතටය. පැසුණූ කොමඩු ගෙඩියක් ලෙසින් සිම්ජාගේ තට්ට හිසත්, ගෙළත් හරියටම දෙකට මැදින් පළාගෙන එම අසිපත් තලය නතර වූයේ සිම්ජාගේ හදවත අසලය. පැළුණු හිස තුළින් අඩි කිහිපයක් ඉහළට රුධිර දහරාවන් කිහිපයක් අහසට විද්දේය. එසැණින් යළිත් අසිපත් තලය ඇදගත් මහා හර්ෂදේවයෝ ආපසු හැරෙමින් කවාකාර අසිපත් පහර එල්ල කළේ සිම්ජාගේ ගෙලටය. දෙකට පැළී තිබූ හිස් ගෙඩිය දෙපසට විසි වී ගියේ, සිම්ජාගේ මොළ කැබලි සී සී කඩ විසුරුවමිනි. ලේ උතුරුවමින් සිම්ජාගේ කවන්ධය බිම පෙරළී ගොස් වරක් දෙවරක් දඟලා ඇඹරී නිසල වූයේය.

සෑම විටම තමාට ජයග්‍රහණය අත්කර දුන් ඒ ගෝරා අසිපත් යුවළ දෑතට ගත් සිම්ජා අහස දෙස බලා ජයග්‍රාහී රණ ඝෝෂාවක් නගත්ම, මහාසිද්ධ මහරජතුමන් ඇතුළු සියලුම හෙළ බළ සේනාවෝ එක පැහැර ඒ ජය ඝෝෂාව අනුකරණය කළහ. හිස අත් ගසාගෙන හුන් සතුරු සේනාවේ සියලුම දෙනා සිය නායකයා වූ සිම්ජාගේ ශෝචනීය අවසානය දෙස හුස්මක් කටක් නොහෙළා බලා සිටියහ. බටහිර කාළවර්ණ දේශයේ මීළඟ ඔටුන්න හිමි කුමරා හෙළ දෙරණ මත වැටී සදහටම නිසල වූ බැවිනි.

රුධිරයෙන් නැහැවුණු සිය අසිපත් යුවළ තමා ඉදිරිපිට තබා දණ නමස්කාර කරන හෙළයේ මේ

මහා අසිපත්ධාරියා දෙස මහාසිද්ධ මහරජතුමෝ ආශීර්වාදයත්, ආදරයත් පිරුණු දෙනෙතින් බලා සිටියහ.

“නුඹ හෙළයට ආභරණයක් මාගේ පුත්‍රය. නුඹට සූර්ය නේත්‍රයේ ආශීර්වාදය හිමි වේවා...”

ප්‍රදේශය ගිගුම් දෙවමින් යළි යළිත් නැගෙන්නාවූ හෙළ බළ සේනාවේ රණ ඝෝෂා හඬ අතරතුර දී

මහරජතුමෝ සෙමෙන් මිමිණූහ.

මතු සම්බන්ධයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.