නාගරික පන්සල්වල බහුලව වැඩවසන සූනියම් දෙවියෝ

අගෝස්තු 30, 2019

හූනියම් දෙවි හෙවත් ගම්බාර දෙවිඳුට පහන් දැල්වීම, පුද පූජා පැවැත්වීම බහුලව අද සිදුවෙයි. විශේෂයෙන් කොළඹ අවට ප්‍රසිද්ධ හැම විහාරයකම වාගේ හූනියම් දේවාල පිහිටා ඇති අතර ඒවායේ විවිධ පුද පූජා පැවැත්වෙයි. මෙයට හේතුව කවරේදැයි කෙටියෙන් විමසා බැලීම සුදුසු ය. හූනියම් දෙවි ගැන පළමුව කෙටි ශාස්ත්‍රීය සටහනක් බලමු. අශෝක මාලිමගේ ලිවූ ‘ශ්‍රී ශුද්ධ හූනියම් ගම්බාර දෙවියෝ’ ග්‍රන්ථය අනුව සූනියම් දෙවි හා ගම්බාර දෙවි එක් අයෙකි. සූනියම් හෙවත් හූනියම් යන්නෙහි අර්ථය සියලු ගම්වල භාරකරු යනුයි. පුර පක්ෂයේදී දේව ස්වරූපයෙන් ගම්බාර දෙවි පෙනී සිටින අතර අවපක්ෂයේ දී යක්ෂ ස්වරූපයෙන් පෙනී සිටිති. හූනියම් දෙවිඳුගේ සිරුර නිල් පාටය.

නිල් අසු පිට යයි. අත් හතරකි. ඒ අත්වල වඩිඟ කඩුව ගිනි කබල ත්‍රිශූලය ඇත. සමහර දේවාලවල සූනියම් දේවරූප සුදු පාටින් දැක්වෙන අතර සුදු අශ්ව රූපය ඒ අසළ දැක්වෙයි. තවත් රූපවලදී සූනියම් දෙවිඳුගේ යක්ෂ ස්වරූපය පෙන්වන දළ දෙකක් මුව දෙපසින් විහිදෙනු පෙනෙයි. ස.ජ.සුමනසේකර බණ්ඩා ලිවූ ‘කඳ කුමාර සිරිත’ ග්‍රන්ථය අනුව හූනියම් දෙවිඳුගේ හිස, මුව, බඳ වටා සර්පයන් ඇදෙයි. අශෝක මාලිමගේ ලිවූ ‘සුනියම් බණ්ඩාර දෙවියෝ’ ග්‍රන්ථය සූනියම් දෙවි හඳුන්වන නාම දහනමයක් (19) දක්වයි. ඒ අතර හූනියම් ගම්බාර දෙවි, සිද්ධ හූනියම්, හූනියම් දේවතා බණ්ඩාර, ඔඩ්ඩි හූනියම්, ඉද්ද මල් බණ්ඩාර, ගිනි බණ්ඩාර, මල්වත්තේ බණ්ඩාර, කබලෑ දෙවියෝ, මුදියන්සේ මාමා, වඩිඟ යකා යන නම් වෙයි.

සරත් විජේසූරිය ලිවූ ‘ශ්‍රී ලංකා දෙවිවරු’ ග්‍රන්ථය අනුව ඊශ්වර විෂ මුඛයෙන් හූනියම් කුමරු ඉපිද ඇත. බඳ වටා නයි පෙන දහයකි. දකුණත රන් මුගුරකි. මුහුණේ ලේ පොළඟෙකි. කේ.එන්.ඕ. ධර්මදාස හා තුන්දෙණිය එක්ව ලිවූ සිංහල දේව පුරාණ ග්‍රන්ථය අනුව හූනියම් දෙවිඳුගේ පියා වඩිඟ රජුය. මව උසාරිය. පත්තිනි ගම්මඩු කවි අනුව සූනියම් දෙවි පඬුවස් දෙවිඳුගේ පුතෙකි. හූනියම් දෙවි බ්‍රහ්මචාරි බව සමහර ජනප්‍රවාදවල එයි. ශ්‍රී ලාංකික දෙවිවරු ග්‍රන්ථය අනුව හූනියම් දෙවිඳුගේ බිරිය හූනියම් යක්ෂණියයි. අශෝක මාලිමගේ පරිදි හූනියම් දෙවිඳුට භාර්යාවන් දොළහක් සිටින අතර පරිවාර යක්ෂණියන් අටක් ඇත. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ හූනියම් දෙවි ඉතා බලගතුය. මලයාලි ක්‍රමය අනුව හූනියම් දෙවි වීර හඳුන්, මදුරෙයිවීරන්, මල්දියරාම් යන නම්වලින් හැඳින්වෙයි.

සෙන්කඩගල යුගයේ දී ලංකාවේ නායක්කාර් රජවරුන් බලයට පත් වූ පසු දකුණු ඉන්දියාවේ සිට දේව වන්දනාව යන්ත්‍ර මන්ත්‍ර ගලා ඒම වැඩි විය. අද ඇති අපේ මන්ත්‍රවල දෙමළ හා තෙළිඟු වදන් බහුලය. ඒවා නායක්කාර් යුගයේ දී මලයාලි ප්‍රදේශයෙන් පැමිණ පැලපදියම් වූ බව පෙනෙයි. මලයාලි මන්ත්‍රවල ප්‍රබල බව දරුණු බව වැඩිය. මේ මන්ත්‍රවල නිතර කියවෙන ‘ඔඩ්ඩි’ හූනියම් දෙවි අමතන නාමයකි. මලයාලි ගුප්ත විද්‍යාවේ දී දරුණු යක්ෂයෙකු ලෙස ශ්‍රී ඔඩ්ඩි වඩිඟ කුමාර, ඔඩ්ඩි හූනියම් හෙවත් ඔඩ්ඩි මස්සිනා යන නාමවලින් හඳුන්වන දෙවියාගෙන් හා යක්ෂයාගෙන් ඉටු කර ගනී. පසුකල වන විට මේ තෙළිඟු හා මලයාලි භාෂාවල මැදට සිංහල වදන් ද එකතු වී ඇත.

සුමනසේකර බණ්ඩා ලිවූ ‘කඳ කුමාර සිරිත” අනුව කතරගම දෙවිඳුගේ අගමැති හා ප්‍රධාන විධායක නිලධාරී හූනියම් දෙවිඳු ය. එසේම උපුල්වන දෙවිඳුගේ පණිවුඩකරු හූනියම් දෙවිය. අලුත්නුවර දේවාලයේ පුද ලබන අලුත්නුවර දේවතා බණ්ඩාර දෙවිඳුගේ අදිකාරම් හූනියම් දෙවිඳු ය. හූනියම් දෙවි පුද ලබන දේවාල රාශියකි. ඒ අතර මාවනැල්ල අලුත්නුවර පල්ලේ දේවාලය ඇම්බැක්කේ පල්ලේ දේවාලය, දෙමටගොඩ බේස්ලයින් විහාරය, මහනුවර නාථ දේවාලය, ඉන් කීපයකි. අලුත්නුවර දේවතා බණ්ඩාර දේවාලයක් ඇත්නම් ඒ අසළම ගම්බාර හූනියම් දේවාලයක් ඇත. ‘සිංහල දේව පුරාණය’ ග්‍රන්ථය අනුව සූනියම් දෙවිඳුට කැප වූ ප්‍රධාන දේවාලය කුලියාපිටිය නුදුරු කබලෑ දේවාලයයි.

මේ දේවාලයේ නම අනුව ‘කබලෑ දෙවියෝ’ නමින් හූනියම් දෙවි ප්‍රසිද්ධ වී ඇත. ප්‍රඥාලෝක හිමි පළ කළ ‘පුරාණ සිව්පද සංග්‍රහය’ කබලෑවේ බණ්ඩාර විත්තිය හෙවත් හූනියම් දෙවි විත්තිය ජනකවි පෙළ එයි. හියු නෙවිල් පළ කල “සිංහල කවි - 2 “ හා “සිංහ කවිය -3” යන ඉංගී‍්‍රසි ග්‍රන්ථ දෙකේ ද, කේ.ඩී. සෝමදාස මහතා සංස්කරණය කළ ‘ලංකාවේ පුස්කොළ පොත් නාමාවලිය’ 2 හා 3 කාණ්ඩ අනුව ද පී.බී. සන්නස්ගල පල කළ ‘සිංහල සාහිත්‍ය වංශය’ ග්‍රන්ථයේ ද හූනියම් දෙවි වටා ලියවුණු කවිපොත් ගණනාවක තොරතුරු ඇතුළත් වෙයි. මහාවංශය අනුව විජය කුමරු ලංකාවට පැමිණෙන විට ශක්‍ර දෙවිඳුගේ නියමය අනුව උපුල්වන් දෙවි පැමිණ විජය කුමරු ඇතුළු පිරිසට පිරිත් පැන් ඉස ආරක්ෂාව සැපයූ බව මහාවංශයේ 7 පරිච්ඡේදයේ දී කියවෙයි. මේ අනුව උපුල්වන් දෙවි ලංකාවේ බුදුසසුනේ ආරක්ෂකා ලෙස සැළකෙයි. පසු කාලය වන විට උපුල්වන් දෙවි යනු විෂ්ණු දෙවි යනුවෙන් සැළකීමක් විය. සැබෑවටම උපුල්වන් හා විෂ්ණු දෙවි යනු දෙදෙනෙකි.

 එහෙත් පොදු ජනයා තුළ උපුල්වන් දෙවි නාමය යටපත් වී විෂ්ණු දේව නාමය පැතිර ගියේ ය. මේනිසා දෙවි බුදුසසුනේ ආරක්ෂකයා ලෙස සැළකීම සිදුවිය. දඹදෙණිය යුගයේ දී දෙවුන්දර උපුල්වන් දෙවිරුව හතරකෝරළේ අලුත්නුවරට වැඩම වන ලදුව එය ලංකාවේ ප්‍රධානම උපුල්වන් දේව මධ්‍යස්ථානය විය. එහෙත් අද ඒ අලුත්නුවර උපුල්වන් දෙවි නොව අලුත්නුවර දේවතා බණ්ඩාර දෙවිඳුට කැපවූවක් ලෙස ප්‍රසිද්ධය.

මාවනැල්ලේ අලුත්නුවර තිබූ උපුල්වන් දේව රූපය ඉන්පසු අද මහනුවර විෂ්ණු දේවාලය ඇති බිමට වැඩමවා ඇත. ඒ වන විට උපුල්වන් දෙවි නාමය මුළුමනින්ම යටපත් වී අලුත්නුවර දෙවි ලෙස ඔහු හඳුන්වා ඇත. රොබට් නොක්ස්ගේ ‘ලංකා විස්තරය’ අනුව එදා සෙන්කඩගල ඇසළ පෙරහර කළේ අහස පොළොව මැවූ අලුත්නුවර දෙවි වෙනුවෙනි. කලක් යන විට අලුත්නුවර දෙවි යටපත් වී මහනුවර අලුත්නුවර දේවාලය විෂ්ණු දේවාලයක් බවට පත් වී ඇත.

මේ අනුව නිගමන කීපයකට පැමිණිය හැක. බුදුදහම ආරක්ෂාව පැවරුණු උපුල්වන් දෙවි යටපත් ව ඒ විෂ්ණු දෙවිඳුට පැවරුණු බව අද අදහස් පැතිරී ඇත. විෂ්ණු දෙවිඳු වෙනුවෙන් ඒ කාර්යය අලුත්නුවර දෙවිඳුට පැවරෙයි. අලුත්නුවර දෙවි වෙනුවෙන් ඔහුගේ අදිකාරම් වූ සූනියම් දෙවි ඒ ඉටු කරයි. මේ අනුව බුදුදහමේ වෙහෙර විහාර, දාගැබ්, බෝගස්වල ආරක්ෂාව, හූනියම් දෙවිඳුට පැවරෙයි. හූනියම් දෙවි බුදුදහම විහාර, දාගැබ්, පන්සල් රැක බලා ගනිති.ඒ සේවයට උපහාරයක් ලෙස විහාර දේවාලවල සූනියම් දෙවි පිදීම තදින් පැතිර ඇත. බෝ ගස් ආදියෙහි දිරාගිය අතු සෙනඟ නැතිවිට නොපෙනෙන බලවේගයකින් බිමට දමයි. විහාර, පන්සල්, දාගැබ් ආරක්ෂාවට බහිරව අවතාර බලපෑම යොදවා ගනියි. බෝ රුක් ආශි‍්‍රතව නාගයන් ගැවසීම මේ බලවේගයේ තවත් ලකුණකි.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක
එස්.කේ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.