දියණියගේ නිදන කාමරය වයඹ දිසාවට සුබයි

ජූලි 9, 2021

සුබ දිසාවන් හඳුනා ඒ ඒ පිළිවෙළට ක්‍රියාකාරකම් සිදුකර යහපත් දිවියකට මඟ පාදාගන්න

 

කැදැල්ල මනරම්ව තනා අවසානයේ සොඳුරු සිහින දකිමින් කැදැල්ලට ගොඩවදින බව සැබෑවකි. ඔබ දන්නවාද නිවෙසක කෙතරම් වාස්තු විද්‍යානුකූලව නිවැරැදිව තැනුවත් නිවෙසේ ක්‍රියාකාරකම් සඳහා ද වාස්තු විද්‍යාත්මක පිළිවෙළක් තිබෙන බව.

ඉන් පරිබාහිරව ගියහොත් ඔබේ සතුට පෑලදොරින් පලායාවි. ඔබ තැනූ කැදැල්ල නිවැරැදිව වාසය සඳහා යොදා ගන්නා අයුරු පිළිබඳව දැනුවත් වෙමු.

 

නිදන කාමරය දකුණට සහ බටහිරට

නිවෙස ඇතුළත නිදන කාමර වෙන්කර ගැනීමේ දී දිසානුගත කිරීම ඉතා වැදගත් ය. ඔබට ඒ ඒ දිශාවන්ට අනුව ඇතිවන බලපෑම් රැසකි. විද්‍යුත් චුම්භක ශක්තිය ආරෝපණය වන පෘථිවි චුම්භක ක්ෂේත්‍ර සමඟ මුසු වීමේ දී අපට ඇසට නොපෙනෙන යම් යම් ශක්තීන් නිසා පාලනය වන බව සැබෑවකි.

ඒ අනුව ඒ ඒ දිශාවලින් කාන්දුවන ශක්තීන් අප හොඳින් හඳුනා ගත යුතු ය. විශේෂයෙන්ම නිවෙස තුළ පිහිටි නිදන කාමර පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී තහවුරු වන්නේ නිවෙසේ නිදන කාමර දකුණ, නිරිත සහ බටහිර දිසාවේ තිබීම යහපත් බව ය.

නිරිත දිග පෙදෙසේ ගෘහමූලිකයා විසීම යහපත්ය. පුත්‍රයන් සඳහා යෝග්‍ය වන්නේ දකුණේ සහ බටහිර දිසාවේ ඇති කාමරයන් ය. ආගන්තුකයන්ට සහ දියණියන්ට වයඹ දිසාවේ යෝග්‍ය වේ.

එමෙන්ම යාබදව ඊසාන පෙදෙසේ නිදන කාමරයත්, වැසිකිළියත් තිබීම ඉතා අසුබ වන්නකි. නිවෙසට විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර ශක්තීන් කාන්දු වන්නේ ඊසාන දෙසිනි. මරු නොසිටන අතිපවිත්‍ර දිශාව වන්නේ ඊසාන දිශාවටයි.

ගැබිනියන්ට ගිනිකොණ හොඳ නෑ

උතුරේ හෝ දකුණු දිශාවේ නිදන කාමර යෙදීම සමඵල සහිත. ගිනිකොණ අග්නි මූල්‍ය නිසා ගින්දරමය හෙවත් දැවී යන ස්වභාවයෙන් යුතු හෙයින් එම දිශාවේ නිදන කාමර තැබීම එතරම් යෝග්‍ය නොවේ. විශේෂයෙන්ම ගැබ්දරන කාන්තාවක් සිටී නම් මෙම දිශාවේ කාමරය භාවිතයට ගැනීම අයෝග්‍යය. එය කුසේ සිටින දරුවාට අහිතකර වන්නකි. බාල්කය යට ඇඳක් තබා නිදා ගැනීම ඉතා අසුබ ප්‍රතිඵල ගෙනදෙන්නකි.

 

විදුලි භාණ්ඩ ඊසානය එපා

දෙමහල් නිවෙසක මහල් දෙකෙහිම නිරිත දිග නිදන කාමර ඇතත් නිවෙසේ හිමියාට නිදා ගැනීමට යෝග්‍ය වනුයේ බිම්මහල් නිරිත දිග පෙදෙසේ ඇති කාමරයන්. ඖෂධ ඊසාන දිශාවේ ඇති කාමරයක් තුළ තැබීමෙන් රසායනික ශක්තිය අධික වීම සිදුවේ.

ගෘහභාණ්ඩ, කබඩ්, රාක්ක වැනි ගණ බර භාණ්ඩ උතුර හා නැඟෙනහිර බිත්තිවලට තදින්ම හේත්තු වන ලෙස නොතැබීමට වගබලා ගන්න. එය අයහපත් ය. එමෙන්ම රූපවාහිනී, දුරකතන, විද්‍යුත් උපකරණ, විදුලි භාණ්ඩ ඊසාන පෙදෙසේ තැබීම අයහපත් ප්‍රතිඵල ගෙන දේ. ඔබ හැකිතාක් උත්සාහ කළ යුත්තේ නැඟෙනහිර, උතුර බිත්ති හිස්ව සරලව තැබීමට ය.

පූජා කර්මය ඊසානව හොඳයි

බොහෝ නිවැසියන් අසන පැනයක් වනුයේ ඔවුන්ගේ ආගමික වතාවත් සිදුකරන ස්ථානය කෙබඳු ස්ථානයක තැබිය යුතුද යන්නය.

පූජා කාමරය ඊසාන කෙළවරේ තිබීම ඉතා සුදුසු ය. ආගමික වතාවත් කිරීම, පන්සිල් ගැනීම, භාවනා කිරීම, සෙත් පැතීම, ආශිර්වාද කිරීම්, ශාන්තිකර්ම කිරීම් යන කටයුතු සඳහා ඊසාන දිශාව වඩාත් යෝග්‍ය වේ.

කාමර ජනේල පියන් දෙක සහ හතර විය යුතු ය.

බුද්ධ රූප, මූර්ති, දේව රූප, ආගමික නායකයන්ගේ චිත්‍ර මූර්ති කාමරයේ බිත්ති කෝණයේ මුළුවලට හසුවන සේ නොතබන්න.

ඔබ වතාවත් කිරීමේ දී දකුණු දිශාව හැර ඊසාන, උතුර, නැඟෙනහිර දිශාවල මුහුණලා සිටින්න. ඔබ සිහිතබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ පූජා කාමරය කිනම් අයුරකින් හෝ නැඟෙනහිර දිශාවට ඇති වැසිකිළි බිත්තියට යා නොකිරීමය. ප්‍රජා හා භාවනා කුටි නිවෙසේ බිම් මහලේ ඊසාන කෙළවරේ පිහිටුවීම ඉතාම යෝග්‍ය වේ.

ලක්ෂ්මී රූප ඊසානට

විසිත්ත කාමරයේ ඊසාන කෙළවරේ හිස්ව තිබීමත් බටහිර මුහුණලා දේව මූර්ති තැබීම යහපත් ය. ලක්ෂ්මී හෝ සරස්වතී රූප හෝ මූර්ති ඊසාන දිග තබන්න. වාලම්පුරි (දක්ෂිණා වෘතසංඛ) ඊසාන පැත්තේ කාමරයේ තැන්පත් කර වතාවත් කිරීම නිසා ඔබට භාග්‍යය උදාවනු නිසැකය. ගවමඩු, එළුමඩු පමණක් වයඹ පැත්තේ හෝ බටහිර දෙස නොතබන්න. උතුරු බිත්තියට සම්බන්ධ නොකිරීම වගබලා ගැනීම ද ඉතා වැදගත්.

උතුර, ඊසාන, නැඟෙනහිර දිසාවේ කාමරයන්ට කුකුළු කොටු, ඌරු කොටු, තාරා කොටු ආදිය බිත්තිවලට සම්බන්ධ කිරීම පිරිහීමට හා විනාශයට හේතුවන්නකි. එනිසා නිවෙසට උදාවන භාග්‍ය විනාශ වේ. ඊසාන දිග කාමරයේ ‘තුල්සි‘ විෂ්ණු ක්‍රාන්ති පැළ පෝච්චියක සිටුවා තැබීමෙමන් ශක්තිය නැසීයෑම සිදුවේ. එමෙන්ම ඊසාන පැත්තේ කාමරයට සමීපව සමන්පිච්ච මල් ගසක් සිටුවා ගන්න. ඉන් ලක්ෂ්මී දේව ආකර්ෂණය සිදුවේ. තවද පිහිඹියා ගසක් ද යහපත් ය.

අක්‍රමවත් අසුබ දිශාවන්ට අනුගතව නිවෙස ඇතුළත ක්‍රියාකාරකම් නිසා අසුබ ප්‍රතිඵල ගෙන දෙන අතර සුබ දිසාවන් හඳුනා එම දිශාවන්හි ඔබේ ක්‍රියාකාරකම් සිදු කිරීම හරහා වාසනාවන්ත දිවි පෙවෙතක් ගත කිරීමට හේතුවනු ඇත.

නිවෙස ඇතුළත කාමර දිසානුගත කිරීම

නිවෙසක් ඉදිකිරීමේ දී සලකා බැලිය යුතු කරුණු බොහෝ ය. ඒ ඒ දිශාවන්වලට සුබපල උදා කරන අයුරින් කාමර ස්ථාන ගත කිරීම අනිවාර්ය කරුණකි. මේ පිළිබඳව ඉතාම සවිස්තර ලෙස ඡ්‍යොතිෂ වාස්තු විද්‍යාවේ පෙන්වා දී තිබේ.

පුරාණයේ ඉදිකළ අදටත් විරාජමානව පවතින දැවැන්ත ඉදිකිරීම් විමසා බලන්න. මේ සෑම නිවෙසකම නිදන කාමර, කෑම කාමර, ගබඩා කාමර හා මුළුතැන්ගෙය ආදී විවිධ අංග සුබ දිශානුගතව පිහිටුවා තිබේ. මෙවර ලිපියෙන් කෙරෙනුයේ ඒ පිළිබඳව මාහැඟි විවරණයකි. මහා භාරතීය සමාජ රටාව අනුව එකල විසූ පිරිස තම නිවාසයන් සැලසුම් කර ගන්නා ලද්දේ ක්‍රමවත් දිසානුගත පිළිවෙළට ය.

ක්‍රි.පූ. 6 වැනි ශත වර්ෂගතව බමුණු සමාජයේ ගෘහ නිර්මාණකරණයේ දී වාස්තු විද්‍යානුකූලව සිය නිවාස, ආගමික වතාවත් කරන තැන, කියැවීම් කාමරය, නිදන කාමරය, ගබඩා කාමරය, නාන කාමරය, මුළුතැන්ගෙය, ගිතෙල් තබන කාමරය, රති ගෙය, ඖෂධාගාරය, තිඹිරිගෙය, පාද පවිත්‍ර තැන ආදී විවිධාංගීකරණීය ස්ථානය ලෙස නම් කර ඇත්තේ ය.

විස්කම් විදුදරයාණන්ගේ විශ්වකර්ම ගෙබිම් ශාස්ත්‍රයේ සඳහන් අයුරින් ඊසානයේ ආගමික තැන ද නැඟෙනහිර ස්නානගාරය ද ගිනිකොණ මුළුතැන්ගෙයත් උතුර ධාන්‍ය, ධනය තැන්පත් කරන තැනත්, නිරිත, දකුණ වැසිකිළියද, නිරිත බටහිර කියැවීම් හල්ද, වයඹ හා උතුර රති ගෙයද තවද නිරිත සූතිකාගාරයද යහපත් වේ. නිවස ඇතුළත දිසානුගත කර කාමර වෙන් කිරීම වඩාත් ඵලදායි වාස්තු ක්‍රමවේදයක් වන්නේ ය.

 

ඡ්‍යොතිෂවේදී (වාස්තු විද්‍යා) දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.