කේතු සිටින භාවය අනුව ලබාදෙන පලාඵල

අගෝස්තු 16, 2019

කේතු නමවැන්නේ ඉගෙනීමට යහපත් වෙයි. උසස් අධ්‍යාපනය ලැබීමට හැකි වෙයි. බාල කාලයේදී සහ මධ්‍යම කාලයේදි අධ්‍යාපනයට දක්ෂකම් නොදැක්වුවත් උසස් අධ්‍යාපනයට හොඳ දක්ෂයකු වෙයි. තම පියාට වඩා ඉහළ තත්වයකට පත්වෙයි. ඒ අනුව කල් යන්ට යන්ට මුදල් සහ දේපළ අතින් හොඳ දියුණුවක් ලබාගනී.

රාහු කේතු යන ග්‍රහයන් දෙදෙනා ගැන කරුණු සෙවීමේදී පෙනීයන්නේ රාහුගේ ගතිය විස්තාරණය කිරීම වන අතර කේතුගේ ගතිය හකුලා තැබීමයි.

කේතු ලග්නයේ සිටියදී උපන් මනුෂ්‍යයා හකුලා තබයි. තම දසාවේදී බාල කාලයේදී නම් ඉගෙනීම ලබාදෙයි. රැකී රක්ෂාවක යෙදෙන කාලයක නම් ඒවා නැති කර පාඩු කර අවනම්බු ලබා දෙයි. රජුන්ට පක්ෂ නොවේ. එනිසා රජයේ රැකියා කිරීමට කැමැති නොවේ. විවාහ සහකරුට විපත් ඇතිකරයි. ධනු, මීන දෙකින් එකක් ලග්නයට එහි කේතු සිටියොත් යහපත්ය. ලග්නයේ කේතු සිටීමෙන් ශරීරය කෙට්ටු කරයි. අන් අයට උපදෙස් දීමට සමතෙකි. ඕනෑම සිදුවීමකදී කේතු ලග්නයේ සිටින අය එකවර ඉදිරියට යන්නේ නැත. වෙනත් කෙනෙකු යවා ඒ අය පිටුපසින් ගමන් කරයි. කේතුගේ ආයුධය පොතකි. එබැවින් හොඳ බුද්ධියක් ඇති ගුරුවරයෙකි.

කේතු දෙවැන්නේ සිටි විට හිසේ මුහුණේ තුවාල ඇති කරයි. දෙවැන්නෙන් කෙනෙකුගේ වාග් ශක්තිය සහ විවාහයෙන් පසු ජීවිතය ගැන කියවෙයි.කේතු දෙවැන්නේ මුනිවත රකී .නමුත් කථාකරන විට නොකඩවා දැඩි ලෙස කථා කරයි. විවාහයෙන් පසු ජීවිතය කම්කටොලු සහිත වේ. බුධගේ දෘෂ්ටියට ලක්වුවොත් හම දූෂ්‍ය රෝග සාදයි. දෙවැන්න ධන ස්ථානය බැවින් කේතු ධනය හකුළුවා තබයි. ඒ නිසා ආර්ථික ප්‍රශ්න තදින් ඇතිවෙයි.

කේතු තුන්වැන්නේ සිටීම යහපත් වේ. ධනය කීර්තිය ලබාදෙයි. සහෝදරයන්ට හිතවත්කම මද වේ. ළඟම බාල සහෝදරියක් වීමට පුළුවන. කුඩා කල අධ්‍යාපනයට හපනෙකු කරයි. කාන්තාවන් නිසා චිත්ත පීඩා ඇතිවෙයි. හොඳ දැනුම ඇත්තෙකු ලෙස සමාජය පිළිගනී.

කේතු හතරවැන්නේ ශුභ නැත. වස්තුව විනාශ කරයි. ඉඩකඩම් දේපළ විනාශ කරයි. ඒවායින් ලැබෙන වාසි අවම කරයි. ඉතා පහසුවෙන් උර කුහර සම්බන්ධ ලෙඩ සාදයි. ඉගනීමට කැමැත්තක් දක්වයි. ටිකින් ටික අධ්‍යාපන තත්වයෙන් ඉහළට යයි. ගුප්ත අදහස් ඇත්තකු සේ අන් අයට පෙනේ. එයට හේතුවන්නේ සමාජයේ අනික් අයට වඩා කථාව අඩුවීම සහ ක්‍රියාව අඩු අධි ක්‍රියාකාරි සිතක් ඇත්තකු වීමයි. නෑදෑයන් අතර සම්බන්ධතාවය අඩු වේ.

කේතු පස්වැන්නේදී ශුභපල දෙයි. මෙවැන්නෝ හොඳින් ඉගන ගනී. උගත්කමට වඩා දැනුම ඇත. යොවුන් පේ‍්‍රමය ගැන කරුණු කියයි. එවිට පේ‍්‍රමය හකුලා තබයි. සමහර විට පේ‍්‍රමණීය හැඟීම් ඇතත් ප්‍රකාශ නොකර කල් ගනී. නැතිනම් රහස් පෙම් සබඳතා ඇතිකර ගනී. දරුවන්ට අපලයි. ගෑනු දරුවන් ලබයි. අනාගතය පෙනීමේ දැනුමක් ඇත. දක්ෂයෙකි. නමුත් දක්ෂතාවලට නියම තැනක් ලැබෙන්නේ කල්ගත වීමෙනි. දරුවන් අඩුවෙයි.

කේතු සය වැන්නේ සිටි විට සෞඛ්‍ය තත්ත්වය දුර්වල කරයි. යක්ෂ භූත පේ‍්‍රත දෝෂ ඇති කරයි. පස්මහ දෝෂ වන ඇස්වහ, කටවහ හෝ වහ අඩා දොඩා යන දොස් ඇතිවෙයි. කාන්තාවන් නිසා නොයෙක් කරදර ඇතිවෙයි. සිත ශක්තිමත් වුවත් ගත ශක්තිමත් නැත. රෝග බෝවේ.

කේතු සත්වැන්නේ වූ විට එම ස්ථානයේ සම්බන්ධ දේවල් හානි කරයි. චර්ම රෝග පහසුවෙන් සාදයි. කේතුගේ හැකිලීම හේතුවෙන් විවාහය ප්‍රමාද වෙයි. සහකරුගේ හෝ සහකාරියගේ නොගැලපීමක් ඇතිවෙයි. එය පෙනුම වයස සමාජමය හෝ කුලය යන කරුණක් විය හැකිය. නමුත් වෙනස්කම දෙදෙනාගේ බැඳීමට බාධාවක් නොවේ. දෙදෙනා අතර හොඳ සබඳතාවක් ඇතිවෙයි. වයස ගත වූ විට නිතර ශරීරයේ රෝගී තත්වයක් ඇතිවීමට පුළුවන.

කේතු අටවැන්නේ සිටි විට කුඩා කාලයේ සෞඛ්‍ය තත්වය දුර්වල කරයි. නමුත් කාලය ගතවීමත් සමඟ සුවපත් වෙයි. ගුප්තමය දෝෂ ඇති වෙයි. තවද ශරීරයේ උෂ්ණාධික බවත් විෂ සහිත බවත් නිසා පීඩාවට පත්වෙයි. චර්ම රෝග පහසුවෙන් සෑදේ. මිල මුදල් ඉපයූවත් ඒ සමානව වැය වේ. එබැවින් මුදල් රඳවාගැනීම අපහසු වෙයි.

කේතු නමවැන්නේ ඉගෙනීමට යහපත් වෙයි. උසස් අධ්‍යාපනය ලැබීමට හැකි වෙයි. බාල කාලයේදී සහ මධ්‍යම කාලයේදි අධ්‍යාපනයට දක්ෂකම් නොදැක්වුවත් උසස් අධ්‍යාපනයට හොඳ දක්ෂයකු වෙයි. තම පියාට වඩා ඉහළ තත්වයකට පත්වෙයි. ඒ අනුව කල් යන්ට යන්ට මුදල් සහ දේපළ අතින් හොඳ දියුණුවක් ලබාගනී. ආගමට දහමට හොඳින් කටයුතු කරයි. තම යුතුකම් හරියටම ඉටුකරයි.

කේතු දසවැන්නේ තරමක් අශුභඵල ඇතිකරයි. රැකීරක්ෂා කටයුතු මන්දගාමී කරයි. මහන්සියේ තරමට ප්‍රතිඵල නොදේ. ශරීර සෞඛ්‍ය දුර්වල කරයි. බරපතළ වැඩ කිරීමට නොහැකිය. ඇඟ වෙහෙසා නොව සිත වෙහෙසා කරන කටයුතුවලින් හොඳ ප්‍රතිඵල ලැබේ. කේතු එකොළොස්වැන්නේ සිටි විට පි‍්‍රයමනාප බවක් පෙන්නුම් කරයි. ඉඩකඩම් දේපළ හිමිවීමේ වාසනාව ඇත. සිත වෙහෙසා කරන කටයුතු වලින් ආදායම් ලැබේ. මිතුරු මිතුරියන් සීමා සහිතය. එම මිතුරු මිතුරියන් ඔබට හිතවත්ය. ප්‍රයෝජනවත්ය.

කේතු දොළොස්වැන්නේ සිටීමෙන් හොඳ බුද්ධියක් ඇතිවෙයි. අසරණයන්ට පිහිටවීමට කැමැතිය. කුඩා කාලයේ ශරීරයේ දුබලබවක් පෙන්වයි. එම කාලයේ අධ්‍යාපනය ගැන උනන්දුව අඩු වෙයි. නමුත් කාලයා විසින් දක්ෂ කෙනෙකු කරයි. එම දක්ෂකම අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට බලපායි. පොත්පත් පරිහරණයට කැමතිවෙයි. උගතුන් ඇසුරු කරයි. සමාජයේ හොඳ නමක් ඇති කරගනී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.