පෙරමඟ නිමිති

ජුනි 12, 2020

බොහෝ පෙරමඟ නිමිති දක්නට ලැබේ. කන්‍යා ස්ත්‍රීන් , කිරි මව්වරුන්, වෙසඟනන්, නළඟනන්, කෝමල ස්ත්‍රීන්, ගුරුවරුන් , ප්‍රභූන්, රාජ කුමාරවරුන්, සිල්වත් භික්ෂූන් , කොඩි, චාමර සේසත් ගෙන එන්නවුන්, ඇතුන්, අසුන්, මුවන්, කුකුළන්, කිරි දෙනුන්, වලිගය වනමින් එන සුනඛයින් , හංසයින්, රාජාලීන් වැනි පක්ෂීන්, පොත්පත්, රන් රිදී, මුතු මැණික්, සුදු මල්, සපු මල්, නා මල්, නෙළුම්මල්, මී පැණි, ගිතෙල්, සාදු නාද ආශිර්වාදාත්මක ශබ්ද, කුංචනාද හේෂාරව ,මිහිරි වචන සහ තවත් බොහෝ සුබ නිමිති වන්නේය. 

පිරුණු පියයුරු කාන්තාවන්, දරුවන් වඩාගත් කාන්තාවන්, තරුණ යුවළ , දිය පිරි කළ රැගත් ගෙවිලිය, ඇත් දත් පහන්, මල්මාල, කිරි කළ, තල් අතු, මිහිඟු බෙර හඬ , වීණා හඬ , සක් හඬ. සිහින් වැසිපොද වැටෙන හඬ, සුවඳ දුම් වර්ග, කස්තුරි, සඳුන් අඳුන් ආදී සුවඳ වර්ග ශුභ වේ. 

ගමන ආරම්භ කරත් ම කුකුළෙකුගේ හැඬලීම වාසනාවන්ත ය. ලේනෙකුගේ හැඬීම, සැළලිහිණියෙකු හැඬලීම, ඇටිකුකුළෙකුගේ හැඬලීම යහපත් බව කියැවෙයි. 

මනාල යුවළ පිටත් වීමේ දී පෙරමඟ අන්‍යයන් හමුවීමට පෙර මල් කිහිපයක් දමා මෑණියන් ඉදිරියට එන්නේ පෙරමඟට සුබ නිමිත්තක් ලෙසිනි. එය අද චාරිත්‍රයක් බවට පත්ව ඇත. දරුවා විභාගයට රැකියාවට වැදගත් ගමනක් යන විට හොඳ කෙනෙක් ඉස්සරහට බලල යන්න යි කියන මව දරුවා සමඟ මඟට ඇවිත් බලා සිටින්නේ හම්බවුණේ කවුදැ යි බැලීමට ය. ඉදිරියට හොඳ කෙනෙකු හමුවුවහොත් හිතට බොහෝ සතුටු ය. චිත්ත පී‍්‍රතියෙන් ගමන යන ඔහුගේ කටයුතු සාර්ථක වෙයි. එබඳු විට ඔහු කියනුයේ ‘අද උදේ යද්දී ඉස්සරහට හම්බවුණේ අසව ලා නේ. හරිම හොඳයි. ගිය ගිය වැඩේ සාර්ථකයි’ යනාදි වශයෙන් පවසයි. 

පෙරමඟ නිමිති ගැන පවත්නා විශ්වාසය නිසාම පෙරමඟට හමුවන්නා ද ඇතැම් විට නිහතමානී ව “අනේ මං දන්නේනෑ ඔන්න මම යි නේ ද ඉස්සරහට” කියමින් සුබ ගමනකට ආශිර්වාද කරයි. ගමනේ යෙදෙන්නා ද “හා ඉතින් මොකෝ . වරදක් නෑ. ඔයා කොච්චර හොඳ ද” ආදි ලෙස සුහද සිනහ පා පිළිතුරක් දී සතුටින් යයි. 

සමස්ත ජන සමාජයේ කාලාන්තරයක් තිස්සේ ආ ශුභ අශුභ නිමිති අපගේ සිත් සතන් තුළට කා වැදී ඇත. ඒවා පිළිගැනී ඇත්තේ එතරම් විපරමකින් නොව සම්ප්‍රදායික ලෙස වේ. එහෙත් පැරණි සමාජයේ මේ ලක්ෂණ මතුව ආවේ හුදෙක් ආවාට ගියාට නොවන්නට ද පිළිවන. ගමනක සාර්ථක අසාර්ථක බව කීමේ දී පෙරමඟට හමුවු අය ගැන කියන අයුරු තවත් සමාජයේ රැදී පවතිනු ඇතැයි සිතමි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.