විපරිත රාජ යෝග ඔබටත් තිබේ ද?

පෙබරවාරි 12, 2021

ලග්න කේන්දරයකට ශුභ බල දෙතැයි සැලකෙන 1,4,7,10 යන කේන්ද්‍ර ස්ථානාධිපතියනුත් 5,9 යන ත්‍රිකෝණ ස්ථානාධිපතියනුත් 2,11 යන ධන ස්ථානාධිපතියනුත් මුල් කරගෙන පැන නඟින විවිධ රාජ යෝගයන් ජන්මියාට ශුභ ඵල දානය කරන බව ඡ්‍යොතිෂ්‍ය පිළිබඳව සුළු දැනුමක් ඇති අයවලුන් පවා පිළිගන්නා කාරණයකි.

 

ඒ නමුත් කේන්දරයක දුෂ්ට ත්‍රිකයට හිමිකම් කියන 6,8,12 යන භාවාධිපතියන් මුල් කරගෙන පැන නඟින විපරිත රාජ යෝගයන් ජන්මියාට ශුභ ඵල දානය කරන බව ඡ්‍යොතිෂ්‍ය පිළිබඳව සුළු දැනුමක් මෙන්ම සාමාන්‍ය දැනුමක් ඇති අයවලුන් පවා පිළිගැනීමට මැලිවන කාරණයක් බවට පත්ව ඇත. එයට හේතුව නම් 6,8,12 යන භාවාධිපතියන් සැමවිටම ලග්න කේන්දරයට අශුභ ඵල දීමට මාන බලන භාවාධිපතියන් වන හෙයිනි. එහෙත් මෙකී 6,8,12 දුෂ්ට භාවාධිපතියන් තමාට හිමි දුෂ්ට භාවයේම හෝ අනෙක් දුෂ්ට භාවයන් දෙකකින් එකක සිටීම (6 අධිපති 6 හිම හෝ, 8,12 යන භාව දෙකකින් එකක සිටීම, 8 අධිපති 8 වැන්නෙහිම හෝ 6,12 යන භාවයක සිටීම, 12 අධිපති 12 වැන්නෙහිම හෝ 6,8 යන භාවයක යෙදීම) ශුභය. මන්දයත් එවිට විපරිත නම් රාජයෝගයක් යෙදෙන හෙයිනි. ඒ අනුව මෙකී විපරිත රාජ යෝගයේ විශේෂත්වය නම් මෙකී විපරිත යෝගධාරියා ජීවිතයේ මුල් අවදියේදී, දුෂ්කරතා, අගහිඟකම්වලට, බාධකවලට මුහුණ දී ඒවා ක්‍රම ක්‍රමයෙන් ජය ගනිමින් පහත් මට්ටමක සිට උසස් තත්ත්වයක් කරා ළඟාවීමයි. ඒ අනුව වර්තමාන සමාජයේ ජීවත්වන ජනපි‍්‍රය නළු, නිළියන් ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දේශපාලනඥයන්ගේ කේන්දරවල ඇති අනෙකුත් ග්‍රහ යෝග අභිබවා මෙකී විපරිත රාජ යෝගය ඔවුන්ට තම වෘත්තියේ ඉහළ ස්ථානයකට ළඟාවීමට දායකවීමෙන් පැහැදිලි වන්නේ. කේන්දරයක යෙදෙන අනෙක් ග්‍රහයෝගවලට සමගාමීව මෙකී විපරිත රාජ යෝගයන්ටද ප්‍රමුඛත්වයක් දී පලාඵල කථනය කළ යුතු බවයි. ඒ අනුව කේන්දරයක විපරිත රාජ යෝග යෙදෙන්නේ මෙසේය.

හර්ෂ යෝගය

6 වැන්නාධිපතියා 6 වැන්නෙහිම හෝ 8,12 යන භාව දෙකකින් එකක යෙදීමෙන් හර්ෂ යෝගය පැන නගියි. මෙකී හර්ෂ යෝගයෙන් ලැබෙන පලවිපාක පිළිබඳව පැරණි ඡ්‍යොතිෂ්‍ය ග්‍රන්ථවල මෙසේ සඳහන්ව ඇත. හර්ෂ යෝගයෙන් උපන් තැනැත්තා නිතර පී‍්‍රතියෙන් සිටින වාසනාවන්ත කායික වශයෙන් නිරෝගී ශක්ති සම්පන්න කෙනෙක් බවත්, ඒ හේතු කොට ගෙන හර්ෂ යෝගධාරියව තම සතුරන්ට පරාජය කිරීමට නොහැකි බවත්, ධනවත් කීර්තිමත් වන හෙතෙම පාප ක්‍රියාවන්හි නියැළීමට බිය කෙනෙක් වන බව යන පල විපාකයන්ය. වර්තමාන කාලයට අනුව මෙකී යෝගයෙන් ලැබෙන පල විපාක මෙසේය. මෙකී යෝගධාරියාට විශේෂයෙන්ම සතුරු ප්‍රශ්න ජය ගැනීමට හැකියාවක් ලැබෙයි. ඒ අනුව සතුරු ප්‍රශ්න හේතු කොටගෙන ඇතිවන නඩුහබ වලින් මූල්‍යම හෝ දේපළ වාසි ලැබීමත් ඒ හේතුකොට ගෙන ඔහුගේ ජීවන තතත්ත්වය උසස් වීමක් සිදුවෙයි.

සරලා යෝගය

අට අධිපතියා 8 වැන්නෙහි හෝ 6,12 යන භාව දෙකකින් එකක තැන්පත් වීමෙන් සරලා යෝගය යෙදෙයි. මෙකී යෝගයෙහි පල විපාක වශයෙන් පැරණි ඡ්‍යොතිෂ්‍ය ග්‍රන්ථවල දක්වා ඇත්තේ මෙකී යෝගධාරියා, උගත්, දීර්ඝායුෂ ලබන සතුරන්, පරාජය කරමින් වැජඹෙන සතුරන්ට භීතිය ගෙන දෙන , නිර්භීත , කීර්තිමත්, ප්‍රසිද්ධ සමෘද්ධිමත් කෙනෙක් බවයි. වර්තමාන කාලයට අනුව මෙකී යෝගයෙන් ලැබෙන පල විපාක වෙනස්ය. ඒ අනුව අන්තිම කැමැති පත්‍රය මගින් ධනය දේපළ ලැබීම, මළගිය අයගේ දේපළ ධනය ලැබීම, වර්තමාන කාලයේ මෙකී සරලා යෝගයෙන් උපන් ජන්මින්ට ලැබෙන ශුභ ඵලය වන්නේය.

විමල යෝගය

12 වැන්නාධිපතියා 12 වැන්නෙහිම හෝ 6,8 යන භාව දෙකකින් එකක තැන්පත් වීමෙන් විමල යෝගය පැන නඟියි. මෙකී යෝගයෙන් ලැබෙන පල විපාක වශයෙන් පැරණි ඡ්‍යොතිෂ්‍ය ග්‍රන්ථවල දක්වා ඇත්තේ සකසුරුවම් සහිතව කටයුතු කරන, අනුන්ට ණය ගැති නොවන නිතර සතුටින් සිටින උතුම් ගුණ ධර්මයන්ගෙන් යුත් ස්වාධීන නිවහල් චින්තනයෙන් හෙබි කෙනෙක් වන බවයි. වර්තමාන කාලයට අනුව මෙකී යෝගයෙන් ලැබෙන පල විපාක ගැන කෙටියෙන් යමක් සඳහන් කළහොත් මෙකී යෝගය කේන්දරයක යෙදීමෙන් මෙකී යෝගධාරියාට අනපේක්ෂිත ලෙස සමිති සමාගම්වල, ව්‍යාපාර ආයතනවල, දේශපාලන පක්ෂවල මෙන්ම දේශපාලන තරගවලදී අනපේක්ෂිත ලෙස පදවි ලාභ ලැබීමට හේතු භූත වන ග්‍රහ යෝගයක් වන්නේය. ඒ අනුව මෙකී විමල යෝගය කවරෙකු ගේ හෝ මරණය, තමාගේ පදවි ලාභයට දේශපාලන ජයග්‍රහණයට හේතුවන යෝගය විශේෂයක් වන්නේය. මෙකී විමල යෝගය මෙරට දේශපාලනඥයන් බොහෝ දෙනෙකුගේ කේන්දරවල යෙදී ඇත. ඒ අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගේ කන්‍යා ලග්න කේන්දරයේ 8 වැන්නේ 12 වැන්නාධිපති රවි උච්ච වෙමින් මයුරපාල යෝගය සමඟ විමල යෝග යෙදීම, පේ‍්‍රමදාස මහතාගේ මේෂ ලග්න කේන්දර සටහනෙහි 12 වැන්නාධිපති ගුරු 8 වැන්නේ පතිතව විමල යෝගය උදාකර තිබීම, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ගේ කටක ලග්න කේන්දර සටහනේ 12 වැන්නාධිපති බුධ 12 වැන්න වූ මිථුනයෙහි වෙමින් අත්පෙත් යෝගය සමඟ විමල යෝගය උදා කර තිබීමෙන් පැහැදිලි වන්නේ මෙරට දේශපාලනඥයන්ගේ දේශපාලන පදවි ලාභවලට මෙකී විමල යෝගය කෙළින්ම දායක වී ඇති බවයි.

ලග්න කේන්දරයක හර්ෂ, සරල, විමල යන යෝග දෙකක් හෝ 3 ක් යෙදුණු විට එය විපරිත රාජ යෝග නමින් හඳුන්වනු ලැබේ. මෙකී විපරිත රාජ යෝගය ජන්මියා උපන් තත්වයට වඩා බෙහෙවින්ම උසස් තත්ත්වයකට ගෙන යන රාජ යෝග විශේෂයකි. ඒ අනුව මෙහි දැක්වෙන්නේ මෙරට ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කේන්දර සටහනයි. එම කන්‍යා ලග්න කේන්දර සටහනෙහි 6 අධිපති සෙනසුරු 6 වැන්නෙහිම පතිතව සිටීමෙන් හර්ෂ යෝගයක්, එම ශනි 6 වැන්න වූ කුම්භ රාශි ගතවීම නිසා ජය යෝගයක් උදාකර ඇති හෙයිනුත් 8 වැන්නාධිපති අඟහරු, 12 වැන්නෙහි යෙදී ඇත. පතිතව සරල යෝගය උදා කර ඇති හෙයින් එතැනදී විපරිත රාජ යෝගයක් යෙදී ඇත. මෙකී විපරිත රාජ යෝගයට සම්බන්ධ ශනි කන්‍යා ලග්නයට ප්‍රබල යෝගකාරක ග්‍රහයන් දෙදෙනෙක් වන සිකුරුගේ පූර්ණ දෘෂ්ටියක් බුධගේ සප්තම දෘෂ්ටියට ලක්වීමක් මෙකී විපරිත රාජ යෝගයට සම්බන්ධ අනෙක් ග්‍රහයා බලවත් සිකුරුගේ රාශි දෘෂ්ටියට භාජනය වීමත්,කුජ තැන්පත් රාශි අධිපති මහ පරිවර්තන යෝගයකට (චන්ද්‍ර ලග්නයෙන්) සම්බන්ධ වී ඇති හෙයිනුත්, එකී විපරිත රාජ යෝගය ජන්මියා ධාර්මික ක්‍රියාමාර්ගයක් තුළින් තම අරමුණූ ඉටු කර ගන්න. විපරිත රාජ යෝගයක් වීමට හේතුවී ඇත. ඉහත විග්‍රහ කළ හර්ෂ හෝ සරල හෝ විමල යෝගයක් හෝ එකී යෝග දෙකක් හෝ තුනක් එක්වීමෙන් පැන නගින විපරිත රාජ යෝගයක් කේන්දරයක අශූභව යෙදී ඇත්නම්, ජන්මියා තම අදහස් මුදුන්පත් කර ගැනීමට උපයෝගී කර ගන්නේ අධාර්මික, හිංසාවාදී, ක්‍රියා මාර්ගයන්ය. පහත දැක්වෙන්නේ යට විග්‍රහ කළ ලෙස අශුභ ලෙස යෙදුණු විපරිත රාජ යෝගයක් නිසා මෙරට විශාල මිනිස් ඝාතනයක් සිදු කළ ත්‍රස්තවාදී නායක වේලුපිල්ලෙ ප්‍රභාකරන් ගේ වෘෂභ ලග්න කේන්දර සටහනයි.

ඉහත කේන්දර සටහනේ 12 වැන්නාධිපති අඟහරු 6 වැන්නේ සිටීමෙන් විමල යෝගයත් 6 වැන්නාධිපති සිකුරු 8 වැන්නේ යෙදීමෙන් හර්ෂ යෝගයත් යෙදීම නිසා විපරිත රාජ යෝගයක් යෙදී ඇත. ඒ නමුත් මෙකී විපරිත රාජ යෝගයට සම්බන්ධ කුජ සහ සිකුරු රවි, රාහු, ශනි, කේතු යන සහජ පාපින්ගෙන් පාප කර්තරීත යෝගයකට මැදිවීමත් එකී කුජ සහ සිකුරු තවදුරටත් 8 අධිපති ගුරුගේ රාශි සහ පූර්ණ දෘෂ්ඨියට භාජනය වී ඇති හෙයින් එකී විපරිත රාජ යෝගයට සම්බන්ධ ග්‍රහයින් අතිශයින් පීඩා වී ඇති අතර, වෘෂභ ලග්නයට යෝග කාරකත්වයක් උසුලන සෙනසුරුත්, අර්ධ යෝග කාරකත්වයක් උසුලන බුධත්, රවිට අස්න වීමත් ලග්නය රවි, සඳු යන ග්‍රහයන් පාප ග්‍රහයන්ගේ පීඩාවට හසුවීමත් හේතුකොට ගෙන මෙකී විපරිත රාජ යෝගය ජන්මියාට අශුභ ආකාරයේ පල විපාක ලබාදෙන විපරිත රාජ යෝගයක් පත්ව ඇත. කරුණු මෙසේ වන හෙයින් විපරිත රාජ යෝග වේවා වෙනයම් ඕනෑම යෝගයකින් ලැබෙන පල විපාක තීරණය කළ යුත්තේ එකී යෝගය ශුභව හෝ අශුභව යෙදී ඇති ආකාරය අනුව බව මා මෙහිදී අවසාන වශයෙන් සඳහන් කරමි.

 

 

 

ඡ්‍යොතිෂවේදී

උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.