සම්බුදු පියාණන්ගේ ජන්මපත්‍රය පිළිබඳ විග්‍රහයක්

මැයි 21, 2021

ප්‍ර : අපේ හාමුදුරුවනේ මෙවර ඉතා භයානක වසංගත රෝගයක් පවතින විටකයි අපට මේ තෙමඟුල සැමරීමට සිදුවී තිබෙන්නේ. එය අප කරගන්නේ කෙසේද?

පි : ඔව් අපි තෙමඟුල සමරන ක්‍රම 02ක් තියෙනවා. එකක් ආමිෂ පූජාවෙන් අනෙක් එක ප්‍රතිපත්ති පූජාව. මා හිතනවා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී නිවසටම වී නිරෝධායනය වී බොහෝම අගේට මෙවර වෙසක් උත්සවය අපට සැමරිය හැකියි.

ප්‍ර : මෙවැනි වසංගත රෝග හමුවේ මීට පෙරත් මෙම තෙමඟුල සමරා ඇති නේද?

පි : ඔව්. ඈත අතීතයේ යුද බිය පැවතුණ අවස්ථාවක, දුර්භික්ෂ පැවතුන අවස්ථාවක එමෙන්ම මෙවැනි භයානක රෝග වසංගත කාලසීමාවලත් ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී එදා සිටි අපේ මුතුන් මිත්තෝ තෙමඟුල සමරා තිබෙනවා.

ප්‍ර : මෙවැනි අවස්ථාවකදී අපේ සම්මා සම්බුදු පියාණන්ගේ ජන්මපත්‍රය දෙස ඡ්‍යොතිෂය පදනම් කරගෙන ඇගයීමකට ලක් කිරීම වටිනවා නේද?

පි : ඔව් මේකත් බුදු ගුණ මෙනෙහි කිරීමක් හා සමානයි. තථාගත බුදු පියාණන් වහන්සේගේ ජන්මපත්‍රය තුළ පවතින විශේෂිත වූ අන් ජන්මපත්‍රවල දක්නට නොලැබෙන ග්‍රහ යෝග මෙවැනි පොහොය දිනයකදී විග්‍රහ කර බැලීම ඉතා වටිනවා.

ප්‍ර : අපේ හාමුදුරුවනේ, සම්බුදු පියාණන් වහන්සේගේ ජන්මපත්‍රය පිළිබඳව විවිධ මත තිබෙනවා නේද?

පි : විවිධ මත කියා ඔබ අදහස් කරන්නේ කුමක්ද?

ප්‍ර : බුදු පියාණන්ගේ ජන්මපත්‍රයේ ග්‍රහ පිහිටීම් විවිධ අයුරින් පෙන්වා දී තිබෙනවා.

පි : ඔව්, මමත් ඒක පිළිගන්නවා. නමුත් කටක ලග්නයෙන් විසා නැකතින් උපන් බව පොදුවේ කවුරුත් පිළිගන්න මතයයි.

ප්‍ර : මෙම ජන්මපත්‍රයේ රවිගේ පිහිටීම ගැන ඔබ වහන්සේ දරන මතය කුමක්ද?

පි : ඒක වැදගත් ප්‍රශ්නයක්. බුදු කෙනෙකුගේ ජන්ම පත්‍රයක රවි ඉතා බලවත් විය යුතුය. මේ පිළිබඳ මා පිළිගත් ජන්ම පත්‍රයක් තමයි ජීවිතය හා ග්‍රහයෝ ලියූ හෙට්ටිගොඩ මහතා ඔහුගේ කෘතියෙහි 341 වෙනි පිටුවේ සදහන් කොට ඇති ග්‍රහචාරය. එහි රවි සිටින්නේ දහවැන්නේ බලවත්වයි.

ප්‍ර : වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකදී සූර්යා සිටිය යුත්තේ වෘෂභ රාශියේ නොවේද?

පි : අපි ඒ පිළිබඳ ගොඩක් ගැඹුරින් සිතිය යුතුයි. ඔබ කියන විදියට රවි එකළොස්වැන්නේ සිටියත් බලවත් පිහිටීමකි. කෝටියක් දෝෂ භංග වේ. දහවැන්නේ සිටියාම මනා කොට රවි බුධ යෝගයක් නිර්මාණය වේ. කොහොම වුනත් රවි සහ බුධ අංශක වශයෙන් බුදු පියාණන් වහන්සේගේ ජන්ම පත්‍රයෙහි පිහිටා තිබෙන්නේ ඥානකාරක රවි බුධ යෝගය සැකසෙන අයුරිනි.

ප්‍ර : බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් ලියූ බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ 159 වැනි පිටුවේ පෙන්වා දී ඇති පරිදි සිකුරු කේතුගෙන් පීඩා වී තිබෙනවා. නමුත් හෙට්ටිගොඩ මහතා පෙන්වා දෙන ජන්මපත්‍රයේ සිකුරු එකළොස්වැන්නේ බලවත්ව සිටිනවා එයින් චිංචිමානවිකාවගෙන් පැමිණි නින්දාවන් සුන්දරීගෙන් පැමිණි නින්දාවන් ආදිය සනාථ වෙනවාද?

පි : ගරු කටයුතු ආනන්ද මෛත්‍රෙය හිමිපාණන් වහන්සේට මම ඉතා ගරු කරනවා. මෑත අතීතයේ අපේ ශාසනයේ බැබළුණ තාරකාවක්. කොහොම වුණත් හෙට්ටිගොඩ මහතා පෙන්වා දෙන ජන්මපත්‍රයේ හතරවැන්නේ පීඩා වූ ශනි සඳු සංයෝගය පිළිබඳ අපි අමතක කළ යුතු නෑ. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි බෝසත් උපතින් පසුව බෝසත් මව කලුරිය කිරීම. හතරවැන්නේ සදු සෙනසුරුගෙන් පීඩා වීමෙන් එය මනා කොට ඔප්පු වෙයි. අනෙක් මතය තමයි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ හතර වැන්න පීඩාවීම තුළින් නොවැලැක්විය හැකි චිත්ත පීඩා මතු වෙනවා. ඔබ ප්‍රකාශ කරන චිංචිමානවිකාව සුන්දරී වැනි චරිත තුළින් මතු වූ චිත්ත පීඩා ඒ අනුව පෙනී යනවා.

ප්‍ර : ඔබ වහන්සේ ප්‍රකාශ කරන්නේ බුදු පියාණන් වහන්සේ චිත්ත පීඩා මැද කාලය ගත කළා කියලද?

පි : නැහැ. බෝ මැඬදි දසමාර සේනාව පරාජය කිරීමෙන් පසු බුදු පියාණන් වහන්සේ වීතරාගි උත්තමයෙක් බවට පත් වුණා. බුදුන් වහන්සේ ඒ අනුව සිතුවිලි ශුභ අශුභ වශයෙන් වර්ග කිරීමක් හෝ ඒ අනුව ක්‍රියා කිරීමක් සිදු කරන්නේ නැහැ. ග්‍රහ යෝගය සම්බන්ධ අදහසකුයි මා මේ කෙටියෙන් පැවසුවේ. අප වැනි පෘථග්ජන අයට බුදු කෙනෙකුගේ ජන්මපත්‍රයක් පරීක්ෂා කිරීමත් අපහසුයි.

ප්‍ර : බුදු පියාණන්ගේ ජන්මපත්‍රයේ සුරගුරුගේ පිහිටීම ගැන ඔබවහන්සේලාගේ අදහස කුමක්ද?.

පි : ඒක වැදගත් ප්‍රශ්නයක්. බුදු පියාණන් වහන්සේගේ ජන්මපත්‍රය විග්‍රහ කරන සෑම අයෙක්ම ගුරු ලග්නයේ තබා තිබීම වැදගත්ය. සුරගුරු බ්‍රහස්පති නොහොත් යුක්තිය පසදින්නා වශයෙන් සැලකෙන ගුරු ලග්නයට දිග් බලයි. ඒ වගේම උච්චයි. එනිසාම බුදු පියාණන් වහන්සේට තුන් ලෝ තලයේම ගුරු කෙනෙක් වීමට ඒ ග්‍රහ පිහිටීම මනාව යෙදී තිබෙනවා.

ප්‍ර : උච්ච ග්‍රහයින් මුහුණට මුහුණලා සිටීමෙන් ඒ ග්‍රහයින්ගේ බලයේ අඩු වීමක් සිදු වන්නේ නැද්ද. නිදසුනක් ලෙස ගුරු ලග්නයේ සිටින අතර අගහරු හතරවැන්නේ යෙදී මුහුණට මුහුණලා සිටීමෙන් ඒ ග්‍රහයින්ගේ බලය අඩු වෙන්නේ නැද්ද?

පි : එහෙම වුණාම බලයක් අඩු වෙනවා තමයි. එය පැරණි ජ්‍යොතිෂය පොත්පත්වල පෙන්වා දී තිබෙනවා. ඒක ඍෂි මතයක්. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ එම ග්‍රහයින්ගෙන් ලැබෙන ලෞකික සැපය ලබා නොගෙන සක්විති රජකම අතහැර නිරාමිස ප්‍රීතිය අගය කරමින් ලෝකෝත්තර සැපය උපරිම ලෙස භුක්ති විඳිමින් සසරෙහි ඇලී ගැලී සිටින සියලු සත්වයෝද මුදවා ලිය හැකි සම්මා සම්බුදු පදවියට පත්වෙන්නේ. මේකම තමයි සිදුහත් මහා බෝසතාණන් වහන්සේ උපත සිදුවූ අවස්ථාවේ තත්කාලීන උගත්ම ප¼ඩිවරයා වූ කොණ්ඩඤ්ඤ බමුණා එක ඇගිල්ලක් පමණක් ඔසවා මේ කුමරුවා සක්විති රජ වන්නේ නෑ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වනවා යනුවෙන් ප්‍රකාශ කළේ.

ප්‍ර : එදා ඒ උගත් පඬිවරයාට පසුකාලීනව බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගැනීමට බැරිවෙනවා පස්වග තවුසන් අතර ප්‍රථමයා වී සිටි මෙම තවුසා බුදු හිමියන් ප්‍රතික්ෂේප කරනවා. එහෙම වුණේ කොහොමද? ඔව් එතන ප්‍රශ්නයක් තියනවා තමයි. නමුත් කොණ්ඩඤ්ඤ තවුසාට ගෞතම බුදු සසුනේ එදා සිටි මිනිසුන් අතරින් ප්‍රථමයෙන්ම ධර්මය අවබෝධ කරගැනීමට හැකිවූ තවුසා බවට පත් වීමෙන් අවසානයේ බුදු සසුනේ පැවිදි වී ප්‍රථම මහා රහතන් වහන්සේ වීමටද ඔහු ලබා සිටි ඥානය, දැනුම අවබෝධය ඉවහල් වූ බව පේනවා. එනිසා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගෞතම සම්බුද්ධ ශාසනයේ කාටත් අමතක නොවන ශ්‍රේෂ්ඨ චරිතයක්.

 

කුඹල්ගමුවේ

ධම්මාලංකාර නාහිමි

 

සටහන:

වලපනේ චරිත ධර්මප්‍රිය බස්නායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.