ව්‍යාපාර මඟින් ජය ලැබීමට නම්...

මැයි 3, 2019

 

ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී ඔබට නොයෙකුත් තත්වවලට මුහුණ පාන්නට සිදුවනු ඇත. එනම් සමහර ව්‍යාපාර දිනෙන් දින දියුණුවට පත්වනු දැකිය හැකි වන අතර, තවත් ව්‍යාපාරයක් නොසිතූ අවස්ථාවක අසාර්ථක වනු දැකිය හැකිය.
බොහෝ දෙනෙකු ඡ්‍යොතිෂ්‍ය මගින් සරණක් පැතීමට පැමිණෙනු ලබන්නේ ව්‍යාපාර කටයුතු අඩාල වූ පසුව වේ. නමුත් ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර, සලකා බැලිය යුතු කාරණා කීපයක් වේ. එනම් ඔබට ව්‍යාපාර මගින් ලාභ ලැබීමේ වාසනාව තිබේද? එසේ තිබේනම් ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු කාලවකවානු මොනවාද? ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී වරින් වර ඇතිවන අශුභ කාලයන්වල ව්‍යාපාර කටයුතු අඩාල වීම් හා ඒවාට කළ යුතු පිළිවෙත් මොනවාද? යන්නත් ඔබට දියුණුව ඇත්තේ කුමන අංශයට අදාළ ව්‍යාපාරයක් මගින්ද? යන්නත් දැනහඳුනාගෙන ව්‍යාපාරයකට අවතීරණය වන්නේ නම් ඔබට මුහුණ පාන්නට සිදුවන, අවදානම අවම කරගත හැකිවේ. ඉහත කාරණා කල්තියා දැනගත හැකි වන්නේ ඡ්‍යොතිෂය මගින් පමණි.
මෙහිදී ප්‍රධාන වශයෙන් කිව යුත්තේ ව්‍යාපාර යනු සෑම පුද්ගලයෙකුටම කළ හැකි දෙයක් නොවේ. එනම් ව්‍යාපාරයක් කිරීමේ හැකියාව, දක්ෂතාවය, අවදානම් කළමනාකරණය හා ලාබ ඉපයීම ආදිය සෑම කෙනෙකුටම කළ නොහැකි බවයි. එම හැකියාව “ව්‍යවසාය හැකියාව“ලෙස හඳුන්වයි. එනම් සම්පත් උපයෝගී කරගෙන නිෂ්පාදනයක් කිරීම, අතරමැදි කරණය,අලවිය, මූල්‍යය පාලනය, සේවකයන් පාලනය කිරීම, ව්‍යාපාරයට බලපාන්නා වූ අභ්‍යන්තර හා බාහිර සාධකයන්, හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණදීම, අවදානම, කළමනාකරණය කරගැනීම ආදි කරුණු විශේෂයෙන් සැලකිල්ලට ගනී. ව්‍යවසායකයෙක් අධ්‍යාපනය තුළින් ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කර ගැනීම කරගත හැකිය.
රුපියල් කෝටි ගණනින් ප්‍රාග්ධනය යොදා ආරම්භ කරන නව ව්‍යාපාර සුළු කාලයකින් අසාර්ථක වන අවස්ථා බොහෝ දක්නට ලැබෙන අතර, පදික වේදිකාවක භාණ්ඩ විකුණන සුළු වෙළෙන්දෙකු මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා දියුණුවෙන් දියුණුවට පත්වන අවස්ථාද නැතුවා, නොවේ. ව්‍යවසාය හැකියාව ජන්ම පත්‍රයට අනුව තීරණය කළ හැකිය. එම හැකියාව කුමන අංශයකින් ප්‍රතිඵල දායක වන්නේද යන්න තීරණය කළ හැකිය. එනම් ඒ සඳහා සුදුසු කාලය, එනම් ලාභ අලාභ සිදුවන කාලය, ව්‍යාපාරයට බාහිර බලපෑම් ඇතිවන කාලය, ආදී යහපත් මෙන්ම අයහපත් කාලපරිච්ඡේදයන් මෙම කේන්ද්‍ර සටහන් මගින් හඳුනාගත හැකිය. මෙම විෂය තුළින් දැනට පවත්වා ගෙන යන ව්‍යාපාරයක අවදානම කළමනාකරණය කර ගැනීමටත් ඉදිරියේදී ආරම්භ කරන ව්‍යාපාරයක් ප්‍රතිඵලදායක ආකාරයට නිර්මාණය කර ගැනීමත් ඉතා වැදගත්වේ. මෙහිදී සුළු ස්වයං රැකියාවක සිට ජාත්‍යන්තර තලයේ ව්‍යාපාරයක් දක්වා “ව්‍යාපාර” යන්න පුළුල් වේ.
මෙහිදී ව්‍යවසායකත්ව හැකියාව නිර්මාණය කිරීම සඳහා ලග්නාධිපතියාගේ ලග්නයේ බලපෑම, එය ක්‍රියාත්මක වීම, 10 වැන්න හා 10 වැන්නාධිපතියාගෙන් තීරණය කළ යුතු වේ. මෙහිදී පංච මහා පුරුෂ යෝග යෙදී ඇත්නම්, භාවයට අනුරූපව එම යෝගයන් අංශකයෙන් (නවාංශකයෙන්) ප්‍රබලනම් ස්ථීර වශයෙන්ම මහා කළමනාකාරී හැකියාව පිහිටයි. මෙහිදී ධනය සම්බන්ධයෙන් කියවෙන 2,11 ග්‍රහ පිහිටීම් අධිපතියන් බලවත්ව පිහිටීම තුළ මහා ධනවතෙක් බිහිකරන ව්‍යවසායකයෙක් බිහි වේ. හත් වැන්න 11 වැන්න හා එම අධිපතින් ප්‍රබල වීම තුළ ව්‍යාපාරය හවුල් පාර්ශ්වයන් සමඟ කිරීම තුළින්ද 4 වැන්න හතර වැන්නාධිපතියාගේ පිහිටීම තුළින් (බලවත් වීම) පරම්පරාගත ව්‍යාපාරයකට, එනම් උරුමයෙන් ලැබෙන ව්‍යාපාරයකට හිමිකම් කියයි.
රවි, කුජ , චන්ද්‍ර නීචවීම හා ඉහත සඳහන් කළ ස්ථානයන්හි ධනයට අදාළ ග්‍රහයෙකු ප්‍රබල වීම තුළින් ඔහු තුළ ධනය රැස්කිරීමේ ආශාව හා එය ළඟාකර ගැනීමට තිබිය යුතු උපායශීලි බව තිබේ. එසේම ගුරුගේ ප්‍රබලතාවය මත කේන්ද්‍ර හිමියා, ව්‍යවසායකයෙක් වුවහොත් දන්දීම, සේවකයන්ට හොඳින් සැලකීම ආදි ධර්මිෂ්ට ආකාරයට ව්‍යාපාර කටයුතු සිදුකරයි. එසේම දොළොස්වැන්නාධිපතියාගේ ප්‍රබලතාවය මත ව්‍යාපාරය විදේශයක් සම්බන්ධ කරගෙන සිදු කිරීම තුළින් මහත් ධනයක් ඉපයිය හැකිය. (ආනයන අපනයන) මෙම ව්‍යාපාර කුමන ක්ෂේත්‍රය සම්බන්ධව කිරීමට සිදුවේද යන්න ඉහත සඳහන් කළ ග්‍රහයන්ට සමගාමීව ප්‍රකාශ කළ හැකිය.
එනම් හෝටල්, සංචාරක, ආහාරපාන ආදි ක්ෂේත්‍ර සඳහා සඳු, සිකුරු ග්‍රහයන්ද ඖෂධ, රෝහල්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදිය සඳහා රවි, සඳු, ගුරු ප්‍රධාන කරගෙනද, ඉදිකිරීම් ක්ෂේත්‍රය කුජ, ශනි, ප්‍රධාන කරගෙනද වස විෂ මත්පැන් හා මස් මාංශ සම්බන්ධ ව්‍යාපාර , කුජ, රාහු, මුල්කරගෙනද, ඇඳුම් පැළදුම්, සුවඳවිළවුන්, මැණික් ස්වර්ණාභරණ ආදිය සිකුරු හා ගුරු ග්‍රහයන් මුල්කරගෙනද අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියලුම දේ සම්බන්ධ ව්‍යාපාර ගුරු, බුධ ග්‍රහයන් මුල්කරගෙනද, පස් වැලි, ගල්, කාර්මික උපකරණ දැව ආශි‍්‍රත උපකරණ ආදි ව්‍යාපාර කුජ සහ ශනි යන ග්‍රහයන් මුල්කරගෙනද රථවාහන, යන්ත්‍ර සූත්‍ර සම්බන්ධ ව්‍යාපාර සඳහා කුජ ග්‍රහයාද, ඉඩම්, දේපල, නිවාස, ආදි සම්බන්ධ ව්‍යාපාර කුජ, ගුරු යන ග්‍රහයන් ප්‍රධාන කරගෙනද , තමාගේ ජන්ම පත්‍රයට ගැලපෙන ව්‍යාපාර අංශය තෝරා ගත හැකිය.
ඉහත ග්‍රහයන්ට අදාළව ග්‍රහයන්ගේ භාවය නිශ්චිත කිරීමෙන් හා රාශි නවාංශකය, නැකත ආදිය සූක්ෂම ලෙස පරික්ෂා කිරීම තුළින් (භාව කේන්ද්‍ර සංකල්පය) බවට ව්‍යාපාරයක් කිරීමට හැකියාවක් තිබේද? එය කුමන ක්ෂේත්‍රයකට අදාළද? එසේම දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය සාර්ථක කරගත හැකි ආකාරයත් ඒ සඳහා කළ යුතු වත් පිළිවෙත් ආදිය පිළිබඳව ඡ්‍යොතිෂයට අනුව තීරණය කළ හැකිය.


විද්‍යාවේදී ඡ්‍යොතිෂවේදී
ගෝඨාභය මුදලිගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.