ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවි වතගොත

ජූලි 23, 2021

ස්කන්ද කුමරු ශිවගේ ලලාමාක්ෂියෙන් නිකුත් වූ ගිනිපුපුරු සයකින් උපන් බව එක් දේව කතාවකින් කියවේ. අග්නි විසින් ශිව දෙවියන් විසින් නිකුත් කළ ගිනි පුපුරු ගංගා නදියට දැමූ කල එය හිමාලයේ සරවන නම් වට වැටී ඒවා කුඩා ළමයින් බවට පත්විය.එහිදී නීල දේවතාවියන් සය දෙනෙකු විසින් එම දරුවන් සයදෙනා හදාවඩාගන්නා ලදී. එම දරුවන් සයදෙනාම උමාව විසින් එකට අල්ලා බදාගැනීම නිසා එක් දරුවකු බවට පත්විය. ඒ කතරගම දෙවියන් බව කියවේ.

 

තවත් දේව කතාවකින් කියවෙන්නේ මහවනයේ සුන්දර ලලනාවියක් දරුවන් දෙදෙනකු සමඟ ඔන්චිල්ලාවක් පදින බවත් එය බැලීමට යායුතු බවත් ශිව දෙවියන් පාර්වතී දේවියට කියා සිටියේ ය. ශිව දෙවියන්ගේ ඉල්ලීම පිට පාර්වතී දේවිය ශිව දෙවියන් සමඟ වනයට ගොස් බලද්දී දුටුවේ දරුවන් දෙදෙනකු නොව දරුවන් සයදෙනෙකු සමඟ ඇය ඔංචිල්ලාවේ සිටින බවයි. ඒ දුටු පාර්වතී දේවිය ගොස් දරුවන් සයදෙනා එක්කොට දෙඅත් විහිදුවා බදාගත්තාය. පුදුමයකි. දරුවන් සයදෙනා මුහුණු සයකින් හා අත් දොළසකින් යුත් එක් දරුවකු වීය. ඒ ස්කන්ධ කදිර නොහොත් කතරගම දෙවියන් බව කියවේ.

තවත් දේව කතාවකින් කියවෙන්නේ ඉන්දියාවේ විසූ කල්‍යාණගිරි නම් සන්නාසියෙක් කතරගම දෙවියන් ගැන පැහැදී ලංකාවේ සිට දෙවියන් ඉන්දියාවට වැඩමකරවීමේ අදහසින් ලංකාවට පැමිණ දොළොස් වසක්ම මහ වනයේ උග්‍ර තපස් රැක්කේය. මෙසේ ඉන්නා අතර සන්නාසියාගේ පැලටවිත් ඔහුට සේවාකර්ම කිරීමට කැලෑවාසී වැදි කොල්ලෙක් හා වැදි කෙල්ලෙක් පුරුදුව සිටියහ. දොළොස්වසක්ම තපස් රැකි සන්නාසියා මහා පීඩාවෙන් නිදි මැරීමෙන් ද දරුණු ලෙස දුකටපත්ව සිටීමෙන් ද රෝදුක් විඳීමෙන් ද මහත් කනස්සල්ලට පත්ව බලාපොරොත්තු ඉටු නොවීමෙන් ද දුක් කල්පනාවෙන් සිටිනා විට තදබල ලෙස නින්දට වැටුණේ ය. දොළොස් මසක් පුරාවටම මෙසේ සිටිමින් කතරගම දෙවි දැකීමට නොහැකිවීමෙන් පැවැති සිත් වේදනාව නිසා මෙසේ ඔහු නොදැනුවත්වම තදබල ලෙස නින්ද ගියේය. මේ අතර සන්නාසියාගේ පැලට ආ වැදි කොල්ලා හා වැදි කෙල්ල කල්‍යාණගිරි අවධි කළේය.

ඉන් කෝපයට පත් තවුසා වැදි කොල්ලා දෙසට කෝපයෙන් කඩා පැන්නේය. කොල්ලා කොපමණවත් සමාව ඉල්ලා සිටියත් එසේ සමාවක් නොදෙන බව දුටු වැදි කොල්ලා පැලෙන් එළියට පැන දුවන්නට විය. තවුසා ද කොල්ලා ලුහුබඳිමින් දුවයන අතර, කොල්ලා දුවගොස් ගඟක් මැද පිහිටි පොඩි දූපතකට පැන්නේය. තවුසාද මහත් වෙරක් දරා අමාරුවෙන් දූපතට ළඟා වී කොලුවා දෙසට ගියේය. එහිදී කොලුවා වෙනුවට පෙනුණේ මයුර වාහන රථ වූ කඳ කුමරු නොහොත් කතරගම දෙවියන්ය. ඉන් මහත් බියපත් වූ තවුසා එතෙක්කල් තමාට සේවය කළේ කඳ කුමරුන් හා වල්ලී බව දැන ගත්තේය. පසුව ඔහු දෙවිඳුන් ඉදිරියේ දිගා වී වැඳ සමාව අයැද ඉන්දියාවට එනමෙන් ඉල්ලා සිටියේය. එවේලෙහි වල්ලි අම්මා ද වැඳ වැටී තමන් අතහැර නොයෙන ලෙස ඉල්ලා සිටියාය.

මේ නිසා දෙවියන්ගේත් තවුසාගේත් ඉන්දියා ගමන එතනින්ම නතර විය. කතරගම දෙවිඳු සමහර තැන්වල පින්මාතුර යනුවෙන් ද එසේම ඉන්දියාවේ ගංගානම් ගඟේ උපන්නා යැයි කියා ගංගා නමින් ද තාරක නම් අසුරයා මරු වසඟයට පත් කළ බැවින් තාරකාරිකියාද හඳුන්වා ඇත. එමෙන්ම දේවකතා අනුව පන්ගාලක උපන් බැවින් ශරජන්ම කියා ද හැඳින්වේ. එමෙන්ම ද්‍රවිඩ ජනතාව තාර්තිකේය කියා හඳුන්වනු ලබන්නේ දෙවිඳු කිරි අම්මලා සයදෙනකු විසින් හදාවඩාගත් බැවිනි. කෙසේ වෙතත් උමා දේවියට දාව උපන් කඳ සුරිඳු ගණ දෙවිඳුගේ සහෝදරයෙක් බව ද කියවේ. ස්කන්ධ නමින් කතරගම දෙවිඳු තෙයිවානි නමින් භාර්යාවක් ද වල්ලි අම්මා නමින් තවත් භාර්යාවක් ද සමඟ වාසය කොට ඇත.

කතරගම දෙවියන්ට බාරයක් වී එළාර රජු සමඟ යුද්ධයට ගිය දුටුගැමුණු මහ රජතුමා යුද්ධය දිනා එහි ගොස් කතරගම දේවාලය කරවූ බව ඉතිහාසයේ සඳහන්ය. රට බේරා ගැනීමට නම් යුද්ධ කළ යුතු යැයි කියන නිගමනයට ආ දුටුගැමුණු රජතුමා යුද්ධයට යෑම සඳහා තීරණය කරගෙන නින්දට ගියේ ය. එදින රාත්‍රියෙහි පියාගෙන් ලැබෙන අණට විරුද්ධව මගෙන් ලැබෙන ආධාරයක් නොමැතිව යුද පිටියට නොයා යුතු යයි ගැමුණු රජුන් ඉදිරියේ පෙනී සිටි කඳ කුමරු කියා සිටියේ ය. සිහිනය පිළිබඳ කල්පනාකාරීව සිටිය කුමරු ඉදිරියට බලවත් තවුසෙකු පැමිණියේය. ඒ දැකීමෙන් කුමරු ක්ලාන්ත විය. පසුව කුමරුට සිහියලත් විට කඳ කුමරු නියම වේශයෙන් පෙනී සිට ආයුධයක් අතට දී යුද්ධයෙන් කුමරුට ජය අත්වන බව පවසන ලදී. තමන් යුදයෙන් ජයගත් කළ දේවාලයක් තනා දෙවියන් නමට කැප කරන බවට බාර වී යුද්ධයට ගියේය. යුද්ධයෙන් ජයගත් කුමරු කතරගම දෙවොල ඉදිකොට දෙවියන් නමට කැප කළේය. දවස් තුන්සිය හැටපහ පුරාම පුද පූජා ලබන කතරගම දෙවොලේ අණුහස් බොහෝය.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ,

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත්.එම්.පී. රාජපුර

 

 

සටහන - මාධ්‍යවේදී,

බී. ඇල්. ප්‍රේමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.