බාල අරිටු යෝග

මාර්තු 1, 2019

ළදරුවකු උපත ලබා කෙටි කලෙකින් මිය යන බව පෙන්නුම් කැරෙන ගහ යෙදුම් බාල අරිටු යෝග (බාලිරිෂ්ට යෝග) නමින් දෝ සතරෙහි ලා හඳුන්වා ඇත.

වයස අවුරුදු 12 ට අඩු කලක දී මරණය සිදු වන යෝග මෙ නමින් හැඳින්වෙන බව ද පත් පොත්හි සඳහන් වැ ඇත. එයින් මුල්වසර 4 තුළ මරණය සිදුවීම මව ගේ පාපයක් නිසා ද, දෙ වැනි වසර 4 තුළ මරණය සිදුවීම පියා ගේ පාපයක් නිසා ද, තෙ වැනි වසර 4 තුළ මරණය සිදුවීම ජන්මියා ගේ පාපයක් නිසා ද, වන බවට මතයක් තිබේ.

එහි දී මව ගේ හෝ පියා ගේ හෝ පාපයෙන් දරුවා මිය යනවා යැ යි නිගමනය කරනවාට වඩා , දරුවා ගේ පාපයත් මව ගේ හෝ පියා ගේ හෝ පාපයකුත් සබඳවීමෙන් මරණය සිදු වන්නේ යැ යි සැලැකීම වඩා නිවැරැදි බව මා ගේ තැනැති (පෞද්ගලික) හැඟීම යි.

එ වැනි බාල අරිටු යෝග බොහෝ ගණනක් පත් පොත් හි සඳහන් වැ ඇත. එයින් කිහිපයක් මෙහි සඳහන් කරනු රිසියෙමි.

1. සැඳෑ කාලයත් සඳු හෝරාවත් යෙදී යමකු උපන්නොත් එ වේලේ මැ මරණය සිදු වෙයි. (මෙහි ලා සැඳෑ කාලය යනුවෙන් සැලැකෙන්නේ, හිරු ගෙන් අඩක් බැස ගිය තැන් සිට තරු පෙනෙන්නට පටන් ගන්නා තෙක් කාලයත්, උදේ නම් තරු නොපෙනී ගිය තැන් සිට හිරු ගෙන් අඩක් මතු වන තෙක් කාලයත් යැ යි ද දෝ සතර පොත්වල සඳහන් වැ ඇත) එහි දී උදය කාලයේ අඩ අඳුර පවතින කාලය ද සැඳෑ නමින් මැ සලකා ඇති බව පෙනෙ යි.

2.සනි , රාහු, කුජ, සඳු, එකට හතේ හෝ නවයේ හෝ පිහිටියේ නම් ඉපදී හත් දවසෙන් මිය යයි.

3.ලග්නයේ සඳුත් සියලු පාපයන් 4,7,10 ත් සිටියේ නම් උපන් හැටියේ මිය යයි.

4.කටක, වෘශ්චික යන කීටයන් ලග්නයට වැටී සියලු පාපයන් පෙර අඩෙහිත්, පුණ්‍යයන් පසු අඩෙහිත් වූයේ නම් උපන් හැටියේ මැ මැරෙයි.

5.ලග්නයේ හා හතේ ද පාපයන් සිටියැ දී සඳුත් පාපයන් හා එක් වැ සුබ දැකුම් නො ලබා සිටියේ නම් ටික කලකින් මැරේ.

6.ලග්නය දෙ පසැ වූ 2-12 ත්, හත දෙ පසැ වූ 6-8ත්, යන තැන්වල පාපයන් සිටියැ දී උපන්නේ වහා මැරෙයි .

මෙ කී රාසි හතරේ සියලු ගහයන් සුබ පාප මුසු වැ යෙදී චර රාසියක් ලග්නය වූ විට “සිංහාසන යෝගය” යෙදේ. බාල කාලයේ නොමළ හොත් මහ බලවතෙක්, ධනවතෙක්, වෙයි.

ලග්නයේ ගුරු හිටියත් සඳු 6,8,12 තැනක රාහු ගේ බැල්මට ලක් වී සිටීමත් බාල අරිටු යෝග යි.

රවි දොළසේ ද කුජ හතරේ ද යෙදී ජන්ම ඒරාෂ්ටකයෙන් උපන් විට මවත් සමඟ මැරෙයි.

අටේ රවි හෝ කුජ හෝ යෙදී අව සඳු පාප පීඩිත වැ සුඛ දැකුම් නො ලබා උපත සිදු වුවත් මවට විපත් යැ.

මෙහි ලා තවත් කරුණක් අප සිහියට නැඟිණ. මීට වසර කීපයකට පෙර එක් දිනෙක අප හමුවට පැමිණි කාන්තාවක් ළදරුවකු ගේ උපන් වේලාවක් ඉදිරිපත් කරමින් මෙ සේ කීවා යැ.

“මේ මගේ අක්කාට ලැබුණු පුතාගේ උපන් වේලාව යි. මේ ළමයා උපන්නේ ඊයේ. අද මා ගම්පහ පෙදෙසේ ජෝතිස කටයුතු කරන කෙනකු මුණගැසී, මේ කේන්දරය සාදා දෙන්නැයි ඉල්ලීමක් කළ විට, මේ උපන් දින සටහන අතට ගත් ඔහු ඒ ගැන මඳ වේලාවක් සැලකිලිමත් වී, මේ කේන්දරය සාදා දිය නොහැකි බව කීවා. ඊට හේතුවක් කීවේ නැහැ. මා මහත් කලකිරීමට පත් වුණා. ඔබට පුළුවන්ද මේ කේන්දරය සාදා දෙන්න?”

දෝ සත් ඇඳුරකු ළදරුවා ගේ කේන්දරය සාදා දීමට මැලිවීම ගැන අපට ද සැකයක් ඇති වූ හෙයින්. ඒ උපන් වේලාවට අදාළ ලග්න කේන්දර සටහන සාදා බැලුමු. එය සාදා බැලූ විටය, අප දෝසතර පොතකින් කියවා තිබුණු සිලොවක් සිහියට නැඟිණ. ඒ මෙ සේ යි.

“රන්ද්‍රේශේ ලාභ රාශිස්ථේ

භෞමේ සූර්ය සමන්විතේ

ජන්මදායේ රාහු භුක්තෞ

පරලෝකං ප්‍රයාස්යුති”

ඒ අදහස සිංහල බසට නඟා ලියුවහොත් මෙ සේ සිටී.

අට පති අයෙහි වැද

කුජ රවි එක් තැනෙක වෙද

බිලිඳා උපත ලද

රාහු අතුරෙහි නසී නොවැර ද

ඒ අනු වැ අපි එම කාන්තාවට මෙ සේ තතු පැහැදිලි කළෙමු. එම ජෝතිස ඇදුරා කළ දේ නිවැරැදි බවයි මටත් පෙනෙන්නේ. මේ දරුවාගේ ආයු තත්වය දුබල යි. ඔහු කේන්දරය සාදා දී නැත්තේ ඒ නිසා යි. ඒ ගැන හිත පාරවා ගන්න එපා. මේ කේන්දරය සෑදීමෙන් පලක් නැහැ. එ සේ තතු පැහැදිලි කැර දී ඇය යැවූමු. ඇය අප ගේ දුරබණු අංකය ද සටහන් කැර ගෙන ගියා යැ. දින තුනකට පසු ඇය දුර ඇමතුම් මඟින් අප අමතා මෙ සේ කීවායැ. “ඔබ එදා කී දේ හරි. අක්කාගේ දරුවා ඊයේ රෑ මිය ගියා”

මෙ වැනි බාල අරිටු යෝග දෝ සතර පොත්වල සඳහන් වැ ඇත. දෝ සතර හදාරණ අය ඒ ගැන ද වැටැහීමක් ඇති කැර ගැනීම වැදගත් වෙයි.

හේමසිරි කුමාරණතුංග

0718034076

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.