ඉපැරැණි ගමේ වෙදරාළ

මැයි 3, 2019

ආයුෂ හා ශරීරාබාධ නිවාරණය පිළිබඳව උපදෙස් හා ඖෂධ තුළින් සිරුර පණ ගැන්වීමේ ශාස්ත්‍රය ආයුර්වේදයේ නියමයයි.

එදා භාරතයේ තිබූ සෘග්වේදය, සමවේදය, අතර්වේදය යනුවෙන් හැඳින්වූ චතුර්වේදයෙන් එකක් වූ අතර්වේදයෙහි උපාංගයක් ලෙස ආයුර්වේදය නියමවෙයි.එය මිනිසාට පමණක් නොව සකල සත්වයාටම සුවය හා අභිවෘද්ධියට උපයෝගිවෙයි. මහා බ්‍රහ්මයාගෙන් ආරම්භයැයි සැළකෙන ආයුර්වේදය විවිධ මතයන් තුළින් පෙර සෘෂීන් විසින් ප්‍රගුණ කර ගත් මෙය එදා සිට අද දක්වා පවත්වාගෙන පැමිණියේ පුරාණ පාරම්පරික වෛද්‍යවරයා විසින් ය. ආයුර්වේදය පවත්වාගෙන පැමිණි ඇත්තෝ රජකමටත් වඩා වෙදකම උසස් ලෙස සැලකූහ. ඔවුන්ට එය ගාම්භීරත්වය මෙන්ම තෑගි බෝග තුටු පඬුරට පමණක් සීමානොවී සකල සත්වයාගේ අභිවෘද්ධිය හා සුවය සඳහා කැපවිය. එවැනි රාජකීය පාරම්පරික පරපුරකින් පැවැතෙන ආයුර්වේදය නිල වෙදකම, අක්ෂි, ගෙඩි, වණ, පිළිකා හා තෛලමය ප්‍රතිකාර කටයුතු කරන වෛද්‍යවරයකු හඳුන්වාදෙයි.

සබරගමුව පළාත් සභාව මගින් මෙහෙයුම් කරනු ලබන කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන මැතිවරණ කොට්ඨාසයෙහි රඹුක්කන, පින්නවල, නව සත්වඋද්‍යානය අසල පිහිටුවා ඇති පින්නවල ඉපැරැණි ගම්මානය තුළ ඇති වෙද ගෙදර පිළිබඳ තොරතුරු බිඳක් සටහන් කරමි. එහි කටයුතුකරණ පාරම්පරික දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකු හා එහි සේවයෙහි අගය දැක්වීමටයි. එහි ඔබ ගියහොත් දේශීය වෛද්‍ය ක්‍රමය කෙසේද යන්නත් ඉගෙනුම ලබන පාසල් සිසුන්ටද මනා අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.

කෑගල්ල සිට රඹුක්කන දක්වා ගමන් ගන්නා විට ‘වාගොල්ල ගොවිබිම අසල පින්නවල සත්ත්ව උද්‍යානය හමුවෙයි. සත්ව උද්‍යානබිමත්, ගලායන මාධ්‍යයක් මැදිව පින්නවල ඉපැරැණි ගම්මානය පිහිටුවා ඇත. වෙද මැදුර මහ ගමරාළගෙදර, ආරච්චි ගෙදර, වඩු මඩුව, කම්මල, කුඹල් ගෙදර, අත් යන්ත්‍ර, රෙදි වියන ගෙදර, හේන, දඬුකද, ගස මත බැඳි පැල, කෙත්යාය, අහික්ණුඩටික කූඩාරම, කෝපිකඩේ ආදී පාරම්පරික කටයුතු කරන ස්ථාන දැක ගැනීමට හැකිවන අතර මනා පරිසරයක, දැකුම්කලු, මේවා ඉදිකර ඇත්තේ පාරම්පරිකත්වය රැක ගැනීමේ මහත් අභිමානයෙනි.

මේවා නැරඹීමට යන ඔබට, පළමුව හමුවන්නේ පැරණි වෙද ගෙදරයි. මෙහි කටයුතු කරන්නේ පාරම්පරික වෙද පරපුරකින් පැවැත එන වෙදරාළ කෙනෙකි. කපුරුනාද වෙද පරපුරට අයත් මහනුවර සිල්මල්වත්තේ දුටුගැමුණු දක්වා වෙදකම්කල රාජකීය තෛලමය වෙද පරපුරකින් පැවැත එන, දලුග්ගල රඹුක්කන තෙල්මෝලවත්ත, කෑගල්ල දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා බල මණ්ඩලයේ ලේකම් ඒ.එම්. පි‍්‍රයන්ත කුමාර අබේසුන්දර වෙද මහතාගේ මනා රූසපුවකින් පිරි සරම හා බැනියම් ඇඳගත් වෙදමහතෙකුගේ රූ ස්වරූපයගත වෙදමහතෙකි. වෙද මහතෙකුට හිමිවන උඩුරැවුල පමණක් අඩුවීම ඔහුගේ එකම ලක්ෂණයයි. ඔහු ඡ්‍යොතිර්වේදයෙකු ද වෙයි. නිවස පුරා වෙදකමට අයත්වන පැරණි උපකරණ, පුස්කොළ පොත්පත්, තෙල් බෙහෙත්, පැරණි බෝතල්, බුරණි, රෝගීන් පරීක්ෂා කරන ඇඳ පැදුරු, හැලි වළං ආදී ඉපැරැණි භාණ්ඩ මනාලෙස අසුරා තිබීමද විශේෂත්වයකි.

වෙදකමට අවශ්‍ය බෙහෙත් පැළෑටි, වෙද මැදුර වටා සිටුවා ඇත. අරත්ත, කළුනික, අංකෙන්ද, කටුපිල, දේවදාර, තොලබෝ, හිරැස්ස, නිල් වරිය, රසකිඳ, දුටුසතුටු ඉරුරාජ පොල්පලා විෂ්ණු ක්‍රාන්ති, වදකහ, ඉරිවේරිය, සැවැන්දරා, බෙලි, ඊතණ, සමන්පිච්ච, ගොඩමානෙල්, ඉගුරු, තිප්පිලි ආදී වටිනා ඖෂධ සිටුවා ඇති හෙයින් පාරම්පරික වෙද මැදුරක සිරිය ගනී. ගල් වංගෙඩිය, බෙහෙත් ගල, මෝල්ගස ආදිය පැරණි භාණ්ඩ මෙන්ම අලංකාරයද හොබවයි.

දිනපතා ඇදී එන, විවිධ අසනීප කැඩුම් බිඳුම්, වාත, අංශභාග, විෂ වෙදකම,චර්මරෝග, සුදු කබර, ආදී රෝගීන් ඉමහත්ය. ඒ අතරට විදෙස් සංචාරකයින්ද ප්‍රතිකාර ලබා ගැනීමද මෙහි විශේෂත්වයකි. පාරම්පරික කෙම්ක්‍රම, තෙල් ගල්වා කරන ප්‍රතිකාර ඔවුන් අතර ජනපි‍්‍රය වී ඇත.

 

සුරතට සැදු සැරපානා ගුලිය ගෙන

වමතට, තෙමූ මී තෙල් පන්දමද ගෙන

සැකිනා අහස මෙන් නගමින් එහි ගොසින

අනුරපුර රජුට ඔසු කර එයි සැනින

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ජ්‍යෙතිර්වේදී, සාමවිනිසුරු

සම්මානලාභී,

මාකෙහෙල්වල කරුණාපාල 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.