ලග්නයට අනුව ඔබට අශුභ ග්‍රහ තරු

සැප්තැම්බර් 20, 2019

අශුභ ලෙස සලකන ග්‍රහයකු පීඩිතව, අශුභ ස්ථානයක බල රහිතව සිටි විට අශුභ ඵල පූර්ණ ලෙස ලබාදෙයි. පූර්ණ වශයෙන් අශුභ ග්‍රහයකු වුවද උච්ච, ස්වක්ෂේත්‍ර, මූල ත්‍රිකෝණ බලයෙන් සිට නෛසර්ගික සුබයකුගේ බලවත් දෘෂ්ටි ලැබූ විට අශුභ ඵල නොදෙන තරමට පත්වේ.

කේන්ද්‍රයක පලාඵල විමසීමේ දී ප්‍රධාන වශයෙන් වැදගත් වන මෙම ග්‍රහයින් ඒ ඒ ලග්නයට අනුව විවිධ වේ. ඒ අනුව එම ග්‍රහයින් පිහිටි ස්ථාන දෘෂ්ඨි හා බල දුබලතා අනුව ලබාදෙන ප්‍රතිඵල තීරණය කරයි. මෙහිදී දෙවැන්න සත්වැන්න හා එකොළොස්වැන්න අශුභ ලෙස හැඳින්වීමට හේතුව නම් ලැබීම් අධික වීමෙන් ජන්මියා අගතියට පත්වන නිසා ය. දෙවැන්නෙන් ධනය ද සත් වැන්නෙන් ආසාවන් හා පිනවීමද එකොළොස් වැන්නෙන් සියලු ලැබීම් ද පෙන්වයි.

මහ දශා, අතුරු දශා පිළිබඳ සැළකීමේ දී ද මෙම ග්‍රහයින් පිළිබඳ බැලීම වැදගත් ය. ලග්නයෙන් ලග්නය මෙම අශුභ ග්‍රහයින් මෙසේ පෙන්වා දිය හැකි ය.

මේෂ ලග්නයට තුන්වැන්න හා රෝග සතුරු ස්ථානය වූ හය වැන්න අධිපති නිසා බුධ අශුභ ය. දෙවැන්න හා හත් වැන්න අධිපති නිසා සිකුරු අශුභ ය. මේෂ රාශිය චර රාශියක් බැවින් 11 අධිපති ශනි බාධක ග්‍රහයා බැවින් ශනිද අශුභ ය.

වෘෂභ ලග්නයට රෝග හා සතුරු ස්ථානය අධිපති නිසා ලග්නාධිපති වුවත් සිකුරු ශුභ නැත. මාරක ස්ථානය වූ අට වැන්න හා එකොළොස් වැන්න අධිපති නිසා ගුරු ග්‍රහයා අශුභ ඵල දෙයි. මෙය තිර රාශියක් බැවින් නව වැන්න බාධකස්ථානය වේ. එබැවින් එහි අධිපති ශනි ද ශුභ නොවේ.

මිථුන ලග්නයට කේන්ද්‍රස්ථාන දෙකක් නෛසර්ගික ශුභයකුට අයිති වීමෙන්ද හත අධිපති වීමෙන්ද ගුරු අශුභ වේ.තුන අධිපති බැවින් රවි අශුභ වේ. රෝග හා සතුරු ස්ථානය සහ එකොළහ අධිපති බැවින් කුජ ද අශුභ වේ. මෙම මිථුන රාශිය උභය රාශියක් බැවින් හත බාධක ස්ථානය වේ. ඒ හේතුවෙන් ගුරු නැවතත් අශුභ තත්ත්ව උදාකරයි. කටක ලග්නයට සියලු වැය පස පෙන්වන දොළහ හා තුන අධිපති නිසා බුධ ශුභ නැත. කේන්ද්‍රස්ථානයක් වූ හතරවැන්න ශුභයකුට හිමි වීම හා එකොළොස්වැන්න අධිපති වීමෙන් සිකුරු අශුභ වේ. කටක රාශිය චර රාශියක් බැවින් එකොළොස් වැන්න බාධක ස්ථානය වේ. එමනිසා සිකුරු නැවතත් අශුභ ග්‍රහයකු වේ.

සිංහ ලග්නය සැළකීමේ දී දෙවැන්න හා එකොළොස් වැන්න අධිපති වීමෙන් බුධ ශුභ නැත. තුන් වැන්න හා ශුභ ග්‍රහයෙකුට කේන්ද්‍රස්ථානයක් හිමි වීමෙන් සිකුරු අශුභ ය. සිංහ රාශිය තිර රාශියක් වීමෙන් නමවැන්න බාධක ස්ථානය වේ. එහෙයින් එහි අධිපති කුජ බාධක ග්‍රහයා ලෙස අශුභ වේ.

කන්‍යා ලග්නයට මාරක ස්ථානය වූ අටවැන්න හා තුන් වැන්න අධිපති වීමෙන් කුජ අශුභ ඵල දෙයි. කේන්ද්‍රස්ථාන දෙකක් නෛසර්ගික ශුභයකුට අයිතිවීමෙන් හා සත්වැන්න අයිති වීමෙන් ගුරු ද ශුභඵල නොදෙයි. කන්‍යා රාශිය උභය රාශියක් බැවින් එහි අධිපති ගුරු නැවතත් අශුභ වේ. චන්ද්‍රයාට එකොළහ අයිතිවීමෙන් චන්ද්‍රයා ද ශුභ නැත.

තුලා ලග්නය ගත් විට දෙවැන්න හා හත්වැන්න අධිපති වූ බැවින් කුජ ශුභඵල නොදෙයි. රෝග සතුරු ස්ථානය වූ හය වැන්න අධිපති හා තුන්වැන්න අධිපති වූ ගුරු ද ශුභ ඵල හීන කරයි. ස්වභාවයෙන්ම එකොළහ අධිපති ශුභ නොවන අතර චර රාශියක් වූ මෙහි එකොළහ බාධක ස්ථානය වීමෙන් රවි නැවතත් ශුභ නොවන තත්ත්වයට පත්වේ.

වෘශ්චික ලග්න හිමියන්ගේ මාරක ස්ථානය වූ අට වැන්න හා එකොළොස් වැන්න අධිපති වීමෙන් බුධ ශුභ නැත. රෝග හා සතුරු ස්ථානය අධිපති බැවින් ලග්නාධිපති වුවද කුජ ශුභඵල හීන කරයි. හත් වැන්න හා දොළොස් වැන්න අධිපති වීමෙන් සිකුරු අශුභ ඵල දෙයි. මෙය තිර රාශියක් බැවින් නවය අධිපති සඳු බාධක ග්‍රහයා ලෙස අශුභඵල දෙයි.

ධනු ලග්නයට දෙවැන්න හා තුන්වැන්න අධිපති ශනි අශුභ ඵල දෙයි. රෝග හා සතුරු ස්ථානය වූ හය වැන්න හා එකොළොස් වැන්න අධිපති සිකුරු අශුභ ඵල දෙයි. උභය රාශියක් වූ මෙහි සත් වැන්න අධිපති බුධ බාධක ග්‍රහයා ලෙස ශුභඵල හීන කරයි.

මකර ලග්නයේ දී දෙවැන්න අධිපති බැවින් ලග්නාධිපති වුවද ශනි ශුභ වන්නේ අල්ප වශයෙනි. තුන්වැන්න හා දොළොස් වැන්න අධිපති වූ ගුරු ද ශුභ නැත. සත් වැන්න අධිපති වීමෙන් චන්ද්‍රයා ද අශුභ වේ. එකොළහ අධිපති කුජ ස්වභාවයෙන්ම අශුභ නමුත් චර රාශියක් වූ මෙහි එකොළහ බාධක ස්ථානය බැවින් කුජ බාධක ග්‍රහයා ලෙස නැවත අශුභ වේ. කුම්භ ලග්නයට තුන හා දහය අධිපති කුජ ද, දෙවැන්න හා එකොළහ අධිපති බැවින් ගුරු ද රෝග හා සතුරු ස්ථානය වන හය අධිපති බැවින් චන්ද්‍රයා ද ශුභ නැත. තිර රාශියක් ලෙස නව වැන්න අධිපති බාධක ග්‍රහයා ලෙස සිකුරු ද ශුභ නැත.

මීන ලග්නයට එකොළහ අධිපති බැවින් ශනි ද තුන හා මාරක වූ අට අධිපති බැවින් සිකුරු ද රෝග හා සතුරු ස්ථානය අධිපති බැවින් රවිද හතර වැන්න හා හත් වැන්න වූ කේන්ද්‍රස්ථාන ශුභයකුට අයිතිවීමෙන් බුධ ද අශුභ ඵල දෙයි. උභය රාශියට සත් වැන්න බාධක ස්ථානය බැවින් එහි අධිපති බුධ බාධක ග්‍රහයා ලෙස නැවත අශුභ වේ.

මේ ආකාරයට අශුභ ග්‍රහයින් ලෙස නම් කළ ද සම්පූර්ණ අශුභඵල දීමට තවත් ආකාරවලින් පිහිටිය යුතු ය. ඉන් කිහිපයක් මෙසේ ය. දුෂ්ඨ ස්ථාන දෙකක් හෝ මාරක, බාධක හෝ ස්ථාන දෙකක් අශුභ ලෙස එකම ග්‍රහයකු අධිපති වන්නේ නම් හෝ එකම ග්‍රහයා මාරක ස්ථානයක් හා එයම බාධක ස්ථානය හෝ විසිදෙවැනි දෙර්කාණාධිපති ලෙස දෙවතාවක් අශුභ ග්‍රහයකු වන්නේ නම් එම ග්‍රහයා ශුභඵල දෙනුයේ ඉතා අල්ප වශයෙනි. ශුභ ස්ථානයක් හා මාරක ස්ථානයක් අධිපති ග්‍රහයා ද ලග්නාධිපති ව මාරක ස්ථානයක් අධිපති ග්‍රහයා ද ලැබෙන දෘෂ්ඨිය මත හා උපතින් ජන්ම කේන්ද්‍රයේ ලබන බලය මත ශුභඵල උදාකරයි.

අශුභ ලෙස සලකන ග්‍රහයකු පීඩිතව, අශුභ ස්ථානයක බල රහිතව සිටි විට අශුභ ඵල පූර්ණ ලෙස ලබාදෙයි. පූර්ණ වශයෙන් අශුභ ග්‍රහයකු වුවද උච්ච, ස්වක්ෂේත්‍ර, මූල ත්‍රිකෝණ බලයෙන් සිට නෛසර්ගික සුබයකුගේ බලවත් දෘෂ්ටි ලැබූ විට අශුභ ඵල නොදෙන තරමට පත්වේ.

විශේෂයෙන්ම මෙම අශුභ ඵල දීම සිදුවනුයේ ඒ ඒ ග්‍රහයාගේ මහ දශා හා අතුරු දශා වලදී බව අපගේ අත්දැකීමයි. අදාළ අශුභ ග්‍රහයකුගේ මහ දශාව ලැබ අදාළ ග්‍රහයා තත්කාලයේ බල රහිත වී පවතියි නම් අශුභඵල පූර්ණ වශයෙන් ලබා දෙයි. තවද මෙම අශුභ ග්‍රහයකුගේ අතුරු දශාව ලබනුයේ මහදශාව ලබන ග්‍රහයා මෙම අශුභ ග්‍රහයාගේ සතුරකු නම් හෝ කේන්ද්‍රයේ මහ දශාව හිමි ග්‍රහයාගෙන් දෘෂ්ටි ස්ථානයක පිහිටා ඇති ද එනම් අශුභඵල පූර්ණ වශයෙන් දෙයි. තවද අපල දුරු කිරීමේ දී සිදුකරන ග්‍රහ ශාන්ති කර්ම හා වතාවත් වලදී මෙම අශුභ ග්‍රහයින්ගේ බලය උපරිම ලෙස වර්ධනය නොකිරීමට විශේෂයෙන් වගබලා ගැනීම යහපත් වනු ඇත.

 

 

රුවන් එච්.අත්තනායක

දුටුගැමුණු මාවත, මොණරාගල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.