සුබසෙතෙන් සුවය

ජනවාරි 29, 2021

කිංස්ලි - කරඳන වයස 29 කි. වර්ෂ ගණනාවක් ස්වයං වින්දනයේ යෙදුනෙමි. මේ වන විට වැහැරුණ ශරීරයක් ඇතිව දුකට පත්ව සිටිමි. 50ක 60ක අයකු මෙන් වයස පෙනේ. සම රැළි වැටී ඇති අතර, මට මා ගැනම දුක සිතේ.

 

ඔබ තරුණ අයට හොඳ පාඩමක් කියාදෙයි. ලැබුණ නිරෝගී තරුණ බව කෙළසාගෙන ඇත්තේ ඔබමය.

දැන් සියලු වැරදි තේරුම් ගෙන සිටීම සතුටට හේතුවේ. මෙම ප්‍රතිකාර කර නිරෝගීතාවය ලබා ගන්න.

01. වැල්පෙනෙල කැඳ, ගොටුකොළ කැඳ මාරුවෙන් මාරුවට බොන්න. සමහර දිනවල ඒ දෙක එකට කැඳ සාදා ගන්න . දිනපතාම උදේට කිතුල් හකුරු සමඟ බොන්න.

02. දවල්ට රෑට කෑමට පසුව චන්දනාසවය, බලාරිෂ්ඨය, අශ්වගන්ධාරිෂ්ඨය මිශ්‍රකර මේස හැඳි 2 බැගින් බොන්න. අරිෂ්ඨ එක් වර්ගයකින් අවුන්ස 08 බැගින් ගන්න.

03. දවල්ට රෑට කෑමට පෙර සිද්ධජීවා වෘතය හෝ අමුක්කරා වැල්පෙනෙල පැණිය මේස හැඳි 2 බැගින් බොන්න.

04. උදේ 7ට සවස 5ට රාත්‍රී 10ට ප්‍රමේහ ගජකේශරී රසායනය තේ හැඳි 2 බැගින් කා එළකිරි හෝ පිටිකිරි හෝ බොන්න.

05. නීල්‍යාදී තෛලය හෝ භෘංගමාලක තෛලය හිසේ කෙස්මුල්වල ගා හොඳින් පිරිමදින්න.

ඉහත ඖෂධ මාස දෙකක් ගන්න. එයට අමතරව පලතුරු, එළවළු, පලාවර්ග නිතර ආහාරයට ගන්න. උෂ්ණ ආහාර පාන සහ ඇඹුල් ආහාර පාන අඩු කරන්න. එහෙත් දෙහි, දොඩම්, නාරං, ජම්බෝල, ලෙමන්, ජම්බු යනාදිය අගුණ නැත.

 

අවුරුදු 32ක අවිවාහක අයෙක්මි. තවම අවිවාහක ඉක්මන් මෝචනය රෝග තත්ත්වය නිසාය. ඔබතුමාගෙන් ප්‍රතිකාරයක් විමසමි.

 

01. හාතාවාරිය අල, කිරිබදු අල, බින්තල් අල, අරත්ත අල, අමුක්කරා අල, රසකිඳ, වැල්මී, මුද්දරප්පලම්, වඳුරු මෑ ඇට, සුදුහඳුන්, අමු ඉඟුරු, සියඹලා ඇට කලං 1 බැගින් ගෙන වතුර පත 24 - 3 ට සිඳ පෙරා උදේ 7ට සවස 5ට රාත්‍රී 10ට පත 1 බැගින් බොන්න.

02. කෂාය සමඟම ශෝක්ෂුරාදී ගුග්ගුලු දෙකක්ද, චන්ද්‍රප්‍රභා වටී 2 බැගින් ද බොන්න.

03. දින 6ක් කෂාය බීවාට පසුව ප්‍රමේහ ගජකේශරී රසායනය උදේ 7 සවස 5 කෂාය සමඟ තේ හැඳි 2 බැගින් ගන්න. පෙර ගත් ගුලි වර්ග දෙක වෙනුවට එක බැගින් ගන්න. මෙසේ දින 06ක් කෂාය ගන්න.

04. දවල්ට රෑට කෑමට පෙර අශ්වගන්ධ අරිෂ්ඨය මේස හැඳි 2 බැගින් බොන්න.

05. අශ්ව ගන්ධ චූර්ණය, වැල්මී චූර්ණය, මී පැණියෙන් අනා රාත්‍රී කෂාය සමඟ තේ හැඳි 2ක් ගන්න. මෙමපෙර ගත් ගුලි වර්ග දෙක වෙනුවට එක බැගින් ගන්න. මෙසේ දින 06ක් කෂාය ගන්න.

04. දවල්ට රෑට කෑමට පෙර අශ්වගන්ධ අරිෂ්ඨය මේස හැඳි 2 බැගින් බොන්න.

05. අශ්ව ගන්ධ චූර්ණය, වැල්මී චූර්ණය මී පැණියෙන් අනා රාත්‍රී කෂාය සමඟ තේ හැඳි 2 ක් ගන්න. මෙම ප්‍රතිකාර දිගටම මාසයක් ගන්න. සුවය ලැබේවි.

 

අවුරුදු 63ක පැවිදි අයෙක්මි. වසර කීපයක සිටම මලපහ කිරීමේ දී රුධිරය ටික ටික පිට වේ. මාස හයකට පමණ වරක් ලේ ගෙඩියක් පුපුරා විශාල ලෙස රුධිරය පිට වෙයි. ප්‍රතිකාර නියම කරන මෙන් ඉල්ලමි.

 

ඔබ වහන්සේ ලේ අර්ශස් රෝගයෙන් පෙළේ. ලේ යන්නේ ගෙඩි පිපිරීමෙනි. එනිසා ගෙඩි අර්ශස් කීවද වරදක් නැත. මාසයක කාලයක් පහත ප්‍රතිකාර කරන්න.

01. නෙළුම් රේණු, නාමල් රේණු, කලං 10 බැගින් ගෙන පිටිසේ චූර්ණ කර තබාගෙන උදේට පාන් පෙතිවල බටර් සමඟ ගා තේ හැඳි එකක් පමණ ආහාරයට ගන්න.

02.රාත්‍රී 10 ට එළකිරි හෝ පිටිකිරි සමඟ තේ හැඳි එකක් දියකර පානය කරන්න.

03. උදේට හැකි හැම විටම කොහිල අල කැඳ පානය කරන්න.

04. දවල්ට රෑට ආහාරයට පෙර අභයාරිෂ්ටයද, පසුව දන්තන්‍යාරිෂ්ටයද මේස හැඳි දෙක බැගින් ගන්න.

05. සුවඳ කොට්ටම්, කෙළිඳ සහල් රටඉඳි පාවට්ටා මුල්, නෙළුම් රේණු, කළාඳුරු අල, සුදුහඳුන්, සැවැන්න, හාතාවාරිය අල, වැල්මී, වියළි නෙල්ලි, උළුහාල් කලං 1 බැගින් ගෙන වතුර පත 16 - 2ට සිඳ දවල් 10ට සවස 3ට පත 1 බැගින් බොන්න. අර්ශස් කුඨාර රසය එකක්ද එයටම දියකර බොන්න.

මාස හයකින් පමණ සුවකර ගැනීමට ඇති රෝග තත්ත්වය ඉහත ප්‍රතිකාර තුළින් මාසයකදී සුවවේවි.

 

අවුරුදු 48 ක ගුරුවරයෙක්මි. වසර 4ට පෙර සුදු ලප තැනින් තැන මතු විය. දැන් ශරීරය පුරාම සුදුවෙමින් පවතී. සුදු කබර රෝගය බව දනිමි. ප්‍රතිකාර පතමි.

 

මාස කීපයක් සුවවනතුරුම ප්‍රතිකාර ගන්න. පළමු බෙහෙත් පන්තිය දක්වමි. තව බෙහෙත් වට්ටෝරු හත අටක්වත් ලබාගත යුතුය. ස්ථිර සුවය ලබාගත හැකිය.

01. නෙල්ලි, රත්හඳුන්, ඔළිඳ ඇට, ගම්මිරිස් ඇට, ඉරමුසු, කොහොඹ පොතු, නිදිකුම්බා සහමුලින්, බුළු පොතු, කොතලහිඹුටු මුල්, මදටිය දළු, කුඹුක් පොත් කලං 1 බැගින් ගෙන වතුර පත 24 - 3 ට සිඳ පෙරා උදේ 7 ට සවස 5 ට රාත්‍රී 10 ට පත 1 බැගින් බොන්න. කෂාය මුට්ටියට නිම්බාදි චූර්ණයෙන් මේස හැඳි එකක් ද, තිපල් චූර්ණයෙන් මේස හැඳි එකක් ද දමා තම්බන්න.

02. දවල්ට රෑට කෑමට පෙර නවකාර්ශික ක්වාථය මේස හැඳි 2 බැගින් බොන්න. කෑමට පසුව ඛදිරාරිෂ්ටය මේස හැඳි 2 බැගින් බොන්න.

03. කුෂ්ඨාන්ත තෛලය, නාරායන තෛලය, බාකුචි තෛලය මිශ්‍රකර ගාන්න. පළමු මාසයේදී (මෙම බෙහෙත් බොද්දී) තෙල් ගා අව්වේ සිටීම අවශ්‍ය නැත.

04. රාත්‍රී 10 ට කෂාය බීමට පෙර මානිභද්‍ර මෝදකයෙන් තේ හැඳි 2ක් ක කෂාය බොන්න.

උෂ්ණ ආහාර පාන, ඇඹුල් ආහාර පාන, මස්, ගිනියම් මාළු වර්ග, සාඩිං යනාදිය ආහාරයට නොගන්න සිතට ගන්න.

05. බෝධි අට චූර්ණ කර කුඩු තේ හැඳි එකක් 10ට කෝලිකුට්ටු ගෙඩියකට මිශ්‍රකර කන්න.

06. උදේට තැඹිලි ගෙඩියක් හෝ දිවුල් කිරි හෝ, දිවුල් කොළ කැඳ බොන්න. දිවුල් කොළ පිලලයක කොළ නම් ඉතාම හොඳයි. මෙම බෙහෙත් පන්තිය මාසයක්ම බොන්න. අනිකුත් බෙහෙත් පන්තිද ලබාගෙන සුවය ලබන්න.

 

වයස 28ක විවාහක කාන්තාවක්මි. මගේ කෙස්යයි. තවම සුදුවී නැත. ගැළවී යයි. හිසේ සමහර තැන්වල තට්ටය පෙනේ. ඉක්මන් ප්‍රතිකාරයක් ඉල්ලමි.

 

01. කෙස්යාම නතර කිරීමට මලබද්ධය වළක්වා ගත යුතු ය. ඒ සඳහා උදේ 7ට සවස 7ට මානිභද්‍ර මෝදකය තේ හැඳි 2 බැගින් කා නිවුණු වතුර වීදුරු දෙකක් බොන්න. උණුවතුර හෝ උණුවෙන් හෝ බොන්න එපා.

02. කතුරුමුරුංගා කොළ මැල්ලුම සතියට තුන් වරක් දවල්ට ආහාරයට එකතු කරගන්න.

03. නීල්‍යාදී තෛලය හා ත්‍රිඵලා තෛලය තේ හැඳි එක බැගින් උදේ ආහාරයට පසුව බොන්න.

04. ත්‍රිඵලා තෛලය අමිල තෛලය, භෘංගමාලක තෛලය මිශ්‍රකර හිසේ ගා හොඳින් මසාජ් කරන්න.

05. කරවල කෑම අඩු කරන්න.

ඔළුවට කොපමණ තෙල් දැම්මත් වැඩක් නැත. මල බද්ධය සුවකරගත යුතුම වේ. සාරණ රෑ ආහාරයට එකතු කරගන්න. පරිප්පු සමඟ මිශ්‍රකර උයා ගැනීමටද හැකි ය.

 

අවුරුදු 33 කි. නිතරම හෙම්බිරිස්සාව පවතී. රාත්‍රී 9.00 න් පසුව නාස්පුඩු හිරවේ. උගුරට කුණු රසය දැනේ. කෙස් යාමද පවතී. ප්‍රතිකාරයක් දක්වන්න.

 

පීනස නරක් වෙමින් පවතී. මෙම ප්‍රතිකාර කරන්න. තේ කෝපි බීම නතර කර, ඉඟුරු කොත්තමල්ලි සහිත පස්පංගුව හෝ දසපංගුව තම්බා උදේටත් සවසටත් බොන්න. මෙම කෂාය දින 8 ක් බොන්න.

සුවඳ කොට්ටම්, කටුවැල්බටු, රසකිඳ, කලාඳුරු අල, අමු ඉඟුරු, තිප්පිලි, ගම්මිරිස්, ගොටුකොළ, රතුලූනු, සිවිය මුල්, පිටවක්කා මුල්, පාවට්ටා මුල් කලං 1 බැගින් ගෙන වතුර පත 16 - 2 ට සිඳ උදේ සවස පත 1 බැගින් සීනි නොදමා බොන්න.

නිශාදී තෛලය, පාඨා තෛලය, නිර්ගුණ්ඩියාදී තෛලය යන එකක් උදේ නාසයට උරන්න. පීනස් කුඩක්ද හොඳයි.

දවල්ට, රෑට කෑමට පසුව පිප්පල්‍යාද්‍යාසවය මේස හැඳි 2 බැගින් බොන්න.

අව්වේ යාම, පිනිබෑම, නිදිවැරීම, දූවිලි හොඳ නැත. රතුලූනු, ගොටුකොළ, කැරට්, කතුරුමුරුංගා, ගොටුකොළ නිතර ආහාරයට එකතු කර ගන්න. ඇල්දිය නෑම නතර කර උණුදිය නාන්න.

ඉඳුණු කෙසෙල් වර්ග, අයිස්ක්‍රීම් කෑම සුවවනතුරු නවතන්න.

 

ආයුර්වේද වෛද්‍ය

ඊ.එම්. නිමල් විමලරත්න ඒකනායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.