බලගතු නැකතක මහිමය

ජයතිලක විදුහල්පතිතුමාට අමිල තිළිණයක් සමඟ සුබ නැකතක්
ජූලි 31, 2020

වර්ෂ 1868 පෙබරවාරි 13 වැනි දා පවුලේ දෙවැනි දරුවා වශයෙන් උපන් දොන් බාරොන්ට වයස හතර එළැඹෙනවාත් සමඟම පියා නැකතකට අකුරු කියවන්නට සැලසුම් කළේය. 

ගමේ නැකැතියෙකුට කියා සාදවා ගන්නා ලද නැකතකට අනුව භාෂා කිහිපයක ම දැනුමක් ඇති දොන් දානියෙල් ජයතිලක මහතා ප්‍රථමයෙන් තම දොන් බාරොන් ජයතිලක පුතුට සිංහල හෝඩියත් දෙවනුව ඉංගී‍්‍රසි හෝඩියත් කියාදී අකුරු හුරු කරවන්නට කටයුතු කළ අන්දම ගැන පුතාට හොඳ මතකයක් තිබිණ. එයින් වසර දෙකකට පමණ පසුව රත්මලානේදී පෑලියගොඩ තොරණ ළඟ දෙමහල් නිවසක දායකයන් පිරිසකගේ ආරාධනයෙන් වස් වසන්නට සපැමිණි පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක නාහිමියනුත් උන්වහන්සේගේ ශිෂ්‍ය රත්මලානේ ධර්මාරාම හිමියනුත් වර්ෂ 1875 දී නුවර පාර අසල බිම් කඩෙක විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව නම් වූ අධ්‍යාපන ආයතනයක් ඇරඹුහ. එහි ප්‍රධාන දායක කාරකාදීන් වූ තම පියාගේත් මාතාවගේත් දෙපරපුරේම ඇත්තන් නිසාම එහිදී දොන් බාරොන් දරුවාට පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳ ද, සිංහල හැදියාව හා බෞද්ධාගමේ වත් පිළිවෙත් පිළිබඳව ද මනා අධ්‍යාපනයක් ලබා දෙන්නට නාහිමි දෙපොල කටයුතු කළහ. මෙම දරුවාගේ වේලා පත්කඩය ගෙන්වා බලන ලද අවස්ථාවක දී ඔහුගේ අනාගතය ඉතා ඉහළ තත්ත්වයකට පත්වන බව දැනගත් ධම්මාලෝක නාහිමියෝ පියාණන් අමතා ඔහුට බොරැල්ලේ වෙස්ලි විද්‍යාලයේ දී උසස් ඉංගී‍්‍රසි අධ්‍යාපනයක් ලබා දෙන්නට කටයුතු සැලසුම් කළහ. දරුවා එහිදී මනා ලෙස ඉගෙන අන්තිමේ එහි වූ ඉහළම විභාගයෙන් ද සමත්ව රක්ෂාවක් බලාපොරොත්තුවෙන් රජයේ ප්‍රධාන කාර්යාලකට ගියේය. එහිදී සම්මුඛ පරීක්ෂණයේ දී මෙම තරුණයාගේ දක්ෂකම දුටු පරීක්ෂකවරයා කියා සිටියේ, “තරුණය, ඔබ මේ රැකියාවට සුදුසු වැඩි ය. එහෙයින් ඔබට මතු දිනක දැනුමට සුදුසු රැකියාවක් ලැබෙනු ඇත” කියා ය. 

කාටත් නොහැඟි තරුණයාගේ ග්‍රහ බලය දිළෙමින් පැවති එක්තරා දිනක ඔහු මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන කරා ගියේ එහි නායක පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැකීමටය. ඔහුගේ වාසනාවකට මෙන් කලකට පෙර මෙරටට පැමිණ මහත් වු ජාතික හා ආගමානුකූල ප්‍රබෝධයකට මඟ හසර සලසමින් සිටි සෙන්පති ඕල්කොට්තුමා ද එහි සිටිනු දක්නා ලද්දේය. 

 “මේ අපේ විද්‍යාලංකාර පිරිවෙනේ ප්‍රධාන දායක මහත්තයාගේ පුතා දොන් බාරොන් ජයතිලක මහත්තයා” යැයි නාහිමියෝ ඔහු සෙන්පති ඕල්කොට්තුමාට හඳුන්වා දුන්හ. 

මේ පි‍්‍රයමනාප පෙනුමැති ගැටවරයා සමඟ ඕල්කොට්තුමෝ සුළු සංවාදයකට එළැඹුණහ. මනා ඉංගී‍්‍රසි ස්වරයෙන් යුතු ව තම දැනුමැති බව එම වදන් කීපයෙන් ම පල කළ තරුණයා පිළිබඳව එතුමෝ එම සුළු කාලය ඇතුළත දීම මහත් වූ සෑහීමකට පත් වූහ. 

 “නායක හාමුදුරුවනේ, මම මේ තරුණයාව කැන්ඩි බුඩිස්ට් හයි ස්කූල් හි විදුහල්පති වශයෙන් තෝරා ගත්තා.” යනුවෙන් පැවසූහ. එයින් තරුණයාත් සුමංගල නාහිමියෝත් අතිශයින්ම පුදුමයට පත් වූහ. 

සුළු කතාබහකින් පසුව දක්ෂ විද්‍යාර්ථීන් හඳුනාගැනීමේ සහජ කුසලතාවක් ඇති බව කළ සෙන්පති ඕල්කොට්තුමාගේ එම තෝර ගැනීම පසු කලෙක මේ තරුණයා අධ්‍යාපන ක්ෂේත්‍රයට පමණක් නොව රටේ පාලන ක්ෂේත්‍රයට  මූලිකවම බලපෑ බවද දක්නා ලද්දේය. 

සුමංගල නාහිමි, ඕල්කොට් සෙන්පති දෙපළගේම ආශිර්වාදයත් සමඟම සති කිහිපයකින් පසුව දොන් බාරොන් ජයතිලකයෝ කැන්ඩි බුඩිස්ට් හයි ස්කූල් හි විදුහල්පති තනතුර බාර ගත්හ. මේ වන විට එතුමන් සිටියේ දෙවිසි වැනි තරුණ නාඹර වියේ ය. එහෙත් එහි ගොස් තමන් මෙන් දෙගුණයක් ද වයසින් වැඩි උඩරට බෞද්ධ ප්‍රභූන් සමඟ ද උරෙනුර ගැටෙමින් පරම විඥානාර්ථ සමාගමේ හා උඩරට බෞද්ධයන්ගේ ප්‍රධාන අරමුණ වු රටේ ඉදිරි පරපුරේ බෞද්ධ මතය යහමඟකට යොමු කරවීමේ මහා සද් ක්‍රියාවෙක යෙදෙන්නට ජයතිලකයෝ තමන් ගුරු දෙගුරුන්ගෙන් ලත් ශික්ෂණයත්, තම ගම් පියසේ විද්‍යාලංකාරයේ නායක හිමිපාණන් දෙපළගෙත් ලත් ආභාෂයත් සපුරා යෙදවූහ. 

වසර දෙක තුනක් ඉක්ම යද්දී මේ තුරුණු විදුහල්පතිතුමාගේ බුද්ධියත් තමන් වෙත පෑ මහානීය නිහතමානීත්වයත් පිළිගෙන එයින් තම ඉෂ්ටාර්ථ සිද්ධිය සඵල කරගන්නට එම උඩරට වගකිව යුත්තෝ කටයුතු කළහ. තමන්ගේ විදුහල්පති වැටුප ලෙස ලද මුදලින් 1/3 ක් පමණක් තමන්ගේ වියදමට ගෙන ඉතිරි කොටස ගුරුවරුන් කිහිප දෙනෙකු වෙත ප්‍රදානය කරන්නට තරම් ජයතිලක විදුහල්පතිතුමෝ කටයුතු කළේ එය අන් අයට ද ආදර්ශයක් වන්නට තරම් වග බලා ගෙනය. එසේ ම, මෙකල උඩරට ප්‍රදේශයේ තිබූ මිෂනාරි විදුහල්වල සහ අනෙකුත් විදුහල්වල තත්ත්වය ද පසු කෙරෙමින් ගුණ දහමින් හා ආගමික විශ්වාසයෙන් පිරි නව පරපුරේ යුගයකට මෙම විදුහල යොමු කරවන්නට ද එතුමෝ සමත් වූහ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.