අත්ලේ ග්‍රහ මණ්ඩල තුළින් කිව හැකි අනාවැකි

දෙසැම්බර් 4, 2020

ග්‍රහ මණ්ඩල යනු රවි, චන්ද්‍ර, ගුරු, බුධ, සිකුරු ආදි ග්‍රහයන්ගේ බලපෑම් ලබන අත්ලේ සුවිශේෂි ස්ථානයන් වෙයි.

මේ අයුරින් සිකුරු මණ්ඩලය මහපටඟිල්ලේ මුල ප්‍රදේශයත්, ගුරු මණ්ඩලය දබරඟිල්ලේ මුලත් ශනි මණ්ඩලය මැදඟිල්ලේ මුලත්, රවි මණ්ඩලය වෙදඟිල්ලේ මුලත්, බුධ මණ්ඩලය සුලැඟිල්ලේ මුලත් පිහිටා ඇති අතර අත්ලක කුජ ග්‍රහයාට අයිති ස්ථාන තුනක් වෙයි. ඒවා ගුරු මණ්ඩලයට සහ සිකුරු මණ්ඩලයට මැදිවත් බුධ මණ්ඩලයට සහ චන්ද්‍ර මණ්ඩලයට මැදිවත් පිහිටා ඇති බව දැකිය හැකියි. අත්ලේ මැද කොටස කුජ තලාව වන අතර එම ස්ථාන තුනම කුජ ග්‍රහයාගේ බලපෑම් ලබයි. දැන් අපි බලමු එම මණ්ඩලවල පිහිටීම අනුව අත්ල හිමියාට ලැබෙන ශුභ අශුභ පල කෙසේද කියා.

ග්‍රහ මඩුල්ලේ ප්‍රමුඛයා ගුරුය. දබරඟිල්ලේ මුල ගොඩැලි ආකාරව හෝ පැතැලි ආකාරව පිහිටි ගුරු මණ්ඩලයේ ස්වභාවය අනුව කෙනෙකුට ගුරු ග්‍රහයාගේ බලපෑම කෙසේද යන්න දැනගත හැකිය. කිසියම් ග්‍රහ මණ්ඩලයක් පිරුණූ ස්වභාවයෙන් යුක්තව පිහිටියහොත් එය ප්‍රබල බවත්,යම් මණ්ඩලයක් පැතැලිව හෝ එබුණු ස්වභාවයෙන් යුක්ත නම් එය දුබල මණ්ඩලයක් ලෙසත් සැලකේ. ගුරු මණ්ඩලය ප්‍රබලනම් එම අය කරුණාව, දයාව, මෛත්‍රිය ආදි යහගුණවලින් යුක්ත මනා දේහයකින් යුත් අයෙකු වන අතර, ඉගෙනීමෙන් ද උසස් ප්‍රතිඵල ලබන්නෙකු වෙයි. යාන වාහන, ගේ දොර, ආදී සියලු සම්පත් බොහෝවිට ඔවුන්ට හිමිවේ. ඔහු හෝ ඇය සමාජයේ ගරු බුහුමන් ලබන්නෙකු ද වේ.

කෙනෙකුගේ ගුරු මණ්ඩලය දුබලනම් ඔහුගේ හෝ ඇයගේ බලාපොරොත්තු බොහෝ විට බිඳ වැටේ. දියුණුවීමට අවශ්‍යතාවයක,් ආත්ම ශක්තියක් ඔවුන් තුළ නොමැත. ආත්මාර්ථකාමී ගතිගුණ ද ඔවුන් තුළින් කැපී පෙනේ. ඉගෙනීමෙන් උසස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි නොවේ. ගුරු මණ්ඩලය අත්ලේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා උස්ව පිහිටා ත්‍රිශුල , තරු,ඍජුව ඉහළට ගිය රේඛා චතුරස්‍ර ආදී සලකුණූ පිහිටීමෙන් මණ්ඩලවල බලය වඩා ශක්තිමත් වීමෙන් ලැබෙන සුබපල අධික වේ. දැල් සටහන්, දූපත්, තිත් සටහන් ආදිය පිහිටීම රෝග පීඩාදියට හේතුවේ. ගුරු මණ්ඩලයේ කුඩා කතිර සලකුණක් ඇත්නම් පී‍්‍රතිමත් යුග ජීවිතයක් බලාපොරොත්තු විය හැක. එහෙත් ඒ සමඟම මනාව වැඩූ හෘදය රේඛාවක් ද තිබීම වැදගත්ය.

ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාගෙන් විහිදෙන කිරණ එක්තැන් වන්නේ මැදඟිල්ලේ මුල ප්‍රදේශයේ පිහිටි ශනි මණ්ඩලයේය. ශනි ග්‍රහයාගේ බලපෑම අනුව මෙම මණ්ඩලයේ පිහිටීම නිර්මාණය වෙයි. ශනි මණ්ඩලය හොඳින් වැඩී තිබේ නම් ඉතා උදාර උසස් ගතිගුණවලින් යුතු අයෙක් වේ. බොහෝ විට හුදෙකලා ජීවිතය පි‍්‍රය කරන ඔවුන් යම් දෙයක් කෙනෙකු කියූ පමණින් පිළිනොගන්නා අතර උපතින්ම දාර්ශනිකයෝ වෙති. විවාහයට වැඩි කැමැත්තක් නොදක්වති. හැම දෙයක්ම සැහැල්ලු සිතින් විද දරා ගැනීමේ ශක්තිය ඔවුන් සතුය. ශනි මණ්ඩලය දුබල වූ විට අතිශයින්ම කපටි අදහස් ඇත්තෙකු වෙයි. හැමවිටම පලි ගැනීමේ චේතනාවන්ගෙන් යුක්ත ඔවුන් ඒවා ක්‍රියාවේ යොදවන්නේ ද කටුක ආකාරයෙනි. සෙනසුරු මණ්ඩලයේ සිරස් අතට පිහිටි රේඛාවක් පිහිටියේ නම් උසස් ජයග්‍රහණ හිමිය. ශනි මණ්ඩලය මනාව වැඩුණ අයට ජය හා පරාජය සමව විද දරා ගැනීමේ ශක්තිය ඇත.

රවි මණ්ඩලය මනාව වැඩී ඇත්නම් ඔවුනට ප්‍රතාපවත් පෙනුමක් උරුම වෙයි. කාන්තාවක් නම් ඉතා රූමත් වෙයි. මහජනයා අතර ප්‍රසිද්ධ වෙන අතර, ආගිය හැම තැනකින්ම නායකත්වය හිමිවේ. සමාජයේ නිරායාසයෙන්ම කැපී පෙනෙන අයෙක් වෙයි. මෙවැනි අයගේ රවි රේඛාව ද (කීර්ති රේඛාව) පිහිටා ඇත්නම් වඩාත්ම වාසනාවන්තය. හදිසි ධනලාභ ද හිමිය. කුමන අංශයකින් හෝ ප්‍රසිද්ධ වන ඔවුන් කුමන ප්‍රශ්නයක් ඉදිරියේ වුව ද ජීවිතය ජය ගනී. අක්ෂි රෝගයෙන් පෙළෙන අයගේ රවි මණ්ඩලය තුළ කලු ලප, දූපත් සලකුණූ ආදිය ඇතිවිය හැක. රවි මණ්ඩලය දුබල වූ අය උඩඟු බවක් පෙන්නුම් කරන සමාජයේ නීති රීති නොසලකා හරිමින් කටයුතු කරති. මෙවැනි අය බොහෝ විට දාමරිකකම්වලට යොමු වෙති.

සුලඟිල්ලේ මුල පිහිටි බුධ මණ්ඩලය ප්‍රබලව පිහිටි අය වඩා බුද්ධිමත් වන අතර, ව්‍යාපාර කටයුතුවලදී සුවිශේෂී දක්ෂතාවයක් පෙන්වති. තම ඥානය යොදා කරන සියලු කටයුතු සාර්ථක කරගනී. නමුත් බුධ ඉතා සෙමින් ක්‍රියාත්මකවන ග්‍රහයෙකු බැවින් ප්‍රතිඵල ලැබෙනුයේ ද ප්‍රමාදවයි. වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුව ලැබීමට මෙන්ම තම බුද්ධිමත් බව නිසාම ඉහළ තනතුරු ලැබීමට ද වාසනාව ඇත. කථිකත්වයේ ද දක්ෂතා පෙන්වයි. බුධ මණ්ඩලය දුර්වල නම් මුඛරි ලෙස කථාකරන බොරුවෙන් අන් අයව රවටන්නෙකු වෙයි. බුධ මණ්ඩලයේ රේඛා වැඩි ගණනක් ඇත්නම් වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් ලැබිය හැක. කුඩා කතිරයක් ඇත්නම් ධන හානි ඇතිකරයි. කුඩා කළු තිත්වලින් ව්‍යාපාර පිරිහීමක් හෙළිකරයි.

ප්‍රබලව පිහිටි චන්ද්‍ර මණ්ඩලය අන් අය කෙරෙහි කරුණාව, දයාව පෙන්වන අන් අයට උදව් උපකාර කරන්නට වඩා උනන්දුවන ආගම දහම කෙරෙහි භක්තියක් ඇති අය සතුය. චන්ද්‍ර මණ්ඩලය උස්ව වැඩී ඇති අය ලේඛන ක්ෂේත්‍රයේ ද වැඩි දක්ෂතාවයක් පෙන්වයි. කෘෂිකර්මය , සත්ව පාලනය , මල්වැවීම වැනි කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වයි. මණ්ඩලය දුබල වූ විට ඵලදායි ප්‍රතිඵල හීනවේ. එවිට අන් අයගේ ආකර්ෂණය හා සැලකිල්ලට යොමු නොවන අයෙකු සේ පෙන්නුම් කරයි.

සිකුරු මණ්ඩලය ප්‍රබල නම් සමාජයේ කා අතරත් ජනපි‍්‍රය කාගේත් අවධානය දිනාගන්නා අයෙකු වෙයි. අන් අයගේ සිත් දිනා ගත හැකි කතා විලාශයෙක් ඔවුන් සතුය. ඔවුන් සතු මේ ප්‍රසන්නභාවය නිසා ව්‍යාපාර කටයුතු වලදී වැඩි දියුණුවක් ලබාගත හැකිවෙයි. විසිතුරු භාණ්ඩ අලෙවිය, රූපලාවන්‍ය, සංගීත භාණ්ඩ වැනි කලාවට සම්බන්ධ දේ අලෙවියෙන් වැඩි ප්‍රතිඵල ලබා ගත හැක. සිනමා කලාකරුවන් , චිත්‍ර ශීල්පීන් , ගායන ශීල්පීන් වැනි අයගේ සිකුරු මණ්ඩලය මනාව වැඩී ඇති බව දැකිය හැකි. විරුද්ධ පාර්ශ්වයේ අයගේ අවධානය බොහෝ විට මොවුන් කෙරෙහි යොමුවේ. එබැවින් පෙම් සබඳතා බහුලව ගොඩනැඟීමට ද හැකිය. සිකුරු මණ්ඩලය දුබල වු විට වැරදි රාගාධික හැසිරීම් නිසා සමාජයේ අගෞරවයටත් අවඥාවටත් ලක් වෙති. ඔවුන්ගේ විවාහ ජීවිත ද බොහෝ විට අසාර්ථක වේ.

රූප සටහනේ පෙන්වා ඇති පරිදි කුජ ග්‍රහයාට අත්ලේ ස්ථාන තුනක් අයත්ය. එම ස්ථාන තුනම කුජ ග්‍රහයාගේ බලපෑම් ලබන ස්ථානයි. මෙයින් ඉහළ කුජ මණ්ඩලයෙන් (1) පුද්ගලයාගේ සිරුර පිළිබඳ තොරතුරුත් ඒ හා බැදුණු ගතිගුණ හා සටන්කාමිත්වයක් පෙන්නුම් කරයි.

පහළ කුජ මණ්ඩලයත් (2) අත්ලේ මැද පිහිටි කුජ තලාවත් කුජ ග්‍රහයාගේ බලපෑම් හෙළිකරන ස්ථාන වෙයි. මෙම මණ්ඩල මත සිරස්ව හෝ හරස්ව රේඛා පිහිටියේ නම් බලපෑම් වඩාත් යහපත්ය. අභීත සටන්කාමීන් වශයෙන් කැපී පෙනෙන එවැනි අයට තේජවන්ත ගතිගුණ පිහිටයි. කුජ මණ්ඩලය දුබල වීම එම යහපත් ප්‍රතිඵල අඩුවීමට හේතුවෙයි. කරන හැම කාර්යයකින්ම සාර්ථක ප්‍රතිඵල නොලබන ඔවුන් බිය සුළු පුද්ගලයන් ලෙස සැලකිය හැකිය.

කුජ තලාව උස්ව හෝ පහත් නොවී මධ්‍යස්ථව පිහිටීම වඩා ශුභ ඵල දායකය. කුජ තලාව උස්ව පිහිටා එය මතු පිට සිරස්ව හා හරස්ව රේඛා පිහිටි විට පුද්ගලයා වහා කිපෙන, උමතු වූවෙකු මෙන් ක්‍රියා කරයි. කුජ තලාව මතකොටු සලකුණක් පිහිටීම ද අශුභය. එය සිරගතවීම් ආදියට ද හේතුවිය හැකියි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.