විස්මයජනක තත්කාල ශාස්ත්‍රය

ඔක්තෝබර් 16, 2020

තත්කාලයෙන් ප්‍රශ්න විසඳීමේදි ප්‍රශ්න කරන කාරණය අතීතයට සම්බන්ධ ප්‍රශ්නයක් ද වර්තමානයට සම්බන්ධ ප්‍රශ්නයක් ද, අනාගතයට සම්බන්ධ ප්‍රශ්නයක් ද යන්න පැහැදිලි කර ගැනීම ඉතා වැදගත්ය. ඒ අනුව ප්‍රශ්න ලග්නයත් සමඟ පළවෙනි දෙර්කාණය උදාවී ඇත්නම් ප්‍රශ්නය අතීතයට සම්බන්ධ එකකි. දෙවෙනි දෙර්කාණය උදාවී ඇත්නම් ප්‍රශ්නය වර්තමානයට සම්බන්ධ එකකි. තෙවෙනි දෙර්කාණය උදාවී ඇත්නම් ප්‍රශ්නය අනාගතයට සම්බන්ධ එකකි.

ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයේ අතිශයින්ම ප්‍රබල වූ ගුප්ත අංශය වන්නේ තත්කාල ශාස්ත්‍රයයි. නමුත් වර්තමානයේ ඡ්‍යොතිෂඥයින් බොහෝදෙනෙක් මෙකී තත්කාල ශාස්ත්‍රය භාවිතයෙන් ඈත් කොට ඇත.

මෙයට ප්‍රධාන හේතු වී ඇත්තේ තත්කාල ශාස්ත්‍ර දැනුම ලබා ගැනීමට අවශ්‍ය පොත්පත් සුලබවීම සහ සමහර තත්කාල ශාස්ත්‍ර පොත්පත්වල ඇති කරුණු පහසුවෙන් තේරුම් බේරුම් කර ගැනීමට නොහැකිවීමයි.

උදාහරණයක් වශයෙන් සකු බසින් ලියැවුණු තත්කාල ශාස්ත්‍ර පොත් බොහෝමයක් සිංහලයට පරිවර්තනය කර මුද්‍රණය කර ඇති නමුත්, ඒවායේ සටහන් කරුණු යටකී ලෙස පහසුවෙන් තේරුම් බේරුම් කර ගැනීමට නොහැකි නිසා ඡ්‍යොතිෂඥයින් බොහෝ දෙනෙක් එකී තත්කාල ශාස්ත්‍ර පොත් භාවිතයෙන් ඈත් කර ඇත.

එය එසේ වුවද වර්තමානයේ පොත් වෙළෙඳ සැල්වල ඇති තත්කාල ශාස්ත්‍රය පිළිබඳව ලියවුණු ප්‍රශ්න තන්ත්‍රය, වෛදවඥ වල්ලභය, ෂට් පංචශිකාව, සංකේත නිධිය, ජිනේන්ද්‍රමාලාව, භූවන දීපිකාව, ප්‍රශ්න ඥාන ප්‍රදීපය, දෛව ප්‍රශ්න මාලාව ආදි තත්කාල ශාස්ත්‍ර ග්‍රන්ථ ඇති හෙයින් ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍ර පිළිබඳව මනා දැනුමක් ඇති කෘතහස්ත බුද්ධි ශක්තියක් ඇති ඡ්‍යොතිෂඥයින්ට එකී තත්කාල ග්‍රන්ථ පරිහරණය කිරීමෙන් දක්ෂ තත්කාල ශාස්ත්‍රඥයෙක් වීමට බැරිකමක් නැත. මේ සඳහා ඔවුන්ට අවශ්‍ය වන්නේ තම ශ්‍රමය සහ කැපවීමයි.

තත්කාල ශාස්ත්‍රඥයාගේ ප්‍රථම කාර්යය වන්නේ සේවාදායකයා ප්‍රශ්න කරන වේලාව ලබාගෙන තත්කාල කේන්දරයක් ගොඩනැඟීමයි. මෙහිදී එක් එක් ගුරු කුලවල තත්කාල ශාස්ත්‍රඥයින් එක් එක් ක්‍රමවලට තත්කාල කේන්දර ගොඩනඟති. ඒ අනුව ඇතැමෙක් ප්‍රශ්නකරු මුලින් කථා කරන වචනයේ මුල් අකුරු ප්‍රයෝජනයට ගෙන තත්කාල ලග්නය ගොඩනඟයි. මීට උදාහරණයක් වශයෙන් කෙනෙක් කථා කරන මුල් අකුරම යැයි සිතමු. ඒ අනුව ඔහුම යන අක්ෂරය භාවිත කොට මා යන වචනයෙන් කථාව ආරම්භ කළහොත් මා යන අක්ෂරය වැටෙන්නේ මා නැකතට හෙයින් මා නැකත ඇත්තේ සිංහ රාශියේ වන හෙයින් තත්කාල ශාස්ත්‍රඥයා සිංහ ලග්නය .තත්කාල ලග්නය ලෙස ගෙන ග්‍රහයන් පිහිටුවා පලාපල කියයි.

තවත් සමහර තත්කාල ශාස්ත්‍රඥයින් ලැබුණු බුලත් ගෙන එහි ඇති බුලත් කොළ ගණන අනුව තත්කාල ලග්නය ගොඩනඟති. ඒ මෙසේය. නැකැත් 27 ක් ඇති හෙයින් ලැබුණු බුලත් අතෙහි බුලත් කොළ 27 ට වඩා ඇත්නම් එය 27 න් අඩු කොට බුලත් ගණන බලා කී වෙනි නැකත දැයි බලා එම නැකත අයත් රාශිය තත්කාල ලග්න ගෙන ග්‍රහයන් පිහිටුවා පලාපල කීමයි. නිදසුනක් ලෙස ලැබුණු බුලත් කොළ ගණන 10 යැයි අපි සිතමු. 10 වැන්නට සිටි නැකත වන්නේ මා නැකතයි. මා නැකත ඇත්තේ සිංහ රාශියේ වන හෙයින් තත්කාල ශාස්ත්‍රඥයා සිංහ ලග්නය තත්කාල ලග්නය ලෙස ගෙන ග්‍රහයන් පිහිටුවා පලාඵල කියයි. ඇතැම් තත්කාල ශාස්ත්‍රඥයින් පලාපල ඇසීමට එන අයට 108 න් පහළ අංකයක් කියන්න යැයි දන්වති. පසුව සේවාලාභියා කී අංකය ගෙන 9 යෙන් බෙදා ලැබුණු සංඛ්‍යාව ලග්නය ලෙස ද ශේෂය නවාංශකය ලෙස ද ගෙන ග්‍රහයන් පිටුවා පලාපල කියති. නිදසුනක් ලෙස දූතයා සිතු සංඛ්‍යාව 56 යැයි සිතමු. 56-9 යෙන් බෙදූ විට අගය 6 යි. ඉතිරිය 2 කයි. ඒ අනුව එතැනදි රාශි චක්‍රයේ 6 වෙනි රාශිය වන කන්‍යා රැය තත්කාල ලග්නය වන අතර, කන්‍යා රාශියේ නවාංශක 2 ක් ගැන්න විට කුම්භ නවාංශකය හිමි වන අතර, ඒ අනුව තත්කාල ලග්නය කන්‍යාව ලෙසත් නවාංශකය කුම්භය ලෙසත් ගෙන ග්‍රහයන් පිහිටුවා පලාපල කියයි. අනෙක් ක්‍රමය නම් ක්‍රිෂ්ණ මුහුර්ති ක්‍රමයට තත්කාලයෙන් පලාපල කීමයි. මෙහිදී පළමුවෙන් කොටස් 249 කට බෙදා ඇති ක්‍රිෂ්ණ මුහුර්ති සූක්ෂ්ම නක්ෂත්‍ර පද්ධතිය උපයෝගි කරගෙන ප්‍රශ්න කරන්නාගෙන් අංක 249 පහළ අංකයක් ලබාගෙන එම අංකයට අයත් රාශිය ලග්නය ලෙස ගෙන භාව කේන්දරයක් සාදා ග්‍රහයන් පිහිටුවා ක්‍රිෂ්ණ මුහුර්ති ක්‍රමයට තත්කාල පලාපලයක් සේවාදායකයාට ලබාදීමයි.

නමුත් වර්තමානයේ බොහෝ තත්කාල ශාස්ත්‍රඥයින් තත්කාලයෙන් පලාපල කීමට තත්කාල කේන්දර ගොඩනැඟීමට භාවිත කරන ක්‍රමය වන්නේ. තත්කාලයෙන් ප්‍රශ්න ඇසීමට එකම පුද්ගලයා මුලින් බුලත් දුන් වේලාව හෝ ඔහු හෝ ඇය උපන් ලග්න කේන්දරය තම අත තැබු වේලාව හෝ තමා ඉදිරියේ අසුන් ගත් වේලාව සටහන් කරගෙන පංචාංග ලිතක් ආධාරයෙන් තත්කාල ලග්නය, නවාංශකය, හෝරාව, පංචමකාල හෝරාව, සූක්ෂම කාල හෝරාව ගණනය කර සටහනක් කරගෙන තත්කාලයෙන් පලාපල ඉදිරිපත් කිරීමයි. මෙකී ක්‍රමයට තත්කාලයෙක් පලාපල කීමේදී ලග්නාධිපති උදා නවාංශකාධිපති හෝරාධිපති, පංචමකාල හෝරාධිපති, සූක්ෂ්ම කාල හෝරාධිපති තත්කාල ලග්නයෙහි පිහිටා ඇති ආකාරය දෙස බලා පලාඵල ගොඩනඟන හෙයින්, තත්කාල ලග්නය සමඟ උදාවූ නවාංශකයේ ග්‍රහයන් පිහිටුවා ගැනීම අවශ්‍ය වන්නේ නැත. ඒ හෙයින් ඒ ආකාරයට තත්කාල ලග්නයත් ලිතත් ආධාරයෙන් ගොඩනැඟීමට ගත වන්නේ මිනිත්තු 10 කටත් වඩා අඩු කාලයකි. එලෙස සාදාගත් තත්කාල කේන්දර සටහනක් විනාඩි කිහිපයක්, අධ්‍යයනය කොට සේවාදායකට පලාපලයක් ඉදිරිපත් කළ හැකිය.

තත්කාලයෙන් පලාපල කීමේදී දැන සිටිය යුතු වැදගත් ඡ්‍යෝතිෂ්‍ය සිද්ධාන්තයකි. ධාතු, මුල, සිද්ධාන්තය. මෙකී සිද්ධාන්තයෙහි රාශි සහ ග්‍රහයන් ධාතු, මුල, ජීව යනුවෙන් කොටස් 3 කට බෙදා වෙන්කර ඇත. පහත දැක්වෙන්නේ එලෙස ධාතු , මූල ජීව වශයෙන් වෙන් කරන ලැබූ රාශි සහ ග්‍රහයන්ය.

ධතු රාශි – මේෂ, කටක, තුලා, මකර

මූල රාශි – වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ

ජීව රාශි – මිථුන, කන්‍යා, ධනු, මීන

ධාතු ග්‍රහයන් – කුජ, චන්ද්‍ර, ශනි

මූල ග්‍රහයන් – රවි, සිකුරු

ජීව ග්‍රහයන් – බුධ, ගුරු

ඒ අනුව ධාතු – මිල, මුදල්, රන් ආදි දෑ නිවේදනය කරයි.

මුල – ඉඩකඩම්, ගේ දොර, වෘක්ෂලතාදිය දෑ නිවේදනය කරයි.

ජීව – සියලුම සත්වයින් නොහොත් ප්‍රාණීන්ය.

ඒ අනුව ඒ තැනදි තත්කාල ප්‍රශ්නය, භාණ්ඩයක්, ස්ථානයක් පුද්ගලයෙකුට හෝ සත්වයෙකුට සම්බන්ධ ද දැඩි යන නිගමනයකට එළඹීමට එකී සිද්ධාන්තය මහෝපකාරි වන්නේය. මෙකී ධාතු මුළු ජීව සිද්ධාන්තයේ ඉතා සූක්ෂ්ම ක්‍රමයක් ඇත. එකී ක්‍රමය භාවිතයෙන් ප්‍රශ්නය ධාතුවකට ,මූලයකට හෝ ජීවයකට සම්බන්ධ ද යන්න ඉතා නිවැරදිව හඳුනා ගත හැක. මෙකී ක්‍රමයේදී මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන ඔබගේ රාශිවලදි නවාංශක ධාතු, මූල,ජීව යන ක්‍රමයට ගණිනු ලැබේ. වෘෂභ,කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන ඉරට්ටේ රාශිවලදි නවාංශක ජීව, මූල, ධාතු ක්‍රමයට ගණනය කරනු ලැබේ. ඒ අනුව නිදසුනක් ලෙස ප්‍රශ්න ලග්නය මේෂය යැයිද නවාංශකය කටකය යැයි ද අපි සිතමු. ඒ අනුව ඔත්තේ රාශිවලදි නවාංශක ගණින්නේ ධාතුමුල ජීව ක්‍රමයට වන හෙයින් මේෂයේ පළමු නවාංශකය වන මේෂයේ සිට සිව්වැනි නවාංශකය වන කටකය තෙක් ධාතු, මූල ජීව ක්‍රමයට ගැන්නවිට සිව්මුනි නවාංශකය වැටෙන්නේ ධාතු නවාංශකය කටය. ඒ අනුව එතැනදි ප්‍රශ්නය යම් කිසි භාණ්ඩයකට සම්බන්ධ බව පැහැදිලි වේ.

දූත ලක්ෂණ අනුව ද ප්‍රශ්නය ධාතුවකට, මූලයකට හෝ ජීවයකට සම්බන්ධද දැයි යන්න දැන ගත හැකිය. ඒ මෙසේ ය. දූතයා උඩ බැලීනම් ජීව චින්තාවක

දූතයා සම දෘෂ්ටියෙන් බැලීනම් ධාතු චින්තාවකි.

දූතයා බිම බැලී නම් මූල චින්තාවකි.

එසෙම දූතයා දෛවඥයාගේ දකුණු පැත්තේ අසුන් ගත්තේ නම් ධාතු චින්තාවකි. වම් පැත්තේ අසුන් ගත්තේ නම් ජීව චින්තාවකි. සම්මුඛව අසුන් ගත්තේ නම් මූල චින්තාවකි.

ඒ අනුව බොහෝ තත්කාල ශාස්ත්‍ර පිළිබඳව ලියැවුණූ පොත්පත්වල මෙන්ම ඡ්‍යොතිෂ්‍ය පුවත්පත වල පළවන තත්කාලය පිළිබඳව ලියැවුණු ලිපිවල මෙකි ධාතු, මූල, ජීව න්‍යායට ප්‍රමුඛතාවයක් දෙමින් මෙකි ධාතු මූල ,ජීව ක්‍රමය ගැන බොහෝ කරුණු විග්‍රහ කර ඇති නමුත්, සෑම තත්කාල ප්‍රශ්නයක්ම විසඳීමට මෙකී සිද්ධාන්තය අවශ්‍ය වන්නේ නැත. මෙකී සිද්ධාන්තය අවශ්‍ය වන්නේ ලාභයක්, පාඩුවක් හෝ සොරකමක් වැනි ප්‍රශ්නයකදී එකී විෂයට සම්බන්ධ වූ දෙය ධාතුවක් ද ,මූලයක් ද, ජීවයක් ද යන්න පැහැදිලි කර ගැනීමටය. එහෙයින් රැකියා, අධ්‍යාපන, කොටළු ප්‍රශ්න, තරගයකින් ලැබෙන ජය පරාජය පිළිබඳ ප්‍රශ්න විසඳීමට මෙකී ක්‍රමය අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව එවැනි ප්‍රශ්නවලදි මෙකී ක්‍රමය භාවිත කළහොත් වන්නේ තත්කාලයෙන් කියන පලාපල වැරදි යාමයි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.