අනාගත වෘත්තිය පෙන්නුම් කරන ඔබේ කේන්ද්‍රය

අගෝස්තු 9, 2019

තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන මාපියන් දක්වන්නේ විශාල උනන්දුවකි. ප්‍රාථමික අධ්‍යාපනයට යොමුකළ දිනයේ සිට තම දරුවන්ගේ අනාගතය ගැන උනන්දුවීම වර්තමාන තරුණ මාපියන්ගේ දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. සෑම මාපියෙක් ම බලාපොරොත්තු වන්නේ තම දුව පුතා දොස්තර කෙනෙක් හෝ ඉංජිනේරුවෙක් කර ගැනීමට ය.

එක් දිනක් මා විදුහල්පති ලෙස සේවය කරන විට 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවෙකුගේ මවක් මගේ දරුවා දොස්තර කෙනෙක් කරන්න ආසයි. මා වෙත පැවසුවාය. ඇයව මගේ නිවසට කැඳවා දරුවාගේ කේන්ද්‍ර පරීක්ෂා කොට එවැනි යෝග මේ දරුවාගේ නොමැති බව ප්‍රකාශ කළෙමි. නමුත් මා කිව් කිසිවක් ඒ මව පිළිගැනීමට සූදානම් නොවුවාය. අන්තිමේ දී මේ දරුවා අ.පො.ස (සා.පෙළ) ද සාමාන්‍ය පරිදි සමත්ව ජීව විද්‍යා අංශයට යොමුකර ඇත. එහෙත් එක් විෂයක්වත් සමත් නොවීය. මේවනවිට මොහු වත්මනේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.

පසුගිය දිනක මගෙන් කේන්ද්‍ර බැලීමට පැමිණි එක් ගුරු මාතාවක් මට මෙසේ පැවසුවාය. මාගේ දුව ජීව විද්‍යා අංශයෙන් දෙවතාවක්ම අසමත් වූවාය. ගත හැකිවූයේ එස් සාමාර්ථ දෙකක් පමණි. නමුත් මාස 09 ක් වැනි සුළු කාලයක් තුළ කලා අංශයෙන් උ.පෙළට කරන කොට ඒ සාමාර්ථ 03 ක් ලබා නීති පීඨයට ඇතුළත් වූ බවයි.

මා මෙවන් සිද්ධිවලින් ඔබට කියන්නේ, අදහස් කරන්නේ අනාගත වෘත්තිය, අදාළ බලපෑම් ග්‍රහයෝග කේන්ද්‍රයෙන් පෙන්නුම් කරන බවයි.

මෙම ග්‍රහයෝග ග්‍රහබලපෑම් හරිහැටි තේරුම්ගෙන කුඩා කල සිටම නියමිත දිශාවට තම දරුවා යොමුකර ගතහොත් දරුවාට වැඩි බරක් නොදී අධ්‍යාපනය පහසු කොට ජයග්‍රහණය අත්පත් කර ගත හැකි බවයි.

මේ ලිපියෙන් මා පෙන්වා දීමට අදහස් කරන්නේ තමාගේ කේන්ද්‍රයට අනුව තමාට හිමි (උරුම) වෘත්තිය කේන්ද්‍රයෙන් පෙන්නුම් කරන බව උදාහරණ සහිත ග්‍රහයෝගවලින් පෙන්නුම් කරදීමයි.

මීළඟට මා පහත සඳහන් වෘත්තීන්වලට අනුව ග්‍රහයෝග, ග්‍රහ බලපෑම් පෙන්නුම් කර දීමට බලාපොරොත්තු වෙමි.

වෛද්‍ය වෘත්තිය

ඔබේ හඳහනේ 7, 2, 10 යන රාශිවල රවි, කුජ, ගුරු, ශනි, රාහු යන ග්‍රහයින් බලවත්ව සිටී නම් වෛද්‍ය වෘත්තියට යොමු වේ. එමෙන්ම ගුරු, කේතු ලග්නයේ බලවත්ව සිටීම ද වෛද්‍ය යෝගයකි. ඉදිරියේ පෙන්නුම් කර දෙන යෝග හා ග්‍රහ බලපෑම් තේරුම් ගැනීමට පහසුවීම පිණිස ග්‍රහයින්ගේ බල දුබලතා පහතින් පෙන්නුම් කෙරේ.

 

රවි - මේෂ, සිංහ බලවත්වේ. තුලා රාශියේ දුර්වලයි.

සඳු - කටක, වෘෂභ බලවත් වේ. වෘශ්චික රාශියේ දුර්වලයි.

කුජ - අඟහරු, මේෂ, වෘශ්චික, මකර බලවත් වේ. කටක රාශියේ දුර්වලයි.

රාහු - වෘෂභ, කන්‍යා, කුම්භ බලවත් වේ. වෘශ්චික රාශියේ දුර්වලයි.

කේතු - වෘශ්චික, මීන බලවත් වේ. වෘෂභ රාශියේ නීචවේ.

බ්‍රහස්පති - ධනු, මීන, කටක බලවත් වේ. මකර රාශියේ නීච වේ.

සෙනසුරාදා - මකර, කුම්භ, තුලා බලවත්වේ. මේෂ රාශියේ නීචයි.

බුධ - මිථුන කන්‍යා බලවත් වේ. මීන රාශියේ දුර්වලයි.

සිකුරු - වෘෂභ, තුලා බලවත් වේ. කන්‍යා රාශියේ නීචයි.

 

ගුරු, බුධ දෙදෙනා වෘශ්චික රාශියේ හෝ හත් වැන්න මත යෙදීමද 3, 5, 9, 6, 8, 12 යන රාශිවල රවි, සඳු, කුජ, ශනි, රාහු ග්‍රහයින් සිටීමද වෛද්‍ය වෘත්තිය සුදුසු පිහිටීම වේ.

යම් කේන්ද්‍රයක 10 වන රාශියේ හෝ එහි අධිපති සමඟ ගුරු, කේතු පිහිටීමද වෛද්‍ය යෝගයක් වේ.

කේන්ද්‍රයේ ත්‍රිකෝණ ස්ථාන එනම් 5/9 හෝ සුබ ග්‍රහයින් සිටීම ද බලවත් යෝගයකි. එසේම ලග්නාධිපති සමඟ මේ ග්‍රහයින් ලග්නයේ සිටීම ද වෛද්‍ය යෝගයකි. එය ඉෂ්ඨ බල යෝගය නම් වේ. එමෙන් ම වෘශ්චික රාශියේ ගුරු, කේතු හා දහ වැන්නේ බුධ සිටීම ද වෛද්‍ය යෝගයකි.

ඉංජිනේරු වෘත්තිය

කිසියම් කේන්ද්‍රයක දසවැන්න, තුන්වැන්න, පස්වැන්න, නව වැන්න (10/3/5/9) යන රාශිවල අධිපති ග්‍රහයින් මේෂ, සිංහ, ධනු රාශිවල සිටීම ඉංජිනේරු වෘත්තියට යොමුවෙන ලක්ෂණයකි.

කුජ, බුධ, සිකුරු, ශනි ග්‍රහයින් බලවත්වීම හෝ දසවැන්නේ හෝ ලග්නයේ සුබ ග්‍රහයින් සිටීම ඉංජිනේරුවරයෙකු වීමේ ලක්ෂණ පෙන්නුම් කෙරේ.

කුජ, ශනි, බලවත්ව දහ වැන්නේ සිටීම හා සුබ ග්‍රහයින් ලග්නයේ සිටීම ද ඉංජිනේරුවරයෙකු බිහිවීමේ ලක්ෂණයකි.

සියලුම ග්‍රහයින් රාශිවල සිටීම ද රාජ යෝගයක් මෙන්ම ඉංජිනේරු ශිල්පයට යොමුකරන ග්‍රහ යෝගයක් වේ. මෙසේ පිහිටීම කලාතුරකින් සිදුවන දෙයකි.

5, 9, 1 අධිපති ග්‍රහයින් යෝග කාරකව ලග්නයේ සිටියේ නම් එයද වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ යන වෘත්තීන්ට බලපාන යෝගයකි. එයට ඉෂ්ඨ බල යෝග යැයි කියනු ලැබේ.

නීතිඥ වෘත්තිය

ගුරු බලවත්වීම තුලා රාශියේ ගුරු සිටීම කේතු, රවි, කුජ, ශනි බලවත්වීමෙන් නීතිඥවරුන් බිහි වේ. කේන්ද්‍රයේ රවි නව වැන්නේ පිහිටීමද රවි, තුලා රාශියේ පිහිටීම ද කුජ බලවත් වීම ද සඳු නීච වීම ද නීතිඥවරුන් බිහි කරන පිහිටීමකි.

10 වැන්නේ රවි, තුලා රාශියේ වීම කුජ බලවත් ව සිටීම ද ග්‍රහයින් දෙදෙනා මගින් රාශි 4 ක සිටීද නීතිඥවරයෙකු බිහිවීමේ ලක්ෂණයකි.

ලග්නයේ පාප ග්‍රහයින් තිදෙනෙකු සිට නව වැන්නේ හා පස් වැන්නේ සුබ ග්‍රහයින් සිටීමද නීතිඥවෘත්තියට සුදුසු පිහිටීමකි.

පරිපාලන ක්ෂේත්‍රය

මෙම ක්ෂේත්‍රයට පිවිසෙන අයගේ කේන්ද්‍රයේ ඉතාම නිහතමානී යුතු ලක්ෂණ පෙන්නුම් විය යුතු ය. රවි නීච විය යුතු ය. කුජ බලවත් විය යුතු ය. සෙනසුරු බලවත් විය යුතු ය.

කේන්ද්‍රයේ ජෝඩු යෝග 4 ක් තිබේ. උසස් පරිපාලන නිලධාරියෙක් වේ. අනිත් ග්‍රහයා ලග්නයේ ග්‍රහයන් දෙදෙනෙකු බැගින් කොටුව සිටීම.

කේන්ද්‍රයේ 11 වැන්නේ කුජ, රවි සිටියද ගුරු ලග්නයේ හෝ පස්වැන්නේ සිටීමද පරිපාලන ක්ෂේත්‍රයට ඉතා හොඳ පිහිටීමකි.

කේන්ද්‍රයේ නවය අධිපති ග්‍රහයා සහ දහය අධිපති ග්‍රහයා එක්ව සිටීම ද ඉතාම සුදුසු ග්‍රහ පිහිටීමක් වේ. මෙය ධර්මකර්මාධිපති යෝගය නම් වේ.

නව වැන්නේ සිට ගණින විට නවය අධිපති ග්‍රහයා සහ දහ වැන්නේ සිට ගණින දහය අධිපති ග්‍රහයා එක්ව සිටීම ද ඉතාම යෝග්‍ය පරිපාලන නිලධාරි බිහි වේ.

ගුරු, බැංකු, ගණකාධිකාරී, කලා අංශවල අයත් වෘත්තීන් -

කිසියම් කේන්ද්‍රයක නව වැන්නේ ගුරු සිටීම හා දහ වැන්නේ බුධ සිටීම ද මෙවන් වෘත්තීන් වලට යොමු වන ග්‍රහ පිහිටීම වේ.

බුධ, සිකුරු සහයෝගව පස් වැන්නේ සිටීම ද 11 වැන්නේ රවි, රාහු, ගුරු සිටීම ද දහ වැන්නේ ශනි සිටීමද මෙවැනි ක්ෂේත්‍රවලට යොමු වන පිහිටීමකි.

චන්ද්‍ර, කේතු පස් වැන්නේ සිටීම දහ වැන්නේ බුධ සිටීම නවය ගුරු සිටීම ද මෙම ක්ෂේත්‍රයේ සුදුසුම ග්‍රහ පිහිටීමේ දී,

දහ වැන්නේ සිකුරු බලවත් වීම පස් වැන්නේ බුධ හෝ ගුරු සිටීම ද දෙවැන්නේ සඳු සිටීමද කාලීන අංශයට හොඳ පිහිටීමකි.

බුධ, සිකුරු සංයෝගව දහ වැන්නේ සිටීම කලා අංශයට යොමුවෙන හොඳ පිහිටීමකි. මේ සංයෝගය මේෂ, වෘශ්චික, තුලා, වෘෂභ, මිථුන, කන්‍යා රාශිවල සිටීම ඉතාම සුබ පිහිටීමකි.

අධ්‍යාපනය ලබන දරුවන් සිටින දෙමාපියන් මේ ලිපිය කියවා තම දරුවන් මොන අංශයට යොමු කරගත යුතු ද යන්න තීරණය කළ යුතු යි. මේ අයුරින් දරුවන් නිසි මගට යොමු කිරීම තුළින් දරුවන්ට ද මහත් සහනයක් ලැබේ. එය පිටිවහලක් ද වේ. දොස්තර, ඉංජිනේරු වීමට යෝග නොමැතිව ඒ සඳහා යොමු කිරීම කාලය, ශ්‍රමය, ධනය විනාශ කිරීමකි. දරුවාට පීඩාකාරී ද වේ. මේ නිසා දරුවන්ගේ කේන්ද්‍ර ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කරගෙන නිසි මඟට යොමු කරගතහොත් මාගේ ලිපිය ලිවීමේ අරමුණ ඉටුවනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.