වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ජුනි 7, 2019

වත්මන් සමාජයේ වැඩි වශයෙන් අනතුරු සිදුවන්නේ රථවාහන හේතුවෙන් මහ මග අතරමගදී හදිසි අනතුරකින් මියයෑම කෙරෙහි පිහිටන ග්‍රහ යෝග විමසා බැලීමේදී පස් වැන්නාධිපති හා දොළොස්වැන්නාධිපති නීච වී අඩු නැතිවම නීච ග්‍රහයන් දුටුවහොත් එම ග්‍රහයන් පස්වැන්නාධිපති නොදුටුවහොත් එම තැනැත්තා මිය යන්නේ මහ මග සිදුවන හදිසි අනතුරුවලින්ය.

ඡ්‍යොතිෂයේ ඉගැන්වෙන අන්දමට යම් තැනැත්තකු හදිසි අනතුරුවලට ලක්වී මියයෑමට බලපානු ලබන ග්‍රහ පිහිටීම් එකක් දෙකක් නොව සිය ගණනක්ම වෙයි. හදිසි අනතුරු වශයෙන් හඳුන්වනු ලබන්නේ වාහනවලින්ම සිදුවන අනතුරු පමණක් නොවේ.

ජන්ම පත්‍ර තුළ හදිසි අනතුරුවලට ලක්විය හැකි ග්‍රහ යෝග අපට හඳහන් පරික්ෂාවේදී දැක ගත හැකිය. කෙසේ වෙතත් ඔබේ ලග්නයේ ලග්නය, ලග්නාධිපති, චන්ද්‍රයා හා රවි යන ග්‍රහයන් හතර දෙනාගෙන් තුන් දෙනකුවත් දුබල වී ඔවුන් පාපී ග්‍රහයන්ට මැදිවී අශුභ ග්‍රහයන් සිටීමකට හෝ දැකීමකට ලක්වේ නම් ඔබේ කේන්දරයේ හදිසි අනතුරු යෝගයක් ඇති බව වටහාගන්න.

යම් ජන්මියෙකු උත්පත්ති අවස්ථාවේදී රවි හා කුජ යන ග්‍රහයින් දෙදෙනා සංයෝග වී සඳුගෙන් 7 වැන්නේත් රාහු ලග්නයේත් තැන්පත්ව සිටියහොත් එම ජන්මියා දින 10 කින් මිය යාමට හැකියාව ඇත.

එමෙන්ම සෙනසුරු ලග්නයේම වී චන්ද්‍රයා හෝ රවි හත්වැන්නට වී යමෙකු උපත ලැබුවහොත් හතරවැන්න පඨවි රාශියක් වී එහි පාපී ග්‍රහයන් වේ නම් එයද හදිසි අනතුරු ගෙන දෙන තත්ත්වයකි. එවැනි අය මිය යන්නේ වාහනවලින් සිදුවන හදිසි අනතුරුවලින් නොව තාප්ප, කඳු, ගොඩනැගිලි,යකඩ සුන්බුන් ආදියට යටවීමෙනි.

චන්ද්‍රයා ලග්න භාවයේද රවි 9 වන භාවයේද කුජ හෙවත් අඟහරු 8 වන භාවයේද සෙනසුරු 12 වන භාවයේද ජන්ම පත්‍රයක පිහිටා සිටිය කල එම ග්‍රහයින් සුබවාදී ගුරු හෙවත් බ්‍රහස්පතිට නොපෙනෙන්නේද එම ජන්මියා ඉපදුණු වහා මරුමුවට පත්විය හැකිය. නමුත් ගුරු 5 වැන්නේ ප්‍රබලව සිටියහොත් පමණක් ඔහු ජීවත් වනු ඇත. ඉහත ආකාරයටම ග්‍රහයන් තැන්පත් වී 4 වැන්නේ ජල රාශියක් යෙදුණහොත් ඔහු නියත වශයෙන්ම මිය යන්නේ ජලයේ ගිලීමෙනි. එමෙන්ම කේන්දරයක 8 වැන්නෙහි සඳු සිට ශනි, කුජ යන ග්‍රහයන් සංයෝග වුවහොත් හෝ එම ග්‍රහයන් දකින්නේ නම් එම තැනැත්තා මිය යන්නේද ජලයේ ගිලීමෙනි. ඡ්‍යොතිෂ මතයන්ට හා නියමයන්ට අනුව ඔහු වයස අවුරුදු 32 දී හෝ 39 දී මියයයි.

පාප ග්‍රහයන්ගෙන් පීඩිත වූ සඳු 12 වැන්නට පැමිණ ජන්මයක් ලැබුවහොත් පාප ග්‍රහයන්ගේ දශා කාලයක් පැමිණි විට එම තැනැත්තා දියේ ගිලී මිය යන්නේ ය.

එසේම යම් අයෙකුගේ කේන්දරයේ 6 වැන්න කටක, මීන වැනි ජල රාශියක් වී හතරවැන්න දුබල වී නිම වූ අවස්ථාවක් වේ නම් ඔහු මිය යන්නේද දියේ ගිලීමෙනි.

කේන්දරයක පස්වැන්නාධිපති 9 වැන්නාධිපති සමඟ පාප ග්‍රහයන් සමඟ සංයෝග වුවහොත් අටවැන්නාධිපති අටෙහි චන්ද්‍රයා නොදුටු යෝගයකින් උපත ලැබූවෙකු වේ නම් ඔහු නියත වශයෙන්ම මිය යන්නේ නැව්, පාරුව හෝ ඔරුවෙන් ජලයට වැටීමෙනි.

රාහු හා ලග්නාධිපති ග්‍රහයා දුර්වලව සංයෝග වී 7 වන රාශියේ තැන්පත්ව සිටි කල 21 මසකින් හෝ 21 දිනකින් එම ජන්මියාට විපතක් සිදු වනු ඇත. එම විපත හදිසි අනතුරකින් හෝ හදිසි රෝගාබාධයකින් සිදුවීමට ඉඩ ඇති අතර එය බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ උපන් දිනය දාම සිදුවූ අවස්ථා අප දැක ඇත.

අටවැන්නෙහි චන්ද්‍රයා රාහු යෙදී ලග්නයේ කෘර ග්‍රහයන් දුටුවහොත් ඒ රුදුරු (නපුරු) ග්‍රහයන් හෝ දශා කාලයේදි එම තැනැත්තා මිය යන්නේ ඔළුව හෝ බෙල්ල කැපීමකිනි. කුජ ග්‍රහයා දෙවැන්නට පැමිණ නපුරු ග්‍රහයෙක් දුටු විට ඔහු මිය යන්නේ ගින්නකට හසුවීමෙනි. එසේම ඔහුගේ බිරිඳගේ කේන්දරයේ කුජ වැනි නපුරු ග්‍රහයෙක් හත්වැන්නේ සිටියහොත් විවාහ වී වසර හතකින් ස්වාමියා මිය යන්නේ ගින්නට හසුවීමෙනි. මෙම යෝගය වැන්දඹු යෝගයක් ලෙසද ඡ්‍යොතිෂයේ ඉගැන්වෙයි.

අකුණු සැර වැදී හදිසි අනතුරුකින් මියයන පුද්ගලයාගේ කේන්දරයක කුජ, යුරේනස් 7 වැන්නාධිපතිව 12 හි සිටියි. සුබ ග්‍රහයන් එම ස්ථානවල නොසිටීමද අකුණු සර වැදී මිය යෑමට හේතුවකි. කුජ අටවැන්නේ සිටියදී රවි, කුජ ග්‍රහයන් මේෂ, සිංහ, ධනු වැනි රාශියක තැන්පත්වූ විට ඔහු මිය යන්නේද අකුණු සැර වැදී හෝ වෙඩි බෝම්බ වැනි කර්මයකට ගොදුරුවීමෙනි. චන්ද්‍රයා සමඟ පාපී ග්‍රහයෙකු යෝගව සිටිය විටදී හත් වැන්නේ හෝ ලග්නයේ පාපී ග්‍රහයෙකු සිටි කල්හි හා එම චන්ද්‍රයා සුබ ග්‍රහයෙක් විසින් නොදකින ලද්දේ නම් එම යෝගයෙන් උපන් ජන්මියා ඔහුගේ හෝ ඇයගේ උපන් දිනයෙන් දින කීපයකින් මිය යනු ඇත. එය බොහෝවිට සතියකට අඩු කාලයකි.

කුජ ලග්නයෙහි යෙදී රවි ග්‍රහයා ශනිගෙන් පීඩා වුවහොත් ඔහු මියයන්නේද ගිනි අවි, බෝම්බ හෝ ගින්නකට හසුවීමෙනි. කුජ දෙවැන්නට පැමිණ නපුරු ග්‍රහයන් දුටුවහොත් හා දෙවැන්නේ සුබ ග්‍රහයන් නැත්තේ නම් ඔහු මිය යන්නේද ගිනි බයෙනි. මෙවැනි ගර්භ පිහිටීම් දුම්රියට පැන වාහනයකට පැන තමන් විසින්ම මරණයට පත්වීමටද හේතුවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ඡ්‍යොතිෂවේදී බණ්ඩාරගම

සම්පත් එස්.කල්පගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.