බලගතු නැකතක මහිමය

ජනවාරි 29, 2021

වනරෝපා සූත්‍රයට ද අනුගතවන පරිද්දෙන් මෙතුමන් විසින් සිදුකරන්නට යන මේ මහා පින්කම ගැන පුදුමයටත්, සතුටටත් පත් ව එහි සිටි ඡ්‍යොතිෂය මනාව දත් නාහිමිපාණන් වහන්සේ නමක් විසින් එම පොල්පැළ සිටුවීම සඳහා අද්යාර් වත්තේ වළවල් කැපීමට ද, ඉන් පසුව පොල් පැළ සිටුවීමට ද සුවිශේෂ නැකත් දෙකක් සාදා දෙන ලද්දේ ය.

 

ගාල්ලේ අමරසූරිය මුහන්දිරම්තුමා ඕල්කොට්තුමාගේ අද්යාර් පින් බිමේ සුවිශේෂ නැකතකට පොල් සිටුවූවා. වෙසක් සතියේ බෞද්ධ කොඩිය සමඟ සිදුකළ මහවනරෝපා සූත්‍ර පින්කම ඉස්සර කාලේ අපේ මේ හෙළ දිවයින හැඳින්වූයේ ‘පෙරදිග ධාන්‍යාගාරය’ කියා ය. එහෙයින් පැරකුම් රජ සමයේ අපට තිබූ නැව් කිහිපයක්ම උපයෝගී කරගෙන අහලපහළ රටවල් කිහිපයකටම සහල් තොග යැවූ බව ඉතිහාසයෙන් කියැවෙන සත්‍යයකි. කරලින් බර කෙත්යායෙන් පිරි, පරිසරයෙන් හමා එන සුවඳින් සිත් සතන් හරවත් නැණවත් කරගත් යහගුණැති සිංහලයෝ තෙරුවන් සරණ නිසි සේ ලැබ එකලෙහි ලොව සෙසු ජාතීන් අතර මුල්තන්හි වැජඹුණහ.

අපේ කෙත්වතු, නගර නිර්මාණ, වාරි නිර්මාණ මෙන් ම ශෛලමය පිළිම නිර්මාණ පවා සෙසු ලෝකයාට විශ්මය ගෙන දුන්නේ අපේ සෛංහලීය ගර්වය නිසාම ය.

ඒ එකල ය. එහෙත්, පසු කලෙක අපට බලපෑ නොයෙක් වින්නැහි නිසා අපේ රටේ ජනතාවට සිදුවූයේ නැව් මඟින් පිටරටින් සහල් එන තෙක් මුහුදට දත නියවා ඉන්නට ය.

මේ තත්ත්වය නිසි සේ තේරුම්ගත් මෑත යුගයේ සිටි අභීත සිංහලයෝ ව්‍යාපාරික අංශයෙන් මෙන් ම අනෙකුත් සමාජමය අංශයන්වලින් ද රටේ තැනක් ගෙන සිටියවුන් සමඟ සිටිමින් අපේ හෙළකම සෙස්සන්ට ද දැක්වීමට මූලික වූහ.

අපේ පූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ ආගම්වාද පිළිබඳ යශෝරාවය ඇමරිකාවේ දී අසන්නට දකින්නට ලැබුණු සෙන්පති ඕල්කොට්තුමාණන් විසින් මෙහි පැමිණ ඇති කරන ලද ජාතික ආගමික පුනරුදයෙන් පිබිදුණු ගාල්ලේ අමරසූරිය මුහන්දිරම්තුමා විසින් සිදුකළ අමුතුම අන්දමක දස්කමක් පිළිබඳව කරුණු ඉතිහාසයේ වැලිතලාවන් නිරාවරණය කරමින් හෙළි කිරීම මෙම ලිපියේ අරමුණ ය.

වර්ෂ 1880 දී ගාල්ලෙන් ලංකාවට ගොඩ බට සෙන්පති ඕල්කට්තුමා ඇතුළු සර්වාගමික පිරිස සමාදරයෙන් පිළිගන්නට මුල් වූ ප්‍රභූන් අතර ද මුල්තැන් හි සිටි ගාල්ලේ අමරසූරිය මුහන්දිරම්තුමෝ ඕල්කොට් සෙන්පතිතුමන්ගෙන් ලැබුණු අසහාය සහාය ඉහළින්ම අගය කළ කෙනෙකු ද වූහ. එහෙයින් ඉන් පිබිදුණු එතුමෝ ඕල්කොට්තුමන් වෙනුවෙන් අමුතුම අන්දමක පූජාවක් කිරීමට ඉටා ගත්හ.

විශේෂයෙන්ම අමරසූරිය මුහන්දිරම්තුමාගේ ප්‍රසාදයට හේතු වූ ප්‍රධාන කාරණය නම් වර්ෂ 1883 දී සිදු වූ කොටහේනේ බෞද්ධ පෙරහරට පහර දුන් කතෝලිකයන්ට විරුද්ධව නියම ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා ඒ පිළිබඳව එංගලන්තයේ යටත්විජිත ලේකම්වරයාට ඔප්පු කරනු පිණිස මේ ඉංගී‍්‍රසි ආණ්ඩුව විසින් පැන වූ බෞද්ධ පෙරහර තහනම පිළිබඳවත් වසර සිය ගණනාවකට පෙර තහනම් කරන ලද වෙසක් නිවාඩුව යළි පැනවීමටත්, පෙත්සමක් මඟින් කරන ලද ඉල්ලීම අනුව ඕල්කොට්තුමාගේ ගමනින් ඉහළම සාර්ථකත්වයක් සිදු වූ නිසා ය. ඒ අනුව, ප්‍රථම වතාවට ලංකාවේ ඉංගී‍්‍රසි ආණ්ඩුව මගින් වර්ෂ 1895 වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබිණ. මෙම වෙසක් නිවාඩුව ප්‍රකාශයට පත්කරවන්නට පෙර ඕල්කොට් සෙන්පතිතුමන් ඉදිරිපත් කළ එක් අදහසක් නම් ලෝකයේ බෞද්ධයනට නිශ්චිත නියම ධජයක්, බෞද්ධ කොඩියක් තිබිය යුතු බව ය. එනිසාම එතුමෝ කොළඹ පරමවිඥානාර්ථ ශාඛාවේ නිලධාරීන් අතරින් කමිටුවක් පත් කළහ. එහි කරෝලිස් පූජිත ගුණවර්ධන මහතා විසින් බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් නිකුත් වූ පංචවර්ණය සංකේතවත් කරමින් කොඩි නිර්මාණයක් සකස් කර තිබිණ.

බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් නිකුත්වන මේ පංච වර්ණය සංකේතවත් කරමින් මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ තම ආගම්වාදවල දී ගෙන ගියේ එම පාට රෙදි පටි කැබලි එක් කරන ලද කොඩියකි. එහෙත් එය කොඩියක ස්වරූපයෙන් නොව රිටක එල්ලන ලද පංච වර්ණ රෙදි තීරු විය. කරෝලිස් පූජිත ගුණවර්ධන මහතා යෝජිත බෞද්ධ කොඩියේ නිර්මාණයට අනුරූප වශයෙන් ගන්නා ලද්දේ ගුණානන්ද හිමියන්ගේ එම කොඩිය ය. මෙසේ වූ බෞද්ධ කොඩියත් පළමු ආණ්ඩුවේ වෙසක් නිවාඩු දිනයත් මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ දී ද, කොටහේනේ දීපදුත්තාරාමයේ දී ද මහ ජයට උත්සවාකාරයෙන් පවත්වන ලද්දේ ය. ඒ අනුව බොරැල්ලේ සිට පැමිණි බෞද්ධ පෙරහරක් මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ද, කොටහේනේ දීපදුත්තාරාමයෙන් පිටත් ව වීදි සංචාරය කරමින් පැමිණි පෙරහරක් විද්‍යෝදය පිරිවෙනට ද පැමිණියේ සියල්ලන්ගේ අතේම පාහේ බෞද්ධ කොඩි ලෙළවමිනි.

මෙකල ගාල්ලේ පරම විඥානාර්ථ ශාඛාවේ ලේකම්වරයා වශයෙන් ඕල්කොට්තුමා විසින් අමරසූරිය මුහන්දිරම්තුමා පත් කරන ලද්දේ ය. ඒ පිළිබඳව සතුටට පත් එතුමෝ වර්ෂ 1889 වෙසක් මාසය තුළ ඉන්දියාවේ අද්යාර් පින් බිමේ පොල්වත්තක් සිටුවන්නට කටයුතු සූදානම් කළහ.

සාර්ථක මත්පැන් රේන්දකරුවකු වූ අමරසූරිය මුහන්දිරම්තුමෝ තමනට අයිති පොල්වතුවලින් සුවිශේෂ පොල් පැළ 1100ක් තවන්කර ලබා ගත්තේ ය. ඉන්පසු එම පොල් පැළ ගාල්ලේ විජයානන්ද විහාරස්ථානයට ගෙන ගිය එතුමෝ එහි නායක පූජ්‍ය අක්මීමන ධම්මාරාම හාමුදුරුවන් හමුවට මෙම පොල් පැළ සෙන්පති ඕල්කොට්තුමාගේ අද්යාර් පින් බිමේ සිටුවන්නට ගෙන යන බව කියා සිට එම පොල් පැළවලට සෙත්පිරිත් දේශනාකර, පිරිත් පැන් ඉස ආශිර්වාද කරන ලෙසට ද ඉල්ලා සිටියහ.

වනරෝපා සූත්‍රයට ද අනුගතවන පරිද්දෙන් මෙතුමන් විසින් සිදුකරන්නට යන මේ මහා පින්කම ගැන පුදුමයටත්, සතුටටත් පත් ව එහි සිටි ඡ්‍යොතිෂය මනාව දත් නාහිමිපාණන් වහන්සේ නමක් විසින් එම පොල්පැළ සිටුවීම සඳහා අද්යාර් වත්තේ වළවල් කැපීමට ද, ඉන් පසුව පොල් පැළ සිටුවීමට ද සුවිශේෂ නැකත් දෙකක් සාදා දෙන ලද්දේ ය. ඒ පිළිබඳව ද අමරසූරිය මුහන්දිරම්තුමෝ අතිශය සතුටට පත් වූහ.

එම වසරේ මැයි මාසයේ මැද දිනක වෙසක් දින උදා වූ හෙයින් එතුමෝ සවිමත් තරුණයන් විසිපස් දෙනකු සමඟින් සුලුප්පු නම් යාත්‍රා දෙකකින් පොල් පැළ 1100ක් මදුරාසි වෙරළ කරා ගෙන යන ලද්දේ ය. එතැන් සිට සැතපුම් 40 පමණ වූ අද්යාර් පින් බිම කරා බර කරත්ත ගණනාවක් ම උපයෝගී කරගෙන පොල්පැළ ප්‍රමාණය ප්‍රවාහනය කරන ලද්දේ ය. ඒ සමඟම සුවිසල් ප්‍රමාණයේ බෞද්ධ කොඩි දහස් ගණනක් ද ගෙන ගොස් තිබිණ.

ඕල්කොට් සෙන්පතිතුමන් හමුවේ මුලින් ලංකාවේ දී කියන ලද අදහස මෙසේ ක්‍රියාවට නැංවීම සඳහා එහි ගෙන ආ විට දී මේ සිංහලයාගේ අමුතුම ජාතියක පින්කම පිළිබඳව ඕල්කොට්තුමෝ අතිශයින් ම පුදුමයට ද සතුටට ද පත් වූහ.

අක්කර තුන්සිය හැටක භූමි භාගයක වූ අද්යාර් පින් බිමේ අක්කර හැට ගණනක ප්‍රමාණයක මෙම පොල්වත්ත සඳහා පැළ සිටුවීමට සැලසුම් කෙරිණ. ගාල්ලේ නාහිමියන්ගේ නැකත අනුව තරුණයන් විසි පස්දෙනා විසින් එකම අවස්ථාවේ වළවල් විසි පහක් කැණීමෙහි යෙදුණහ. ඉන් පසුව පොල් පැළ දහසක් සිටුවීමේ සෙසු වළවල් කැණීම ද දවස් ගණනක් තිස්සේ සිදු කෙරිණ. මේ අසා අහළ පහළ සිට තියොසොෆිකල් මතධාරී ඉන්දියානුවන් ද පැමිණ එම කටයුත්තට සහය දැක්වූහ.

වර්ෂ 1889 මැයි මාසයේ වෙසක් පෝයදාට පෙර දින යෙදී තිබූ සුබ නැකත අනුව ප්‍රථම පොල් පැළය සිටුවන ලද්දේ සෙන්පති ඕල්කොට්තුමා අතින් ය. ඉන් පසුව ආරාධිත සෙසු අය අතින් ද පොල් පැළ සිටුවීම සිදු කෙරිණ. මේ අතරම අමරසූරිය මුහන්දිරම්තුමා විසින් සිදු කළ තවත් කාර්යයක් වූයේ ගී‍්‍රස්ම කාලයට වතුර හිඟවීම නිසා පොල් පැළ කරා යෙදවීම සඳහා එම කොටස මධ්‍යයේ විශාල ළිඳක් කැප්පවීම ය. ඉන් පසු එහි ජලය ගලා යාමට කාණු ද සකස් කරන ලද්දේ ය. කනින් කොනින් ආරංචි වීමෙන් පසුව ලංකාවේ සිංහල බෞද්ධ නායකයකු ඉන්දියාවේ අද්යාර් පින් බිමේ සිදුකළ මේ මහා පුණ්‍යකර්මය පිළිබඳව දැකබලා ගැනීමට ද වරින්වර විශාල පිරිසක් එහි පැමිණියහ. මේ අතර, අමරසූරිය මුහන්දිරම්තුමාණන් මත්පැන් රේන්දකරුවකු වූ හෙයින්ම ඉන්දියාවේ ප්‍රංශ ආණ්ඩුවට අයත්ව තිබුණු කුඩිච්චේරියේ අරක්කු රේන්දයේ වෙළඳාම් අයිතිය ද ලබාගෙන තිබුණි. එහෙත් මෙම වනරෝපා පොල්වත්ත වැවීමේ පින්කමෙන් පසුව එම අරක්කු රේන්දය පිළිබඳ දැනගත් ඕල්කොට්තුමෝ අමරසූරිය මුහන්දිරතුමාට එය අත්හරින්නට යැයි පැවසූ හෙයින් එතුමෝ එය එසේ සිදුකර සිටියහ.

මෙසේ තව තවත් බොහෝ උද්යෝගයෙන් බෞද්ධාගමික කටයුතු කෙරෙහි සෙන්පති ඔල්කොට්තුමන්ගේ ද අභිප්‍රාය අනුව අමරසූරිය මුහන්දිරම්තුමන් කටයුතු කරමින් සිටියදී වසර හතකට පසුව 1896දී එම පොල් පැළ පීදී ඵලදරන්නට විය. මෙහි දී සියල්ලන්ටම වඩා සතුටට පත් වූයේ සෙන්පති ඕල්කොට්තුමා ය. එතුමන් කළේ ලංකාවට පණිවුඩයක් එවා අමරසූරිය මුහන්දිරම්තුමාව එහි ගෙන්වාගෙන ‘අමරසූරිය ගාඩ්න්ස්’ (ඒථචපචඵභපඪරච ට්චපඤඥදඵ) යනුවෙන් නම් කළ එම පොල්වත්තේ පුවරුව එතුමන් අතින් විවෘත කරවීම ය. එම අවස්ථාවේ දී ඕල්කොට්තුමා කියා සිටියේ ‘මෙම පොල්වත්ත ඵලදරන්නට ගත්තායින් පසුව මගේ සිතට ඇති වූයේ අපේ අදහස් ඉදිරි පරම්පරා වෙත ලබා දෙනු පිණිස අලුත් අනුගාමික පරම්පරාවක් ඇතිවුණා.” යනුවෙන් වූ කතාවකි.

මෙම පොල්වත්ත ඇති කිරීම පිළිඳවත් ඕල්කොට්තුමාගේ එම ප්‍රකාශය පිළිබඳව වූ වාර්තාවක් “සිංහල ජාතිය” සඟරාවේ 1909 ඔක්තෝබර් 01 වැනි දා කලාපයේ පළ වී තිබිණ. එම ඓතිහාසික කලාපය මට ද දක්නට ලැබිණ. එයින් පසුව වර්ෂ 2007 දී ඉන්දියාවේ අද්යාර් තියෝසොෆිකල් මූලස්ථානයේ පවත්වන තියොසොෆිකල් සමාගමේ 132 වැනි සංවත්සර සතියේ උත්සව රැස්වීම සඳහා අපට ද ආරාධනා ලැබිණ. එය අප වෙත ලැබුණේ වැල්ලවත්තේ ෆෙඩ්රිකා පාරේ, මූලස්ථානය තිබෙන පරමවිඥානාර්ථ සමාගම් කාර්යාලයේ ලංකා සභාපති හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ද වන ස.මු. ජයතිලක මහතාගෙනි. එයට එවකට කෝට්ටේ නගර සභාවේ නාගරික ලේකම් වූ ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහතා සහ මහත්මිය හා පුතා ද, දියගම ඩබ්ලිව්.ජී. වීරවර්ධන මහතා, ආචාර්ය ඊ.ඇම්. රත්නපාල යුවළ ද ඇතුළු පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊට සහභාගි වූයෙමු. එහි ගිය අප සියලු දෙනාටම එම ඓතිහාසික පොල්වත්ත දක්නට ලැබුණි. වැඩිපුර වල්ගස්වලින් යුත් එම බිමේ සාරවත් වගාවකට තිබුණේ අක්කර හැට ගනණකින් යුත් අමරසූරිය පොල්වත්ත පමණි. දැනුදු වසර ගණනාවකට, පරම්පරා ගණනාවකට පසුව වුව ද එම පොල්වත්ත තවමත් ඵලදරමින් තිබේ. එහෙත් එහි එදා ඕල්කොට් සෙන්පතිතුමා විසින් විවෘත කරවනු ලැබූ ‘අමරසූරිය ගාඩ්න්ස්’ පුවරුව එහි දක්නට නොලැබුණි. එහෙයින් ‘සිංහල ජාතිය’ සඟරාවේ 1909 වාර්තාව ද සමඟින් යළිත් එම පෙදෙස ‘අමරසූරිය ගාඩ්න්ස්’ ලෙස නම් කළහොත් මැනැවැයි අපේ සභාපති ස.මු. ජයතිලක මහතා මගින් එහි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියෙමු.

ගාල්ලේ අමරසූරිය මුහන්දිරම්තුමා විසින් වනරෝපා සූත්‍රය අනුව සුවිශේෂ නැකතකට අනුව සිටුවන ලද මෙම මහා පොල්වත්ත අද ද සිංහල දානපතියකුගේ පින්කමක් ලෙස ඉතිහාසගත ව ඉන්දියාවේ අද්යාර් පින් බිමේ දක්නට ඇත.

බුදුන් වහන්සේ ජීවමානව වෙසෙන සමයේ දී ප්‍රධාන දායකයාව සිටි අනේපිඬු සිටුතුමාණන් ද නොයෙක් විට අමුතුම අන්දමේ පුණ්‍යකර්මයන් සිදු කරමින් සෙසු ශ්‍රාවක ජනතාව පුදුම කරවූ බව ද බෞද්ධ සාහිතත්‍යයේ දක්නට ලැබෙන කාරණයකි. මෙසේ ඉන් වසර දෙදහස් ගණනකට පසුව අපේ ලංකාවේ අමරසූරිය මුහන්දිරම්තුමා විසින් කරන ලද වනරෝපා සූත්‍රයට අනුකූල මෙවන් වූ පුණ්‍යකර්මය එදා මෙදා තුරේ කිසිවෙකුත් කර නැති අන්දමේ එකක් බව ද සැලකිය හැකි ය. එහෙයින්ම පසු කලෙක අමරසූරිය පරම්පරාවටම ආපසු බලා තම මුත්තණුවන්ගේ තවමත් ජීවමානව පෙනෙන මෙම පුණ්‍යකර්මය පිළිබඳව කියා ලියා සතුටට පත්විය හැකි යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

සෝමසිරි කස්තුරිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.