වේරම්භ වාතයට මුසුවූ රණශූරයා...

පෙබරවාරි 28, 2020

සිම්ජාගේ මරණය සියැසින් දුටු බටහිර සේනාවේ සියලුම සෙබළුන් භ්‍රාන්ත වී ගියහ. හෙළ දෙරණ

ආක්‍රමණයට පැමිණීමේදී ඒ තරම් ප්‍රබලව, ශක්තිමත්ව පැමිණි තම නායකයා, දෙපළු වී ගිය හිසින් සහ කීතු කීතු වී ගිය ගතින් යුතුව තම ඇස් ඉදිරිපිටදීම මිය යාම, සතුරු සේනාවේ ධෛර්යය බින්දුවටම ඇද දමන්නක් වූයේය. එහෙත් දැන් කරන්නට දෙයක් නැත. තම සේනාවේ මුදුන් මුල, හෙළයේ රණශූරයෙකුගේ අතින් සිඳී ගොස් ඇත. කිසිවක් කරකියා ගන්නට නොහැකිව බටහිර කාළවර්ණ දේශවාසී සතුරු සේනාව සිටි පියවරම ගල් ගැසී ගොස් බලා සිටියහ.

එහෙත් මෙහිදී එක් අයෙකු වහාම නැගී සිටියේය. ඔහු නම් ලුන්ඩා යෝධයින් මැද හිඳගෙන සිටි හරේරා වූයේය. සියල්ල දෙස මනාව දෙනෙත් යොමු කරගෙන සිටි ඔහු දැන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට වහාම ඉදිරියට ආවේය.

“බටහිර දේශයේ වීර සෙබළුනි... නුඹලාගේ නායකයා වීරයෙක් ලෙස ද්වන්ද්ව යුද්ධයෙන් දිවි පිදුවා. දැන් නුඹලාගේ නායකයාගේ ලේවල පළිය ගන්න වේලාවයි. එක්වනු වීර සෙබළුනි... අප වහාම මේ නීචයින් සමූල ඝාතනය කළ යුතුයි. වරෙව්... මේ හෙළයින් එකෙකු නෑර කපා කොටා දමවු...”

ප්‍රදේශය දෙවනත් වන්නට හරේරා විසින් මේ නැගූ රණ ඝෝෂාව සියලුම සතුරු සෙබළුන් පිළිගත්

සෙයක් පෙනී ගියේය. ඔවුන් හට වෙන කරන්නට දෙයක් නොමැති බව අරාජික වූ මානසිකත්වයෙන් වෙළී සිටි සෙබළුන්ට හරේරාගේ රණ ඝෝෂාව නව ප්‍රාණයක් ජනිත කරවූයේය. වහාම සිහි එළවා ගත් ඔවුන්, ක්‍ෂණිකව අතට හසු වන මානයේ තිබූ තම අවි ආයුධ ඇද ගනිමින් නැගිට ගත්තේ කෝපයෙන් පරල වූවන් මෙනි. කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව මේ බටහිර කාළවර්ණ දේශවාසී යෝධයෝ, ඉවක් බවක් නොමැතිව හෙළ සෙබළුන් වෙත කෑ ගසමින් කඩා පැන්නෙන්, යළිත් වරක් සංග්‍රාමය ඇරඹුණෝය.

තම සැලසුම අකුරටම ක්‍රියාත්මක වූ බව දැනගත් හරේරා වහාම ක්‍රියාත්මක වෙමින් ලුන්ඩා

ගෝත්‍රිකයන් හට නියෝග කළේ ඔවුන්ට මදක් ඈතින් කඟවේණෙකු මත නැගී සටනේ යෙදී හුන් අර රූමතිය, එනම් ජයමාලී දේවිය වටලා වහාම ඇයව ජීව ග්‍රහණයෙන් ගෙන තමා කරා ගෙන එන ලෙසටයි. සිය නායකයාගේ අණ පිළිගත් මේ දැවැන්ත තිරශ්චීන යෝධයෝ, යළිත් වරක් සිය රූමත් ගොදුර කරා කුරුමානම් අල්ලමින් ළං වන්නට වූහ.

ජයමාලී දේවියගේ අණ පිළිගෙන හරේරාව ජීව ග්‍රහණයෙන් ගන්නට සැලසුම් කරගෙන සිටි ධූරාද,

මෙවිට සතුරු සෙබළුන් ගණනාවකට මැදිව සිටියේය. ඔහු, සිය පරිවාර ගෝරාවරුන් කැටුව සටනේ යෙදී සිටියත්, ජයමාලී දේවියගේ නියෝගය පිළිබඳව සෑම විටම කල්පනාවෙන් පසු වූයේය. සතුරු සෙබළුන් පස් දෙනෙකු ක්‍ෂණික අසිපත් පහරවල් වලින් බිම දැමූ ධූරා සිය මහා රාජිනිය කොහේ දැයි විමසිලිමත් දෑසින් බලත්ම, ඔහු ත්‍රස්ත වී ගියේය. සතුරු සෙබළුන් ගණනාවකට මැදිව, තවත් සහයක ගෝරාවරියන් සමග සටනේ යෙදී හුන් ජයමාලී

දේවිය වටා යළිත් වරක් දැවැන්ත ලුන්ඩා ගෝත්‍රිකයන් වළල්ලක් සැදෙමින් ඇයව ග්‍රහණයට ගන්නට තැත් කරනු ධූරාට පෙනී ගියේය.

ජයමාලී දේවියත්, ධූරාත් අතර පියවර සිය ගණනක පරතරයක් වූයේය. ඔවුන් අතරතුර ද සතුරන් සහ හෙළ සෙබළුන් අතර ද්වන්ද්ව සටන් ගණනාවක් වූයෙන් ඇය කරා දිව යාමද

ලෙහෙසි පහසු නොවීය. මහාසිද්ධ මහරජතුමන් හටද මෙම සිදුවීම ඇස ගැසී තිබුණත්, මේ වන විට රණ බිමේ වෙනත් පසෙක සටන මෙහෙයවමින් සිටි නිසා එතුමන්ටද සිය බිසව සිටිනා ඉසව්වට පැමිණීමට නොහැකි වූයේය.

ජයමාලී දේවිය වටා සිටි ලුන්ඩා යෝධයෝ, ක්‍රමයෙන් ඇයව වටලමින් සටන් බිමේ හුදෙකලා

කරන්නට තැත් කළහ. පරිවාර ගෝරාවරියන් කිහිප දෙනාද, සිය ස්වාමි රාජිනිය වෙතින් ඉවත්ව ද්වන්ද්ව සටන් වලට යොමුව සිටියෙන් ඔවුන්ට ද ඒ පිළිබඳව සොයා බැලීමට අපහසුව තිබිණ. ධමූලා පිට නැගුණු මේ හුදෙකලා රූමතිය තවත් සතුරු සෙබළුන් කිහිප දෙනෙකු නසා දමත්ම, ඇය අබියස පෙනී සිටියේ දැවැන්ත ලුන්ඩා ගෝත්‍රිකයෙකි. බිය නොහඳුනන මේ වීර හෙළ රාජිනිය සිය කඟවේණා මෙහෙයවමින් තියුණු අසිපත් පහරක් ඔහු වෙත එල්ල කරත්ම, අනෙක් පසින් දිව ආ තවත් දැවැන්තයෙකු, සිය මුගුරින් ප්‍රබල පහරක් ජයමාලී දේවියගේ අසිපතට එල්ල කළෙන්, ‘සලාං’ හඬ නගමින් එය ඈතට විසි වී ගියේය. කිසිවක් කරකියා ගන්නට නොහැකිව ජයමාලී දේවිය සිය හිණේ වූ කිණිස්ස ඇද ලුන්ඩා යෝධයාට දමා ගැසුවත් කඩතොළු සහිත සිය බර අසිපත ඔසවා එම පහර වළක්වා ගන්නට ඔහු සමත් වූයේය.

මේ තිරශ්චින යෝධයන්ට එයට වඩා ප්‍රීතිමත් දෙයක් නොවීය. කෑදරකමින් තොළකට ලෙවකමින්

මේ හුදෙකලා රූමතිය දෙසට පැමිණෙත්ම, සිය නිරායුධ ස්වාමි දියණිය ආරක්‍ෂා කරන නියායෙන් ධමූලා දෙපයින් නැගී සිට හේෂාරවය කරමින් සතුරු යෝධයින්ට පා පහර එල්ල කරන්නට වූවාය. එම නිසා ජයමාලී දේවියගේ ජීවිතය රැකී ගියත්, අර දැවැන්ත යෝධයින් තව තවත් ඇයට ළං වෙමින් පිටුපසින් ජයමාලී දේවිය බදා අල්ලා ගැනීමට මෙන් ඇය අසලටම ආහ.

දුර ඈතදීම සිදු වන්නට යන දෙය මනාව ධූරාට වැටහී ගියේය. තවත් බලා සිටියහොත් සිදු වන්නේ මහා විනාශයකි. මිනිත්තු දෙක තුනක් තුළ කළ යුතු දේ කළ යුතුමය. සටන අතරතුර දීම ධූරා සතුරු සෙබළුන් දෙතුන් දෙනෙකු කපා හෙළමින් නිල්වන් අහස් ගැබ දෙස බලා සෙමෙන් යමක් තොළ මතුළේය. පුරාණ හෙළ යක්ඛ සටන් ශිල්පයේ වායෝ ධාතුව සහ කසිණයන් පරතෙරටම දියුණු කළ මේ අසහාය රණ ශූරයා ක්‍ෂණිකව වායෝ ධාතුවට මුසු වූයේ තම සිතින් සහ ගතින් මුළුමනින්ම එම ශක්තියට නතු වෙමිනි. ධූරාගේ දෙනෙතේ කළු ඉංගිරියාවන් ක්‍ෂණිකව ළා නිල් පැහැයකට හැරී යද්දී, ඔහු වටා වූ වාතය ධූරා වට කරගෙන සුළි සුළඟක් ලෙස ක්‍ෂණිකව හමා බසින්නට පටන් ගත්තේය. ඒ ඇසිල්ලේම ජයමාලී දේවිය දෙස තියුණු දෙනෙතින් බැලූ මේ රණශූරයා, ජයමාලී දේවියට පියවර කිහිපයක් ආසන්නයේ ඇයට පිටුපසින් සෙමෙන් සෙමෙන් පැමිණෙන ලුන්ඩා ගෝත්‍රිකයන් කිහිප දෙනෙකු ඇයව අල්ලා ගැනීමට කුරුමානම් අල්ලනු දුටුවේය.

ඉන් පසුව සිදුවූ සියල්ල හෙළ යක්ඛ හටන් ශිල්ප කලාවේ ප්‍රෞඪත්වය විශ්වයටම මවා පෑ කැඩපතක් වූවා නිසැකය. අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ කිසිදු සටන් ශිල්පියෙකු එවන් කුසලතාවක් ගැන සිතින් සිතා ඇත්දැයි සැක සහිතය. සිය රාජිනියට අත තබන්නට පෙරාතුව ධූරා ඇය අසලට යාමට අධිෂ්ඨාන කළා පමණි. ජයමාලී දේවිය සිටි ස්ථානය දක්වා වූ පියවර සිය ගණනක දුර ප්‍රමාණය තුළ සිටි සියලු සටන් ශිල්පීන් තුෂ්ණිම්භූත කරවමින් ශ්වේත වර්ණ තියුණු ආලෝක කදම්භයක් සමගින් වේරම්භ වාතයක් මෙන් කිසිවෙක් ඇසිපිය ගසනා සැණින් හමා ගියේය. ජයමාලී දේවිය පිටුපසින් ඇයව බදා අල්ලා ගැනීමට දෑත් විහිදා ගෙන පැමිණි යෝධයින් තවත් පියවරක් ඉදිරියට තැබුවා පමණි....

ක්‍ෂණික ආලෝකයක් මෙන් වැදුණු එකම තියුණු අසිපත් පහරකින් ලුන්ඩා යෝධයින් තිදෙනාගේම

දෑත්, උඩු බාහුවෙන් කැපී වෙන්වී සීසීකඩ විසිවී ගියේය. මර ළතෝනි දී කෑ ගසමින් ඔවුන් බිම පෙරළී යද්දී, වේරම්භ වාතයේ වේගයෙන් පැමිණි තැනැත්තා, ජයමාලී දේවිය වටා කවාකාරව හමා ගියේ ඇසිපිය ගසන ක්‍ෂණයකිනි. ඇයට ආසන්නයේ සිටි සියලුම ලුන්ඩා ගෝත්‍රිකයින්ගේ හිස්ගෙඩි, ධූරාගේ තනි අසිපත් පහරින් කැපී උඩ වීසි වූයේ කුරුම්බා ගෙඩි සමූහයක් මෙනි. කවන්ධ සිරුරු එක මත එක ඇද වැටෙද්දී, සිය ගමන් මාර්ගය තවත් පුළුල් කරමින් වායෝ ශක්තියට මුසුවූ ධූරා කවාකාරව ජයමාලී දේවිය වටා වට ගණනාවක් හමා බැස්සේය. අවට සිටි ලුන්ඩා ගෝත්‍රිකයන්ට මෙන්ම ජයමාලී දේවියටත් එය සිහිනයක් බඳු වූයේය. තමන්ට වැදෙන අසිපත් පහරවල් සතුරන්ට දැණුනේ ඔවුන් දෙකටම කැපී වෙන් වී ගියාට පසුවය. මිනිත්තු කිහිපයක කාලයකදී ධූරා සිය අසාමාන්‍ය මෙහෙයුම අවසන් කර ජයමාලී දේවිය අබියස දණ බිම ගසා ගෝරා ආචාරයෙන් නමස්කාර කරත්ම, ජයමාලී දේවිය වටා විශාල කවයක අතන මෙතන විසිරී පැවතුණු ලුන්ඩා යෝධයින් ගේ සහ සතුරු සෙබළුන්ගේ පෙති ගැසුණු මළ සිරුරු සිය ගණනක් වූයේය. මේ මළ සිරුරු අතර නොනැසී සිටගෙන අත්‍යන්ත භීතියෙන් ගැහෙමින් මේ අසාමාන්‍ය දසුන දෙස බලා සිටි එකම පුද්ගලයා වයඹ දිග කාන්තාරවාසී හරේරා පමණක් වූයේය.

අවට සිටි හෙළ සෙබළුන් සහ සතුරු සෙබළුන් යන දෙපාර්ශ්වයම භ්‍රාන්ත වී මේ දෙස බලා සිටි

අතර, ඔවුන්ට ඉහළට ගත් හුස්ම පහළට දමා ගැනීමට හෝ හැකියාවක් ලැබුණේ නැත. දුර සිට මේ දෙස බලා සිටි මහාසිද්ධ මහරජතුමන් සහ භීමනාථ මහ සෙනෙවිතුමන්ද, මහා ගෝරාවරුන්ද ඔවුනොවුන්ගේ මුහුණු බලා ගත්හ. වායෝ කසිණ ධාතුවේ පරතෙරට පත්වූ ධූරා ප්‍රබල හෙළ යක්ඛ සටන් ශිල්පියෙකු වුවද, අධිමානුෂික සටන් කලාවේ මේ තරම් අග්‍රගණ්‍ය රණශූරයෙකු බව කිසිවෙකු කිසිදා අනුමාන නොකළහ.

හෙළ බළ සේනාවෙන් නැගුණු ජය ඝෝෂාවෙන් මෙහිදී මුළු සටන් භූමියත්, දික්ගහලෙන කඳු යායත් දෙදරුම් කෑවේය. විසිවී ගිය සිය අසිපත සහ කිණිස්ස යළි රැගෙන විත් රාජකීය ආචාරයෙන් යුතුව භාරදෙන ධූරා දෙස ජයමාලී දේවිය බලා සිටියේ සිය දෙනෙත පුරා වැගිරෙන සතුටු කඳුළු දහරින් යුතුවය.

“නුඹ මාගේ ජීවිතය ගලවා ගත්තා මාගේ පුත්‍රය... නුඹට මා ණය ගැතියි. කැමති වරයක් ඉල්ලනු.”

තියුණු දෙනෙතින් යුතුව ධූරා හිස ඔසවා ජයමාලී දේවිය දෙස බැලීය. ඔහුගේ මුහුණේ ඇඳී ගියේ

ප්‍රබල මන්දහාසයකි. ඔහු වහාම සිය අසිපත් යුවළ ඇද, එහි තුඩු බිමට ඇන ගෝරා මුද්‍රාවට පිවිසියේය. “මා ඔබ වහන්සේගෙන් එකම එක වරයක් පතනවා මහා මෑණියන් වහන්ස... ඔබ වහන්සේ වෙනුවට අර නීචයා සමග මා හට සටනේ යෙදෙන්නට අවසර. ඔබ වහන්සේටත්, මහරජතුමන්ටත්, හෙළ ජාතියටත්, හෙළ අධිරාජ්‍යයටත් කළ අපහාසවලට ඒ නීචයා, ඔබ වහන්සේගේ දෙනත් අබියසම සුමඟුව ලියාලන්ට අවසර...” ප්‍රබල මන්දහාසයකින් යුතුව ඒ මහා රාජිනිය ධූරා දෙස බලා ඔහුගේ ඉල්ලීම අනුමත කරන නියායෙන් හිස සැලුවාය.

මතු සම්බන්ධයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.