අනිෂ්ට බලපෑම් වලින් මිදීමට ඉෂ්ට දේවතා වරම

සැප්තැම්බර් 20, 2019

මිනිසෙකුට තම ජීවිත කාලය තුළ විවිධ සිදුවීම් රාශියකට මුහුණ දීමට සිදුවේ. ජීවිතයට යහපත සලසන සහ අයහපත සලසන සිදුවීම් ලෙස මෙම ක්‍රියාදාමයන් හැඳින්විය හැකිය. ඡ්‍යොතිෂයේදී මෙය සුබ අසුබ නැතිනම් , අපල සපල’ ලෙසත් හඳුන්වනු ලබයි. තවත් අන්දමකට “ඉෂ්ට අනිෂ්ට යනුවෙන්ද පැවසිය හැකිය. මිනිසෙකු වෙත තම ජීවිත කාලය තුළ බලපාන මෙම ඉෂ්ට,අනිෂ්ට කරුණු ලියැවී එන්නේ උප්පත්තිය ලබන විටදීම ය. පුද්ගල කේන්දරය එකී කරුණු විද්‍යමාන කරන සටහන වේ. ජීවිතයකට ඉෂ්ට අනිෂ්ට බලපෑම ඇති කිරීමට පූර්ව ජීවිත හේතූන් ප්‍රබලව බලපාන බව කිව හැකිය. පූර්ව ජීවිත හේතුන් වන්නේ සංසාර ගමන් මගෙ දී කළ කී දෑ ය. එමෙන්ම වර්තමාන භවය තුළ ජීවත් වන පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිපල ද ඉෂ්ට අනිෂ්ට ලෙස මෙම ජීවිත කාලය තුළම ඔහුට හෝ ඇයට බලපාන අවස්ථා සුලභය. බුදුන් වහන්සේ මෙම ද්විත්වයම හඳුන්වා දී තිබෙන්නේ ‘දිට්ඨධම්මවේදනීය කර්මය’ යනුවෙනි.

මිනිසෙකු ලෙස ලද තම ජීවිතයෙන් ගත යුතු නිසි ප්‍රයෝජනය කුමක්දැයි සමාජයේ ජීවත් වන බොහෝදෙනෙක් සලකා බලන බවක් දක්නට නොලැබේ. ජීවත් වන්නේ කුමකටදැයි යමෙකුගෙන් විමසුවහොත් ඤාණයෙන් දුර්වල වීනම් දෙන පිළිතුර ‘ඔහේ ජීවත් වෙනවා, ‘මැරෙන්න බැරි නිසා ඉන්නවා, ‘ආතල් ගන්න ජීවත් වෙනවා යනුවෙන් විය හැකිය. එහෙත් මිනිසෙකු වශයෙන් උපදින සෑම අයෙකු විසින්ම ස්වකීය ජීවිතයේ පදනම ලෙස යොදාගත යුතුව තිබෙන්නේ මිනිසත් භාවය නිවැරදිව දියුණුූ කර ගැනීම විය යුතුය. ඒ අනුව ඤාණයෙන් මුහුකුරා ගමන් කරන අයෙක් නම් තමා කෙරෙහි යොමු විය හැකි අනිෂ්ට බලපෑම් වලින් මිදී ඉෂ්ට ශක්තියක් ගොඩනගා ගෙන ජීවිතය දියුණු කරගත යුතු බව ඔහුට මනාව වැටහෙනවා ඇත. සෑම මිනිසෙකු හටම ස්වකීය ජීවිතයේ සාර්ථක බව උදාකර ගැනීමට අවශ්‍ය ඉෂ්ට ශක්තිය ලැබීම සඳහා පැහැදිලි වූත් විද්‍යාත්මක වූත් මාර්ගයක් තිබෙන බව කිව හැකිය.

මෙම ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේ ‘ඉෂ්ට දේවතා වරම් යනුවෙනි. තමාගේ ඉෂ්ට දේවතාව මගින් තම ජීවිතය නිවැරදි මඟට හසුරුවා ගැනීමට අවශ්‍ය කාරකත්වය ලබා ගැනීම මෙහි අදහස වේ. සෑම සත්වයෙකු වෙතම ස්වකීය ජීවිතය මෙහෙයවනු ලබන ඉෂ්ට බලපෑමක් මෙන්ම අනිෂ්ට බලපෑමක් ද ඇති බව අප කවුරුත් දනිමු. එම නිසා ජීවිතය පිළිබඳව සාර්ථකත්වයක් අපේක්ෂා කරන සෑම අයෙකු විසින්ම මේ සඳහා උනන්දුවක් දක්වන බව අමුතුවෙන් කිව යුතු නැත. ඉෂ්ට දේවතා වරම යනුවෙන් හඳුන්වන මෙම න්‍යාය ක්‍රමය පැරණි තන්ත්‍ර යානිකයන් විසින් තම ජීවිතය ඉෂ්ටාර්ථයට යොමුකර ගැනීම සඳහා භාවිතා කරන ලද නිවැරදි පහසු චිත්ත අභ්‍යාස ක්‍රමයක් බවද පෙනී යන දෙයකි. ගැඹුරු අභ්‍යාස ක්‍රමයක් නොවන බැවින් සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා පිළිවෙත් මගක් ලෙස භාවිතා කළ හැකිය.

ඉෂ්ට දේවතා වරම් ලැබීම යනු තමාගේ මනසිකාරය තුළ ඉතාම සියුම් ආකාරයෙන් තමා නොදැනුවත්වම තමා කෙරෙහි බලපවත්වන ඉෂ්ට හා අනිෂ්ට බලපෑම සිහියේ රැඳවීම වේ. මේ තත්ත්වයට පත් පුද්ගලයා කෙරෙහි ස්වකීය අනිෂ්ට බලපෑම් විසින් ජීවිතය අවුල් කිරීමේ කාර්යක යෙදෙන විට එය අභිභවා ඉෂ්ට ශක්තිය ක්‍රියාකරවීමේ බලයක් සතින්ද්‍රිය තුළ බලපවත්වයි. එය ශක්තිමත් ලෙස දියුණු කිරීමට යොමු කරනු ලබන මාර්ගයක ගමන් කිරීමෙන් ඔහුගේ ජීවිතය ඉතාම උදාර අන්දමින් නිවරදි වූත් සාර්ථක වූත් පිළිවෙතකට පත් කරනු ලැබ එය මේ ජීවිතයෙන් මතු ජීවිත කෙරෙහිද බලපාන අන්දමට ස්වකීය චිත්ත සන්තානය සංවර්ධනය වන්නේය. මෙය තවත් පැහැදිලිව විග්‍රහ කරන්නේ නම් සතින්ද්‍රිය විසින් විඤ්ඤාණය හැම විටම හඳුනාගෙන ක්‍රියා කරනු ලබන තත්ත්වයකට පුද්ගලයා නොදැනුවත්වම පත් වී ක්‍රියා කිරීම යැයි දැක්විය හැකිය. තාම නොදැනුවත්වම මෙම කාර්ය සිද්ධ වනුයේ තමාට වඩා උදාරවූ බලයක් තම ඉෂ්ට ශක්තිය ගොඩ නැගීමට අවශ්‍ය අයුරු ක්‍රියා කිරීම සඳහා මනසට බද්ධ කිරීම නිසාය. තව දුරටත් විස්තර කරනුයේ නම් එය මිනිසාගේ නාමස්කන්දයේ පවිත්‍ර සංවර්ධනයක් ඇති කිරීමට අවශ්‍ය උදාර වූ බලයක් මනසට බද්ධ කිරීම යනුවෙන් පෙන්වා දිය හැකිය.

ඉෂ්ට දේවතා වරම ලබාගැනීමේ තත්ත්වයට යම් පුද්ගලයෙකුගේ මනස පත් වූ විට ඔහු විසින් ගත යුතු මනස පෝෂණය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් නිවැරදිව හඳුනා ගැනීමේ තත්ත්වයකට ඉබේම පත්වීම මෙහි ඇති තවත් වටිනා ලක්ෂණයකි. මෙම තත්ත්වයට පත් පුද්ගලයන් ඉතා ඉක්මණින්ම තමාගේ මනසට බද්ධ කරන ලද සුවිශේෂ බලශක්තිය කෙරෙහි සාපේක්ෂ වීම තුළින් එම ශක්තියට අනුරූප වු පුද්ගල භාවයක් තමා තුළ ක්‍රියාත්මක වී එයින් තම ජීවිතයේ උදාර බව මනාව ගොඩ නගා ගනු ලබන ස්වභාවයකට යොමු වන්නේය.මෙය තවත් සරල උදාහරණයක් මගින් විස්තර කරන්නේ නම් එය භෞතික රසායනික බද්ධ කිරීමක් වැනි යයිද පැහැදිලි කල හැකිය. ඇඹුල් අඹ පැළයකට මී අඹ ගසක පොත්තක් බද්ධ කළ විට ඉන්පසු මී අඹ ගසේ ස්වභාවයට ඇඹුල් අඹ පැළය පුරුදු වී ක්‍රියා කරන ආකාරය ගැන කල්පනා කරනු ලැබුවහොත් මෙය මනාව තේරුම් ගත හැකිය.

බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ දේශනා කර තිබෙන කරුණු මගින්ද ඉෂ්ට දේවතාවන් පිළිබඳව කරුණු අනාවරණය කරගත හැකිය. විෂ්ණු, කතරගම , ශිව, පත්තිනි, නාථ වැනි දෙවිදේවතාවියන් ඉෂ්ට දේවතාවන් ලෙස අදහන අයද සිටිති. පෙර ආත්ම භවයන්හි පුද්ගලයෙකුට සිටි ගුරුවරුන්, දෙමාපියන්, නෑදෑයන් , මිතුරන් වැනි ඉතා යහපත් අය ඉෂ්ට දේවතාවන් ලෙස ක්‍රියාත්මක වන බව ගුප්ත විද්‍යාවේදී සඳහන් වන අයුරු දැකිය හැක. බලවත් පින්කම් සිදුකර එම පින් තම ඉෂ්ට දේවතාවන්ට අනුමෝදන් කර ඉෂ්ට දේවතා ශක්තිය ලබාගත හැකිය. පුද්ගලයෙකුගේ ඉෂ්ට දේවතාව කවුරුන්දැයි අවබෝධ කර ගැනීම සඳහා ඡ්‍යොතිර් විද්‍යාවේදි කේන්දරයක වැඩිම දුරක් ගමන් කළ ග්‍රහයා අනුව තීරණය කිරීම ඇතුලු විවිධ ක්‍රමයන් තිබෙන බව පෙනෙන අතර බෙන්තොට හියුබට් ප්‍රනාන්දු ඡ්‍යොතිර්විද්‍යාවේදියාගේ ශ්‍රීපති ඡ්‍යොතිර්විද්‍යා දර්ශනය අනුව කේන්දරයේ ජනක කර්මය ක්‍රියාත්මකව තිබෙන නැකත හිමි ග්‍රහයාට අනුව මෙය නිශ්චය කරගත හැකි බව ප්‍රකාශවී තිබේ. ඒ අනුව එම ග්‍රහයාට අයත් දේවතාවා හෝ දේවතාවිය පුද්ගලයාගේ ඉෂ්ට දේවතාව ලෙස තීරණය කරගත හැකිය.

ග්‍රහයාට හිමි ඉෂ්ට දේවතාවා, නිර්ණය කිරීමේදී රවිට ඊශ්වර දෙවියන්, සඳුට පත්තිනි දේවි මෑණියන්, කුජට කතරගම දෙවියන්, බුධට ගණපති දෙවියන්, ගුරුට සරස්වති දේවි මෑණියන් සිකුරුට ලක්ෂ්මි දේවි මෑණියන් , සෙනසුරුට විෂ්ණු දෙවියන් රාහුට විභීෂණ දෙවියන්, කේතුට නාථ දෙවියන් ලෙසද දැක්වේ. ඉෂ්ට දේවතා පිහිට අපේක්ෂා කරන අයෙක් පස්පව් වලින් වැළකී යහපත් ගුණදම් පුුරුදු පුහුණු කළ යුතුය. මෛත්‍රී භාවනාව ජීවිතයේ අනිවාර්ය අංගයක් කර ගැනීමට සිදුවේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූලව ජීවිත චර්යාවන් හැඩ ගස්සවා ගැනීමද ඉෂ්ට දේවතා වන්දනාවේ යෙදෙන අයෙකුට තවත් අගනා ගමන් මාර්ගයකි. ඉෂ්ට දේවතාවන් අනිෂ්ට බලපෑම් වලින් මිදීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දෙන්නේ සිතුවිලි තරංග මගිනි. එම නිසා චංචල වූ මනසක් සහිත අයෙකුට ඉෂ්ට දේවතා උපදේශනය ලබා ගැනීම අපහසු වේ. ජලය ගලා යන නිසංසල සුන්දර පරිසරයක පැයක් හමාරක් විවේකීව සිටින විට ඉෂ්ට දේවතාවගේ උපදේශන පහසුවෙන් ලබාගත හැකි යැයි අදහසක් ද තිබේ. “ඒ ගමන යන්න එපා කියල මගේ යටි හිත කියද්දිත් ගිය නිසානේ මේ අනතුරු වුනේ” යනුවෙන් සමහර අය ප්‍රකාශ කරනුයේ ඉෂ්ට දේවතා උපදේශනය නිසාවෙනි. එබැවින් මෙම උපදේශන පුද්ගල ජීවිතයකට තිබෙන අනිෂ්ට බලපෑම් වලින් මිදීමට මහත් රුකුලක් වනු නියතය. මෙම කාර්ය සඳහා සකස් කරගත යුත්තේ මනසය. ඒ සමඟම ඒකාංගික වු ජීවන ප්‍රතිපදාවකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.