සුබසෙතින් සුවය

ජූලි 16, 2021

උපුල්, අවිස්සාවේල්ල. වයස 47 කි. සෑහෙන කාලයක සිට බඩේ දැවිල්ලක් ඇත. කෑම උගුරට එයි. බඩේ ශබ්ද ඇතිවේ.

 

ඔබට අම්ලපිත්තය තදබල ලෙස පවතී. පළමුව වමනය කර දෙවනුව මෙම බෙහෙත් පන්තිය ගන්න. තවත් බෙහෙත් පන්ති දෙකක් ලිපිනයැති මුද්දර කවරයක් එවා ලබා ගන්න. මුදල් අය නොකරමි.

1. වදකහ කුඩු කලං බාගයක් මී පැණියෙන් අඹරා එළකිරි සමඟ (බෝතල් බාගයක් පමණ ගන්න) උදේට බොන්න. කීප වතාවක් වමනය යාවි. වමනය යන විට ලුණු ටිකක් දමා නිවුණ උණු වතුර බොන්න. දින තුනකින් නැවතත් එම බෙහෙත බී වමනය කරන්න.

මේ දිනවල උදේට ආහාරයක් ලෙස ලුණු කැඳ පමණක් බොන්න. දවල්ට වැටකොළු, පතෝල වැනි එළවළුවක් දිය කිරෙන් උයා ආහාරයට ගන්න. රාත්‍රී ආහාරයටත් එළවළු දෙකක් දිය කිරෙන් උයා ගන්න. සතියකට පසුව පහත බෙහෙත් පන්තිය ගන්න.

අරළු, බුළු, නෙල්ලි, මුං ඇට( බැද) කීකිරිඳිය දුම්මැල්ල කලං දෙක බැගින් ගෙන වතුර පත 16 - 2 ට සිඳ පෙරා සවිඳ ලුණු දමා උදේ සවස බොන්න. (දින 04 ක්)

ඔබට දිවුල් කිරි, බාර්ලි, මුං ඇට, තැඹිලි, මිදි, ඉතාම හොඳයි. අබ, විනාකිරි, හරක් මස්, සැමන්, හුරුල්ලන්, බල, කෙලවල්ලන්, මිරිස්, ගිනියම් ආහාර, තෙල් බැදුම්, ඉතාම අහිතකර බවත්, ඒවා ගැනීමෙන් රෝගය උත්සන්න වනවා මිස සුව වීමක් නොවන බවත්, තේරුම් ගන්න.

මුද්ගාසලාජාද ක්වාථය දවල්ට, රෑට කෑමට පෙර මේස හැඳි දෙක බැගින් බොන්න.

 

අවුරුදු 33 ක කාන්තාවක්මි. ඉතාම කෙට්ටුයි. ඇටසැකිල්ල පමණයි. මස් නැති තරම්. ආහාර ගැනීමේ අඩුවක් නැත. උණුකරවායාම නැත.

 

ජීර්ණ පද්ධතියේ දෝෂයකි. මෙම ප්‍රතිකාර සති දෙකක් කර දෙවන බෙහෙත් පන්තිය මාසයක් කර ප්‍රතිඵලයක් නොමැති නම් දින 100 ට පමණ පසුව නැවත විමසන්න.

පළමුව අරළු, නෙල්ලි, මුද්දරප්පලම්, සෙනෙහෙකොළ කලං තුන බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා උදේට බොන්න. දින දෙකක් කරන්න. දින දෙකේම උදේට ලුණු කැඳ පමණක් බොන්න. දවල්ට රෑට, එළවළු දෙකක් පමණ සමඟ බත් කන්න. දින දෙකකට පසුව මෙම බෙහෙත සාදාගෙන කන්න.

රට ඉඳි, සුවඳැල් කෙසෙල් හෝ, කෝලිකුට්ටු කෙසෙල්, රතු සීනි අවුන්ස අට බැගින් ද, එනසාල්, කොල්ලන් කොළ, කුරුඳු, තිප්පිලි කලං තුන බැගින් ද ගෙන මී පැණියෙන් අඹරා තබාගෙන උදේ 6 ට සවස 6 ට කලං දෙක බැගින් කා එළකිරි බොන්න. පලතුරු කන්න. කොළ කැඳ බොන්න. සති දෙකක් පමණ ඉහත බෙහෙත කා ඉන්පසුව මෙම බෙහෙත් ගන්න.

දසමූලාරිෂ්ඨය, චන්දනාස්වය මිශ්‍රකර දවල්ට, රෑට කෑමට පෙර මේස හැඳි දෙක බැගින් බොන්න.

අරවින්දාසවය සාරස්වනාර්ථය මිශ්‍රකර දවල්ට රෑට කෑමට පසුව මේස හැඳි දෙක බැගින් බොන්න.

උදේ 7 ට සවස 3 ට කුෂ්මාණ්ඩකාව ලේහය මේස හැඳි දෙක බැගින් කා එළකිරි හෝ පිටිකිරි බොන්න.

ඛ්‍යවන ප්‍රාශව ලේහය මේස හැඳි දෙකක් රාත්‍රී නින්දට පෙර කා එළකිරි හෝ පිටිකිරි බොන්න.

 

අවුරුදු 15 ක දියණියකගේ දණහිස් නැවීම අමාරුය. ඉදිමේ. වාත විදුරංග තෛලය ගෑවත් වැඩි වනවා මිස අඩු වීමක් නැත. (අඹේපුස්ස නන්දාවතී මව)

 

ඔබගේ දියණිය ආමවාතයෙන් පෙළෙන බවත් වෛද්‍ය උපදෙස් නොලබා තෙල් ගෑමෙන් වැඩි වී ඇති බව පෙනේ. පහත ප්‍රතිකාර කරන්න. ආහාර නොදිරවීමත් (නිතර ආහාර ගෙන ඇත) සෙම එකතු වීමත් නිසා ඔබගේ දරුවා රෝගී වී ඇත. වෛද්‍ය උපදෙස් නැතිව එරඬු තෙල් හැර වෙනත් තෙල් වර්ග භාවිතයෙන් වැළකීමට ද තරයේම සිතට ගන්න.

නිකමුල්, සුදුලූනු, අරත්ත අල, වියලි ඉඟුරු කලං තුන බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා පත බාගය බැගින් උදේ සවස දින හයක් දෙන්න.

මහා යෝගරාජ ගුග්ගුළු දෙක බැගින් දවල් රෑට කෑමට පසුව පොල්පලා තැම්බූ වතුරින් දෙන්න.

සතකුප්ප, දේවදාර, එරඬු ඇට, සුවඳ කොට්ටන්, වදකහ, කලාඳුරු අල, නික පොතු, ඉඟුරු කලං දෙක බැගින් ගෙන හොඳ විනාකිරෙන් අඹරා ඉදිමී ඇති තැන්වල ගාන්න. වේලෙන විට විනාකිරෙන් නැවත නැවත තෙමන්න. උණු වතුර පමණක් බොන්න. ඇල්දිය නාන්න එපා. දෙසතියක්.

පුනර්නිවාස්වය උදේ දවල් රෑ කෑමට පෙර මේස හැඳි දෙක බැගින් දෙන්න. තෙල් කෑම, ගිනියම් කෑම, ඇඹුල් කෑම නවතන්න. එවිට සුවය ලැබේවි.

 

අවුරුදු 32 ක අවිවාහකයෙක්මි. ඉක්මන් මෝචනය නිසා විවාහ නොවී සිටිමි. ඔබතුමාගෙන් ස්ථිර සුවයට ප්‍රතිකාර පතමි.

 

පහත ප්‍රතිකාර කරන්න. ලිපිනයැති මුද්දර කවරයක් එවා තවත් බෙහෙත් වට්ටෝරු දෙකක් ලබාගෙන ස්ථිර සුවය ලබාගන්න. (සුබසෙත පාඨකයන්ගෙන් මුදල් අය නොකරමි)

කෙකටිය අල, අරත්ත අල, කිරිබදු අල, අමුක්කරා අල, හාතාවාරිය අල, බිංතල් අල, සුවඳ කොට්ටම්, දේවදාර, අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, කහ, වෙනිවැල්ගැට, වැල්මි, සුදු හඳුන්, කුඹුක් පොතු, දිය අවරිය, ඊතණ, බැබිල මුල්, වැල්පෙනෙල මුල්, නස්නාරං මුල්, වඳුරු මෑ ඇට, නීරමුල්ලිය ඇට කලං බාගය බැගින් ගෙන වතුර පත 24 - 3 ට සිඳ පෙරා උදේ 7 ට සවස 5 ට රාත්‍රී 10 ට පත එක බැගින් බොන්න හොඳට නිවා. මී පැණි තේ හැඳි එකක් ද එළඟිතෙල් තේ හැඳි දෙකක් ද දමා බීමෙන් ගුණ දායක වේ.

චන්ද්‍ර ප්‍රභාවටි දෙක බැගින් පොල්පලා තැම්බූ වතුරින් උදේ 10 ට සවස 3 ට බොන්න.

පුරාණ ගජ කේශරී රසායනය තේ හැඳි දෙකක් කෂාය කෝප්පයට දියකර බොන්න.

චන්දනාසවය, බලාරිෂ්ඨය අශ්වගන්ධා රිෂ්ඨය මිශ්‍රකර දවල්ට රෑට කෑමට පෙර මේස හැඳි දෙක බැගින් බොන්න.

අමුක්කරා, වැල්පෙනෙල පැණිය හෝ සිද්ධ ජීව මෘතය දවසට දෙවරක් ඕනෑම වේලාවක පැය 6 ක පරතරය ඇතිව මේස හැඳි දෙක බැගින් බොන්න. දවල්ට රෑට කෑමට පසුව ගත්තත් වරදක් නැත.

 

ආයුර්වේද වෛද්‍ය

ඊ.එම්.නිමල් විමලරත්න ඒකනායක

(ආයුර්වේද කීර්ති පණ්ඩිත)

දීඝායු ඖෂධාලය

පහල වළකුඹුර අලව්ව

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.