ග්‍රහයන්ගේ සුබ අසුබ පල ප්‍රකාශයට පත් කරන දශා

ජනවාරි 22, 2021

යම් ග්‍රහයෙන්ගෙන් සුබ අසුබ පල ලැබෙන්නේ එකී ග්‍රහයාට අයත් මහ දශා, අන්තර් දශා කාල සීමාව තුළදී බව ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ගැන යම් දැනුමක් ඇති අයවලුන් පවා පිළිගන්නා කාරණයකි.

ඒ අනුව පරාශර ඉසිවරයා විසින් දශා ක්‍රම 42 ක් හඳුන්වාදී ඇතත්, අප මේ ජීවත් වන කලියුගයේ පලාපල කථනය සඳහා පරාශර ඉසිවරයා විසින් භාවිතයට ගන්නා ලෙස නියම කර ඇත්තේ විංශෝත්තරි මහ දශාවයි. ඒ නමුත් ඡ්‍යොතිෂඥයින් ටික දෙනෙක් වඩාත් නිවැරදි වූත් ඉලක්කගත පලාපල කථනයක් සඳහා විංශෝත්තරී මහ දශාව සමඟ නෛසර්ගික, යෝගිනී, අෂ්ටෝත්තරී ,කාල වක්‍ර දශා ක්‍රමයන් භාවිතයට ගනිති. නමුත් මෙම ලිපිය මඟින් විග්‍රහ කෙරෙන්නේ විංශෝත්තරී මහ දශාව පිළිබඳයි. ඒ අනුව යම් ග්‍රහයෙක්ට අයත් විංශෝත්තරී මහ දශාවක් ලැබූ විට එකී මහ දශා අධිපතිට අයත් පලවිපාක ප්‍රකාශයට පත් කරන්නේ, එකී මහ දශා අධිපතියා යටතේ ලබන අන්තර් දශා අධිපතියන් මඟිනි. උදාහරණයක් වශයෙන් ජන්මියෙක් ගේ කේන්දර සටහනේ ගුරු ග්‍රහයා දෙවැන්නේ ස්වක්ෂේත්‍රව පාප පීඩිත නොවී සිටිනවා යැයි සිතමු. එවිට එම ජන්මියාට ගුරු මහ දශාවක් ලබා ඇති විට ගුරු ග්‍රහයා ගුරුට සුබ 2,5,7,9,11 යන භාවයක ගෝචරය වන විට එම කේන්දර හිමියාට එකී මහ දශා අධිපති ගුරුගෙන් සුබ පල ලැබේ. මන්දයත්, අවුරුදු 16 ක් වූ ගුරු මහා දශාවේ අවුරුදු 2 යි, 01 දින 18 කි. හිමිවන්නේ ගුරු අන්තර් දශාවට වන හෙයිනි. මෙකී ගුරු මහා දශාවෙන් පසුව ලබන අවුරුදු 2 යි මාස 6 යි, දින 12 ක් වූ සෙනසුරු අන්තර් දශාවලදී ලග්න කේන්දරයේ සෙනසුරු පාප පීඩිතව සිටියදී ගෝචරයෙන් සෙනසුරුගෙන් ලග්න ඒරාෂ්ඨක අපලයක් යෙදී ඇති විට එකී ගුරු මහ දශාවේ ශනි අන්තර් දශාවේදී ජන්මියාට ලැබෙන්නේ සුබ /අසුබ මිශ්‍ර සම පලයකි. එයට හේතුව නම් මහ දශා අධිපති ගුරු උප්පත්ති කේන්දරයේ බලවත්ව සිටීම සහ බලවත් ගුරුට ශනි අපලය භංග කිරීමට හැකියාවක් ඇති හෙයිනි. ඒ අනුව එතැනදි මහ දශා අධිපති කේන්දරයේ බලවත්ව සිටින විට අන්තර් දශා අධිපති දුර්වල වුවත් මහ දශා අධිපතිගේ බලවත්වීම හේතුකොටගෙන දුර්වල අන්තර් දශා අධිපතියාගෙන් ලැබෙන අසුබ පල තුනීවී යන බව යටකී උදාහරණයක් මඟින් අපට අනවබෝධකරගත හැකිය. එමෙන්ම උප්පත්ති කේන්දරයේ දුර්වල පාප පීඩිත /ග්‍රහයෙකු ගේ මහ දශාවක් ලබා ඇති විට එකි දුර්වල මහ දශා අධිපතිට අයත් අන්තර් දශාවක් ලැබූ විට හෝ වෙනයම් පාප පීඩිත ග්‍රහයෙකුට හෝ පාප ග්‍රහයන්ට අයත් අන්තර් දශා ලැබූ කල කේන්දර හිමියාට දැඩි අපල විපත් පැමිණෙන්නේය. යටකී අසුබ මහ දශා අධිපති සමඟ අසුබ අන්තර් දශාවක් සමඟ සෙනසුරු ඒරාෂ්ඨක අපලයක් ද ලබා ඇත්නම් අසුබ පල වඩා තීව්‍ර වන්නේය. එසේම පාප පීඩිත ග්‍රහයෙක්....මහ දශාවක් ලබා ඇති විටදී ශුභව පිහිටා ඇති ග්‍රහයෙක්ට අයත් අන්තර් දශාවක් ලැබූ කල මහා දශා අධිපතියා දුර්වල හෙයින් ලැබෙන්නේ සුබ අසුබ මිශ්‍ර සමපලයකි. මෙහිදී ඒරාෂ්ඨක අපලයක් යෙදී ඇත්නම් ලැබෙන්නේ අශුභ පලය.

ලග්න කේන්දරයක සුබ ග්‍රහයෙකුට අයත් මහ දශාවක් ලබා ඇති විටදී එකී මහ දශා අධිපතිට මිත්‍ර ග්‍රහයෙකුට අයත් අතුරු දශාවක් ලැබූ කල මෙකී මහ දශා සහ අන්තර් දශාවකින් පාප පීඩිත නොවී ශුභව සිටියි නම් එකී අන්තර් දශා කාලසීමාව තුළදී කේන්දර හිමියාට ඉතා උසස් සුබ බලයක් භුක්ති විඳිය හැකි වන්නේය. ඒ අනුව

1.රවි මහ දශාවක් ලැබු ඵල රවිට මිත්‍ර ,චන්ද්‍ර, ගුරු, අතුරු දශා ලැබූ කල සුබ පල ලැබෙන්නේය.

2.සඳු මහ දශාවක් ලැබූ කල සඳුට මිත්‍ර රවි, බුධ අන්තර් දශාවක් ලැබු කල සුබ බල ලැබෙන්නේය.

3.කුජ මහ දශාවක් ලැබූ කල කුජට මිත්‍ර රවි චන්ද්‍ර ගුරු අන්තර් දශා සුබ පල ගෙන දෙන්නේය.

4.බුධ මහා දශාවක් ලැබු කල බුධ මිත්‍ර රවි, ශුක්‍ර, රාහු අන්තර් දශාවන්හි සුබ පල ගෙන දෙන්නේය.

5.ගුරු මහා දශාවන්හිදි ගුරුට මිත්‍ර රවි, චන්ද්‍ර, කුජ , අතුරු දශාවක් ලැබූ කල සුබ ඵල ලැබෙන්නේය.

6. සිකුරු මහා දශාවන්හිදි සිකුරුට මිත්‍ර, බුධ ශනි, රාහු, අන්තර් දශා ලැබු කල සුබ ඵල ලැබෙන්නේය.

7.ශනි මහ දශාවන්හිදි ශනිට මිත්‍ර බුධ, ශුක්‍ර, රාහු අතුරු දශා ලැබු කල සුබ ඵල ලැබෙන්නේය.

8.රාහු මහ දශාවක් ලැබු කල රාහුට මිත්‍ර බුධ, ශුක්‍ර, ශනි අන්තර් දශාවලදි සුබ පල ලැබෙන්නේය.

9.කේතු මහ දශාවක් ලැබූ කල කේතුට මිත්‍ර චන්ද්‍ර කුජ, ගුරු අන්රත් දශාවන්හිදි සුබ ඵල ලැබෙන්නේය.

ඕනෑම කේන්දරයක කීර්ති, ප්‍රශංසා, ධන, මිල මුදල් ,ප්‍රසිද්ධිය, ජන ප්‍රධාන බව, සැප සම්පත් ආදිය ලබා දෙන ග්‍රහයෝ යෝගකාරකයෝ වෙති. ඒ අනුව කේන්දරයක යෝග කාරකත්වය හිමිවන්නේ කේන්ද්‍ර සහ ත්‍රිකෝණ ස්ථානයකට එකවර හිමිකම් කියන ග්‍රහයාටය. උදාහරණයක් වශයෙන් වෘෂභ ලග්නයට ත්‍රිකෝණ ස්ථානයක් වන 9 වැන්නටත් කේන්ද්‍ර ස්ථානයක් වන 10 වැන්නටත් හිමිකම් කියන සෙනසුරු ප්‍රධාන යෝගකාරක ග්‍රහයා වෙයි. එහෙයින් ජන්මියෙකුට උසස් දියුණුවක් ලැබීමට නම් ඔහුගේ ඇයගේ කේන්දර සටහනේ යෝගකාරකයන් බලවත්ව සිටිය යුතුය. ඒ වාගේම එම යෝගකාරක ග්‍රහයාට අයත් මහ දශාවක් ලැබිය යුතුය. ලග්න කේන්දරයක යෝගකාරක ග්‍රහයාට බලවත්ව සිටියදී ජීවිත කාලය තුළ එකී ග්‍රහයාට අයත් මහ දශාවකින් නොලබයි නම් ඔහු හෝ ඇය හෝ කේන්දරයේ කොතරම් සුබ ග්‍රහයෝග තිබුණත් උසස් දියුණුවක් ලැබිය නොහැක. ඒ අනුව මේෂ ලග්න හිමියාට ගුරු ප්‍රධාන යෝගකාරක ග්‍රහයා වෙයි. රවි, මේෂ ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයා වේ. වෘෂභ ලග්නයට 9,10 අධිපති සෙනසුරු ප්‍රධානගත යෝගකාරක යුගයක් වෙති. සෙනසුරු මිථුන ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. කටක ලග්නයට 5,10 අධිපති කුජත්, 9 වැන්නාධිපති ගුරුත් ප්‍රධාන යෝගකාරක ග්‍රහයන් වෙති. සිංහ ලග්නයට 4-9 අධිපති සිකුරුත් 1-10 අධිපති බුධත් ප්‍රධානගත යෝගකාරක ග්‍රහයන් වෙති. 5-6 අධිපති ශනි කන්‍යාව ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. තුලා ලග්නයට 4-5 අධිපති සෙනසුරු ප්‍රබලම යෝගකාරක ග්‍රහයා වෙයි. 9-12 බුධ අධිපති තුලා ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයා වෙයි. වෘශ්චික ලග්නයට 9 අධිපති සඳුත් 1 ට අධිපති රවිත් ප්‍රධාන යෝගකාරක ග්‍රහයන් වෙති. 2-5 අධිපති ගුරු වෘශ්චික ලග්නයට අර්ධ යෝගකාරකත්වයක් උසුලන ග්‍රහයෙකි. ධනු ලග්නයට 9 අධිපති රවි ප්‍රධානගත යෝග කාරක ග්‍රහයා වෙයි. 5-12 අධිපති අඟහරු ධනු ලග්න හිමියාට අර්ධ යෝගකාරක ග්‍රහයෙක් වන්නේය. මකර ලග්නයට 5,10 අධිපති සිකුරු ප්‍රබලම යෝග කාරකයා වෙයි. 6-9 අධිපති බුධ ද මකර ලග්නයට යෝගකාරකත්වය උසුලන ග්‍රහයෙකි. කුම්භ ලග්නයට 4-9 අධිපති සිකුරු ප්‍රධානගත යෝගකාරක ග්‍රහයා වන්නේය. 5-8 අධිපති බුධ කුම්භ ලග්නයට අර්ධ යෝගකාරකත්වයකි. උසුලන ග්‍රහයෙකි. මීන ලග්නයට 2-9 අධිපති කුජ ප්‍රබලම යෝගකාරක වන්නේය. ලග්නාධිපති ගුරු 10 වැන්නාධිපති ද වන හෙයින් යෝගකාරක යෙකි. 5 අධිපති සඳුට හිමි ලග්න කේන්දරයට අර්ධ යෝගකාරක ග්‍රහයෙකි.

ඉහත විග්‍රහ කළ පරිදි ඒ ඒ ලග්නවලට යෝගකාරක හෝ අර්ධ යෝගකාරක ග්‍රහයන්ගේ මහ දශා ලැබූ කල ජන්මියාට උසස් දියුණුවක් ලබා දෙන හෙයින් ජීවිත කාලය තුළදී එකවතාවක්වත් මෙකී යෝගකාරක ග්‍රහයෙකුගේ හෝ අර්ධ යෝගකාරක ග්‍රහයෙකුගේ මහ දශාවක් ලැබිය යුතුය. විශේෂයෙන් තරුණ වයසේදී හෝ මැදිවයසේදී මෙකී යෝගකාරක ග්‍රහයෙක්ව හිමි මහ දශාවක් ලැබීමෙන් ජන්මියාගේ ජීවනතත්ත්වය උසස් කර ගැනීමට හැකිවන්නේය.

ලග්න කේන්දරයක ඒරාෂ්ඨක අපලයක් ඇතිවීම පහත දැක්වෙන මහ දශාවක් හා අන්තර් දශාවක් ලැබූ විට දැඩි අපල විපත් ඇති කරන්නේය.

ඒ අනුව

රවි මහ දශාවේ සෙනසුරු අතුරු දශාව

රවි මහ දශාවේ කේතු අතුරු දශාව

රවි මහ දශාවේ රාහු අතුරු දශාව

සඳු මහ දශාවේ ශනි අතුරු දශාව

සඳු මහ දශාවේ රාහු අතුරු දසාව

සඳු මහ දශාවේ කේතු අතුරු දශාව

සඳු මහ දශාවේ බුධ අතුරු දශාව

කුජ මහ දශාවේ ශනි අතුරු දශාව

කුජ මහ දශාවේ රාහු අතුරු දශාව

කුජ මහ දශාවේ කේතු අතුරු දශාව

කුජ මහ දශාවේ කේතු අතුරු දශාව

කුජ මහ දශාවේ බුධ අතුරු දශාව

ගුරු මහ දශාවේ සිකුරු අතුරු දශාව

සිකුරු මහ දශාවේ රාහු අතුරු දශාව

කේතු මහ දශාවේ ශනි අතුරු දශාව

කේතු මහ දශාවේ රාහු අතුරු දශාව

මෙහි සඳහන් කළ මහ දශා අන්තර් දශා අධිපතියන් 6,98,12 යන දුෂ්ට භාවයකට හිමිකම් කියයි නම් හෝ මෙකී මහ දශා අන්තර් දශා අධිපතියන් 6,8,12 දුෂ්ට භාවයක හෝ 22 වෙනි දෙර්කාණාධිපතිට හෝ 64 වෙනි නවාංශකාධිපතිට අයත් රාශියක පතිතව ඇත්නම්, අපල තත්වය වඩාත් තීව්‍ර වන්නේය.

එමෙන්ම පහත දැක්වෙන මහ දශාවන් සහ අන්තර් දශා ලැබූ විට ජන්මියාට බෝවන රෝග හා සර්පයන්, බල්ලන් වැනි සතුන්ගෙන් විපත් ඇති වෙයි.

සෙනසුරු මහ දශාවේ සිකුරු අතුරු දශාව

සිකුරු මහ දශාවේ ශනි අතුරුද ශාව

රාහු මහ දශාවේ කේතු අතුරු දශාව

කේතු මහ දශාවේ රාහු අතුරු දශාව

මෙකී මහ දශා අන්තර් දශා අධිපතියන් 6,8,12 යන දුෂ්ටභාවයකට හිමිකම් කියයි නම් හෝ එකී භාවයක පතිව ඇත්නම් හෝ ලග්න කේන්දරයට සෑම විටම අශුභ පල දීමට මාන බලන 46,64,100 වෙනි නවාංශකාධිපති 22 දෙර්කාණාධිපති බාධක ස්ථානාධිපති වී නම් හෝ එකී නවංශකාධිපතියන්ගේ හෝ 22 වෙනි දෙර්කාණාධිපති 64 වෙනි නවාංශකාධිපතිගේ රැයක තැන්පත්ව ඇත්නම් යටකී රෝග විපත් හේතුකොටගෙන ජීවිත කාලය තුළ සුව කළ නොහැකි ආබාධිත තත්වයන් හෝ මරණය පවා සිදුවිය හැක.

මහ දශා අතුරු දශා අධිපතින්ගේ ගෝචරය අනුව යෙදෙන තවත් අපල කිහිපයක් ඇත. ඒවා නම්

පාඩක අපලය

ලග්න කේන්දරයේ රවි සිටින රාශියෙහි මහ දශා හෝ අතුරු දශාව අධිපති ගෝචරයවීමෙන් පාඩක අපලය යෙදේ. මෙහිදී මහ දශා අධිපති හෝ අතුරු දශා අධිපති එක රැයක වැඩි කාලයක් ගමන් කරන ශනි රාහු, කේතු, ගුරු යන ග්‍රහයෙක් නම් මෙකී අපලය ජන්මියාට, බොහෝ කරදර ,අලාභ හානි, ඇති කරයි. මෙකී අපලයට භාජනය වන රවි උප්පත්ති කේන්දරයේ 6,8,12 දුෂ්ටභාවයක හෝ බාධකභාවයක හෝ මෙකී රවි 64 වෙනි නවාංශකාධිපති හෝ 22 වෙනි දෙර්කාණාධිපති වී නම් හෝ එකී 64 වෙනි නවාංශකාධිපති හෝ 22 වෙනි දෙර්කාණාධිපති හෝ රාශියක පතිතව ඇත්නම් තදබල කායික සහ මානසික පීඩා ඇති කරයි. නමුත් මෙකී අපලයට භාජනය වන රවි, රවි ග්‍රහයාට ශුභ ඵල දෙතැයි සැලකෙන 3,6,11 යන උපචය භාවයක පාප පීඩිත නොවී ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පෝෂිතව ඇත්නම් මෙකි අපලය හේතුකොටගෙන තද බල අපල විපත් ඇති නොවේ.

භේදක අපලය

යම් ග්‍රහයෙකුට අයත් මහ දශාවක් ලබා ඇති විට එම ග්‍රහයාට සතුරු ග්‍රහයෙකුගේ අතුරු දශාවක් ලැබීමෙන් භේදක අපලය පැන නඟියි. ඒ අනුව මෙකී භේදක අපලයට සම්බන්ධ මහ දශා සහ අන්තර් දශා අධිපතියන් දෙදෙනා පාප ග්‍රහයන්ගේ සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පීඩා වී ඇත්නම් මෙකී භේදක අපලය ජන්මියාට තද බල අපල සිත් ඇති කරන්නේය. ඒ අනුව රවි මහ දශාවේ ශනි අතුරු දශාව, රවි මහ දශාවේ රාහු මහ දශා, අන්තර් දශා ලබා ඇති විට ස්වාමියා සහ සේවකයා අතර ගැටුම් ද සඳු මහ දශාවේ ශනි අතුරු දශාවක් හෝ රාහු අතුරු දශාවක් ලබා ඇතිවිට මව්පියන් සහ දරුවන් අතර ගැටුම් ද පවුලේ සාමාජිකයන් අතර ගැටුම් ද ඇති වන්නේය. ගුරු මහ දශාවක් ඇතිවිට සැමියා හා බිරිඳ අතර ගැටුම් ඇති වන්නේය.

ජිද්‍රක අපලය

යම්කිසි පාප ග්‍රහයෙක්ට අයත් මහ දශාවක් ලබා ඇතිවිට එම පාප ග්‍රහයා ලග්න කේන්දරයෙන් 1,4,7,10 යන භාවයක ගෝචරය වන විට පැන නඟින අපල විශේෂය ජිද්‍රක අපලය යන නමින් හඳුන්වනු ලැබේ. ඒ අනුව මෙකී මහ දශා අධිපති ගෝචරය වන කේන්ද්‍රභාවයන්හි 22 වෙනි දෙර්කාණාධිපති 64 වෙනි නවාංශකාධිපති බාධක ස්ථානාධිපති යන ග්‍රහයෙක් හෝ ග්‍රහයන් කිහිප දෙනෙක් වේ නම් හෝ පාප පීඩන 6,8,12 යන දුෂ්ට භාවාධිපතියන් වේ නම් මෙකි ජිද්‍රක අපලය කේන්දර හිමියාට බොහෝ අපල විපත් ඇති කරන්නේය.

වේදක අපලය

යම් ග්‍රහයෙකුට අයත් මහ දශාවක් ලබා ඇති විට එම මහ දශා අධිපතියා හිමිකම් කියන රැසෙහි පාප ග්‍රහයෙක් ගෝචරවීමෙන් වේදක අපල ඇති වේ. උදාහරණයක් වශයෙන් ජන්මියෙකුට සඳු මහ දශාවක් ලබා ඇති විට එම සඳුට හිමි කියන කටක රාශියෙහි රාහු ග්‍රහයා ගෝචරයවීමෙන් වේදක අපලය ඇති වෙයි. මෙලෙස මහ දශා අධිපතිට හිමිකම් කියන රැසෙහි ගෝචරය වන පාප මහ දශා අධිපතිට මහ දශා අධිපති මිත්‍ර නම්, අපල විපත් ඇති නොවේ. උදාහරණයක් වශයෙන් සිකුරු මහ දශාවක් ලබා ඇති විට සිකුරුට හිමි, වෘෂභ, තුලා යන රැසක, ශනි, රාහු යන පාප ග්‍රහයෙක් ගෝචරය වන විට සිකුරු ට ශනි රාහු මිත්‍ර ග්‍රහයන් වන නිසාත් එකී ග්‍රහයන් නිසාත් තුලා රැසෙහිදි සෙනසුරු උච්චවන නිසාත්, රාහු වෘෂභ රැසෙහි උච්ච වන නිසාත් තුලා රැසෙහි මිත්‍රවන නිසාත් අපල විපත් ඇතිවන්නේ නැත.

දශානාථ කේන්දරය

ලබා ඇති මහ දශාව සහ එකී දශාව යටතේ ලබන අන්තර් දශාවත් සුබ ද අශුභ ද යන්න පිළිබඳව ස්ථිර නිගමනයකට එළිඹිය හැකි කේන්දර විශේෂය දශානාථ කේන්දරය යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒ අනුව මෙකී දශානාථ කේන්දරය ගොඩනඟන්නේ මහ දශා අධිපති සිය රාශිය කේන්ද්‍ර කොට ගෙනය. උදාහරණයක් මඟින් මෙකී දශානාථ කේන්දරය පිළිබඳව කරුණු විග්‍රහ කළහොත් කන්‍යා ලග්නයේ උපන් ජන්මියෙක්ට ගුරු මහ දශාව ලබා ඇතැයි සිතමු. ගුරු ඔහු ගේ උප්පත්ති කේන්දරයේ සඳහන් වූ තුලාවේ පතිතව ඇතැයි සිතමු. ඒ අනුව ඔහුගේ දශානාථ කේන්දරය වන්නේ තුලා රාශි යයි. ඒ අනුව බලන කල දශානාථ කේන්දරයේ ලග්නයේ තැන්පත් ගුරු දිග්බල හෙයින් සුබ යැයි හැඟෙන නමුත් ගුරු දශානාථ කේන්දරයේ 3,6 භාවවලට අධිපතිකම් කියන ග්‍රහයා නිසාත් දශානාථ කේන්දරයේ ලග්නාධිපති සිකුරුට සතුරු ග්‍රහයෙක් වන හෙයිනුත් ගුරු දශනාථා ලග්නයේ සහ ක්ෂේත්‍රව පතිතව ඇති හෙයිනුත් කන්‍යා ලග්න කේන්දරයට බාධක ග්‍රහයා වන හෙයිනුත් ගුරු මහ දශාව සුබ ඵල නොදෙන බව අනෙක් අතට අපට හැඟී යන නමුත් ඒ පිළිබඳව ස්ථිර නිගමනයක එළඹීමට නම් දශානාථ කේන්දරයේ ලග්නාධිපති සිකුරුගේ තත්ත්වය ගැන සලකා බැලිය යුතුය. ඒ අනුව මෙකී සිකුරු දශානාථ කේන්රදයේ 4,5,9 භාවයක දශානාථ කේන්දරයට ශුභ ඵල දෙන බුධ ,ශනි යන ග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පෝෂිතව සිටියි. ගුරු මහා දශාවේ ගුරු අතුරු දශාව දැඩි අශුභ ඵල විපාක නොදෙන ශුභ අශුභ ඵල මිශ්‍ර සමපලදායක දශාවක් වන්නේය. අනෙක් අතට මෙකී ගුරු තැන්පත් රාශි අධිපති සිකුරු දශානාථ කේන්දරයේ 6,8,12 දුෂ්ටභාවයක හෝ 11 වැන්නවූ බාධක භාවයේදි දශනාථ කේන්දරයට දැඩි අසුබ ඵල ගෙන දෙන අඟහරු රවි, ගුරු, රාහු, කේතු යන ග්‍රහයන් වැඩි දෙනෙකු දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පීඩා වී ඇත්නම් ගුරු මහ දශාව බොහෝ අපල විපත් ඇති කරන අසුබ ඵල දානය දශාවක් වන්නේය. ඒ ආකාරය ගුරුම හා දශාවේ ගුරු අන්තර් දශාවෙන් පසුව ලබන ශනි, බුධ, කේතු, අතුරු දශා අධිපතියන් හෙවත් බුක්ති නාථ අධිපතියන් දශානාථ කේන්දරයේ කේන්ද්‍ර, ත්‍රිකෝණ භාවයක පාප පීඩිත නොවී ශුභව සිටියි නම් සුබ ඵලත් අසුබව එනම් 6,8,12 දුෂ්ටභාවයක හෝ බාධකභාවයක පාප පීඩිතව ඇත්නම් එකී අන්තර් දශා කේන්දර හිමියාට අසුබ පල උදා කරන්නේය. මෙලෙස ලබා ඇති මහ දශා, අන්තර් දශා අධිපතියා ගේ බල දුබලතා විමසීමේදී එම මහ දශා අන්තර් දශා අධිපතියන් උප්පත්තියේදී පතිතව ඇති නවාංශකාධිපතියන්ගේ නැකැත් අධිපතියන්ගේ බල දුබලතා ද විමසා බැලිය යුතු බව මා මෙහිදී අවසාන වශයෙන් සඳහන් කරමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.