දෝ සතර 27

පෙබරවාරි 8, 2019

ගුලිකය ,රාහුකාල ආදිය

ගුලිකය, යමකණ්ඨකය. අර්ධප්‍රහරණය, රාහු කාලය මෘත්‍යු යන නම්වලින් හැඳින්වෙන කොටස් පහක් තිබේ. එයින් රාහු කාලය ගැන බොහෝ දෙන සැලකිලිමත් වෙතත් අනෙක් කොටස් ගැන සැලකිලිමත් වනවා අඩුයි. එ සේ වුවත් දෝ සතර හදාරන අය ඒ පිළිබඳව ද දැනුම ඇති කැර ගත යුතු යි.

දාවල් කාලය අටකට බෙදා ගත යුතු යි. සාමාන්‍යයෙන් ලංකාවේ මින් එක් කොටසකට ලිත් පැය 3 විනාඩි 45 ක් ඇතුළත් වේ. ඒ කොටස් අට, රවි , සඳු, කුජ, බුද, ගුරු , කිවි, සනි යන පිළිවෙළට, ඒ ඒ දින හිමියා ගෙන් පටන් ගෙන ඔහු ගෙන් මැ අවසන් වන පිළිවෙළට ගණිනු ලැබේ. මේ කොටස්වලින් රිවි දිනයේ රිවි හිමි අට වන කොටස ද, අනෙක් දිනවල රිවි හිමි කොටස් ද රාහු කාලය යි. සනි දින සනි හිමි මුල් කොටස ද අනෙක් දිනවල සනි හිමි කොටස් ද ගුලික නම් වෙයි. බුද හිමි කොටස් අර්ධප්‍රහණයි. ගුරු හිමි කොටස් යම කණ්ඨයි. කුජ හිමි කොටස් මෘත්‍යු යි. සඳු, සිකුරු දෙදෙනාට හිමි කොටස් නිදොස් වෙයි.

අප රටේ දෝ සතර නොදන්නා ඇතැමුන් ද රාහු කාලය මඟහරවා වැඩ කටයුතු කරන්නට උනන්දු වන තැන් දක්නා ලැබේ. ඒත් ඒ අය මේ රාහු කාලය යනු කුමක් දැ යි ඉඳුරා දනිති ද යනු සැක සහිත යැ. එ හෙයින් රාහු කාලය ගැන මඳක් පැහැදිලි කළ යුතු වෙයි .

රාහු, කේතු යන නම් දෙකෙන් හැඳින්වෙන සේයා ගහයන් දෙ දෙනෙක්ද වෙති. ඒ රාහුත්. මෙහි කියැවෙන රාහුත් එකෙක් මැ යැයි සිතන්නෝ ද වෙති. එහෙත් ඒ හැඟුම නිවැරැදි නො වන බව ඉහත දැක්වුණු විස්තරයෙන් පැහැදිලි වෙයි. ඒ රාහුට කාලයක් ඇත්නම්. කේතුටත් කාලයක් තිබිය යුතු යි. මෙහි ලා ඒ නමින් ගැනෙනුයේ රවි ගේ කාලය යි. එ සේ නම් රාහු යන නම කෙසේ ලැබිණි ද?

රා නම් හිරු යි. රාවණ – හිරු කුල නායකයා – යන නමිනුත් ඒ පෙනෙයි. හිරුට අසු වූයේ රා + අසු යි. රා+ අසු රාසු රාහු වෙයි. එ හෙයින් මේ රාහු කාලය නම් හිරුගේ දැඩි බලපෑමට අසු වූ කාලය යි.

කේතුට අංසක 180 ක කෝණයෙහි පිහිටි රාහු යන සේයා ගහයා හා මේ හා කිසි සබඳකමෙක් නැති. ඒ බව මේ සතර හදාරන අය දැන සිටිය යුතු වේ. එ තැන රාහු නම යෙදුනේ රහුවීම හෙවත් හරස්වීම යන අරුතිනි. මේ නම් ගැන සැලකිල්ලෙන් බලන විට දෝ සතර අපේ මැ දෙයක් බවත් අපෙන් දඹදිවට ගිය බවත් තහවුරු වෙයි. නැකැත් සෑදීමේ දී හෝරාව ඉතා වැදගත් වෙයි. ඉහත කී දොස් වලින් මිදුණු දිනයක් පළමු කොට තෝරා ගත යුතු වේ. ඒ දෝසවලින් මිදුණු දිනය පිරිසුදු දිනයකි. දින ශුද්ධිය යැයි කියනුයේ එයට යි. නැකත දිය යුත්තේ දින ශුද්ධිය ඇති තැනකිනි.

එ බඳු දිනයක තමනට වුවමනා කරුණට අදාළ වන රාසිය හා එහි අධිපතියා ද පාප බැඳුම්වලින් මිදී ඇත්නම්, සඳු 6,8,12 රාසිවල නොපිහිටියේ නම්. ඒරාෂ්ටක නොයෙදිණි නම්, ඒ තන්හි සුබ හෝරාවේ මැද විනාඩිය නැකත ගැලපීමට ගත යුතු වේ. මේ මැද විනාඩිය ගැනීමේ සිරිත යෙදී ඇත්තේ වේලාව නිවැරැදිව මැ ගැනීමේ අපහසුතාවන් ද මඟහරවා ගැනීම පිණිසයි. හෝරාවේ මැද විනාඩිය ගත් කල වේලාව විනාඩියකින් දෙකකින් එහා මෙහා වුවද නැකත නො වරදී.

සඳු 6,8,12 නොසිටිය යුතු යැයි රීතියක් ඇත ද භාග්‍ය ස්ථානය, උච්ච ස්වක්ෂේත්‍ර රාසියක් වී බලවත් තැනක යෙදුණු ගුරු ගේ සපිරි බැල්මට, නැකැත් වේලාවේ තත්කාල සටහනේ 6,8,12 තැනක පිහිටි සඳු ලක් වී සිටී නම් එය ගත හැකි වේ. දෝස නැත. එ මෙන් මැ නැකැත් වේලාවේ තත්කාල සටහනේ ලග්නගත වැ බලවත් වූ ගුරු සමඟ සෙනසුරු ද එක් වී ඇති විට ලග්න ඒරාෂ්ටකය නො සලකා නැකත ගත හැකි වෙයි. එහෙත් මේ තත්වය ඉතා සියුම් වැ පිරික්සා බලා මැ කළ යුතු දෙයකි. ගුරු ගේ බලය හරි හැටි නො විමසා ගැනීම නම් නො මැනැවි.

මීට අමතර වැ ඒ ඒ කරුණට අදාළ වෙසෙසි යෝග ද ඇත. අකුරු කියැවීමට සරසවි යෝගය මෙනි. බදාදා උදේ බුද හෝරාවේ, රවි බුද කන්‍යා ලග්නයේ වුව සරසවි යෝගයි.සිකුරාදා උදේ මීන ලග්නයේ 27 වැනි අංසකයේ සිකුරු සිටීමත් එ වැන්නකි. නැකත ගන්නා තැනැත්තා ගේ ජන්ම නැකතේ සිට අදාළ නැකත විපත් , වද, ප්‍රත්‍යාරි තැනකට වැටේ නම් ඒ නැකත ඔහුට නො ගැලපේ. ජන්ම නැකත ශරීරික කටයුතුවලට පමණක් නො ගැලපේ. වෙනත් කරුණුවලට නරක නැත. ශාරීරික කටයුතු යනු බත් කැවීම, කන් විදීම, අකුරු කියවීම, විවාහය, වැනි දෑ යි.

හේමසිරි කුමාරණතුංග

0718034076

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.