සිව් සැට වැනි නවාංසකය

මැයි 10, 2019
 
ජන්ම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා මැ අයහපත් පල ඇතිකරන ගහයන් හත් දෙනාගෙන් එක් කෙනකු බව ඔබ දනිති. එය ලග්නයෙන් ද සඳු ගෙන් ද යන දෙපිළිවලට මැ බලපානා බව පැරැණි ඉසිවරුන් පෙන්වා දී ඇත. 
 
එය “ඛර” නවාංසකය යන නමින් ද හඳුන්වා ඇත. “ඛර” යනු සකුවෙහි,තද, දැඩි, කුරිරු යන අරුත් දෙන වදනකි. මේ කුරිරු නවාංසකය හිමියා ඇතිකරන කුරිරු පල විපාක ගැනද සැලැකිලිමත්වීම වැදගත් වෙයි. මීට ඉහත පළ කළ 35 වැනි පැටුමෙහි ලා, ‘ජිද්‍රගහ’ යන නමින් ඉසිවරුන් හඳුන්වා ඇති ගහයන් හත් දෙනකු ගැන සඳහන් කළෙමි. “ජිද්‍රා” යනු “සිදුරුකරන” යන අරුත ඇති සකු වදනකි. 64 වැනි නවාංසකය අදිපතියා ද ඒ හත් දෙනා ගෙන් එක් ගහයෙකි. ඒ හත් දෙනා ගෙන් බලවත් මැ ගහයා ගේ දසා, අතුරු දසාවකදී කෙනකු ගේ මරණය සිදු වන බව ද ඉසිවරුන් පෙන්වා දී ඇත. එ පමණක් නො වැ ලග්නයෙන් හෝ සඳු ගෙන් හෝ 64 වැනි නවාංසකය යෙදෙන තැනින් රාහු ගමන් කරන අවස්ථාවක තමා ගේ හිතවත් නෑයකු ගේ මරණය සිදු වීමට ඉඩ ඇති බව බලභද්‍රයෝ පෙන්වා දෙති. රාහු මේ තැන ඉක්මවා යාමට මාස දෙකක පමණ කාලයක් ගන්නා බව ද කියා ඇත. 
මේ 64 වැනි නවාංශකය අදිපතියා දුස්ට රාසියකට වැටී සෙනසුරු හා එක්වී ඇත්නම් ඒ තැනැත්තා ගේ මරණය සිදුවන්නේ වස ශරීරගත වීමෙන් බවත්, එම 64 වැනි නවාංසකය අදිපතියා දුස්ට රාසියක දී රාහු හෝ කේතු හෝ සමඟ එක් වී ඇත්නම් ගෙල හිරවීමෙන් මරණය සිදුවන බවත් “ජාතක පාරිජාත” නම් දෝ සතර පොතේ සඳහන් වී ඇත. 
මෙ සේ මෙම 64 වැනි නවාංසකය මතින් පමණක් නොව, එහි අදිපතියා දුස්ට රාසියක තැන්පත් වී ඇත්නම් ඒ මතින් පාප ගහයකු ගමන් කරන කාලසීමාව ද අයහපත් කාලයක් බව දත යුතු වෙයි. 
එ වැනි අවස්තාවක තමන් කෙරෙහි බලපාන මහ දසාව හෝ අතුරු දසාව හෝ පාපයකු ගේ වුව හොත් එයින් ඇතිකරන පලයද ඉතා මැ අයහපත් වනු ඇත. පලාපල කීමේදී එ බඳු තැන් ගැන ද සැලැකිලිමත් වීම වැදගත් වෙයි. 
ජන්ම කේන්දරයක් අතට ගත් සැණින් 64 වැනි නවාංසකය සොයාගැනීමේ පහසු පිළිවෙළක්ද ඇත. 64 දොළහෙන් බෙදූ විට 4 ක් ඉතිරි වෙයි.
එ හෙයින් නවාංසක සටහනේ 4 වැනි කොටුව හිමියා 64 වන නවාංසකය අදිපතියා වෙයි. නිදසුනක් ගෙන බලමු. 
මීන නවාංසකයේ සිට සිව් වැන්න මිතුනය යි. මිතුනය බුදට හිමියි. එ හෙයින් මේ කේන්දරයේ 64 වැනි නවාංසකය අදිපතියා බුද යි.නවාංසකය එකින් එක ගණන් කැර බැලූ විට එය නිවැරැදි බව පෙනෙයි. කන්‍යා රාසියේ මීන නවාංසකයේ සිට ඉදිරියට නවාංසක හතක් ඇත. එ තැන් සිට තුලා, වෘශ්චික , ධනු, මකර , කුම්භ, මීන යන රාසි හයෙහි නවාංසක පණස් හතරකි. (9ය6=54) යි.ඒ 54 ද කන්‍යා රාසියේ නවාංසක හතට එකතු කළ විට 61 ක් වෙයි. ඊළඟ මේෂ රාසියේ නවාංසක ඇරඹෙන්නේ මේෂයෙනි. එහෙයින් , මේස, වෘෂභ, මිතුන යන නවාංසක තුන ඉහත හැට එකට එක් කළ විට 64 වෙයි. එ හෙයින් ඉහත කී කෙටි ක්‍රමය නිවැරැදි බව පැහැදිලි වෙ යි. 
මෙ සේ ඕනෑම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා පහසුවෙන් සොයා ගත හැක. 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
හේමසිරි කුමාරණතුංග
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.