ග්‍රහ යෝග

අගෝස්තු 9, 2019

කෙනෙකුගේ උපතේදී ජන්ම කේන්දරයේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව ග්‍රහ යෝග උදාවේ. එම ග්‍රහ යෝග හේතුකොට ගෙන ජන්මියාගේ ගතිගුණ සිරිත් විරිත්, ධන ධාන්‍ය ,ලෙඩරෝග , දුක් කරදර ආදි කරුණුවලට බලපෑමක් ඇති කරයි. මේ නිසා කේන්දරයක් පරික්ෂා කිරීමේදී සැලකිලිමත් විය යුතු ග්‍රහ යෝග කීපයක් පිළිබඳව විමසා බලමු.

සරස්වති යෝගය

කේන්දරයක ගුරු සිකුරු සහ බුධ යන ග්‍රහයන් තිදෙනා ලග්නය දෙවැන්න සිව්වැන්න, සත්වැන්න , නවවැන්න, දසවැන්න යන ස්ථානයන්හි වෙන වෙනම හෝ දෙදෙනෙකු යෝගව තැන්පත් විය යුතු අතර එහිදී ගුරු උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටිය යුතුය. මෙම යෝගය හේතුකොට ගෙන අතිවන ඵල විපාක නම් සෑම ශාස්ත්‍රයක්ම ඉගෙනීමට අති දක්ෂයකු වීම අභිමානනීය කලාකුරුවකු වීම කුසලතා පිරිපුන් පොහොසත් අයකුවීම සැමගේ ප්‍රශංසාවට ලක්වීම යහපත් බිරිඳක් සහ දරුවන් ලැබීම, සිත නිතරම සොදුරු සිතුවිලි වලින් යුතු වීම .

උපෙන්ද්‍රා යෝගය

රවි ග්‍රහයා සිංහ රාශි ගතවීමෙන් උපෙන්ද්‍රා යෝගය උදාවේ. මේ හේතුවෙන් එම තැනැත්තා කිසිවෙකුට යටත් නොවන පාලනයට දක්ෂ ගමකට ප්‍රදේශයකට හෝ පිරිසකට නායකයකු බවට පත්වේ.

මයුරපාල යෝගය

රවි ග්‍රහයා මේෂ රාශි ගතවීමෙන් මයුරපාල යෝගය උදාවේ. මෙයින් ඇතිවන ඵල විපාක නම් එම තැනැත්තා දැඩි ගති ඇති තේජවන්ත අධික මාන්නයෙන් යුතු කෙනෙකුවීම කිසිවෙකුට යටත් නොවන අධිකාර බලයක් ඇති උසස් නායකයකු වේ.

කුලීර යෝගය

චන්ද්‍රයා තම ස්වක්ෂේත්‍ර රාශිය වන කටක රාශියේ තැන්පත් වීමෙන් කුලීර යෝගය උදාවේ. මෙම යෝගයෙන් උපදවන විපාක නම් සියුමැලි ගතිගුණ, මුදු මොලොක් භාවය, වහා සිත උණුවන චංචල ගතිගුණ, ධනය ලැබීමේ වාසනාව, කෘෂිකර්මය සහ ජලය සම්බන්ධව කටයුතුවලින් ලාභ ලැබීම, ස්ත්‍රී පක්ෂයෙන් ආධාර උපකාර ලැබීම .

ගජකේසර යෝගය

කේන්දරයක කුජ ග්‍රහයා මේෂ රාශි ගතවීමෙන් ගජකේසර යෝගය උදාවේ. මෙම යෝගය හේතුකොටගෙන ඇතිකරන ඵල විපාක නම් ඉතා ක්‍රියාශීලි නිර්භය ප්‍රතාපවත් කෙනෙක්වීම, ක්ෂණයකින් කිපෙන, අනුකම්පා සහගත රථවාහන යන්ත්‍රසූත්‍ර ඉංජිනේරු ශිල්පාදි කටයුතුවලින් ඵල ප්‍රයෝජන ගන්නා කෙනෙක්වීම.

කාහල යෝගය

මෙම කාහල යෝගය ආකාර තුනකින් යෙදේ. එනම් සිව්වැන්නාධිපතිත් නවවැන්නාධිපතිත් එකිනෙකාගෙන් කේන්ද්‍රගතව සිටියදී ලග්නාධිපති බලවත්ව සිටීම, දෙවැන්න සිව්වැන්නාධිපති උච්චව හෝ ස්වක්ෂේත්‍රව කෙන්ද්‍රස්ථානයක බලවත් දසවැන්නාධිපති සමඟ හෝ දසවැන්නාධිපතිගේ දෘෂ්ඨිය ලැබ සිටීම තෙවැනි ආකාරය නම් සිව්වැන්න සහ දසවැන්න අධිපතියන් පරිවර්තනව සිටින අතර ලග්නාධිපති බලවත්ව සිටීම මෙම යෝගයෙන් ඇතිකරන විපාක නම් ජන්මියා මුරණ්ඩු හිතුවක්කාරී ශක්ති සම්පන්න අනභිභවනීය ලෙස නිර්භීත විරුද්ධවාදින්ට භීතිය ඇතිකරන පාලකයකුවීම හෝ සේනාවකට, ගමකට, නගරයකට නායකයකු වීම, එතරම් උගත් කෙනෙකු නොවීම, නමුත් මේ අයගේ ගති ලක්ෂණ අනුව මිනිසුන්ගේ සිත් තුළ නාමය රදා පවතිනු ඇත.

වාසුමතී

කෙනෙකුගේ කේන්දරයේ ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් උපචය ස්ථාන වල සුබ ග්‍රහයෝ සිටියේ නම් වාසුමතී යෝගය උදාවේ.

මෙම යෝගයෙන් ඇතිකරන ඵල විපාක නම් ශෝභමාන රූපයක් ඇතිකිරීම, සෞම්‍ය ගති ගුණ ඇති කිරීම ප්‍රසිද්ධ කලාවට දක්ෂ කෙනෙකුවීම කෙනෙකුගෙන් නඩත්තු නොවන කෙනෙකුවීම ආදියයි.

ලක්ෂ්මී යෝගය

කේන්දරයේ ලග්නාධිපති බලවත්ව සිටියදී නමවැන්න අධිපති කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ ස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීම, ලක්ෂ්මී යෝගයයි. මෙම යෝගයෙන් උපත ලත් අයගෙන් පෙන්නුම් කරන ලක්ෂණ නම් සිත් ඇදගන්නා පෙනුම, අවංක කෙනෙකුවීම, ධන ධාන්‍ය සම්පත් ඇත්තකු වීම, උගත් පාලකයකු වීම, රාජකීය නායකයකුවීම, රාජ්‍යයෙන් ලාභ ප්‍රයෝජන ගන්නා සෑම සුව පහසුකමක්ම ලබන කෙනෙක් වීම

අධියෝගය

මෙම යෝගය ලග්නාධි යෝගය චන්ද්‍ර්‍යාධි යෝගය යනුවෙන් ආකාර දෙකකි. ඒ අනුව ලග්නයෙන් 6,7,8 යන භාවයන්හි නෛසර්ගික සුබ ග්‍රහයන් වන බුධ , ගුරු, සිකුරු යන ග්‍රහයන් පිළිවෙලින් 6 වැන්නේ බුධත් 7 වැන්නේ ගුරුත් 8 වැන්නේ සිකුරුත් පිළිවෙලින් සිටිය යුතුය. තවද මෙම යෝගයට සම්බන්ධ ග්‍රහයන් අස්තව හෝ පාප පීඩිත නොවිය යුතුය. මෙම ලග්නාධි යෝගය ඇතිව උපන් තැනැත්තාට උසස් සුබ ඵල ලැබේ. මෙම යෝගය චන්ද්‍රයාගෙන් යෙදෙන්නේ නම් සඳුගෙන් 6,7,8 යන භාවයන්හි බුධ, ගුරු, සිකුරු පතිත වු කල යෙදේ. එවිට එය චන්ද්‍රාධියෝගය නමින් හඳුන්වයි. මෙම යෝගයට සම්බන්ධ ග්‍රහයන් සුබව පිහිටා ඇති කල උසස් සුබ පල ලැබේ. මෙම යෝගය ඇති ජන්මින්ගෙන් පෙන්නුම් කරන ලක්ෂණ නම් නිරෝගි බව, අතුරු අනතුරු නැති දිගුකල් ජීවත්වන විශ්වාසනීය පී‍්‍රතිමක් ජීවිතයක් ගත කරන්නකු වීම.

හර්ෂා යෝගය

මෙම හර්ෂා යෝගය යෙදෙන්නේ සයවැන්නාධිපති 6,8,12 යන රාශියක යෙදීමෙනි. මෙම යෝගයෙන් ඇති කරන විපාක නම් උපතට වඩා වාසනාවන්ත ශාරීරික වශයෙන් නිරෝගි සහ ශක්ති සම්පන්න පරදවන්නට අසීරු පී‍්‍රතිමත්, ධනවත්, කීර්තිමත්, පාපතර ක්‍රියාවලට අකමැති පුද්ගලයන් වේ.

සරලා යෝගය

කේන්දරයේ අටවැන්නාධිපති 6,8,12 යන ස්ථානයක තැන්පත් වීමෙන් යෙදේ. සරලා යෝගයෙන් උපන් තැනැත්තාගෙන් පෙන්නුම් කරන ලක්ෂණ නම් උගත් කීර්තිමත්, සමෘද්ධිමත් ප්‍රසිද්ධ කෙනෙකුවීම සතුරන් පරාජය කර වැජඹීමට හැකිවීම ආදියයි.

ධර්ම කර්මාධිපති යෝගය

කේන්දරයක නමවැන්න අධිපතියන් දසවැන්න අධිපතියන් යෝගවීමෙන් හෝ මෙම ග්‍රහයන් දෙදෙනා පරිවර්තනය වීමෙන් හෝ එම සප්තමව දෘෂ්ටි ලබමින් සිටීමෙන් මෙම යෝගය යෙදේ. මෙම යෝගය ඉතාම වටිනා යෝගයක් ලෙස සලකනු ලබයි . මෙම යෝගය ඇති තැනැත්තා දැහැමිය. සිතට එකඟව කටයුතු කරන්නෙකි. අන් අයට අනුශාසනා කරන්නෙකි. ධර්මය දන්නෙකි. ප්‍රදේශයකට නායකයෙකි. උපන් තත්ත්වයට වඩා උසස් වේ. ජනතාව අතරේ ප්‍රසිද්ධ වේ.

සාකට යෝගය

ගුරු ග්‍රහයාගෙන් 6,8.12 යන භාවයක චන්ද්‍රයා යෙදීමෙන් සාකට යෝගය යෙදේ. මෙම අසුබ යෝගයකි. මෙම යෝගය ඇති පුද්ගලයා වෙතින් විද්‍යාමාන වන ලක්ෂණ නම් මුරණ්ඩු, ඇට්ටර හිතුවක්කාරි ගති ගුණය. නෑදෑයන් විරුද්ධ වේ. ජන්මියට, ධනයට, වාසනාව නැතිවේ. දුප්පත්කමින් අගහිඟකමින් කාලකන්නිකමෙන්ද ජීවිතය ගෙන යාමට සිදුවේ.

යාන්ත්‍රික ඉංජිනේරු
නිශාන්ත
විජේසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.