ඔබේ අපල හා සපල කාලය නිවැරදිව හඳුනා ගනිමු

ජනවාරි 31, 2020
ග්‍රහයා සුබ ස්ථාන අසුබ ස්ථාන
රවි 3/6/10/11 1/2/4/5/7/ 8/ 9/ 12
සඳු 1/3/6/7/10/11 2/4/5/8/9/12
කුඡ 3/6/10/11 1/2/4/5/7/8/9/12
සිකුරු 1/2/3/4/5/8/9/11/12 6/7/10
බුධ 1/2/4/6/8/11 3/5/7/9/12
ගුරු 2/5/7/9/11 1/3/4/6/8 10 12
ශනි 3/6/11 1/2/4/5/7/8/10 12
රාහු හා කේතු 3/6/11 1/2/4/5/7/8/9/10/12

වර්තමාන ජන සමාජයේ ජ්‍යොතිෂයට හිමිව ඇත්තේ සුවිශේෂි ස්ථානයකි. ඒ පිළිබඳව උත්සුක වන පිරිසද අතිමහත්ය. දිනපතා, සතිපතා පළවන ජ්‍යොතිෂ පුවත්පත් සඟරා, රූපවාහිනි හා ගුවන්විදුලි වැඩසටහන්, අන්තර්ජාල ලිපි ලේඛන මගින් මේ පිළිබඳව අපට මනාව තේරුම් ගත හැකිය. මෙය අද යුගයේ ජනප්‍රිය විෂයකි. මෙම විෂය වනාහි අතීතය, වර්තමානය, අනාගතය යන තුන්කල්ම දැකිය හැකි ලෝකයේ ඇති එකම සත්‍යවාදී හා අතිශය පැරණි විෂයක් ලෙස අපට හදුන්වා දිය හැකිය. මෙය මෙතරම් කාලයක් නොනැසී පැවතීමට හොඳම සාක්ෂිය මෙහි ඇති සත්‍යතාවයයි.

පුරාණ ඉසිවරු ග්‍රහ සිතියම මැනවින් විග්‍රහ කර දැක්වීම ජ්‍යොතිෂයේ පදනමයි. අද වන විට බහුතර ජනතාවකගේ අවධානය මීට යොමු වී ඇත. ඒ මෙම ශාස්ත්‍රයේ ඇති සත්‍යතාව නිසාය. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී අපගේ ජන්ම පත්‍රයේ කොටු 12 තුළ අප උත්පත්ති මොහොතේ ලැගුම් ගත් නවග්‍රහයන් විසින් අප පූර්ව ආත්ම භාවයන් වලදී කළ කී පව්, පිං අනුව මෙලොවදී අපට ලැබෙන නොලැබෙන දේ පිළිබඳව නිවැරදි සංඥාා ලබා දේ. ඕනෑම පුද්ගලයෙකුට සපල මෙන්ම අපල කාලයක්ද හිමිය. සපල කාලය යනු පෙර කළ පින් පළදෙන කාලය වන අතර එම අවස්ථාව ජන්ම කේන්ද්‍රයේ 1, 5, 9, යන රාශීන්හි සිටි ග්‍රහයන්ගේ දශා කාලය හෝ එම රාශි අධිපතින්ගේ දශා කාල වලට සීමා වේ. තවත් අවස්ථා කීපයක් ඇතත් ප්‍රමුඛ වන්නේ ඉහත කාරණයයි.

අපල කාලය වැඩි වන්නේ ඇයි ? ඊට හේතු වන්නේ පෘතග්ජන මිනිසුන් කෙරෙන් සිදුවන පිං වලට වඩා පව් වැඩිවීම හේතු කොට ගෙනය. ඒ නිසා පින් අඩුය. පව් වැඩිය. එම නිසා නිරන්තරයෙන් අපල කාලය වැඩිවනු ඇත. එම නිසා අපේ ජීවිතයේ අපල කාලයද නැතිනම් සපල කාලයද යන්න නිවැරදිව හදුනා ගත යුතුය. ජීවිතයට කරදර බාධක කම්කටුළු පැමිණෙන කාලය කල් ඇතිව හඳුනා ගැනීම ඒ සඳහා නිවැරදි පිළියම් යෙදීමට ඉතාම වැදගත් වනු ඇත. ජ්‍යොතිෂය වැදගත් වන්නේ එවිටය. ජීවිතයට කරදරයක් වූවායින් පසු ඒ සඳහා පිළියම් යෙදීමට වඩා වැදගත් හා අර්ථාන්විත වනුයේ අපලය උදා වීමට පෙර එම කාලය අප නිවැරදිව හඳුනා ගැනීමයි. ඉන් අනතුරුව අපට එම අපලයට අදාළ නිවැරදි ශාන්ති කර්මය ඉටු කරගත හැකිය. නමුත් අද බොහෝ දෙනෙකු තමාට කරදරයක් පැමිණි විට තමාගේ ඡන්ම පත්‍රය බැලීමට උත්සුක වෙයි. නමුත් කළ යුත්තේ වසරකට වරක්වත් තමාගේ හඳහන දක්‍ෂ ඡ්‍යෝතිෂවේදියෙකු ලවා පරීක්‍ෂාකර ගැනීමයි. එවිට තමන්ට ඉදිරියේදී පැමිණෙන මාරක, බාධක අසනීප යනාදී කරුණු කල් වේලා ඇතිව දැනගත හැකිය. එවිට එම බාධක හා කරදර අඩුකර ගත හැකිය. කරදරයක් වූ කල්හි ප්‍රතිකර්ම කලත් ඒවා කරන්නේ ඉදිරියට එවැනි කරදර ඇතිවීම වලක්වා ගැනීමටය. එවිට අප සිදුවූ කරදරයෙන් පීඩා විඳ හමාරය. නමුත් හඳහන කලින් පරීක්‍ෂා කර තිබුණේ නම් ඇතිවන කරදර බාධක හා හානි අවම කරගෙන ඊට පිලියම් යෙදීමට අවකාශ තිබුණි. මෙම ලිපිය මගින් අප අපල හා සපල කාලය නිවැරදිව හඳුනා ගන්නා ආකාරය සාකච්ඡා කරමු.

ග්‍රහ ගෝචරය යනු ග්‍රහයන් රාශියෙන් රාශියට මාරුවන ගමන් මගයි. උත්පත්ති කේන්ද්‍රයේ පිහිට ග්‍රහයන්ගෙන් ගෙන දෙන ප්‍රතිඵලයට වඩා ගෝචර හෙවත් ගමන් කරන ග්‍රහයා දෙන ප්‍රතිඵලය ඡන්මියාගේ ඡීවන ගමන වෙනස් කීරීමට බොහෝ සෙයින් හේතු වෙයි. දියුණුව පරිහානිය හා අපල සපල කාල ආදිය ද මෙය තුළින් දැනගත හැකිවනවා පමණක් නොව ඔහුගේ මරණය සිදුවන කාලයද නිසි ලෙස දැන ගැනීමට හැකියාව ඇත .

රවි චන්ද්‍ර කූඡ බුධ ගුරු සිකුරු හා ශනි යන ග්‍රහයන් රාශි චක්‍රයේ ඉදිරියට ගමන් කරද්දී ඡායා ග්‍රහයින් දෙපල වන රාහු කේතු පමණක් ආපස්සට ගමන් කරති. මෙසේ ඉදිරියට ගමන් කරන ග්‍රහයෝ සමහර අවස්ථාවලදී තාවකාලිකව නතර වීම ග්‍රහයා වක්‍රවීම ලෙස අප ජ්‍යොතිෂයේදී හඳුන්වයි. මෙසේ වක්‍ර වූ ග්‍රහයා ඡන්මියාගේ ජීවන මග වෙනස් කීරීමට බොහෝ සෙයින් උපකාරී වනු ඇත .මෙම ගෝචර ගමනේදී ඒ ඒ ග්‍රහයන් රාශියක් පසු කීරීමට නියමිත කාලයක් ගන්නවා ඇත. ඒ මෙසේය.

ග්‍රහයා රාශියක් ගත කීරීමට ගත වන කාලය

රවි මාස 1කි

සඳු දින 2 1/2

කුඡ දින 45

සිකුරු මාස 1කි

බුධ මාස 1කි

ගුරු අවු 1කි

ශනි අවු දෙකයි මාස 6

රාහු හා කේතු අවු 1 මාස 6 දින 19

 

මේ ආදී වශයෙන් රාශියක් පසු කිරීමට ආසන්න වශයෙන් ඒ ඒ ග්‍රහයින්ට නියමිත කාල පරිච්ඡේදයක් ඇති අතර සමහර අවස්ථාවලදී මෙම දින වකවානු අඩු වැඩි වන අතර ඊට හේතු වන්නේ රවි හා සඳු යන ආලෝක ග්‍රහයන් හැර අනෙක් ග්‍රහයන් වක්‍ර නිවෘත අස්ත වීම යන කරුණු නිසාය. ඒ ඒ ග්‍රහයන් උත්පත්ති කේන්ද්‍රයේ පිහිටීම උපයෝගි කරගෙන ගෝචර ගමනේ පලාපළ තීරණය කළ යුතු වෙයි.

කොටු 12 කින් යුත් උත්පත්ති ඡන්ම පත්‍රයේ ඒ ඒ ග්‍රහයන්ට ගෝචරයේදී හෙවත් ගමනේදී සුබ හා අසුබ ස්ථාන මෙම ආකාරයට දක්වා ඇත.

 

ඉහත ග්‍රහ ගමන් අනුව හෙවත් ගෝචරය අනුව අපට පුද්ගලයාගේ අපල සපල කාලය නිවැරදිව හඳුනා ගත හැකි අතර කේන්ද්‍රයක අපල අවස්ථා පහත පරිදි දැක්විය හැකිය.

අපල අවස්ථා

තම ජන්ම පත්‍රයට අනුව පාපකාරී විපත් දශාවන්ගේ මහ දශා, අතුරු දශා, විදශා කාලය.

සෙනසුරු ග්‍රහයාගේ ගෝචරය අනුව උදාවන ඒරාෂ්ටක අපල කාලය. ලග්න ඒරාෂ්ටක, අෂ්ටම ඒරාෂ්ටක, ජන්ම ඒරාෂ්ටක හා චන්ද්‍රාෂ්ටම ඒරාෂ්ටක ලෙස විවිධ වන අතර මෙයින් ජන්ම ඒරාෂ්ටකය වඩාත් අනතුරුදායකය.

සෙනසුරු ලග්නයෙන් 8 වැන්නේ 12 වැන්නේ ලග්නයේ හා ලග්නයෙන් 2 වැන්නේ හා උත්පත්ති සඳු ගේ රාශිය හරහා හා සඳුගෙන් 8 වැන්නේ ගමන් කරන කාලය

ශනි උත්පත්ති චන්ද්‍රයාගෙන් කේන්ද්‍රස්ථාන වල ගමන් කරණ කාලය

දුෂ්ට රාශිගත ග්‍රහයන්ගේ දශා කාලය.

දුෂ්ට ස්ථාන අධිපති ග්‍රහයන්ට අයත් දශා කාලය.

සඳුගෙන් 6/8/12 සිටි ග්‍රහයන්ගේ දශා කාලය.

22 වන දෙර්කානාධිපතිගේ මහ දශා, අතුරු දශා, විදශා කාලය.

64 වන නවාංශකාධිපතිගේ මහ දශා, අතුරු දශා, විදශා කාලය.

16 වන දෙර්කානාධිපතිගේ මහ දශා, අතුරු දශා, විදශා කාලය.

ඡන්ම කේන්ද්‍රයේ 2/7 අධිපතීන්ගේ දශා කාලය.

ඡන්ම කේන්ද්‍රයේ 2/7 යන රාශිවල සිටි ග්‍රහයින්ගේ දශා කාලය.

ඡන්මියාට යම් දශාවක් ලබා තිබේද එම දශාධිපතියාට අයත් රාශිය තුළ පාප ග්‍රහයෙකු හැසිරෙතොත් එයද අපල කාලයකි.

ලග්න කේන්ද්‍රයෙත් නවාංශක කේන්ද්‍රයෙත් නීචව හෝ දුබලව සිටින ග්‍රහයාගේ දශා කාලයත් අපලය.

සඳු දශාව තිබියදී සෙනසුරු 8 වැන්නේ ගමන් කරන කාලය.

රවි දශාව තිබියදී සෙනසුරු 10 වැන්නේ ගමන් කරන කාලය.

කුඡ දශාව තිබියදී සෙනසුරු 7 වැන්නේ ගමන් කරන කාලය.

බාධක රාශිය අධිපතියාගේ දශා කාලය.

දශාධිපති සිටි රාශිය හරහා පාපියෙකු ගමන් කරන කාලය.

ඡන්ම කේන්ද්‍රයේ රවි සිටින රාශිය මතට දශාධිපති ග්‍රහයා පැමිණෙන කාලය.

යම් දශාවක් ගෙවෙමින් සිටියදී එම දශාධිපතිට සතුරු ග්‍රහයෙකු අතුරු දශාවක් ලැබූ කාලය.

ඉහත සඳහන් කළේ අපල අවස්ථාවන් වලින් යම් ප්‍රධාන අවස්ථා කීපයක් පමණි. මේ ආකාරයට කෙනෙකුට අපල කාලයන් බහුලය. තවත් විවිධ අවස්ථාවන් ඇත. අපල දශා කාලයන් බලවත් ගුරුගේ ගෝචර ගමන හා සුබ ග්‍රහ තත්ව හා ග්‍රහයන් පිහිටන නැකැත් අනුවද යම් යම් අවස්ථාවල බිඳෙන අතර ඉහත දැක්වූ ආකාරයට ජන්මියාගේ හඳහනට අනුව අපල කාලය හා සපල කාලය නිවැරදිව කල් වේලා ඇතිව හඳුනා ගෙන ඒ අනුව අදාළ පිළියම් කිරීම තුළින් අපට ජ්‍යොතිෂයෙන් මනා ප්‍රයෝජනයක් අප ජීවිත තුළට සතුට උදා කර ගෙන සෞභාග්‍යමත් ජීවිතයක් ගත කළ හැකිය. එසේ නොමැතිව ජ්‍යොතිෂය නාමයෙන් කරන විවිධ වංචා වලට හසුවී තම වටිනා කාලයත් මුදලත් නැති කර ගැනීම නොවේ. එම නිසා උගත් අවංක ජ්‍යොතිෂවේදියෙකුගෙන් ඉහත දැක්වූ ආකාරයට තම ජන්ම පත්‍රය පරීක්ෂා කරගැනීම තුළින් තම අපල සපල කාලය නිවැරදිව හඳුනා ගත හැකිය. ජ්‍යොතිෂය යන මේ උතුම් විෂය තුළින් අප උදා කර ගත යුත්තේද එයයි. ඒ අනුව ඔබේ අපල හා සපල කාලය නිවැරැදිව හඳුනා ගනිමු .

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.