ගුරුකම්වලට කලාව බලපාවිද?

ජනවාරි 8, 2021

මේ සටහන විස්තර කරන්න කලින් ඡ්‍යොතිෂයේ කලාව කියන්නේ කුමක්ද යන්න පැහැදිලිව දැනගන්න ඕනෑ. කලාව කියන්නේ එකක්, ඡ්‍යොතිෂයේ කලාව කියන්නේ තව එකක්. මේ ගැන පුංචි විස්තරයක් පංචාංග ලිත් පොතේ මුල් පිටුවල සඳහන් වනවා. ඒකේ වැඩි විස්තරයක් කරල නැහැ. පිහිටන ස්ථාන විතරක් සඳහන් කරල තිබෙනවා.

 

ඒ ගැන දැනීමක් නැති නම් ඉන් ප්‍රයෝජනයක් ගන්න බැැහැ. අපි මේ ගැන දීර්ගව සඳහන් කරනව නම් ඕනෑම මාසයක් දෙකට බෙදුවම පුර තිථිය අව තිථිය එනවා. එනම් ඕනෑම මාසයක පුර පසළොස්වක දිනට පෙර දින 14 පුර තිථියයි අවසාන දිනය පුර පසළොස්වකයි. පුර පසළොස්වක දිනට පසු දින 14 අවසාන දිනය අව අමාවකයි අව තිථිය ලෙස දක්වනවා. කලාව ගැන කෙටියෙන් කිව්වොත් ශරීරයේ රුධිරය පිහිටන විදිය. පුර තිථියට කලාව හිසට කිට්ටුවත් අව තිථියට කලාව හිසට දුරිනුත් පිහිටනවා. ඒක නිසා තමයි ඔය පෝය දිනට හෝ ඉතා ආසන්න දිනට ආයුධවලින් වැඩ නොකරන්නෙත්. වගා වැඩවලින් අයිං වන්නෙත්. පෝයට තුවාලයක්, කැපුමක් උනාම ලේ වැඩියෙන් පිටවනවා. මේ කලාව විස කලාව. අමෘත කලාව කියල නැවත දෙකකට බෙදනවා. පුර තිථිය තිබෙන විස කලාවට සර්පයින් දෂ්ඨ කලාව වේදනාව වැඩියි. සුව කිරීමද ටිකක් අපහසුයි. පුර තිථිය තිබෙනව අමෘත කලාවට තමයි ශරීරයේ කාම නිල උද්දීපනය වන්නේ. වැඩි වශයෙන් ඔය කිව්වේ ඡ්‍යොතිෂයේ කලාව ගැන සාමාන්‍ය වශයෙන්.

අපි කෙනෙකුට අයහපත් හෝ යහපත් විදියට ගුරුකම් කරනව තමයි. ඒ අවස්ථාවට අප ගුරුකම කරන වෙලාවට විරුද්ධ පක්ෂහි කලාව පිහිටන ආකාරය සෙවීම අමාරු කරුණක්. කෙනෙකුට ගුරුකමක් කරල කිසියම් නිශ්ඵලයක් උනොත් එය ආතුරයා පැත්තම වරද පටවන එක අසාධාරණයි. ගුරුකම කරන්ට කලින් ඒ සියලුම කරුණු දැනගෙන තිබිය යුතුයි. ගුරුකමක් කරල ඒක හරි නොගිය විටකදී ඒ ගුරුකමේ විරුද්ධ පැත්තට වරද පටවනවා. ගුරුකම භාර දුන් අයගේ අනිත් පැත්ත ගෙරි මස් හෝ සූඛර මස් කන්න ඇති යනුවෙන් කරන්න බැරි දේ පවසනවා. ගුරුකම කළ අය අනිත් පාර්ශවයට කොහොමද ඒවා කියන්නෙ කරන්න එපා කියලා. අපට ගුරුකම භාර දුන්න අයට නම් ඒවා නොකරන ලෙසට උපදෙස් දෙන්න පුළුවන්. මෙවැනි බොරු ව්‍යාජ පිළිතුරු කියනවා ගුරුකම හරිනොගියාම. මෙහෙම අය අද රටේ බොහෝමයි.

ගුරුකමක් කරන්න ප්‍රථම ඒ ගුරුකම භාර දෙන අයගේ දුක් ගැනවිල්ල අපේ එකක් ලෙස ප්‍රථමයෙන් හිතන්න ඕනෑ. ඊට පසු ඒකට සුදුසු ගුරුකම් එනම්, කැපීමක්ද, පැන්නවීමක් ද එහෙමත් නැතිනම් කුමන විදියේ ගුරුකමක්ද, තමුන්ට කරන්න මන්ත්‍ර තිබෙනවාද කියා හිතා බලලා, තෝරා ගන්න ඕනෑ. සරිලන ගුරුකම සමහර විට කෙම් ගුරුකමක් විය හැකියි. මොකක් කළත් නිවැරදිව කරන්න ඕනෑ බව නම් හිතන්න ඕනෑ. මේ ළඟදී අසරණ වූ එක් ස්ත්‍රියක් නුවර පැත්තෙ එක්තරා රොඩී ගම්මානය කියන තැනකට ගිහින් තිබෙනවා. පළමුවෙන් පඬුරු වශයෙන් රුපියල් 1000/- ක් කිව් විට පසුම්බියෙන් ඒ මුදල ගන්න සූදානම් වන විට ඒකේ ඇතුළේ තව මුදල් තිබෙනවා අර කූඨ ගුරුන්නාන්සේ දැක තිබෙනවා. බොරුවට ආවේස වෙලා බොරු බොරු කියලා ඉතිරි රුපියල් 7000/- ක් පරල වෙලා අරගෙන ගුරුකමත් වරද්දලා. මේවා ඇත්තටම ගුප්ත ශාස්ත්‍රය නැති කරන සිදුවීම්. කරන්නෙත් කපටි කරුම මිනිසුන්.

ඉමෝ - වට්ස්සැප් - වයිබර් නාලිකා හරහා කතා කරන්න කියා බොහෝ අය අතරමං කරනවා. මේ රටේ ඉපැරණි ශාස්ත්‍ර වන ඡ්‍යොතිෂය, ගුප්ත විද්‍යාවට පමණක් අමාත්‍යාංශයක් නැති එක ලොකු අඩුපාඩුවක් මේ ශාස්ත්‍ර සම්බන්ධ නිවැරදි දැනීමක් පුහුණුවක් නැතිකම තමයි ප්‍රධාන හේතුව.

කිසියම් කෙනෙක් යම්කිසි කරදරයකට පත් වුණාම මොන විදියකින් හරි ගොඩ එන්නයි බලන්නේ. ඒක අර කූඨ මිනිහා බලා ඉන්නවා. අතේ පැළවෛන බොරු කියල වරු 3 හෝ දින 3 න් ප්‍රතිඵල දෙනව කියලා, මුදල් ගන්නවා. බොහෝ අය හැම දෙවිකෙනෙක්ම එකම වර්ගයට ගෙනල්ලා ගුරුකම් කරනවා. විෂ්ණු දෙවිඳුන්, ස්ඛන්ධ කුමාර, සුමන සමන් යන දෙවිවරු මහේ ශාක්‍ය දෙවිවරු බවත් මේ තිදෙන හුදී ජනයාට යහපතම සලසන්න බුදුහාමුදුරුවන්ට පොරොන්දු වූ බව බොහෝ දෙනා නොදන්නවා ඇති. මේ බව නොදන්න සමහරු මෙම දෙවියන්ටත් වස්කවි කියලා අනුන්ට අයහපත ඉල්ලනවා.

ඡ්‍යොතිෂයේ ගුරුකම් කියන්නෙ මොනවද? එවැනි දේ කරන්නෙ ඇයි. සෙත්කවි, වස්කවි, යන්ත්‍ර පැළඳීම ගුප්ත විද්‍යාවේ ගුරුකම් ගණයට වැටෙන්නේ නැහැ. ඒවා අක්ෂර විඤ්ඤානය, මාත්‍රා සැකසීම, ගණ පිහිටීම මත කරන ශාස්ත්‍රයක්. මෙයිනුත් යන්ත්‍ර පැළඳීම එක්තරා තඹ පත්‍රයක හෝ රන්පතක කිසියම් මන්ත්‍ර නිර්මාණයක් කර කිසියම් මන්ත්‍රයකින් මතුරා ඖෂධ ගල්වා නිවැරදිව ශරීර ස්පර්ශ කරන ක්‍රමයක්.

නමුත් ගුරුකම් කිරීම මීට හාත්පසින්ම වෙනස් එකක්. කිසියම් කෙනෙකුට යහපත හෝ අයහපත ගෙනදීමේ ක්‍රමයක් කිසියම් බලවේගයක් තුළින් කොටින්ම අපේ කටවහර වචනයෙන් කිව්වොත් කොන්ත්‍රාත් ක්‍රමයක්. හැබැයි දැනගෙන කරන්න ඕනෑ. මීට උදාහරණ ඕනෑතරම් දිය හැකියි. නමුත් එකක් පමණක් සඳහන් කළොත් යන්ත්‍ර රත්කිරීම ගැන ඔබ නිතර අසා ඇති. මේ ගුරුකම කරන්නේ පැනගිය අයෙක් හෝ අතහැර ගිය කෙනෙක් නැවත එම ස්ථානයට ගෙන්වා ගැනීමටයි. එය සමහර විට ඔබට ප්‍රායෝගික නොවන්නට ඇති. වාචිකව පමණක් අසා ඇති.

එනම් තඹ පතක එක ප්‍රමාණයට කොටු නිර්මාණය කර ඒ කොටුවල යමක් සඳහන් කර ගෙන්වන අයගෙන් ගුරුකම කරන අයගෙන් නම් ලියා කිසියම් වාර ගණනක් පෙර පරිදි දිශ්ටි ජප කර පස් පැඟිරි දර වලින් රත් කිරීමය. මෙය අත්හදා බැලූ නිතර කරන ගුරුකමකි. මෙවැනි ගුරුකම් නිවැරදිව කළ යුතු ය. සාමාන්‍ය ගුරුකමකට තැබිය යුතු අනුපාන මල් බුලත් පුටුවේ තිබිය යුතුමය. මන්ත්‍ර ජප කිරීමෙන් අවශ්‍ය කොන්තරාත් කරුට එනම් ප්‍රේත, මල ප්‍රේත බලවේගයකට භාරදිය යුතු ය. භාරදිය යුත්තේ ආවේනික වූ මන්ත්‍රයෙන් පමණි. මෙසේ නිවැරදිව කරන ලද ගුරුකමේ දී නිවැරදිව ප්‍රතිඵල ලබා දේ.

මෙහිදී විශේෂ යමක් සඳහන් කළ යුතු වේ. කිසියම් අඩුපාඩුවක් උනේ නම් ඒ අඩුපාඩුව ස්වකීය ප්‍රතිඵලයට අඩංගු වේ. එනම් ගුරුකමහි ප්‍රතිඵල නිවැරදි නොවන්නේ ය. ගුප්ත ශාස්ත්‍රයේ යහපත් ගුරුකම් හා අයහපත් ගුරුකම් යනුවෙන් සඳහන් වූවත් මේ අයහපත් ගුරුකම් කිරීමේ දී කිසියම් අසාධාරණයක් සිදු නොවෙන්නේ එවැනි ගුරුකම් කරන්නේ කිසියම් පාර්ශ්වයක් අසරණ භාවයට පත් වූ විටක දී නිසා ය. දෙවියන් උදෙසා කරන ගුරුකම් වලදී කැවිලි පලතුරු යනාදී යහපත් දේ අනුපාන ලෙසට තැබිය යුතු අතර ප්‍රේත ගෙවල වැනි අයට කරන ගරුකම්වලදී ලේ, රීරි, අදුං, හදුං, බැලුම්, පිළිස්සුම්, යනාදිය නො අඩුව තැබිය යුතුමය.

සමහර අමනුෂ්‍යයන් සම්බන්ධ කර කරන ගුරුකම්වලදී ඔවුන්ගේ ඒ ඒ ස්වභාවයන් නිරීක්ෂණය ද කරයි. එසේ කිසියම් ස්වභාවයක් නිරීක්ෂණය වුවද එයින් භීතියට පත් නොවී ගුරුකම සම්පූර්ණ කිරීම දක්ෂ ගුප්ත විද්‍යාවේදියාගේ සිරිතය. ගුරුකම් සම්බන්ධව එසේ සඳහන් කළත් යන්ත්‍ර බැඳීමට කිසිදු තිථි රීතියක් හට නොගන්නේ ය. විශේෂයෙන්ම සර්ව රෝග නිවාරණ, යන්ත්‍රවලට කිසිදු තිථි රීතිය බල නොපවත්වන්නේ ය. විශේෂයෙන්ම රෝග නිවාරණ බුදු ගුණ යන්ත්‍රයක් වන අභිසම්භිධානය එවැනි විශේෂ යන්ත්‍රයකි. විශේෂයෙන් මරණාසන්න රෝගීන්ට නියමාකාරයෙන් සම්පූර්ණ කර රත්‍රං පොඟවා ගත් තහඩුවල හෝ රන්පත්වල නිමවිය යුතු ය. මෙම ශරීරගත කිරීමෙන් මරණාසන්න රෝගීන්යට පවා ක්ෂණික ගුණදෙන මහා ප්‍රබල යන්ත්‍රයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.