යෝග බල බිඳුම : දෝ සතර 37

අප්‍රේල් 26, 2019

ජන්ම කේන්දරවල සුබ අසුබ දෙ පසේ මැ යෝගයෙදී තිබෙනු දක්නා ලැබේ. ඇතැම් විට තම කේන්දරයේ ඇතැයි කියන සුබ පල නම් ලැබුනේ නැතැයි කියමින් දෝ සතර ගැන කලකිරීමෙන් කතා කරන අය ගැන ද ඔබට අසන්නට ලැබී ඇත.

එ සේ වන්නේ සමහර කේන්දරවල යෙදුණු යෝග බල බිඳ දමන පහත් ගහ යෙදුම් ඇතත් ඒ ගැන සැලැකිලිමත් නොවී, යෝගයේ යහපත්කම ගැන සලකා පලාපල කීම නිසා යි. එ හෙයින් පලාපල කීමේ දී යෝග බල බිඳුම ගැන ද සැලැකිලිමත් වියැ යුතු වෙයි.

සුබ යෝගයෙක පල නිසි ලෙස ලැබෙනුයේ එම යෝගය උදා කළ ගහයා ගේ දසා කාලයේ දී යැ. සමහර විට ලාබාල කාලයේ දී මැ එම දසාව ගෙවී ගොස් ඇත. තවත් විටෙක එම දසාව යෙදෙනුයේ වයසින් කෙළවරට ගිය කාලයේ යැ. තවත් විටෙක තම ජීවිත කාලයේ එම දසාව එළඹෙන්නේ මැ නැත. එ හෙයින් පලාපල කීමේ දී ආයු කාලය ගැන ද සැලැකිලිමත් වියැ යුතු වෙයි. ඊටත් වඩා සැලැකිලිමත් වියැ යුතු වන්නේ සුබ යෝග බලය බිඳ දමන තවත් ගහ දොස් කේන්දරයේ ඇති දැයි බැලීම ගැනයි. සමහර යෝග තම ජීවිත කාලය පුරා මැ පැතිර පවතින තත්ත්වයන් ද ඇත.

කුජ, බුද, ගුරු, සිකුරු, සෙනසුරු යන ගහයන් පස් දෙනා හතර කේන්දර තැන්වල බලවත් වැ පිහිටීමෙන් රුචක, භද්‍රා, හංස, මාලවි, සස යන පස් මහ පුරුස යෝග යෙදෙන බව ඔබ දනිති. කේන්දර දොළහකින් පහක වත්, මේවායින් එක් යෝගයක් හෝ යෙදී තිබෙනු දක්නා ලැබේ. ඒත් ඒ හැම කෙනකුට මැ එම යෝගවලින් නිසි පල ලැබී නැත. එ සේ වන්නේ ඇයි? නාඩි ජෝතිසයේ ඒ ගැන මෙ සේ සඳහන් වැ ඇත.

“ජීවේ ශනි යුතේ දෘෂ්ටේ

මාලවී යෝග භංගවාන්

ශුක්‍රේ කේතු යුතේ චේතු

මාලවී යෝග භංගවාන්”

එය සිංහල බසින් කිවහොත් මෙසේ යි.

ගුරු සනි එක් වැ සිටියත් සනි දුටත් ගුරු

මාලවි යෝගයේ පල ඉන් වේ යැ දුරු

සිකුරුට කේතු එක් වූ විට ද එ අයුරු

මාලවි යෝගයේ බලවනු ඇත නිසරු

එසේ මැ අධි යෝගය ගැනත් මෙ සේ සඳහන් වැ ඇත.

“ලග්නාච්චන්දාදි යෝගේෂු

පංචමේ තත් ත්‍රිකෝණගේ

ශුභේවා ත්වශුභේ වා පි

අධි යෝගේ න විද්‍යා තේ”

මාලවි යෝගය යෙදෙන්නේ සිකුරු කේන්දරයේ 1, 4,7, 10 යන තැනක බලවත්වීමෙනි. සිකුරු උච්ච බලයට පත් වන්නේ මීනයේ දී යැ. මීනය ගුරුට හිමි රාසියකි. එහෙයින් මාලවි යෝගය යෙදුණු විට ඒ යෝගය උදා කළ ගහයා උච්ච බලයට පත් කරවන රාසිය හිමියාට සෙනසුරු සබඳවීම යෝග බලය බිඳ හෙළන තත්ත්වයකි. එය පස් මහ යෝගවලින් අනෙක් යෝග හතරටත් පොදු වන අයුරු තේරුම් ගත යුතු යි. යෝග බලය ඇති කළ ග්‍රහයා උච්ච බලයට පත්කරවන රාසිය හිමියා පාප පීඩිතවීම යෝග බලය බිඳී යාමට මඟ පාදයි.

අධි යෝගය, ලග්නාධියෝග, චන්ද්‍රාධියෝග යනුවෙන් දෙකට බෙදෙයි. ලග්නයෙන් 6, 7, 8, යන තුන් තැන සුබ ගහයන් තිදෙනකු පිහිටා ඇති විට ලග්නාධි යෝගය යෙදේ. සඳුගෙන් 6, 7, 8 යන තුන් තැනෙහි සුබයන් තිදෙනකු සිටි විට චන්ද්‍රාදි යෝගය යෙදේ. මෙය ඉතා සුබ පල ඇතිකරන යෝග දෙකකි. ඒත් ඒ යෝගයෙන් සුබ පල ලබන්නට නම් ලග්නයෙන් හෝ සඳුගෙන් හෝ 5, 9 යන රාශි දෙක හිස් වැ තිබිය යුතු බව ඉහත සඳහන් සිලොවින් කියැ වී ඇත.

ලග්නයෙන් හෝ සඳු ගෙන් හෝ 6, 7, 8 යනු 5, 6, 7, 8 වත් 6, 7, 8, 9 වත් නොවන බව තේරුම් ගත යුතු යි.

අඛණ්ඩ සමරාජ යෝග නමින් තවත් ගහ බලයක් චන්ද්‍රකලා නාඩියෙ සඳහන් වැ ඇත. කේන්දරයක 2, 10 හෝ 11 වැන්නේ අධිපතියා සඳුගෙන් 1, 4, 7, 10 තැනක බලවත් වැ යෙදී ගුරු ද 2, 5 හෝ 11 වැන්නේ අධිපතියා වී කිසියම් රාසියක බලවත් වී ඇත්නම් අඛණ්ඩ සමරාජ යෝගය යෙදේ. දිගාසිරි ද ලබා දී සැප සම්පත් හිමිකරවන යෝගයකි. එත් ලග්නය තිර රාශියක් වී 12 වැන්නේ පාපයකු සිටීමෙන් හෝ සඳුගෙන් 8 – 12 තැනක පාපයකු යෙදීමෙන් හෝ එම යෝගය බිඳෙයි.

ඒ යෝගය නිසි ලෙස යෙදුණු විට දිගාසිරි ද ලැබී සැප සම්පත් ද හිමි වූවත්, යෝගය යෙදී ඉහත සඳහන් පරිදි බිඳ වැටීමක් ද වුවහොත් දුක් කරදර බහුලවීමටත් අංගවිකලයකු වීමටත් ඉඩ ඇති බව සඳහන් වැ ඇත.

හේමසිරි කුමාරණතුංග

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.