අවුරුදු චාරිත්‍රවලට අත්‍යවශ්‍ය බුලත්

අප්‍රේල් 9, 2021

අපට උරුම සිංහල බෞද්ධ සංස්කෘතියේ විවිධාකාර අංග උත්සවවලදී ප්‍රධාන තැනක් ගන්නා සුවිශේෂ සංකේතයක් ලෙස බුලත හැඳින්විය හැකිය. ඡ්‍යොතිෂයානුකූලව බුලත් කොළයට රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, කිවි ,ශනි, රාහු ,කේතු යන නවග්‍රහයින්ගේ බලය ලැබෙන බව කියනු ලැබේ.

 

බුලත් කොළයේ රේඛා හතක් තිබේ. ඒ හතට රාහු කේතු හැර ඉතිරි ග්‍රහයින් බලපාන අතර, බුලතේ අග ,මුල කොටස් දෙකට රාහු කේතු බලපාන බවට මතයක් ඇත. බුලත් නැට්ට පැත්ත රාහුට ද අනෙක් කෙළවර කේතුට ද අයත් වෙයි. බුලත් කන විට අග, මුල කඩා දමන්නේ එම පාප ග්‍රහයින් දෙදෙනාගේ ආකර්ශනය ඇති නිසා අශුභ හා විෂ සහිත වන හෙයිනි. මේ පිළිබඳ තව මතයක් තිබේ. බුලත නා ලොව සිට මනුලොවට ගෙන ඒමේදී නාග රාජයා එය අල්ලා ගෙන ආවේ අග කොටසිනි . එහෙයින් එම කොටස විෂ සහිත යැයි සලකන්නට ඇත. දේවාකර්ෂණ බලයක් හා ඖෂධීය ගුණ රාශියක් බුලතෙහි අඩංගු වේ. පැරණි මඟුල් ගෙවල්වල කියවුණ බුලත් තහංචි කවි පහත සඳහන් වේ. මනු ලොවට බුලත් ලැබුණ ආකාරය එයින් කියවේ.

පළමුව මේ කප නැසෙනා කාලෙදි බුලත් ගෙනාවේ කවුද කියන්

දෙවනුව මහ සම්මත රජ මඟුලට බුලත් ගෙනාවේ කවුද කියන්

පත්තිනි පාලඟ සහයට ගත්දා බුලත් බෙදුවේ කවුද කියන්

අසනුව මේ පද තෝරා මිස අද බුලත් හෙප්පුවට අත නොතියන්

 

පළමුව මේ කප නැසෙනා කාලෙදි බුලත් ගෙනාවේ නාග ලොවින්

දෙවනුව මහ සම්මත රජ මඟුලට බුලත් ගෙනාවේ බ්‍රහ්ම ලොවින්

පත්තිනි පාලඟ සහයට ගත්දා බුලත් බෙදුවේ දල කුමරුන්

අසනුව පිළිතුරු තහංචි අරවා බුලත් කන්ට අවසරය මුරුන්

 

දැන් අපි බුලත්වල ගුණ අගුණ විමසා බලමු

කාමං ප්‍රදීපයති රූප මහි ව්‍යනක්ති

සෞභාග්‍යමාවහති වක්ත්‍ර සුගන්ධිකාංච

ඌජං කරොති කථජාංශ්ව නිහන්තිරොගං

සතාම්බුල මෙවමපරාශෙව ගුණාත්කරොති

මෙම සිලෝවේ සිංහල තේරුම “බුලත් සෞභාග්‍ය ගෙන දීම රූප ශෝභාව ඇති කිරීම කාමය දැල්වීම සුවඳ හා ශරීර බලය ගෙනදී රෝග නැති කිරීම යන ගුණ හා අන්‍යවූ ගුණ ද ඇත්තේය.”

බුලත් කුළු රස ද තිත්ත රස ද උෂ්ණ හා මිහිරිද කසට යුක්ත ද ක්ෂාර ද වෙයි. වා සෙම් නසයි. පණුවන් දුරු කිරීම ද කාමාග්නිදීපන ද කතුන් පි‍්‍රය කතාවෙහි සැරසීම ද ඇලීම ද කෙරේ. බුලතෙහි ගුණ තෙළෙසකි. දුක සිඳ දමයි. දිව්‍ය ලෝකයෙහි ද දුර්ලභය. බුලත් කොළ තියුණු උෂ්ණ බව ද කුළු රස ද කට ශුද්ධ කරන බව ද ඇත්තේය. වාතය හා සෙම නැසීම ද පිත වැඩීම ද මිදීම ද ස්වර වර්ධනය ද අග්නි ඇති කිරීම ද කෙරෙයි.

තාම්බූලංක්‍ෂත පිත්තාසු රූක්‍ෂොත්කුපිත චක්ෂු ෂාම්

විෂ මූර්ඡා මදාර්‍ත¡ානා මෂ්ඨපං ශොෂිණාමතී

බුලත් සැපීම ඇතැම් රෝගීන්ට අපථ්‍ය වේ. උරඞක්‍ෂත, රෝගීන්ට ද රත්පිත් රෝගීන්ට ද, රළු හෙවත් වියළි ශරීර ඇත්තන්ට ද, අභිෂ්‍යන්‍ද නම් ඇස් රෝගය ඇත්තන්ට ද, ශෘංගී විෂ ආදියෙන් පෙළෙන්නන්ට ද චූර්ණයෙන් පෙළෙන අයට ද මදාත්‍ය රෝගීන්ට ද එසේම මුඛශොෂය හා රාජයක්‍ෂමා රෝග ඇත්තන්ට ද අපථ්‍ය වේ. (උෂ්ටාංගහෘදය)

බෞද්ධ හින්දු සෑම දෙනාටම ඉතා වැදගත් අලුත් අවුරුදු සමයේ බුලතට ලැබෙන්නේ සුවිශේෂ තැනකි.

ආගමික, ජාතික හා සංස්කෘතික වශයෙන් බුලත් අපට අගනා සංකේතයකි. බුදුරජාණන් වහන්සේ බුලත් ප්‍රධාන කොට සුවඳ දැහැත්විට වැලඳූ සේක. ඒ බව බෞද්ධ සාහිත්‍යයෙන් පෙනේ. දැනුදු අපි බුදුන් වහන්සේට “නාගවල්ලී දලු පේතං – චුණ්නපූග සමායුතං” යන ගාථාව කියා බුලත් බුදුපියාණන්ට පිළිගන්වනු ලබයි. සැදැහැයෙන් පූජා කරමු. බුලත් හුරුල්ලක් බුලත් අතක් පිළිගන්වන විට එයට බුලත් කොළ 40 ක්ම ගැනීමට හේතුව විමසා බලමු. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි සම සතළිස් දන්ත තිබීම සංකේතවත් කිරීම බුලත් 40 ගැනීමේ අරුත ලෙසින් පිළිගැනීමට යම් බාධාවක් ඇති බවක් නොපෙනේ.

ආයුර්වේදයේ සඳහන් ලෙස බුලත්වල ගුණ අතර, ධාතු වර්ධනය වන මුඛ සෞඛ්‍යය රැකෙන කරුණු ප්‍රධාන තැන් ගනී. කාම රුචිය වැඩෙන ගුප්ත රහස් ඖෂධයක් ලෙස ද සලකන බුලතේ ගුණ රාශියක් ඇති බව පෙනී යයි. ඒ බැව් ඉහත සඳහන් කළෙමි. බුලත් වගා කටයුතුවලට රූමත් විවාහක කාන්තාවන් හා ගැබිනි ස්ත්‍රීන් යොදවා ගැනීමෙන් ඉතා සරුසාරව වැඩෙන බවට පිළිගැනීමක් තිබේ. මෙහි යම්කිසි ගුප්ත ශක්තියක් ගැබ්ව තිබෙන බව කිව හැකිය. බුලත් අත සමගිව සිලාවක කෑමෙන් මිතුරු භවේත් ගරුත්වයේත් සංකේතයක් ලෙස සලකන අතර, අපගේ සෑම වැදගත් සුබ කටයුතු කිරීමට පෙරට එයි. ජාතික, ආගමික, සංස්කෘතික වූ උත්සව පුද පූජා අවස්ථාවන්හිදී බුලතට මුල් තැන ලැබේ. බුදුන්, දෙවියන් උදෙසා පූජාවන් කිරීමට යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් ශාන්තිකර්ම සඳහා බුලත් අත්‍යාවශ්‍ය වේ. වාස්තු විද්‍යානුකූලව නිවාස, ගොඩනැගිලිවලට මුල්ගල් තැබීම්, විවෘත කිරීම්, දේශපාලන, සාහිත්‍ය ,ආගමික රැස්වීම් උත්සව ආදියට පැමිණෙන අමුත්තන් පිළිගන්නේ බුලත් හුරුල්ලක් දීමෙනි. මංගල කටයුතුවලට ආරාධනා කරන්නේ බුලත් දීමෙනි. බණට, පිරිතට, දානයට ආරාධනා කරන්නේ සංඝයා වහන්සේලාට බුලත් අතක් පිළිගන්වා ගෞරව භක්තිය දැක්වීමෙනි. පිරිත් මණ්ඩප සඳහා බුලත් කිනිති යොදා ගනී. ශාන්තිකර්මවලදී මල් බුලත් තටුවට ද දෙවියන්ට පඬුරු බැඳ බාරහාර ඔප්පු කිරීම ආදී මෙකි නොකී බොහෝ කටයුතුවලට බුලත් අත්‍යාවශ්‍ය වේ. අවුරුදු උත්සව සමයේ දෙමාපිය ගුරුවර වැඩිහිටියන්ට ගරු කරනුයේ බුලත් හුරුල්ලක් දීමෙනි.

ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, නේපාලය ආදී ආසියාතික රටවල බුලත් කෑම බහුලව පවතී. ඉන්දියාවේ බුලත් වර්ග සිය ගණනක් තිබේ. මේවා රුපියල් 10 සිට දස දහස දක්වා විවිධ ගණන්වලට තිබේ. බුලත් විට හා බුලත් හුරුල්ලට දුම්කොළ ආදේශ වූයේ ලංකාවට පෘතුගීසි ජාතිකයන්ගේ පැමිණීමෙන් පසුවය. එතෙක් දුම්කොළ භාවිතයක් නොවූ අතර, අපේ පැරණි මුතුන් මිත්තන් බුලත්විට කෑවේ පස්පල වතිනි. බුලත් , පුවක්, එනසාල්, හුණුූ , පැඟිරි කොළ මෙයට ඇතුළත් විය. සංස්කෘතික වශයෙනුත් සෞඛ්‍යමය වශයෙනුත් බුලත් කෑමේ කිසිම දොසක් නොපෙනේ. එහෙත් දුම්කොළ යොදා ගැනීම නිසා බුලත් කෑම මුඛ රෝගවලට හේතු විය හැකිය. දුම්කොළ හුණු දෙවගය සිරුරට හිතකර නැති බව විශේෂයෙන් කිව යුතුය. මේ නිසා බුලත් කෑම අවතක්සේරුවට ලක්ව තිබේ. ගෞරවනීය බව ද හීනවී තිබේ. එහෙයින් බුලත් විටින් හා බුලත් හුරුල්ලෙන් දුම්කොළ පිටු දැකීමට කාලය එළඹ තිබෙන අතර , රජයෙන්, සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන්, ජනමාධ්‍ය මඟින් මේ ගැන මහජනයා දැනුවත් කළ යුතුය. කොහොම නමුත් බුලත් අත “බුලත් දුම්කොළ” අත නොවිය යුතුය. පැරණි සිංහලයා මුඛ සෞඛ්‍යය ආරක්ෂාකරගැනීමට පාවිච්චි කළ බුලත් විට නූගත් ගැමියන් පාවිච්චි කරන ශරීරයට අහිතකර අවමාන තත්ත්වයට පත්ව ඇත්තේ පරාධීන යුගයේ ආගන්තුකකම රිංගා ගත් දුම්කොළය නිසාය. එහෙයින් අපගේ සංස්කෘතික උරුමය වූ බුදුන් දෙවියන් පිදීමට පවා ගන්නා බුලත්වලට ඇති ගෞරවනීය තත්ත්වයට මෙයින් කැළලක් වීමට ඉඩ නොදිය යුතුය.

බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන දැහැත් විටට දැනුදු දුම්කොළ නොගනී. එහෙත් වර්තමාන මහා සංඝයාට පූජා කරන දැහැත් විටට දුම්කොළ යොදා ගැනීම සුදුසුදැයි විමසා බැලිය යුතුය. මේ ගැන සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය ක්‍රියා කිරීම ඉතා කාලෝචිතය. මඟුල් චාරිත්‍රවලදි බුලත් බෙහෙවින් පාවිච්චි වේ. මෑණියන්ට බුලත් හුරුල්ල දීමට කිවයුතු සිලෝ කවක් පහත දැක්වේ.

පෙමින විඳ අනත් දුක් මා වදා දැඩි කිරීමෙන්

ඇති දැඩි කළ බෝසේ , දොයි බබොයි බයි කියලා

පුදන මේ කවච්චියත් බුලත් හුරුල්ලක් සමාවී

සුපිලිගත මැනවි අම්මේ – මෙන්න මම්වැන්දා

 

දැනට අවුරුදු 100 කට පමණ පෙර යුවතිපති පාර්ශ්වයේ නෑයන් අතර විනෝදයට වගේ තහන්චි කවි කීමක් තිබුණි. නිදසුනක් වශයෙන් බුලත් විට පිළිගැන්වීමට පෙර තහන්චි කවිවලට කවියෙන්ම පිළිතුරු දිය යුතුය. එම බුලත් තහංචි කවි කීපයක් පහත සඳහන් වේ.

පළමුව මේ කවි නැසෙනා කාලෙදි බුලත් ගෙනාවේ කවුද කියන්

දෙවනුව මහ සම්මත රජ මඟුලට බුලත් ගෙනාවේ බ්‍රහ්ම ලොවින්

තෙවනුව පත්තිනි පාලන මඟුලෙදි බුලත් බෙදුවේ දල කුමරුන්

සිටිනුව මේවට පිළිතුරු දී මිස ඉලත්තට්ටුවට අත නොතියන්

 

පළමුව මේ කය නැසෙනා කාලෙදි බුලත් ගෙනාවේ කවුද කියන්

දෙවනුව මහ සම්මත රජ මගුලට බුලත් ගෙනාවේ කවුද කියන්

තෙවනුව පත්තිනි පාළඟ මගුලෙදි බුලත් බෙදුවේ කවුද කියන්

සිටිනුව මේ වට පිළිතුරු දී මිස ඉලත්තට්ටුවට අත නොතියන්

 

පළමුව මේ කය නසිනා කාලදෙි බුලත් ගෙනාවේ නාග ලොවින්

දෙවනුව මහ සම්මත රජ මගුලට බුලත් ගෙනාවේ බ්‍රහ්ම ලොවින්

තෙවනුව පත්තිනි පාලඟ මගුලෙහි බුලත් බෙදුවේ දල කුමරුන්

අසනුව පිළිතුරු තහංචි අරවා බුලත් කන්ට අවසරයි ඉතින්

 

සිංහල සංස්කෘතියේ හා භාරත සංස්කෘතියේ විශේෂ තැනක් ලැබෙන බුලත්කෑම . බුලත්දී බුදුන් දෙවියන් වැඩිහිටියන් පිදීම යන උතුම් සිරිත් අනාගත පරපුරටත් ගෞරවයෙන් රැකදීම අප කාගේත් පරම යුතුකමකි.

ලක්වැසි සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා

ලෝකෙන්ම කොරෝනා තුරන් වී සැමට නිරෝගී සුව උදාවේවා

 

 

කලාභූෂණ ශාස්ත්‍රශූරි

ඡ්‍යොතිෂ ඉඳුවර කිවිපති

අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.