මරණයේ හෝරාව අස්තගත වූයේය...

මාර්තු 20, 2020

සූර්යයා අවර ගිර දෙසට ඇදී යන මොහොතේ රිදීමැඩිල්ල වෙල් යායේ දක්නට තිබුණේ අමුතුම ආකාරයේ දර්ශනයකි. පෙති පෙති ගැසී මිය ගිය සතුරු සෙබළුන් සහ හෙළ සෙබළුන් ගේ මළ සිරුරු අතර දෙදණින් නැගී සිටි සතුරු සේනාවේ සෙබළුන් සියලුම දෙනා, තම අවි ආයුධ බිම තබා සිය යටත් වීම ප්‍රකාශ කළහ. ඒ අතරතුර දී වහ වහා ඉදිරියට පැමිණි ගෝරාවරුන් සහ හෙළ සෙබළුන්, අර ආයුධ සියල්ල එක්රැස් කරගෙන මහාසිද්ධ මහරජතුමන් ඉදිරියේ එක ගොඩකට ගොඩ ගැසූහ. රාජකීය යුවළත්, වැඩිමහල් පුත් කුමරුන්, මහ සෙනෙවි ජයබුද්ධිත්, භීමනාථ මහ සෙනෙවිතුමන් පිරිවරා සිටි ධූරා ඇතුළු මහා ගෝරාවරුන් සත් කට්ටුව මේ සිද්ධිය දෙස බලාගත් බැල්මෙන් බලා සිටියහ. ඒ වන විටත් දෙදණින් සිටගෙන සිටි ඉග්ලීස් රජු ඇතුළු සතුරු සෙනෙවියන් සියලුම දෙනා, තම බලාපොරොත්තු සියල්ල සුන්වීයද්දී කඳුළු පිරුණු දෙනෙතින් යුතුව ඒ සංග්‍රාමයේ ශෝචනීය අවසානය දෙස බලා සිටියහ.

සිංහල පැය දෙකක් ගත වත්ම, සියලුම සතුරු සෙබළුන් නිරායුධ කර අවසන් වූයෙන් ධූරාගේ සංඥාවකට අනුව හෙළ බළ සේනාවේ රැකවල් යටතේ ඔවුන් කුඩා කණ්ඩායම් වලට බෙදා වෙන් කරන ලදී.

ධූරාගේ මග පෙන්වීම අනුව එම සතුරු සෙබළුන් සියලුම දෙනා එක්ව, මියගිය තම සගයින්ගේ මළ සිරුරු කර තබාගෙන රිදීමැඩිල්ල වෙල් යායෙන් එපිට තිබූ වන ළැහැබේ කුඩා මුඩු බිමකට ගෙනගොස් ගොඩ ගැසූහ. හැට දහසකටත් වඩා අධික මළ සිරුරු අර මුඩු බිමේ ගොඩවල් කිහිපයකට ගොඩ ගැසූ අතර, එය දිස්වූයේ දැවැන්ත මළ මිනී කන්දක් ලෙසිනි. ගෝරාවරුන්ගේ නියෝගය හෙළ සෙබළුන්ගේ ආරක්‍ෂාව යටතේ සතුරු සෙබළුන් සියලුම දෙනා එක්ව, වන ළැහැබෙන් වියළි දර සහ ඉපල් කපා අර මළ මිනී කන්ද සම්පූර්ණයෙන්ම ආවරණය වන ලෙස විශාල දර සෑයක් තැනූහ. ඒ සියල්ල සම්පූර්ණ වන විට සූර්යයා,දික්ගහලෙන කන්දට වැසෙන්නට ආසන්න වූයේය.

ඒ අතර හෙළ බළ සේනාවේ සාමාන්‍ය සෙබළුන් එක්ව, මිය ගොස් සිටි සහෝදර හෙළ සෙබළුන් ගේ මළ සිරුරු වහ වහා දික්ගහලෙන කන්ද දෙසට ඔසවාගෙන දිව ගියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මියගොස් සිටියද, මහා විද්‍යාජෝති කුමරුගේ නියෝගය අනුව, උණුසුම ඒ වන විටත් රැ¼දී තිබූ මළ සිරුරු වල ජීව ප්‍රාණය හදවතට අද්දවා ගැනීමට හැකියාවක් ඇත්දැයි බැලීමට එසේ එම සිරුරු රැගෙන යන ලදී. සියල්ල එසේ සිදු වෙද්දී බටහිර ඩැන්මාරූ දේශවාසී ජාගෙන් ගේ බළ සේනාවේ එකම සෙබළෙකු

හෝ මියගොස් නොසිටි බව කිව යුතුය. ඔවුන්ගේ සෙබළුන් නිරුපද්‍රිතව සිටීම ගැන සතුරු සේනාවේ කිසිවෙක් සැක නොකළේ, මේ වන විට තම යටත් වීම ගැන ඔවුන් කල්පනා භරිතව සිටි බැවිනි. මහාසිද්ධ මහරජතුමන් සහ ජයමාලී දේවියගේත් අධීක්ෂණය යටතේ අර මහා මළ මිනී සෑය ගිනි තබන ලද්දේ, සතුරු සේනාවේ ඉතිරිව සිටි සෙබළුන්ගේ සෝ සුසුම් මධ්‍යයේය. මළ සිරුරු සැට දහසකටත් අධික ප්‍රමාණයක් දැවෙමින් භෂ්ම වෙද්දී, හෙළයින් සහ සතුරන් යන දෙපාර්ශවයම නිහඬවම මුණිවත රැක්කාහ. පුද්ගලයින් දෙතුන් දෙනෙකු ගේ කෑදරකම නිසා දහස් ගණනක් අහිංසක මිනිස් ජීවිත විනාශය කරා ගෙන ගිය යුද්ධයට මුල් වූ සිම්ජා සහ ඔහුට එක පයින් සහය දැක්වූ වයඹදිග කාන්තාර දේශවාසී හරේරාට ඉග්ලීස් රජු නැවත නැවතත් සිතින් ශාප කළේය.

දර සෑය එසේ අළු වී යද්දී, මහාසිද්ධ මහරජතුමන් සහ ජයමාලී දේවියත්, වැඩිමහල් පුත් කුමරුන් සහ භීමනාථ මහ සෙනෙවිතුමන්ද ආපසු යන්නට සූදානම් වූහ. මහ සෙනෙවි ජයබුද්ධි ඇතුළු සෙනෙවියන් කිහිප දෙනෙකුත් හෙළ බළ සේනාවේ සාමාන්‍ය සෙබළුන් දෙසිය දෙනෙකුත් එතැන නතර වූයේ දරසෑය දැවී අවසන් වන තුරු එම කටයුතු සොයා බැලීමටය. ධූරාගේ නියෝගය අනුව මහා ගෝරාවරුන් සත්කට්ටුවත්, පරිවාර ගෝරාවරුනුත්, සතුරු සේනාවේ ඉතිරිව සිට යටත් වූ පිරිස රැකවල් කරමින්, ඔවුන් සමඟ රිදීමැඩිල්ල වෙල් යායට ඉහත්තාවෙන් වු මාර්ගය දිගේ රට තුළට කැඳවාගෙන යන්නට පටන් ගත්හ. එහෙත් අමුතුවෙන් රැකවල් කිරීමක් අවශ්‍ය වී තිබුණේ නැත. ඔවුන් එසේ ගමන් ගන්නා මාර්ග දෙපස වූ කුඩා ගම්මාන වල ගම්වැසියෝ සිය ජයග්‍රාහී මහරජතුමන් සහ දේවියත්, මහා ගෝරාවරුන් ඇතුළු පරිවාර

ගෝරාවරුන් දැක ගන්නට සැදී පැහැදී සිටි බැවිනි.

මෙහිදී ජයග්‍රාහී හෙළ බළ සේනාවට සත්කාර සම්මාන නිමක් නොවීය. යුධ ජයග්‍රහණය ඒ වන විටත් ගම් නියම්ගම් සිසාරා පැතිර ගොස් තිබූ බැවින් හෙළ ගම්වැසියන් සියලු දෙනා පන්දම් දල්වමින්, මුළු මහත් ගම්මාන සියල්ලම ආලෝකමත් කරමින්, කිරිබත් උයමින්, සතුටු සාමීචියේ යෙදෙමින් ගත කළහ. ජයග්‍රාහී සේනාව පැමිණෙන මාර්ග වල දෙපස සිටි ගම්වැසි හෙළ ජනතාව, නානාවිධ ආහාර පානයන්ගෙන් රාජකීයයන්ටත්, හෙළ බළ සේනාවටත් සංග්‍රහ කළහ. මහාසිද්ධ මහරජතුමන් සහ ජයමාලී දේවිය ඇතුළු ඒ සියලුම ජයග්‍රාහී සේනාව ඒ ආහාර පාන නිහතමානීව භුක්ති වින්දේ හෙළ අධිරාජ්‍යයන්ගේ නිහතමානී භාවය මොනවට ප්‍රකාශ කරමිනි. ඒ අතරතුර ජයග්‍රාහී හෙළයේ අධිරාජ්‍යයාටත්, අධිරාජිණියටත් දණ්ඩ නමස්කාරයෙන් නමස්කාර කිරීමටත් ගම්වැසි ජනතාව වහ වහා මාවතේ පෙළ ගැසී සිටියහ.

මෙහිදී මෙම සත්කාර දැකීමෙන් සතුරු සේනාව වික්ෂිප්ත වී සිටියහ. තමන් නොදැන හෝ ආක්‍රමණය කරන ලද්දේ මොන තරම් උත්තරීතර ජනතාවක් විසූ දේශයක් දැයි ඔවුන් ශෝකයෙන් යුතුව කල්පනා කළහ. එසේම ගම්වැසි ජනතාවගෙන් පරාජිත සතුරු සේනාවේ සෙබළුන් ගළවා ගැනීම තරමක්අසීරු කරුණක් වූයේය. කෝපාවිෂ්ඨ ගම්වැසියන් ගෙන් යටත් වූ සතුරු සෙබළුන් ගළවා ගන්නට මහරජතුමන්ට නියෝගයක් පවා දෙන්නට සිදු විය. මක් නිසාද යත්, ජයග්‍රාහී හෙළ බළ සේනාව සමඟම යටත් කරගත් සතුරු සේනාවේ පිරිසකුත් පැමිණෙන බව දැනගත් ගම්වාසීන්, අතට හසු වූ මහ දෑකැති, කඩු, පොලු ආදිය රැගෙන සූදානම්ව සිටි බැවිනි. එම නිසා ජයග්‍රාහී සේනාව සමග පැමිණෙන්නාවූ, යටත් වූ සතුරු සෙබළුන්ට කිසිදු හානියක් නොකළ යුතු බවට සංදේශයක් රැගෙන අශ්වාරෝහක ගෝරාවරුන් පිරිසක් මෙම මාර්ගයේ ඉදිරියෙන්ම ගමන් කළහ.

මෙහිදී සතුරු සේනාව පා ගමනින් කැඳවාගෙන යාමට සිදුවන නිසා ධූරාගේ යෝජනාවකට අනුව, රාජකීය පිරිස මුලින් සබරගමු පුරවරයේ රාජකීය මාළිගාවට යැවීමටත්, සතුරු සේනාව වෙනත් ආරක්‍ෂිත බළකොටුවක රඳවා තැබීමටත්, එහිදී ඔවුන්ට ආහාර ලබා දීමටත් මෙහිදී කතිකා කරගන්නා ලද්දේය. රාජකීයයන් සමග මහා ගෝරා සත් කට්ටුවත්, ජාගෙන් ගේ බළ සේනාවේ නායක සෙනෙවියන් ඇතුළු ඩැන්මාරූ දේශයේ සෙබළුන් ද මෙහිදී ඒ සමගම යැවීමට තීරණය වූයේය.

රාජකීයයන් සහ මහා ගෝරාවරුන් ඉක්මණින්ම කඟවේණුන් සහ ජවාවික සෛන්ධවයන් පිටින් ගොස් සබරගමු පුරවරයේ රාජකීය මාළිගාවට පැමිණීම ඇත්ත වශයෙන්ම ආශ්චර්යවත් ගමනාන්තයක් වූයේය. පන්දම් දල්වා, මුළු ප්‍රදේශයම ආලෝකමත් කර තිබූ ඒ රාත්‍රිය සැබවින්ම සුන්දර නිශා යාමයක් වූයේය. මහරජතුමන්ගේත්, රාජිණියගේත් දූ දරුවන්ගේ නිමක් නැති ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පිළිගන්නට විශාල පිරිසක් එහි රැ¼දී සිටියහ. මහා ගෝරාවරුන් සත් කට්ටුව, සියලුම දෙනාගේ නිම්හිම් නැති ප්‍රශංසාවට භාජනය වූ අතර, ඒ වන විට වෙනම ආරක්‍ෂිත ස්ථානයක රැ¼දී සිටි ජාගෙන් ද, රාජ මාළිගයට කැඳවා ගන්නා ලද්දෙන්, එය සුවිශේෂී වූ ආශ්චර්යවත් හමුවක් වූයේය.

තම නායකයා නිරුපද්‍රිතව සිටිනා බව දුටු ජාගෙන් ගේ සෙනෙවියන්ගේ සතුට සීමා රහිත වූයේය.

මෙහිදී ජාගෙන් ගේත්, හෙළයන්ගේත් පුරාණ සබඳතාවය ගැන සාක්ෂි සාධක සහිතව හෙළයේ මහරජතුමන් ඇතුළු සියලුම දෙනා දැනුවත් කරන ලද්දෙන්, බටහිර ඩැන්මාරූ දේශවාසී සේනාව අමන්දානන්දයට පත්වූහ. ආක්‍රමණයට තමන් පැමිණියේ මෙවන් වූ විශිෂ්ට වූ දේශයකටද යන්න පිළිබඳව ඔවුන් දැඩි පසුතැවීමකට ලක් වූහ. එහෙත් ජාගෙන් හෝ ඔහුගේ සේනාව අතින් හෝ, එකදු හෙළ සෙබළෙකු ගේ ජීවිතයක් හෝ විනාශ වී නොතිබුණෙන්, ඔවුන් තරමක සැනසීමට පත් වූහ.

තවත් සිංහල පැය කිහිපයක් ගෙවී යද්දී, පරිවාර ගෝරාවරුන් සහ ප්‍රධාන සෙනෙවියන් ගණනාවකුත් අසුන් අරා සබරගමුවේ රාජ මාලිගයට පැමිණියහ. ඒ වන විටත් මහරජතුමන් සහ ජයමාලී දේවියත්, වැඩිමහල් පුත් කුමරුවන්, භීමනාථ මහ සෙනෙවිතුමන් සහ මහා ගෝරාවරුන් සත් කට්ටුවත්, පිරිසුදු වීමෙන් අනතුරුව රාත්‍රී භෝජනයට සූදානම්ව සාකච්ඡාවේ යෙදී සිටියහ. පසුව පැමිණි පිරිසත් ඔවුන්ට එක් වීමෙන් ඒ මොහොත තවත් ප්‍රීතිමත් වූයේය.

ඒ රාත්‍රිය මැදියම පසුවන තුරුත් පිරිස සතුටු සාමීචියෙන් යුතු වූයේය. කලකට පසුව සියළුම දෙනා කුස පිරෙන සේ හොඳින් ආහාර ගනිමින් සිය අත්දැකීම් බෙදා හදා ගත්හ. මීදුම් පලටයෙන් සෙමෙන් එතී යන සබරගමු රාජකීය මාලිගයේ ප්‍රධාන ශාලාව සුහද කථා බසින්, ප්‍රණීත ආහාර සුවඳීන් හා සිනා හඬින් තව තවත් සිත් ගන්නා සුළු වූයේය.

මතු සම්බන්ධයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.