ඔබේ දෛවය පවසන දෛව රේඛාව

මැයි 10, 2019

දෛව රේඛාව පිළිබඳ 2018.03.23 දින පළවූ ලිපියේ ඉතිරිය ලෙස මෙය හඳුන්වා දෙමු. පළමු කොටසින් දෛව රේඛාව හා සබැඳි සුලබ පිහිටීම් කිහිපයක් විස්තර කළ අතර මෙයින් දෛව රේඛාවේ එතරම් සුලබ නොවන පිහිටීම් පිළිබඳ විස්තර කරනු ලබයි.

චන්ද්‍ර මණ්ඩලයේ සිට විහිදී යන රේඛා දෛව රේඛාවට සම්බන්ධ වූ විට කලත්‍රයාගේ ආදරය සෙනෙහස නො අඩුව ලබන පුද්ගලයකු වේ. 1 රූපය

සිකුරු මණ්ඩලයේ සිට පැමිණෙන අතු රේඛාවක් දෛව රේඛාව හා සම්බන්ධ වී ඇතිනම් කාන්තාවන් ආශ්‍රයෙන් උදව් ලබන අයෙකි. සමාජය තුළ ජනපි‍්‍රය පුද්ගලයකු බවට පත්වේ. (2 රූපය)

දෛව රේඛාවේ අවසානය කරුවකින් අවසන් වේ නම් ජීවිතයේ අවසාන කාලය බොහෝ සැප සම්පත් ඇතිව ගෙවන බව පෙන්වයි. ( 3 රූපය)

දෛව රේඛාව වෙත චන්ද්‍ර මණ්ඩලයේ සිට අතු රේඛාවක් පැමිණ සම්බන්ධ වූ විට රැකියාව, ලැබීම්, ආර්ථිකය ආදි දෙයට විරුද්ධ පාර්ශ්වයේ අයෙකු ( ස්ත්‍රියක් නම් පුරුෂයකු) සම්බන්ධ වේ. (4 රූපය 1-1)

මණි බන්ධ රේඛා හරහා කැපීම් සහිතව දුර්වලව ආරම්භ වන දෛව රේඛාව ජන්මියා වෙත නීතිමය ගැටලු ඇති කරවයි. නිරන්තරයෙන් ඒ සඳහා මැදිවන බවත් ස්ථිර රැකියාවක නොරැඳෙන බවත් මෙයින් පෙන්වයි. (5 රූපය)

නියම ලෙස ආරම්භ වන දෛව රේඛාව එක්තරා අවස්ථාවක ජීවන රේඛාවේ ස්පර්ශ වේ නම් අදාළ කාලයේදී ජන්මියා තවත් අයකුගේ භාරකාරත්වය යටතේ පසුවන බව පෙන්වයි. ( 6 රූපය)

දෛව රේඛාව ශනි මණ්ඩලය මුලට ම නොයයි නම් ප්‍රබල හේතුවක් නිසා අදාළ නැවති ඇති කාලයේදි ආදායම් මාර්ග නවතිනු ඇත. කැපීම් ආදිය නොමැති නම් තැන්පත් ධනයෙන් අවසාන කාලය ගෙවනු ඇත (7 රූපය)

දෛව රේඛාවේ සිට පහළට පැමිණෙන අතුරේඛා ලෙඩදුක් ආදිය පෙන්වයි. ඒ කාලයට සාපේක්ෂව ජීවන රේඛාවේ හෝ හෘදය රේඛාවේ දූපත්, කැපීම් ආදිය ඇත්නම් මෙම ස්වභාවය වඩා තීව්‍ර වේ. (8 රූපය 1-1 . 2-2)

දෛව රේඛාවේ අවසානය කැපී ගිය වැනි ලක්ෂණය විවිධ හේතුන් නිසා නීතිමය ගැටලු වලට මැදිවන ලක්ෂණයකි. මැදකොටසක් මෙසේ දැඩි කැපීම් ලක්ෂණයන්ට මැදි වූ විට එම කාලයේදී නීතිමය ගැටලු මතු කරයි. (9 රූපය)

මෙලෙස ජීවන රේඛාවෙන් අරඹන රේඛාවක්ද සිකුරු මණ්ඩලයේ සිට තවත් රේඛාවක්ද දෛව රේඛා ලෙස සටහන් වී ඇති විට තරුණවියේදී තම ශක්තියෙන් යමක් උපයා ගන්නා බවත් ඉන් පසු මැදි වයසට පසු වෙත්ම තම කලත්‍රයාගෙන් හෝ නෑදැ හිතවතුන්ගෙන් යැපන්නෙකු බවට පත්වන බව පෙන්වයි. ( 10 රූපය 1-1,2-2)

දෙව රේඛාවේ විරල පිහිටීම් කිහිපයක් මෙසේ ඉදිරිපත් කිරීමෙන් පාඨකයාට ඒ පිළිබඳ දැනුවත්වීමෙන් තම අඩුපාඩු , දුර්වලතා වෙතොත් ඒවා නිවැරදි කර ගැනීමට හැකි වෙතැයි අප බලාපොරොත්තු වෙමු.

 

රුවන් එච්.අත්තනායක
දුටුගැමුණු මාවත, මොනරාගල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.