අටේ නපුර දෝ සතර 35

අප්‍රේල් 5, 2019

ජන්ම කේන්දරයක අට වැනි රාසිය මාරක තැන හැටියට හැඳින්වෙයි. එ තැනට සබඳ වන බිහිසුණුකම කීප ආකාරයකට බෙදී යයි .නාඩි දෝ සතර පොත්වල ඒ ගැන නොඑක් අයුරින් විස්තර සඳහන් කැර ඇත. “ජාතක පාරිජාත” නම් දෝ සතර පොතෙහි කෙටි සිලෝ දෙකකින් මේ අට වැනි රාසිය ගැන කැර ඇති විස්තරය මෙ සේ යි.

“රන්ධ්‍රේශ්වරෝ රන්ධ්‍රයුක්තෝ

රන්න්ධ්‍රදෘෂ්ටා ඛරේශ්වරඞ

රන්ධ්‍රාදිපයුතඞ චෛව

චතුඞ ෂශ්ටයංශනායකඞ

රන්ධ්‍රේශ්වරාතිශන්තෘශ්ච

සප්තජිදාග්‍රහාඞ ස්මෘතඞ

තේෂාං මධ්‍යෙ බලී යස්තු

තස්‍ය දායේ මෘතිං භවේත්”

මේ සිලෝ දෙකෙන් කියැවෙන්නේ අට වැනි රාසියට සබඳ වෙමින් මරණයට දායක වන ගහයන් හත් දෙනකු ගැන යි. “රන්ධ්‍ර” යන සකු වදන සිදුරුකිරීම යන අරුත දෙ යි. ‘රන්ධ්‍රේශ්වරෝ” යනු සිදුරුකරන බලවතා යි. මෙහි ලා සිදුරු කිරීම යන අරුත ඇති වදන යොදා ඇත්තේ අට වැනි රාසිය හැඳින්වීමට යි. එ හෙ යින් රන්ධ්‍රේශ්වරෝ යනු අට වැන්න අදිපතියා යි. රන්ධ්‍රයුක්තෝ යනු අට වැනි රාසියේ සිටින්නා යි. රනධ්‍රදෘෂ්ටා කීවේ අට වැන්න දකින්නාට යි. ඛරේශ්වර කීවේ 22 වන දෙර්කාණාධිපතියාට යි. රන්ධ්‍රාදිපයුතඞ කීවේ අට වැන්න අදිපතියා හා එක් වී සිටින්නාට යි. චතුඞ ෂශ්ටයංශ නායක කීවේ 64 වැනි නවාංසකය අදිපතියාට යි. රන්ධ්‍රේශ්වර අතිශතෘ – කීවේ අට වැන්න අදිපතියාට ඉතා ම සතුරු වු ගහයාට යි.

මෙ සේ මාරක බල ඇති ගහයන් හත් දෙනකු ගැන එ තැන කියැවෙයි

1.අට වැන්න අදිපතියා 2.අටේ සිටින ගහයා

3.අට වැන්න දකින ගහයා 22 වන දෙර්කාණය අදිපතියා

5.අට අදිපතියා සමඟ එක් වී සිටින ගහයා

6.හැට හතර වැනි නවාංසකය අදිපතියා

7.අටවැන්න අදිපතියාට ඉතා මැ සතුරු වූ ගහයා යනු ඒ හත් දෙනා යි.

මෙහි කියැවුනු විසි දෙ වැනි දෙර්කාණය ද, 64 වැනි නවාංසකය ද අට වැනි රාසියේ මැ පිහිටි තැන් දෙකකි. මේ හත් දෙනා ගෙන් බලවත් මැ ගහයා ගේ දසාවේදී කෙනකු ගේ මරණය සිදු වන බව එයින් කියැවෙයි.

“ප්‍රශ්න මාර්ග“ නමැති පොතේ මෙ සේ සඳහන් වැ ඇත.

“චන්ද්‍රාං ශේශස්‍ය තද්භූෂා

නවාශේශොථවා රවේඞ

ලග්නේශො වා පි යද්යේවං

ස්වල්ප මධ්‍ය චිරායුෂඞ”

එයින් කියැවෙන්නේ සඳු සිටින නවාංසකය අදිපතියා සිටින තැනින් 64 වැනි නවාංසකය අදිපතියාට එම සඳු සිටින නවාංසකය අදිපතියා සතුරු, නොසතුරු, මිතුරු, තත්ව ඇතිව සිටින්නේ නම් ජන්මියාගේ ආයු කාලය කෙටි, මැදි, හෝ සපිරි සැටියෙන් සිටින බව යි.

මේ 22 වන දෙර්කාණයත් 64 වන නවාංසකයත් අට වැනි රාසියේ මැ තැන් දෙකකි. ඒ තැන්වල අදිපතියන් කෙරෙහි, කෙනකු ගේ මරණයට ඇති සබැඳියාව එයින් කියැවෙයි. ලග්නයෙන් මෙන් මැ සඳු සිටින රාසියෙන් අට වැන්න ද, සඳු ගෙන් 64 වැනි නවාංසක ද, 22 වන දෙර්කාණය ද එක සේ අයහපත් වන බව මේ අනු වැ පෙනී ය යි.

රාසි දොළොසින් , හය, අට,දොළහ යන තුන් තැන අයහපත් තැන් හැටියට සඳහන් වැ ඇතත්, එයිනුත් නරක මැ තැන අට වැනි රාසිය බවත් මේ අනු වැ පෙනී යයි. අට වැන්න නරක මැ තැන වූයේ 22 වන දෙර්කාණයත්, 64 වන නවාංසකයත් එම රාසිය තුළ පිහිටන හෙයිනි.

ඒ තත්වය එ සේ වුවත් 6,8,12 අදිපතියන් ඒ තුන් තැනින් එකක පිහිටි විට විපරීත රාජ යෝගත් යෙදෙ යි. එ වැනි බලයක් ඇති වු විට විපරීත රාජ යෝගයෙන් යහපතක් වුවත්, 22 වන දෙර්කාණයේත් 64 වන නවාංසකයේත් නපුර ඉවත් නො වන බව ද සැලැකියැ යුතු වෙයි. රාසි දොළොසින් අට වැනි රාසිය නරක මැ තැන වූයේ එ හෙයිනි.

හේමසිරි කුමාරණතුංග

 

හේමසිරි කුමාරණතුංග

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.