දකිනා සිහිනෙන් ගෙනෙනා සුබ අසුබ

අගෝස්තු 6, 2021

අනාවැකි පැවසීමේ ගුප්ත බලයක් සිහිනවලට ඇති බව අනාදිමත් කාලයක සිට මිනිසා විශ්වාස කරනු ලබයි. අපි කවුරුත් සිහින දකිමු. එම සිහින කොටස් දෙකකට බෙදෙයි. දහවල් දකින සිහින හා රාත්‍රී දකින සිහින වශයෙනි. දහවල් දකින සිහිනවල ප්‍රතිපල ශූන්‍යබව පැරණි පඬිවරු මෙන්ම අපිද පිළිගන්නා සත්‍යයකි.

 

රාත්‍රී අපි දකින සිහින කොටස් කිහිපයකට බෙදෙයි. රාත්‍රී 9 - 12 අතරත්, මධ්‍යම රාත්‍රී 12 ත් 3 ත් අතරත් 3 - 6 ත් අතර දකින සිහින වශයෙනි. අලුයම දකින සිහිනවල ප්‍රතිඵල ඉක්මන් වන අතර, මධ්‍යම රාත්‍රියේ දකින සිහිනවල ප්‍රතිඵල පමාවී ලැබෙන බවත්, නිදිගත් මුල් කාලයේ දකින සිහිනවල ප්‍රතිඵල අඩු බවද පැවසේ. සිත තුළ නිදන් වී ඇති ආශාවන් සන්තර්පනය කර ගැනීම සිහිනවල පරමාර්ථය බව සුප්‍රකට මනෝ විද්‍යාඥයකු බව ‘සිග්මන් ප්‍රොයිඩ්’ විසින් ප්‍රකාශ කර ඇත. ශරීරයේ තුන්දොස් කිපීමෙන් සිහින පෙනෙන බවට ඇතැමෙක් තර්ක කරති. මෙලෙස සිහින ගැන නොයෙකුත් මත ප්‍රකාශ කළත් අපි දකින සිහින අනාගත සිදුවීම්වල පෙර නිමිති වශයෙන් අදහන අය බොහෝ ය. දැන් අපි බලමු අපේ පැරණි පඬිවරු අපි දකින සිහිනවල පලාපල සඳහන් කර ඇත්තේ කෙසේ කියා.

මරණය

සිහිනෙන් තමාගේ මරණය සිදු වී ඇති බව දුටුවේ නම් තමාගේ විවාහය ඉක්මනට සිදුවේ. එම කටයුතු සාර්ථකවේ. අන් අයකුගේ මරණයක් දුටුවේ නම් රෝග පීඩා ඇතිවීමට හේතුවේ. මරණාසන්න වචන නැතහොත් යමෙකු මැරෙන මොහොතේ දී කියන වචන තමන් හොරෙන් අහනවා දුටු කල ස්වකීය අදහස් මුදුන්පත් වෙයි. වාසනාවන්ත ජීවිතයකට පැමිණේ. මළ මිනියක් සිහිනෙන් උසුලා ගෙන යනු දුටුකල අධික වස්තුවක් හා සැපවත් භාවයක් හිමිවේ. මළමිනියක් නෑවීම සිහිනෙන් දුටුවේ නම් ජයග්‍රහණ අත්වෙයි. මළ මිනිසෙකු සමඟ එකට වාඩි වී ආහාර ගනු දුටුවේ නම් වස්තුව ලැබෙන අතර මළ මිනිසෙකු සමඟ එකට නිදනු දුටුවිට දිර්ඝායුෂ ලැබෙයි. මළ මිනිසෙකු වලනු දුටුකල ලෙඩ රෝග සුවවේ.

කුරුල්ලන් දැකීම

අවිවාහක තරුණියක් ලස්සන පියාපත් සහිත කුරුල්ලෙක් දුටුවොත් එය ඉතා වාසනාවන්තය. අනාගතයේ ඇයට ධනවත් තැනැත්තෙකු සමඟ යුගදිවිය ගත කිරීමට ලැබෙන බවට එය අනාවැකියකි. යමකු තුවක්කුවකින් වෙඩි තබා කුරුල්ලෙකු මරණයට පත් කරනු දුටුවොත් තමාගේ ධන ධාන්‍ය හෝ ව්‍යාපාර ආදියෙන් පාඩුවට පත්වේ. එය ඔබ දුගී බවවට පත්වීමේ පෙර නිමිත්තකි. තුවාල වූ කුරුල්ලෙකු ඔබ දුටුවහොත් අකීකරු ළමුන්ගෙන් ඔබට කරදර සිදුවේ.

දත් පිළිබඳව

ඔබේ දත් සියල්ලම බුරුල් වී සෙලවෙන දුටුවහොත් ඉතා භයානක රෝගයක් වැලඳෙන බවට පෙර නිමිත්තකි. ඔබේ දත් සියල්ම ගැලවෙනු දුටුවේනම් ඔබේ මරණය ඉතා ආසන්න බව පෙන්නුම් කරයි. දත් තැනින් තැන වැටෙනවා දුටුවොත් ඔබ යොදා ගත ඇති ගමනක් වේ නම් එය වෙනස්කර එම කාර්යය වෙන දවසකට යොදා ගන්න. එය අසුබ සිහිනයක් වේ.

ස්නානය කිරීම

ඔබ මුහුදෙහි නානවා දුටුවොත් එය සුබ සිහිනයකි. සශ්‍රීකත්වයක් පිළිබඳව ඔබට සතුටට පත්විය හැකි අනාවැකියකි. කිසියම් අයෙකු ඇළක දොළක ස්නානය කරනවා දුටුවොත් පරපුරුෂ සේවනයෙහි යෙදෙන බවට මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදුය. මඩ සහිත අපිරිසුදු ජලයේ හෝ ඇළක ඔබ ස්නානය කරනු දුටුවොත් ඔබේ සිතෙත් අසතුට, අයහපත් සෞඛ්‍යයට හා සිතේ කනස්සලු භාවයට කරුණු යෙදෙන බවට අනාවැකියකි.

ආහාර ගැනීම

තමන් සිහිනෙන් බත් අනුභව කරනවා දුටුවහොත් ඉදිරි කාලයේ දී හිරිහැර, කම්කටොලුවලට මුහුණ දීමට වන බවට පෙර නිමිත්තකි. යමෙක් කැවිලි වර්ග සිහිනෙන් අනුභව කරනවා දුටුවේ නම් ධනෝපායන ක්‍රමවලින් තමන්ට ලාභ ලබා කීර්තියටද පැමිණිය හැකි බවට ලකුණකි. ඉදුණු කහ පැහැති ඇඹුල් සහ පැණිරස පලතුරු අනුභව කරනවා දුටුවොත් රූමත් යුවතියක් හා විවාහ ජීවිතයකට පිවිසෙන බවට පෙර නිමිත්තකි. මෙයද ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදුය.

දරුවන් දැකීම.

කුඩා දරුවෙකු මියයනු සිහිනෙන් දුටුවොත් ඔබේ සියලුම සැලසුම් ව්‍යර්ථ වී පරාජයට පත්වෙන බවට අනාවැකියකි. ඔබ උණ රෝගයෙන් පෙළෙන දරුවෙකු හෝ ළදරුවකු වඩාගෙන සිටිනවා සිහිනෙන් දුටුවෝ නම් ඔබ නොකළ වරදකට හසුවී නීතියෙන් කරදර ඇතිවීමට හෝ අධිකරණයෙන් දඬුවම් ලැබීමට ද හේතු වෙයි. ඔබ දරුවෙකු සිහිනෙන් අඬනවා දුටුවොත් ඔබට කණගාටුදායක පුවතක් අසන්නට ලැබෙන අතර එයින් පසු ඔබ රෝගීවීමට ද සිදුවන බවට පෙර නිමිත්තකි.

අන්ධකාරය

යමෙක් සිහිනෙන් අන්ධකාරය දුරුවෙනවා දකීනම් හෙතෙම සතුරන් නසා කීර්තියට පැමිණේ. යමෙකු පැවති ආලෝකයන් මැඬ පවත්වා ගණ අන්ධකාරය පැතිරෙනවා දකීනම් එය දුක් දොම්නස් ඇතිකරන අශුභ නිමිත්තක් වේ.

ගෙවත්තක් හෝ උද්‍යානයක්

ඉතා හොඳට සකසන ලද එහෙත් මල් දකින්නට නැති උද්‍යානයක් සිහිනෙන් දුටුවොත් අවහිරතා මැද වුවත් සම්පූර්යෙන්ම සුව පහසු දිවියක් ළඟාවේ. ඉතා හොඳින් වැඩුණු ගහකොළවලින් පිරීගිය එහෙත් නොසලකා හරින ලද උද්‍යාණයක් නම් අහේතු සහගත බවක් ගැන හෝ විපතක් ගැන කෙරෙන හැඟවීමකි. තමා සිටි සිහිනය රහසක් ලෙස තබා ගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදාකර ගත හැකිය. අනුන්ට යහපතක් වනු දැකීමට අකමැති අය සිටින බැවින් එය රහසක් ලෙස තබාගත යුතු බව සලකනුයේ සතුරන්ගෙන් එයට අවහිරතා ඇතිවීමට ඉඩ ඇති බැවිනි. අසුබ සිහින දැකීමෙන් පසු එය බොහෝ දෙනා සමඟ කියා පෑමෙන් අත්වීමට ඇති අනිසිඵල අවම වේ. එවැනි සිහින දැකීමෙන් පසු පැඟිරි ගසකට කියාපෑම සිරිතක් ලෙස බොහෝ දෙනා සලකති.

 

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.