ධර්ම කර්මාධිපති යෝගය හා රාශි

ඔක්තෝබර් 16, 2020

ඕනෑම ජන්ම කේන්ද්‍රයක ධර්ම ස්ථානය හා කර්ම ස්ථානය වන නවවැන්න හා දසවැන්න අධිපතියන් යම් භාවයක එක්ව යෝගවීමෙන් හෝ එම අධිපතීන් ස්ථාන මාරු කර ගැනීමෙන් ධර්ම කර්මාධිපති නම් රාජ යෝගය උදා කරයි. මෙම රාජ යෝගය ජන්මියාට උසස් ජීවන තත්ත්වයක් ලබාදීමට නියමිත වුවත් එම අධිපතීන් ලැගුම් ගන්නා රාශි හා භාව අනුව ප්‍රතිඵල වෙනස් වන බව සඳහන් කළ හැකි ය.

ජන්ම පත්‍රයක නවවැන්න ගුරු ස්ථානය, භාග්‍යස්ථානය, ශුභස්ථානය, පුණ්‍යස්ථානය යන නම් වලින් හඳුන්වයි. මෙයින් පෙර ආත්මවල කරන ලද පින්, උසස් සිතිවිලි, විදේශ සංචාර, දුර ගමන්, යහපත් ක්‍රියාකාරකම්, වාසනාව, ආගම් ලැදියාව වැනි ගුණාංග නියෝජනය කරන අතර, රවි හා ගුරු කාරකත්වය දරයි.

දසවැන්න කර්මස්ථානය, රාජ්‍යස්ථානය, ආත්මස්ථානය, පීතෘස්ථානය යන නම්වලින් හඳුන්වයි. මෙයින් පුද්ගලයන්ගේ දිවිපැවැත්ම, දියුණුව, ව්‍යාපාර, ගෞරවය, ධෛර්ය, රැකියාව හා නායකත්වය වැනි ගුණාංග නියෝජනය කරන අතර, බුධ, ශනි, රවි හා ගුරු කාරකත්වය දරයි.

මෙම භාවාධිපතීන් දෙදෙනා එක්වීමෙන් උදාවන ධර්මකර්මාධිපති යෝගය හිමි පුද්ගලයා තම ජීවන වෘත්තිය දැහැමින් පවත්වාගෙන යනු ලබන අතර, අභිමානවත් විචක්ෂණශීලී භාවයෙන් යුත් ධෛර්යවන්ත පුද්ගලයෙකු බවට පත් කරයි.

එහෙත් මෙම යෝගය නිර්මාණය වන භාවය හා රාශිය අනුවත් සංයෝගවන වෙනත් ග්‍රහයින් හා ඔවුන්ගේ ස්වභාවය අනුවත් ග්‍රහ දෘෂ්ටි හා උදාවන දශා අතුරු දශා අනුවත් යෝග ඵලය අඩු වැඩි වීමට පුළුවන.

මෙම යෝගය නිර්මාණයවීමේදී සඳු + රවි, රවි + බුධ, බුධ + සඳු, කුජ + ගුරු, කුජ + සිකුරු, බුධ + සිකුරු, ගුරු + ශනි යන ග්‍රහ ද්විත්වයන්ගෙන් සංයෝගව ඔවුන් සම හා මිත්‍ර භාවයෙන් පවත්නා අතර, එම ද්විත්වය ලැගුම් ගන්නා රාශීන්ගේ ස්වක්ෂේත්‍ර උච්ච ,නීච, මිත්‍ර සතුරු සම බව හේතුකොට ගෙන හා උදාවන මහ දශා අතුරු දශා අනුව ද ජන්මීන් පෙර ආත්මවල කරන ලද කුසලාකුසල කර්මයන් මත ද මෙම යෝගයේ ප්‍රතිඵල වෙනස් වේ.

මේ අනුව මේෂ රාශියට නවවැන්න හා දසවැන්න අධිපතීන් ගුරු හා ශනි වන අතර, මේ දෙදෙනාගේ සංයෝගය ඔවුනොවුන්ට සම තත්ත්වයෙන් යුතු ය. ඔවුන් මේෂ රාශියේ භාවගත වූවේ නම් මිත්‍ර හා නීච බවෙන් යුතු ය. ගුරු දොළොස්වැන්නට හා ශනි එකොළොස්වැන්නට කාරක වේ. මේ අනුව ශනි මේෂයට පාපියෙකි. ගුරු දිග්බලව ශුභ වේ. මෙහිදී ශනිට එකොළොස්වැන්නේ මාරක ස්ථානයේ අධිපතිකම හිමි වේ. මේ නිසා මේෂ ලග්නයට ධර්ම කර්මාධිපති යෝගය ක්‍රියාත්මක වීම අඩු බවක් පෙන්වයි. ගුරු දොළොස්වැන්නේ අධිපති වන අතර, ගුරුගේ පිහිටීම යහපත් බවෙන් යුතු ය. එබැවින් ගුරුගෙන් ශනිගේ අශුභ ඵල අඩු කිරීමට හේතුවන මුත් සෙනසුරුගේ දශාවන්හිදී ශනිගේ බලපෑම ඉහළ යයි. එහෙත් මේෂයට නවවැන්නේ මෙම යෝගය යෙදුනේ නම් ගුරු ස්වක්ෂේත්‍රව රණහංස යෝගය ද දසවැන්නේ යෙදුනේ නම් ශනි ස්වක්ෂේත්‍රව සස යෝගය මෙන්ම ශ්‍රීකාන්ත යෝගය ද ක්‍රියාත්මකව උසස් ප්‍රතිඵල ලබාදීමට හේතුවේ. එමෙන්ම මේෂයේ කේන්ද්‍රස්ථාන වන හතරවැන්නේ මෙම යෝගය වී නම් ගුරු කටකයට උච්ච වී ගුරුහංස යෝගය මෙන්ම ජයසිඳු යෝගය ද උදා කරයි. මෙහිදී ගුරුගෙන් උසස් තත්ත්වයක් ලබාදෙන අතර, ශනි කටකයට සතුරු වුවත් ශනිගේ දුර්වලකම් ගුරුගේ බලයෙන් නිෂේධනය කරයි. කේන්ද්‍රස්ථානයක් වූ සත්වැන්නේදී ගුරු තුලාවට සතුරුව ශනි උච්ච බලයෙන් දිග්බලව ශනිගේ බලය නොමඳව ලබා දේ. මෙහිදී ශනිගේ සස යෝගය මෙන්ම සේනක යෝගය උදා කරයි. මෙහිදී පීඩා වූ ගුරු ශනිගේ බලයෙන් ඉහළ තත්ත්වයක් ලබා දේ. මේෂයට ත්‍රිකෝණ ස්ථානයක් වූ පස්වැන්න වන සිංහයේදී ගුරු මිත්‍රව ශනි සතුරු මූඩව හැසිරේ. එබැවින් නවවැන්නේදී මෙන් පස්වැන්නේ දී ධර්ම කර්මාධිපති යෝගය ඵල නොදේ. එහෙත් පස්වැන්නේ ගුරු ශනි සමඟ රවි යෙදීමෙන් හෝ ලග්නයේ කුජ යෙදීමෙන් පස්වැන්නේ යෙදෙන ධර්ම කර්මාධිපති යෝගය බලවත් වේ. එමෙන්ම මේෂයේ දෙවැන්න, තුන්වැන්න, සවැන්න, අටවැන්න යන භාවවලදී ගුරු ශනි සතුරු මිතුරු භාවයෙන් යුක්ත බැවින් ධර්ම කර්මාධිපති යෝගයේ බලය ඉහළ යාමට ශුභ ග්‍රහයෙකුගේ සංයෝගයක් හෝ දෘෂ්ටියක් ලැබීමෙන් සිදුවන අතර, පාප ග්‍රහ සංයෝග හෝ දෘෂ්ටිවලින් බලය හීන කිරීමට ද අවස්ථා ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.