දෝ සතර විපෙරැළි රාජ යෝග

ජුනි 7, 2019

වෙසෙසි පෙරැළියක් ඇතිවීමෙන් යෙදෙන රජ යෝග මෙ නමින් හැඳින්වෙයි. ‘විපරීත රාජ යෝග‘ යනු ඒ යෝග හඳුන්වන සකු නම යි. කුමක් ද මේ වෙසෙසි පෙරැළිය, ජන්ම කේන්දරයක 6,8,12 යන රාසි තුන කුදිටු තැන් ලෙස හඳුන්වා ඇත. එසේ හඳුන්වා ඇත්තේ ඒ රාසි තුනෙන් ලැබෙන පලය මෙන් මැ ඒ රාසි තුනේ අදිපතිකම ලබන ගහයන් ගෙන් ලැබෙන පල ද අයහපත් වන නිසා යි.

කේන්දරයක හය වැනි රාසිය, රෝග හා හතුරු කරදර පිළිබඳ රාසිය යි. අට වැනි රාසිය මාරක තැන යි. දොළොස් වැනි රාසිය වැය කරන රාසිය හෙවත් නැති කරන තැන යි. එ වැනි අයහපත් පල ලබාදීමට සැබෑ වන හෙයින් ඒ රාසි තුනත් ඒවායේ අදිපති බව ලබන ගහයන් තිදෙනාත් කුදිටු නමින් හඳුන්වා ඇත.

තතු එ සේ වුවත් නරක තැනට කුදිටුවා යහපත් වෙයි. එ වැනි තැනකට පත් වූ විට එ වැනි තැනක ඇති වැඩ කොටස ඉතා හොඳින් ඉටුකිරීමේ හැකියාව ඔහුට ඇත. ඒත් එ තැන දී කිසියම් පෙරැළියකුත් ඇති වෙයි.

කුමක් ද මේ පෙරැළිය කුදිටුවා වුවත් කුදිටු තැනක නයුවා හැටියට පත් වූ විට ඒ නයුකමේ ගරුබුහුමන රැකෙන විදියට කටයුතු කළ යුතු යැ යන හැඟුමකුත් ඇතිවීම යි.

ඔහු එ තැන කටයුතු වඩා හොඳින් ඉටුකිරීමට පෙළඹෙයි. මේ වෙසෙසි පෙරැළිය එය යි. නපුරු තැනට නපුරා ගැලපෙ යි.

කේන්දරයක 6,8,12 යන තුන් තැනෙහි අදිපතියන් ඒ තුන් පළෙන් එකක පිහිටීම විපෙරැළි රජ යෝග හෙවත් විපරීත රාජ යෝග යන නමින් හඳුන්වා ඇත්තේ එ හෙයිනි. ඒ යෝග තුනට වෙසෙසි නම් තුනක් ද යොදා ඇත. හය වැනි රාසිය අදිපතියා ගෙන් යෙදෙන්නේ “හර්ෂා’ යෝගය යි. අට වැනි රාසිය අදිපතියා ගෙන් යෙදෙන්නේ ‘සරලා’ යෝගය යි.

දොළොස් වැනි රාසිය අදිපතියා ගෙන් යෙදෙන්නේ “විමලා” යෝගය යි.

මේ යෝග තුන යෙදිය හැකි ආකාර හතරක් ඇත.

1.හය වැන්න අදිපතියා අට වැන්නේ හෝ දොළොස් වැන් හෝ පිහිටීම

2.අට වැන්න අදිපතියා හය වැන්නේ හෝ දොළොස් වැන්නේ හෝ පිහිටීම

3.දොළොස් වැන්න අදිපතියා හයේ හෝ අටේ හෝ පිහිටීම

4.6,8,12 අදිපතියන් ඒ රාසිවල ස්වක්ෂේත්‍රව පිහිටීම හෝ පරිවර්තනය වී දුෂ්ට ස්ථානවල පිහිටීම

“උත්තර කාලමෘත” නම් දෝ සතර පොතේ මහා කවි කාලිදාසයන් කියා ඇති හැටියට නම් මෙ සේ විපරීත රාජ යෝග තත්වයේ පිහිටි ග්‍රහයන් වෙනත් ගහයන් හා සංයෝගවීම හෝ වෙනත් ගහයන් ගේ බැල්මට ලක්වීම හෝ නො විය යුතු යැ.

හර්ෂා යෝගයෙන් උපන් තැනැත්තා සතුටින් ජීවත්වන්නෙකි. ගුණවන්තයෙකි. නීතිගරුකයෙකි. හතුරු බලවේග මැඩපවත්වා ගැනීමේ සමතෙකි. උසස් පුද්ගලයන් ගේ ඇසුරට පත්වන්නෙකි. ධනය හා කීර්තිය ද ලබන්නෙකි.

සරලා යෝගයෙන් උපන් තැනැත්තා දිගාසිරි ලබන්නෙකි. උගත්කම ද ඇති නිර්භීත කෙනෙකි. ව්‍යාපාර කටයුතුවලින් දියුණුව ලබන්නෙකි. ධනය හා බලය ද ඇත.

විමලා යෝගයෙන් උපන් තැනැත්තා වියදම් අඩු කැර ගෙන ආදායමෙන් සෑහෙන කොටසක් ඉතිරි කැර ගන්නෙකි. යහපත් ගතිගුණ ඇති කෙනෙකි. සතුටින් දිවි ගෙවයි.

තවත් වෙසෙසි කරුණක් වනුයේ මේ විපරීත රාජ යෝග බලය ඇතිව උපන් අය සෙවෝත්සාහයෙන් දියුණුව ලබන්නන් වීමයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හේමසිරි

කුමාරණතුංග

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.