ග්‍රහ අපල වලට බිය විය යුතුද?

අගෝස්තු 30, 2019

ඡ්‍යොතිෂ යනු බැබළීම සහිත යන්නයි. බැබළීම සහිත ශාස්ත්‍රය ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වේ. සොබාදහම සත්ව සංහතියට, මිනිස් ජීවිතයට, ග්‍රහ ලෝකාවලියට බලපාන අයුරු මෙම ශාස්ත්‍රයෙන් පැහැදිලි කෙරේ. අප ජීවත් වන්නා වු පරිසරය හුදකලාව ක්‍රියාත්මක වන්නක් නොවේ.

ඒ සඳහා විශ්වශක්තීන් බලපානු ලබයි. හිරු ඉන් ප්‍රධානියා වේ. සකල විධ වූ ජීවයක්ම උත්පාදනය කරනුයේ හිරු විසිනි. එයට ප්‍රජනන ශක්තිය සඳු විසින් ලබාදේ. හිරුගේ හා සඳුගේ එකතුවෙන් උත්පාදනයන් ,ප්‍රජනනයන් පවත්වාගෙන යයි. මෙම අනන්ත අපරිමිත වූ ක්‍රියාවලියට අඟහරුගේ ශක්ති සම්පන්න ජව බලය ද බුධගේ සසල බව ද ගුරුගේ පාලන ශක්තිය ද සිකුරුගෙන් වර්ධනය වැඩීම හෙවත් බෝවීම ද සිදුවේ. එමෙන්ම ඡයා ග්‍රහයන් වන රාහුගෙන් පැතිරීම ක්‍රියාවන් වෙනස් කිරීම හා කඩාකප්පල් කිරීමද, කේතුගෙන් අනුකරණය අකර්මන්‍ය කිරීම සමඟ හකුළුවා තැබීම ද සිදුවේ. අවසානයේදි සෙනසුරුගෙන් විනාශය ද සිදුවේ.

සැතපුම් කෝටි ගණනක් ඈත පවතින මෙම ග්‍රහ ලෝකවලින් ( ග්‍රහයන්ගෙන්) පෘථිවියට කරනු ලබන්නා වූ බලපෑම අපගේ පියවි ඇසට නොපෙනේ. එම ග්‍රහ බලවේග නොනැවතී නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. එම ක්‍රියාවලියේදි පෘථිවිතලය මත සිදුවන අනේක විධ වූ ක්‍රියාකාරකම් වල ස්වභාවය පරික්ෂා කර ගත හැක්කේත් විග්‍රහ කර ගත හැක්කේත්, ඡ්‍යොතිශ ශාස්ත්‍රයෙනි. පුද්ගලයෙකු උපත ලබන විට අහස් තලයේ ග්‍රහයන් පිහිටි ආකාරය දැක්වෙන සටහන ඡ්‍යොතිස ශාස්ත්‍රය් හඳහන ලෙස හඳුන්වයි.

එම ග්‍රහ පිහිටීම් අනුව එම උපතේ සිට මරණය දක්වාම ගතිගුණ, පුද්ගලිකත්වය ,මිල මුදල්, ධන ලාභ. සහෝදර පල, ධෛර්යය , වික්‍රමය ,මව්පියන් ,දේපළ උරුමය, උගත්කම, දූ දරුවන්, රෝග පීඩා, සතුරු කරදර, විවාහය, සමාදානය, දුක් කනගාටු , සිත් තැවුල්, ධාර්මික බව, ආගම, භක්තිය , තනතුරු නිලතල, ලැබීම් ආදායම්, නැතිවීම් වියදම් වැනි අතිමහත් කාරණා කටයුතු හැම දෙයක්ම සිදුවේ. ග්‍රහචාර දශා ගෙවීම් පිළිවෙළ අනුව ඒවා විටින් විට විවිධ ස්වරූපයක් ගනී. බුදුදහමට අනුව කිසිවක් ඒකාකාරිව පවතින්නේ නැත. සොබාදහම ද එසේමය. ඡ්‍යොතිෂයටද එය එසේම වන්නේය.

නෛසර්ගික වශයෙන් සුබ යැයි සම්මත චන්ද්‍ර, බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන් හැමවිටකම සුබ පල පමණක්ම ලබාදෙන්නේ නැත. එමෙන්ම රවි, කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන් දෙනු ලබන්නේ අසුබ පල පමණක්ම නොවේ. ග්‍රහයාගේ පිහිටීම, ග්‍රහ තත්ත්වය, සංයෝග දෘෂ්ටි ආදිය සුබ අසුබ වන අයුරින් පිහිටා ඇති තත්ත්වය අනුව එසේ සිදුවෙයි.

දැනට භාවිතයේ ඇති විංශෝත්තරී දශා ක්‍රමය වසර 120 කි. එම දශා ක්‍රමයේදී ඉහත ප්‍රකාශ වූ සුබ හා අසුබ ග්‍රහයන් නවදෙනාට බෙදා දක්වා ඇත. කෙනෙකු උපත ලබන විට පවතින නැකතට අනුව එයට හිමිකාරිත්වය දරන ග්‍රහයා අනුව දශාව හිමිවේ. උපත ලබන මොහොතේදී පවතින එම නැකතේ ගෙවුන කාලය භුක්තිය ලෙසද එතැන් පටන් ඉදිරියට ඇති කාලය දශාවේ ගෙවීමට ඇති ශේෂය ලෙසද එම ග්‍රහයාට වෙන්කර දී ඇති දශා වර්ෂ ගණන අනුව ගණනය කරනු ලැබේ. ඒ අනුව පුද්ගලයා මවුකුස සිටි කාලයේදීත් ඊට පෙර ආත්මයේදීත් ගෙවා ඇති දශාවන් නිගමනය කළ හැකියි. බුදු හිමියන් පෙන්වා දෙන සංසාර චක්‍රය තුළ ජීවියා ගමන් කරන අයුරු පිළිබඳව ඡ්‍යොතිෂ විද්‍යාවේ සිද්ධාන්තයද බැඳී ඇති අයුරු මෙහිදී සාධක සහිතව මනාව පැහැදිලි වේ.

එවිට කෙනෙකු පූර්ව ආත්මයේ ගෙවූ අවසාන කාලයත් මවු කුස පිළිසිඳ ගැනීමේ සුවිශේෂ මොහොතේ සිට උපත සිදුවන මොහොත දක්වා වූ කාල පරිච්ඡේදයත් යන දෙකට අයත් කාලය නැකතේ ගතවුන කාලය වෙයි. එම ජන්මියා පූර්ව ආත්මය හා බැඳුණු කර්ම ශක්තිය සමඟ ඇති සබඳතාවය උපන් මොහොතට අදාළව සකසන හඳහනින් පැහැදිලි කර ගත හැකිය. එම පූර්ව ආත්මයන් සංසාර ගමනේ ඊට පෙර ගෙවූ ආත්මයන්ගේ කුසල්, අකුසල් ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයන්ට සමගාමීව පුද්ගලයාට එතැන් සිට ද මිය යන තෙක්ම තමාට උපතින් ලැබුණු දශා දේශයේ හා ග්‍රහ බලයේ උරුම ශක්තියද සමඟ ඉදිරියට ශාස්ත්‍රානුකූලව නියමිත වන්නා වු දශාවන් ගෙවීමට සිදුවනවා ඇත.
 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ – ඡ්‍යොතිෂපති

ටිකිරි බණ්ඩාර හේරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.